යුක්‍රේන යුවතිය – අවසන් කොටස

නිවැසියන් සැමටම දිගු රැයක් සහිත උදෑසනක් ඇවිත්.ඔනෙලාට වීසා ලැබී තිබුණ අතර ගුවන් යානය තිබෙන්නේ තවත් පැය කිහිපයකින් බව හදිසියේම දන්වා සිටීම හේතුවෙන් අමුතුවෙන් සූදානම් වීම් කිසිවක් නැති මුත් වෙන් වීමේ දුක සියල්ලන්ම විඳ ගනිමින් සිටියා.

අමිතගේ අම්මාට සිය යෝජනාව ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොලැබුණ අතර ඇය ඒ පිළිබදව නොසන්සුන්ව සිටි මුත් කිරිබත්,වැලි තලප ආදිය සාදා ඔනෙලාට සංග්‍රහ කිරීමට අමතක කලේ නැහැ.ඈ සැබවින්ම ඔනෙලාට දියණියක මෙන් සැලකීමට පුරුදු වී සිටින බව ඇයට දැනුනේ එදින උදෑසන.ඇයගේ වෙන්වීම තරමක පාළුවක් නිවසට ගෙනෙනු ඇතයි ඇය සිතමින් සිටියා.විටින් විට උඩ තට්ටුවේ සිට පහළට ගලා එන,ආගන්තුක මුත් මිහිරි සංගීතයක රස ඇය දිනපතා නිශ්චිත වේලාවක විඳිමින් සිටියා.ගමේදී තේ බීමට,අහල පහල ගෙවල් වලට යාමට,හරකුන් දිගේලි කිරීමට,රෙදි හේදීමට,ඉවීමට,බණ ඇසීමට වැනි නිශ්චිත වේලාවන් මෙහි තිබුනේ නැති අතර නිශ්චිත වේලාවක ගලා එන සංගීතයට ඇය ප්‍රිය කළා.සුපුරුදු ටෙලි නාට්‍ය කලබලයට හුරු වී තිබුණ සිත බණ දහමටත් වඩා සංගීතයට ප්‍රිය කරමින් තිබුණා.සිය බිරිඳගේ නිහඬ බව තේරුම් ගත් අමිතගේ පියා ඇයගේ එදිනෙදා සිතුවිලි වලට බාධා නොකර සිය පාඩුවේ සිටියා.

මිත්සලා ද සිටියේ කිව නොහැකි හැඟුම් රැසකට මැදිව.ඔනෙලාගේ ප්‍රීතිමත්,ආදරණීය සමාගම ඇය මහත් සේ ප්‍රිය කලා පමණක් නොව ජීවිතයේ නොදුටු ඉසව් රැසක් හඳුනාගන්නට එය ඉවහල් වුණා.උදෑසන ආහාරය හෝ ගැනීමට පිටතට නොපැමිණි ඇය ඔනෙලාගෙන් කලින්ම සමුගෙන තිබූ නිසා ඇය වෙන්ව යන මොහොතේ නොපැමිණෙන බවත් කලින්ම දන්වා තිබුණා.

පැයකින් පමණ නිවසින් සමුගැනීමට තිබුන ඔනෙලා සිය කලමණා සියල්ලම කලින්ම සූදානම් කරගෙන සිටි බැවින් අමුතුවෙන් කලබලයෙන් කිසිවක් සූදානම් කලයුතුව තිබුණේ නැහැ.කෙටි සංචාරයකට පැමිණි ඇයට නොසිතූ ලෙස දිගු කලක් රැඳෙන්නට වූවේ නැත්නම් තමා වටා සිටින මේ පිරිස තවමත් ආගන්තුකයන් නේද යනුවෙන් ඇය කල්පනා කලා.දෛවය කෙතරම් අවස්ථා නිර්මාණය  කරනවාද?ඉදිරියටත් නිර්මාණය කරනු ඇද්ද?පිට වීමට මොහොතකට පෙර හෝ සිය හැඟීම් අමිතට කිව යුතුද?නැද්ද ?ඔනෙලා නොසන්සුන් පියවර කිහිපයක් තබමින් කල්පනා කළා.නිවස අධික නිශ්ශබ්දතාවයක ගිලී තිබුණ බව මඳ වේලාවකින් ඇය තේරුම් ගත්තේ ඔරලෝසු කටුවල ටික් ටික් හඬින්.මෙහි පැමිණි පසු ඇය ට එය ඇසුණු පළමු වතාව එය නේදයි ඇය පුදුමයෙන් සිහිකළා.සැප පුටුවක් මතට ඇද වැටුනු ඔනෙලා තමා රැගෙන යන රථය පැමිණෙන තෙක් කෙටි නින්දක් දැමිය යුතු යයි සිතුවා.

අමිත නිවසේ සිටියේ නැහැ.තමාට තනිවම ගුවන්තොටුපලට යා හැකි බව ඔනෙලා කලින් පවසා තිබුණ නිසා ත්,ඔහුගේ රාජකාරි වේලාව මාරු කරගැනීමට නොහැකි වී තිබුණ නිසාත් ඔහුට රැකියාවට යාමට සිදුවී තිබුණා.එය දෙදෙනාටම පහසුවක් වූවේ වෙන්වීමේ වේදනාව දෙදෙනාටම දැනෙමින් තිබුණ බැවින්.දින බොහෝ ගණනක්,එකම නිවසක,වෙන්වූ අවකාශයන් දෙකක,නිහඬ එකගතාවයකින් යුතුව ඔවුන් ජීවිතය බෙදාගෙන තිබුනේ මදකුදු හෝ එකිනෙකාට හිරිහැරයක් නොවන ලෙසට.

අමිත සිය රාජකාරී කටයුතු නවතා ඔරලෝසුව දෙස බැලුවා.ඔනෙලාගේ ඉල්ලීම වී තිබුණේ ගුවන් තොටුපලට නොපැමිණෙන ලෙස වීම නිසා ඇයගේ ඉල්ලීම පිළිගනිමින් එහි ඇයට ආරක්ෂිතව යා හැකි වාහනයක් ඔහු විසින් වෙන්කරනු ලැබුවා.එහෙත් දැනෙන සාංකා සහගත හැඟීම කිසි ලෙසක හෝ නවතා ගන්නට ඔහු සමත්වුනේ නැහැ.

ඔනෙලා යාම ඔහුට වේදනාවක් වන්නේ ඇයි?ඇය ඉතාමත්ම කෙටි කලකට ඔහුගේ රැකවරණයේ රැඳුන ආගන්තුක යුවතියක් නොවේද?එසේනම් මේ දැනෙන සාංකාවට හේතු කුමක්ද?නිවසේ සියලුම දෙනාට කුඩා තෑගි පිරිනැමූ ඔනෙලා අමිතට පිරි නැමූ ත්‍යාගය ඇය ගියපසු බලන ලෙසට පොරොන්දු කරවා ගත්තා.ගැහැනු ළමුන්ගේ එවැනි විකාර ඔහුට හුරු පුරුදු බැවින් එය බරපතල ලෙස නොගත්තත් එහි තිබෙන්නේ කුමක්ද කියා ඔහු කුතුහලයෙන් කල්පනා කළා.මින්පසු ඇයගේ සුන්දර දෑතින් හැඩවූ සිය නිවස පරවූ මලක් ලෙස කෙමෙන් කෙමෙන් කාලය විසින් ගිලගනු ඇත.එයට ජලය හෝ පොහොර හෝ දැමීමට කිසිවෙකු නැත.මෙතෙක් නිවසට පැමිණෙන සෑම මොහොතක වෙනදා නොමැති ආනන්දයකින් තම සිත පිරී ගියා නොවේද?ඒ ඇය නිසා නොවේද?  සිය වාහනයේ හඬ සමග සඳලුතලයට පැමිණ තමා ඉන් බැස නිවසට ඇතුලුවනතෙක්ම සුන්දර සිනහවකින් සැරසි බලා සිටින ඇයගේ පළමු රාජකාරිය වන්නේ පළතුරු යුශ වීදුරුවක් ඔහු වෙනුවෙන් පිළියෙල කිරීමයි.එය නැවතුනේ සිය මව එම කාර්‍යය බාරගත් පසුවය.

රාජකාරී නිවාඩුවක් ඉක්මනින්ම ලබා ගන්නා අමිත නිවසට ඉගිලෙන්නේ ඇය හමුවීමේ චේතනාවෙනි.ජීවිතයේ කිසියම්ම මොහොතක හෝ පෙර ලෙස,තමාට ඇය හමුවූ මොහොතේ තරම් තනිකමක් දැනෙනා ඕනෑම මොහොතක තම නිවසද,හදවත ද ඇය වෙනුවෙන් විවර බව කිවයුතු නොවේද?ඇයට ආදරෙයි කීමට ද,නොයනා ලෙස කීමටද  තදින්ම ඕනෑකම තිබුනද ඇයගේ පෙම්වතා සිහිවීමෙන්ද?ඇයගෙන් දුරස් සංස්කෘතිය සිහිවීමෙන්ද ඇයව මෙහි සිර කර තැබීමට ඔහුට සිතෙන්නේ නැත.අනෙක උදව්වක් කර එයට හිලව්වක් ලෙස වෙනත් යෝජනාවක් කල ලෙස ඇය ට සිතුනොත්?එය කෙසේවත් නොවිය යුත්තක් නොවේද?

වාහනයට නගින අමිතගේ සිත විපිලිසරය.අකාලයේ හැලෙන මඳ වර්ෂාව ඔහුගේ ගමන තවත් පමා කරයි.තමාගේ සිතුවිලිත් මේ වර්ෂාව සේම නොවේද?ඒවා ඇද හැලෙමින් පවතින්නේ කලට නොව අකලටය.

දිගු කල්පනාවකට හසුවන අමිතට සිය රථය ඉදිරියට එන කිසියම් යෝධයෙක් පෙනෙන්නේ සිහි නැතිවීමට මඳකට කලිනි.

පසු සටහන

ඔනෙලා නිසි වේලාවට පිටත්වී තිබුණ අතර,හදිසි අනතුරට ලක්වූ අමිත පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා නිවසට පැමිණ විවේකීව සිටී.අමිතගෙන් කිසිදු පණිවිඩයක් හෝ නොලද ඔනෙලා පිටවී යන්නේ කනස්සල්ලෙනි.එන්නට එපා කීවද අවසාන මොහොතේ හෝ ඔහු තමාව බැලීමට පැමිණෙනවා ඇතැයි ඇය විශ්වාස කරමින් තිබුණි.මාස කිහිපයක් යනතෙක් සිය ජංගම දුරකථනය භාවිත කිරීමට අමිතට ඉඩ නොලැබෙන්නේ අනතුරට මුහුන දී කිසියම් ශල්‍ය කර්මයකට ලක් කල දෑස් වලට දුරකථන තිරයේ ආලෝකය අහිතකර බැවිනි.

ඉතින් සියල්ල යථා තත්වයට පත්වෙනු ඇත.ඔනෙලා විසින් ඔහුට එවූ බොහෝ පණිවිඩ දකින අමිත ඇයට සුදුසුම ප්‍රතිචාරය දැක්වීමට පසුබට නොවනු ඇති බවට අප විශ්වාස කරමු.

නිමි

More Stories

Don't Miss


Latest Articles