තාදී – 02

0
2274

” වසන්ත ගජනායක ” බැල්කනියේ සිට බලා උන්නේ නිවසේ පිහිනුම් තටාකය අසල මිතුරන් සමඟ විනෝද වන තම එකම පුතු වන ” ධීර ගජනායක ” දෙස ය. ධීර මේ පසු කරන්නේ තිස් වන උපන් දිනය ය. මේ අවුරුදු තිහටම ඔහු ගත කලේ ඉතා සුඛෝපභෝගී ජීවිතයකි. ඉදිරියටත් එය එසේ වනු දැකීම ගජනායක ගේ එකම සිහිනය විය. ගජනායක හෝටල් ව්‍යාපාරය ධීර අතට පත් කිරීමට මේ හොඳම කාලය යැයි ගජනායකට සිතුනේ ඔය අතර ය.

” ආ ජයමිණි “

ජයමිණි ගජනායක උන්නේ බැල්කනියේ ඇති පුටුවකට බරවී පොතක් කියවමිනි. ගජනායකට වඩා හාත්පසින්ම වෙනස් ගති ඇති නිවුනු කාන්තාවක් වූ ජයමිණි දවස අවසන් කිරීමට පෙර පොතක් කියවීමට කාලය වෙන් කර ගැනීම පුරුද්දක් කර ගෙන උන්නා ය.

” ඇයි වසන්ත ? ” 

ගජනායකගේ මුල් නමින් අමතන එකම තැනැත්තිය ජයමිණි පමණක්ම වූවා ය.

” මං බැලුවේ මේ බිස්නස් ඔක්කොම කොල්ලට බාර දෙනවද කියලා ? ” 

ගජනායක බැල්කනියේ වූ අනෙක් පුටුවට බර වූයේ එසේ කියමිනි.

” ධීරට තිහ ලැබුවා විතරනේ ? ” 

” ඉතින් ? මං මේවා පටන් ගන්නකොට මට විසි හයයි. හරි නම් මෙයා මේ පාටි දාන්න ඕන එයා හම්බ කරන ඒවයින් ” 

ගජනායකගේ හඬෙහි එවර වූයේ නොරිස්සුමකි.

” ඉතින් ඔයාමනේ වසන්ත පුතාට ජොබ් එකකට යන්න දුන්නේ නැත්තේ ” 

” තමන්ගෙම කියලා බිස්නස් තියෙද්දී මොකටද අනුන්ගේ තැන්වල වැඩට යන්නේ ? මෙයාට කියන්න ඕනේ දැන් නිදහසේ හිටියා ඇති කියලා. මගෙන් පස්සේ මේවා කරගෙන යන්න ඕනේ කොහොමත් මෙයා නේ ” 

” ඔයා එහෙනම් හෙමින් සැරේ පුතා එක්ක කතා කරල බලන්න වසන්ත ” 

ගජනායක ගන්නා ඕනෑම තීරණයකට එකඟ වීම හැර වෙනත් විකල්පයක් ජයමිණි ට තිබුණේ නැත. ගජනායක සමග විවාහ වූ දා පටන් කිසිදු අඩුපාඩුවකින් තොර සුඛෝපභෝගී ජීවිතයක් ගෙවුනද තමාට තමා අහිමි වී ඇති බව ජයමිණි වටහාගෙන තිබුණේ අද ඊයේක නොවේ. විවාහ මංගල උත්සව වලදී , සාද වලදී සහ ඕනෑම මිතුරු හමුවකදී ගජනායකගේ වම් පසින් ජයමිණි සිටියද ඇතුලාන්තයෙන් ඇය මේ සුවිසල් නිවස තුළ ගත කළේ හුදෙකලා ජීවිතයකි.

” රවී ගේ දුවගෙ wedding එක ලබන සතියේ. ඔයා අර සාරිය දුන්නද හදන්න ? අන්තිම මොහොතේ ඕවට දුවන්න නම් ලෑස්ති වෙන්න එපා ජයමිණි හරිද? ” 

ගජනායක කීවේ පෙර වතාවේදී ජයමිණි සාරියක් මසා ගන්නට ගොස් සිදුවූ  කලබගෑනියක් සිහිපත් කරමිනි.

” නෑ නෑ මේ පාර එහෙම වෙන්නේ නැහැ. මම මේ පාර ජැකට් එක මහන්න දුන්නේ අලුත් තැනකට. හෙට ජැකට් එක ගන්නත් පුලුවන් ” 

ජයමිණි පිළිතුරු දුන්නේ ගජනායක නිතරම තමාව අවතක්සේරු කිරීම පිළිබඳව උපන් කලකිරීම සඟවාගෙනය.

ධීර සාදයෙන් අනතුරුව මිතුරන් සමඟ ගෝල්ෆේස් වෙත පැමිණෙන විට පාන්දර එක පමණ විය. සෙනඟක් නොසිටි ගෝල්ෆේස් පිටියේ ධීර , ආයුශ් සහ ගිහාන් ඇතුළු මිතුරන් දෙතුන් දෙනෙකු සමඟ මුහුද අද්දරට වන්නට තිබූ බංකුවක් වෙත පැමිණියේ ඉස්සෝ වඩේ කිහිපයකුත් මිලදී ගෙනය. ධීරගේ තවත් මිතුරෙකු වූ හශාන් ගිටාරය රැගෙන විත් තිබූ අතර ගිහාන් එය රැගෙන වාදනය කරන්නට විය.

” රෝස ⁣තොල් සිඹිමි තොල් මත

කඳුළු බිඳු රැඳෙයි 

ඔබ ආදරේ කියා දුන්නෙත් 

ඒ වගේ තමයි 

මේ රැයයි සඳයි හරියට 

ඒ ඔබයි මමයි 

හීනයක් වගෙයි මගෙ හිත 

පාරවයි රිදෙයි  ” 

ධීර උන්නේ ඈත සිට බිඳී එන මුහුදු රළ දෙස බලා ගෙනය. ඒ බැල්මේ කොනකට හසු වූයේ බැම්ම මත වාඩි වී සිටින තරුණියකි. පාන්දර එකත් පසුවී ගෙන යන වේලාවක ගෝල්ෆේස් පිටියේ මුහුද අද්දර තරුණියක වාඩි වී ගෙන සිටීම පිළිබඳ මොකද්දෝ අමුතු හැඟීමක් ධීරගේ සිතේ වෙලෙන්නට විය.

” උඹලා දැක්කද අරක ? ” 

ධීර අත දිගු කර පෙන්වූයේ තරුණිය වාඩි වී සිටින දිශාව ය.ඒ අනුව සියල්ලෝම ඒ දෙස බැලූ අතර මිතුරන් පිරිස තවත් අඩි කිහිපයක් එහායින් වූ බංකුව වෙතට ඇදුනේ එසැණිනි. 

තරුණිය උන්නේ මුහුද දෙස බලාගෙනය. 

” මෝහිණීද බං ? ” 

ආයුශ් ඇසුවේ සිනාසෙමිනි. 

” ඒ නංගී ” 

හශාන් ඈතට ඇසෙන සේ කෑගැසුවේ මුහුදේ රළ බිඳෙන හඬ පරදවමිනි. හශාන් තෙවරක් පමණ කෑ ගැසූ පසුව තරුණිය හැරී බැලූ අතර ධීර සහ ආයුශ් පුදුමයෙනුත් පුදුමයට පත් වූයේ ඉන් පසුවය.

තාදී උන්නේ වෙන කල්පනාවකය. ජීවිතය පිළිබඳව දැනෙන තනිකම හැම රෑකදීම මේ අයුරින්ම සිතට වදදෙන විට ඇය හුරුව උන්නේ ගෝල්ෆේස් වෙත පැමිණ මහ මුහුද දෙස බලාගෙන මද වේලාවක් ගත කිරීමටය. තාදී හැරී බැලුවේ ඒ කල්පනා ලෝකය බිඳ දමමින් ඇසුණු හඬ දෙසට ය.

” ඒ පොඩ්ඩක් හිටපන්. මං ඒකිව දන්නවා ” 

එසේ කියූ ධීර මිතුරන්ගෙන් මිදී තාදී වෙත ගියේ කඩිමුඩියේය. ඒ නිසා ඇය කවුරුන් දැයි මිතුරන් පිරිසට විස්තර කිරීමට සිදු වූයේ ආයුශ් ට ය.

” ඔයා ? මේ වෙලාවේ ? ” 

ධීර බැම්ම මත වාඩි වූයේ තාදීට අඩියක් පමණ ඈතිනි.

” ඇයි ? ” 

” මේ වෙලාවේ තනියම ගෝල්ෆේස් එකේ ගෑණු ළමයෙක් ඉන්නවා මම දැක්කමයි . ඒකයි ” 

” ඉතින් ගෑණු ළමයින්ට එන්න හොඳ නැද්ද ගෝල්ෆේස් එකට ? ” 

” එන්න පුළුවන්. ඒත් මේ වෙලාවේ එන එක එච්චර හොඳ නෑ නේ ” 

” ඕගොල්ලෝ වගේ කොල්ලෝ , කෙල්ලන්ට විහිළු කරන හින්දද ?” 

ධීරට සිනා පහල වූයෙත් තාදී ඒ සිනාවට එකතු වූයේත් එවර ය.

” මම නම් නිතරම මෙතනට එනවා. දැන් ඔයාලා මොනාද මේ වෙලාවේ මෙහෙ කරන්නේ ? ” 

” අපේ ගෙදර පොඩි පාටියක් තිබ්බා. ඒක ඉවර වෙලා පොඩි වටයක් දාන්න අපි මේ පැත්තට ආවෙ ” 

ධීර පිළිතුරු දුන්නේය. හවස ඔහු මිළදී ගත් මත්පැන් බෝතල් කිහිපය තාදී ට සිහි වූයේ ඒවදන් ඇසූ පසුවය.

” ඇත්තටම කිව්වොත් පෙරේදා මගේ birthday එක ” 

ධීර ආයේම පැවසූයේ තාදීගේ නිහඬ බව නිසාය. 

” අනේ.. Happy belated birthday “

ඈතින් ඇසෙන මිතුරන්ගේ ගීත හඬ අතරේ තාදීගේ සුබ පැතුම ධීර ට ගෙන ආවේ වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ හැඟීමකි. 

ධීර ගෙදර යන අතරමඟදීත් කල්පනා කළේ තාදී ගැනය. මිතුරන් සිටි නිසා ඇයගේ විස්තර අසා දැන ගැනීමට නොහැකි වීම ගැන ඔහු ළත වෙමින් උන්නේය. ඇය නිතර මේ ආකාරයට ගෝල් ෆේස් වෙත පැමිණෙන බව කියූ නිසා නැවත දිනයක ඇය හමුවීම සඳහා තනිව පැමිණීමට ධීර සිතා ගත්තේ ඉන් අනතුරුවය. 

තාදී නුගේගොඩ පිහිටි ” Clothez ” වෙත පැමිණියේ උදෑසන 8.30  වීමටත් පෙර ය. විවිධ විලාසිතා වලින් ඇඳුම් සිය ගණනක් මසා නිමකර ඇති මේ ව්‍යාපාරය මෙලෙස ගොඩනැගීම සඳහා වෙහෙස වූ ආකාරය දන්නේ තමා පමණමය යැයි සිතමින් ඇය දිග හුස්මක් ගෙන අවට සිසාරා බැල්මක් හෙලුවාය. සේවිකාවන් හතර දෙනෙකුගේ යුතු ව්‍යාපාරයෙන් මේ වන විට සැලකිය යුතු ආදායමක් ලබන නිසා තාදී ට ආර්ථිකමය වශයෙන් කිසිදු අඩුපාඩුවක් තිබුණේ නැත. එහෙත් තමාගේම කියා කෙනෙක් නැති අඩුව පමණක් සෑම දවස අවසානයේදී ඇය විඳිමින් උන්නාය. 

” ගයාත්‍රී , අද මොනවද කෙල්ලෙ බාර දෙන්න තියෙන ඇඳුම් ? ” 

සෑම දිනකම උදෑසනදී තාදී මේ පැනය ගයාත්‍රි ගෙන් අසන්නේ භාර දීමට තිබෙන ඇඳුම් කල් තියාම සියල්ල සූදානම් කර තැබීම පහසු නිසාවෙනි. තාදී Clothez හී වගකීම් බොහෝමයක් බාර දී ඇත්තේ ගයාත්‍රීට වන අතර විටෙක ඇය සේවිකාවකටත් වඩා තාදීට හොඳ මිතුරියක් ද වූවා ය.

” අර බ්‍රයිඩ්ස්මේඩ් ලා හතර දෙනාගේ dresses ටික තියෙනවා. එයාලා අද ෆිටෝන් කරන්න එනවා කිව්වා. අ.. සාරි ජැකට් එකක් තියෙනවා මිසිස් ගජනායක කියලා කෙනෙක්ගේ. ” 

ගයාත්‍රී සටහන් පොත අතේ තබාගෙන ඒ දෙස බලමින් පිළිතුරු දුන් අතර තාදී මොහොතක් කල්පනාවේ නියැළී උන්නාය.

” මිසිස් ගජනායක කිව්වේ අර ප්‍රාඩෝ එකෙන් ආපු රිච් ලුක් එකක් තියෙන ලේඩි නේද ?” 

” ඔව් මිස් , එයා තමයි ” 

ගයාත්‍රී එසේ කියා අවසන් කරනවාත් සමගම Clothez හී ඉදිරිපිට නතර කළේ ජයමිණි රැගත් ප්‍රාඩෝ රථය යි. රියදුරා වාහනයෙන් බැස පිටුපස දොර විවෘත කර ජයමිණි ඉන් බසින තෙක් පසෙකට වී සිටියේ ය.

” මේ මනුස්සයා නම් මැරෙන්නේ නෑ. ජැකට් එක ලෑස්ති කරන්න ගයාත්‍රී ෆිටෝන් එකට ” 

මසා නිමකළ සාරි ජැකට් එක තමා බලාපොරොත්තු වූවාටත් වඩා ඉතා හොඳින් මසා නිමකර තිබූ හෙයින් ජයමිණි සිටියේ සතුටින් ඉපිලීය.

” අනේ දරුවෝ මට ඔයාව කලින් හම්බවුණේ නැහැනේ. බලන්නකෝ ඇඟට තිබ්බා වගේ මහලා. ඔයා දන්නවද කලින් මම තැන් කීයකට ගියාද කියලා හරි හමන් විදිහකට ජැකට් එකක් මහගන්න ” 

ජයමිණි කීවේ සුපුරුදු නිවුණු හඬිනි. මෙවැනි වදන් තාදී ට නුපුරුදු නොවන නමුත් ජයමිණිගේ හඬෙහි තැවරී තිබුණු ආදරණීය බව සහ නිවුණු බව තාදී ට සිහි ගැන්වූයේ මවකගේ ආදරයයි.

” කවුද මේක මැහුවේ ඔයාද ? ” 

ජයමිණි ඇසුවේ තාදී ගෙනි. අත් උදව් දීම සඳහා සේවිකාවන් සිටියද සියලුම මැසීම් කටයුතු සිදුවන්නේ තාදීගේම අතිනි. ඒ නිසා ඇය ජයමිණි ට සිනාවක් සහිතව හිස වනා ” ඔව් ” යැයි කීවා ය.

” අනේ ඇස් වහක් වදින්න එපා දරුවෝ ඔයාගේ අත් දෙකට. මටත් ඔයාගේ වයසේ විතර දරුවෙක් ඉන්නේ. හරි ලෝභ හිතනවා ඔයා වගේ දක්ෂ ළමයෙක් දැක්කම ” 

ජයමිණි කීවේ තාදී ගේ අත් දෙක අල්ලා ගනිමිනි. ඒ ස්පර්ශයේ ගැබ් වූ උණුසුම් බව තැන්පත් වූයේ තාදී ගේ හදවත පතුලේම ය. 

ජයමිණි පිටව යනවාත් සමඟ තවත් කිහිප දෙනකු පැමිණියෙන් තාදී ට ඇය පිළිබඳව කල්පනා කිරීමට වේලාවක් නොවීය.

” අර ලේඩි ඇඳුම් මහන්නෙත් මෙහෙන්ද ? “

Clothez වෙත පැමිණි කාන්තාවක් ජයමිණි යන මග පෙන්වා ඇසූයේ අමුතුම ආකාරයකිනි. ගයාත්‍රි කිසිවක් නොකියා තාදී ගේ මුහුණ බලා සිටියේ ඇය පිළිතුරක් දෙනතුරුය. නමුත් තාදී බලා සිටියේ ඒ කාන්තාව තවත් යමක් කියන තුරුය.

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here