ශවර් එකෙන් වැටෙන සීතල වතුර බිංදු ඇඟ දිගේ ගලාගෙන යද්දිත් සප්තමී කලේ ඇස් දෙක වහගෙන ආයෙ ආයෙම විහාරමහාදේවි පාක් එකේ පාකින් එකේදි කාරෙක ඇතුලෙ මැවිච්ච උණුසුම් ආදරණීය මොහොත ආය ආය මතක් කරන එක. ජීවිතේ පලවෙනි වතාවට කොල්ලෙක්ගෙ පපුවට තුරුල් වෙලා, තමන්ගෙ දෙතොල් පෙති තමන්ටත් අහිමි කරගත්ත ඒ මොහොත සප්තමීට දැනුනෙ සංසාරෙ පුරාවටම තමන් සමුද්රගෙ තුරුලෙ ඒ විදියට ගෙවලා තියෙනවා කියලා.
විනාඩි ගාණකට පස්සෙ සප්තමීගේ ලා රෝස පාට තොල් පෙති හරිම අකමැත්තෙන් වගේ අතාරින ගමන් සමුද්ර නාහෙට නාහෙ ගෑවෙන තරම් ලංවෙලා සප්තමීගේ ඇස් අස්සට එබුනා.
“දැන් පිළිගන්න වෙනවා නේද?” කියල සමුද්ර කවදාවත් නැති තරම් හිමීට, මුමුණලා වගේ අහද්දි ඒ කටහඬටද මන්දා තමන්ගේ ඇඟේ රෝම කූප ඉස්සෙනවා සප්තමීට දැනුනා.
“මොකද්ද?” කියලා තමන් ඇහුවෙත් සමුද්රගෙ වගේම හීනි, මුමුණන කටහඬකින් විත්තිය සප්තමීට එවෙලේ නොතේරුනා නෙවෙයි.
“මං ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියන එක. බෝයි ෆ්‍රෙන්ඩ් නෙවෙයි නම් ඉතින් කිස් කරන්න දෙන්නෙ නෑ නේද?” කියල සමුද්ර අහද්දි සප්තමී කලේ මෙච්චර වෙලා සමුද්රගෙ මූණ උඩම ඇලවිල තිබිච්ච තමන්ගෙ ඇස් දෙක බිමට හරවගත්ත එක. මේ වෙලාවෙ ශවර් එකට යට ඉඳගෙන ඇස් දෙක වහගෙන තමන්ගෙම අතේ ඇඟිලි තමන්ගෙ තොල්, කම්මුල්, බෙල්ල දිගේ පල්ලෙහට හෙමින් සැරේ අරගෙන එද්දි සප්තමීට මතක් උනේ තමන්ගෙ ඇඟිලි දැන් දුවන තැන්වලම මීට පැය කීපෙකට කලින් දිව්වෙ සමුද්රගෙ තොල් නේද කියන එක. ඒක හිතෙන එක අස්සෙත් තිබුනෙ හිත කිලිපොලා යන විදියෙ ආසාවක්.
සමුද්රගෙ උණුහුම් හාදු වැස්සකට පස්සෙ සුමල් අයියා උස්සගෙන අතටම ගෙනත් දුන්න බඩු මල්ලත් අරගෙන ගෙදර එනකම් සුමල් අයියා එලවලු වාහනේ පිටිපස්සෙ සමුද්රට තුරුල් වෙලා වාඩිවෙලා එද්දි තිබ්බෙ නැති බයක් හවුසින් ස්කීම් එක දැක්කම නම් සප්තමීගේ හිතට ආවා. හදිසියේ අම්මා “මොකද මෙච්චර පරක්කු උනේ?” වගේ දෙයක් ඇහුවොත් දෙන්න ඕන උත්තරේ මොකද්ද කවුරු හරි තමන් සමුද්ර එක්ක ඉන්නවා දැකලා ගෙදරට කතාකරලා කියලා තිබුනොත් වගේ ප්‍රශ්න දාහක් හිත අස්සේ තිබ්බත් අම්මා ඒ කිසිම දෙයක් අහන්නෙ නැතුව,වෙනදා වගේම මොනවද ගත්ත එලවලු අරව මේව කියල අහද්දි තමයි සප්තමීගේ හිතට සැනසිල්ලක් ආවේ. ඒ නිසාම තමයි ආයෙ ආයෙ රහසින් රහසින් මතක් කර ඒ ගෙවිච්ච කාලේ ගැන හිතෙන් හිතුවෙ.
එදා රෑ හැමෝම නින්දට ගිය වෙලාවේ සමුද්ර එක්ක ෆෝන් කෝල් එකේ ඉද්දි සමුදර අර මුමුණන කටහඬෙන්ම “දවල් කිස් කරාට තරහද?” කියල අහද්දි හිත ගැස්සුනේ ආසාව හන්දා කියන එක සප්තමීට තේරුණා.
“මං දෙයක් කියන්න ඔයා තරහා වෙන්නෙ නැද්ද?” කියලා සමුද්ර අහද්දි සමුද්ර මේ කියන්න යන්නෙ තමන් ගැන මොකක් හරි වරදක් කියන එක හිතිලා තමයි හිත පොඩ්ඩක් ගැස්සූනේ.
“මං ඇත්තටම ඔයාගෙ තාත්තලට ඇවිල්ල අපි දෙන්නා ගැන කියන්නද? අම්මලගෙ අවුල තියෙන්නෙ කොහොමත් මම ඔය මාලවීලගෙ ගෙදර ගිය එක ගැන සැකයක් හිතිලා හන්දා මට හිතෙන්නෙ මම ඇවිල්ලා අම්මලට ඔක්කොම විස්තරේ කියලා යන එක හොඳයි කියලා. හොරෙන් ලව් කරන එක ආතල්. මටත් නිකන් ආයෙ මම ඉස්කෝලේ යනවා වගේ දැනුනෙ අද අපි දෙන්නා ගෙවල්වලට හොරෙන් අරහෙම යද්දි. ඒ උනාට මං ඊට වඩා කැමති වැදගත් විදියට ගෙදරට ඇවිල්ලා ඔයාව හම්බවෙලා කතා කරල යන්න. අනික කොහොමත් ටෙලිඩ්‍රාමා එක රිලීස් උනයින් පස්සෙ මිනිස්සු ඔයාව දැනගත්තයින් පස්සෙ කොහොමත් අපිට දැන් වගෙ හොරෙන් එලියට යන්න පුලුවන්කමක් ලැබෙන එකක් නෑ සප්තමී. ඒ නිසා පස්සෙ නිකන් වෙන වෙන අයගෙන වැරදි ආරංචි ගෙදරට එන්න කලින් මං හිතන්නෙ හොඳම දේ අපි ගෙදරට මේ විත්තිය කියන එක” කියලා සමුද්ර කිව්ව විදියට තමයි සප්තමීයි සමුද්රයි දෙන්නා ප්ලෑන් කරගත්තෙ අම්මගෙ සැප දුක් බලන්න එන මුවාවෙන් සමුද්ර සප්තමීලගෙ ගෙදර එන්න දවසක් දාගන්න ජයබාහු මහත්තයාට කෝල් කරේ.
“ඔය ළමයා එන්නෙ මාව බලන්නම නෙවෙයි කියලමයි මට හිතෙන්නෙ” කියල නන්දා කියද්දි “මටත් ඒ විත්තිය හිතුනා” කියල ජයබාහු මහත්තය කිව්වෙ ඔය කොල්ලන්ගෙ වයස තමන් පහු කරලා කොච්චර කල්ද කියන එක ආය ආය මතක් කරගන්න ගමන්. සමුද්ර ගෙදර එනවා කිව්වා හවස් වරුවක හන්ද වෙනදා වගෙ රෑ කෑම හදන්න කරදර වෙන්න උවමනාවක් තිබ්බෙ නැති උනාට අම්මාගෙන් අහගෙන හවස තේ වෙලාවට බොන්න පෑන්කේක් ටිකක් එහෙම හදන්න නම් සප්තමී කකුල ඉස්සරහට තිබ්බා. සමුද්ර ආවට පස්සෙ තමන්ට කොහොමත් තමන් දෙන්න අතරෙ වෙච්ච හැමදේම අමතක කරලා කිසිම ඇයි හොදැයියක් නැති ලෙවල් එකෙන් කතාකරන්න වෙනවා කියල දන්න හන්දම සප්තමී බාතෘම් එකේ කණ්ණාඩියෙන් බලාගෙන සමුද්ර දැක්කම මූණට එන ලස්සනම ලස්සන හිනාව හංගගන්නෙ කොහොමද කියල පොඩි ට්‍රයල් එකකුත් කරා.
සමුද්ර ආවේ හවස හතරට විතර. සමුද්ර ගෙදරින් පිටත් වෙන්න කලින් කෝල් කල හන්දා තාත්තයි දුවයි දෙන්න එක්කහු වෙලා අම්මාව ඉස්සරහ සැටියට වත්තම් කරගෙන එක්කරගෙන ආවා.
“අනේ මන්දා මෙතනට ආවට ඒ ළමයා එක්ක මම මොනවා කතාකරන්නද කියලා?” කියල නන්දා හිනාවෙවී කියද්දි ජයබාහු මහත්තය නම් සුපුරුදු විදියට “ඔහේව කසාද බැඳගන්න හිතාගෙන එනවය ඒ ළමය? පුදුම ලැජ්ජාවක්නෙ ඕක. මම ඉස්සර ගෙදර ආව මුල් කාලෙදිවත් ඔයා ඔච්චර ලැජ්ජ උනේ නෑනෙ” කියල විහිලු කල එක. සමුද්ර ආවෙ කලින් දවසක වගේම අතක් බරට ජාති උස්සගෙන. අම්මලට හොරෙන් ආයෙ වතාවක් සප්තමීව ඉඹින්න තිබ්බා නම් හොඳයි කියන එක හිතුනත් ඒ ගෙදර අස්සෙ ඕව කරන්න ගිහින් නිකන් වෙන කේස් දාගන්න ඕන නෑනෙ කියල කියන්න මොලේට පොඩ්ඩක් මතක් වෙච්ච එක හොඳ විත්තිය සමුද්ර හිතුවා.
“ඕන් පුතේ අපි ලෙඩාව ඉස්සරහට වඩම්මවල තිබ්බා පුතාට වැඳ පුදා ගන්න කියලා” වෙන්ඩ මාමණ්ඩි කතන්දරේ විහිලුවෙන්ම වගේ පටන් ගත්ත හන්දා කාගෙ කාගෙ උනත් හිත්වල බයක් සැකක් තිබ්බා නම් ඒක හේදිලා ගියා. වෙන්ඩ නැන්දම්මගෙ දුක සැප අහන ගමන්, සප්තමී අරගෙන ආව පෑන්කේක් කාලා තේ බොන ගමන් මාමයි බෑණයි දෙන්න රටේ තොටේ දේවල් කතා කරා. පිරිමි දෙන්නෙක්ගෙ දේශපාලන කතන්දර අහන් ඉන්න එක කම්මැලි වෙච්ච හන්දා නන්දා කාමරේට යන්න හදපු වෙලෙත් “අංකල් කරදර වෙන්නෙ මොකටද?” කියලා සමුද්රම නැන්දම්මාව කාමරේටත් එක්කරගෙන ගියා.
“බලන්නකො අපිටත් මේ වගේ ලොකු පුතෙක් උන්න නම් හොඳයි නේද?” කියල නන්දා මෙදා නම් කිව්වෙ ඇත්තටම මිසක්කා මූණිච්චාවට නෙවෙයි.
“මන්දා මම නම් කැමතියි තාමත් ඉතින් ඔහේ කැමති නම්” කියල ජයබාහු මහත්තය හීනි හිනාවක් එක්ක කියද්දි සමුද්ර නම් සද්දෙටම ඒකට හිනා උනා. “මේ පිට ළමේකුත් ඉන්න තැන මොනවද අනේ මේ කියන නැහැදිච්ච කතා? අනික මේ තමන්ගෙ ගෑණු මනුස්සය කකුල කැඩිලා ඉන්දැද්දි කියන ඒවද?” කියලා නන්දා නෝන අමනාපෙන් කිව්වෙ සමුද්ර හිනාවෙච්ච ලැජ්ජාවත් හිත අස්සෙ තිබිච්ච හන්දා.
“ඉතින් හත් දෙයියනේ මං මොකද්ද කිව්වේ? ඔහේමනෙ කිව්වෙ මෙනෙම පුතෙක් උන්න නම් හොඳ විත්තිය. මං කිව්වෙ මට ප්‍රශ්නයක් නෑ කියලා. කකුල කැඩිච්ච එක ඉතින් ඔහෙට මතක තියෙන්න ඕනනෙ මට කලින්”
“මං කිව්වෙ අනේ අර මේ දරුවා අර මෙච්චර මහන්සි වෙච්ච හන්දා අපි හින්දා. තව පුතෙක් මක්කටද අපිට ඔය දෙජාතියෙන්ම ඉන්නේ” කියල නන්දා කියද්දි තමයි සමුද්ර හිතුවෙ මේන් මේ වෙලාව තමයි කියලා තමන් කතා කරන්න ආව කාරණේ දෙන්නටම කියලා දාන්න.
“මේ වගේ පුතෙක් කියන කතාව ඇදිලා ආව හන්දාම මම මේ කතාව දැන්ම කරන්නම්” කියලා සමුද්ර තමන් දෙන්නා දිහාම බලද්දි තමයි නන්දා නෝන ඉස්සරහින් ඇඳ අද්දරි න් ජයබාහු මහත්තයත් වාඩි උනේ. මේ කොල්ලා කියන්න යන්නෙ මොන ජාතියේ කතන්දරයක්ද කියන එක ගැන ලාවට අදහසක් හිතේ තිබ්බ හන්දම සමුද්ර සම්පූර්ණ කතාවම කියල ඉවර වෙනකම් නන්දවත් ජයබාහුවත් නෙවෙයි මැදින් පැන්නේ. තමන් සප්තමීට ආදරේ කරන විත්තියත්, මාලවීගෙ සිද්දීයෙදි ඇත්තටම උනේ තමන් සප්තමී කියල හිතාගෙන මාලවී එක්ක කතාකල විත්තියත් කියල සමුද්ර කියද්දි මෙච්චර දවසක් ඔයා නිකන් අපරාදෙනෙ මේ කොල්ලට දොස් පැවරුවෙ කියලා කියන්න වගේ තමයි ජයබාහු මහත්තය නන්දා නෝන දිහාව බැලුවෙ. ඒ බැල්ම තේරුම්ගත්ත වගේ කියන්න නන්දා කරේ ඇස් පිය ගැහුව එක.
“මං දන්නවා එකපාර මෙහෙම පිරිමියෙක් කොහෙන්ද මතුවෙලා වගේ ඇවිල්ල මෙහෙම දෙයක් ඇහුවම අංකල්ලා උනත් හිරවෙන විත්තිය. මං හැබැයි මේ කතාව මෙච්චර ඉක්මනට කියන්න හැදුවෙ මේ වෙඩින් එකක්වත් එහෙම දෙයක් ඉක්මන් කරගන්න අදහසකින් නෙවෙයි. අර මාලවීගේ සිද්දිය හන්දා මොකක් හරි වැරදි වැටහීමක් තියෙනවනම් ඒක අයින් කරලා දාන්න.
අංකල්ලා හිතල බලල මට විස්තරයක් කියන්න. හැබැයි මං පොරොන්දු වෙන්නෙ නෑ අංකල් අංකල්ලා අකමැති උනා කියලා මම සප්තමීව අමතක කරනව කියලවත් අතාරිනවා කියලවත්. ඒක වෙන්නෙ සප්තමී එයාගෙ ඕනකමකට මට අකමැති උනොත් විතරයි” කියල සමුද්ර වෙයි කියල හිතන් ඉන්න මාමණ්ඩිටයි නැන්දම්මටයි වැඳල පිටත් වෙලා යන්න හැදුවට ඒක එච්චර ලේසියෙන් කරන්න උනේ නෑ.
“නෑ ඔහොම ඉන්න” කියල කියන ගමන් ජයබාහු මහත්තය ඉස්සරහට ඇවිදන් ආවා. සමුද්ර ඉස්සරහා සමුද්රගෙ ඇස් බැල්මට සමපාත වෙන දුරකින් හිටගෙන සමුද්ර දිහා තප්පරයක් බලන් උන්නා.
ඉන්පස්සේ තමයි ජයබාහු සමුද්ර දිහාවට අත ඉස්සුවෙ.