මේ ඒ වසන්තයයි – 33

0
3198

 නුරාන් ඉසිනිගේ මෝටර් රිය පසුපසින්ම ගමන් කර ඇය නිවස අසලින්ම ඇරලුවේය. ඕ නිවසට ඇතුලුවී දොර වසාගෙන ඇමතුමක් දෙන තුරුම උන්නේය.

” ඔහොම ලයින් එකේ ඉඳගෙනම යන්න නුරාන්.. මගේ හිතට බයයි ..”

ඕ පැවසුවේ එපමනකි. නුරාන් බ්ලූටූත් රැඳවුම සක්‍රීය කරගත්තේය.

” දොර ලොක් කරගත්තාද ?..”

” ඔව් …”

” ඔහොම තනියෙන් තමුසේව තියලා, මට ගෙදර යන්න හිතෙන්නේ නැහැ තාරා…”

නුරාන්  කැබ් රිය පණ ගන්වන්නේ නැතිවම කීවේය. සැබැවින්ම හැම තත්පරයක්ම ලෝබ කමින් දැනෙන කාලය උදාවෙමින් ඇත.

” මං පරෙස්සමින් ඉන්නවානේ .. අනේ දැන් යන්නකෝ …”

ඉසිනි ජනේල තිර රෙද්ද පසෙකට කරමින්, ඇඟිලි තුඩු වලින් ඉස්සී බලමින් කීවාය. නුරාන් කැබ් රියේ විදුලි පහන් මාරුවෙන් මාරුවට දල්වා අවසානයේ පිටත් වූයේය.

” කාලා නිදාගන්න තේරුනාද ?..”

නුරාන් කතාව මඟදී අවධාරණය කලේය. ඉසිනි පෙරලා ඔහුටද එලෙසින්ම කීවාය. ඉසිනි උන්නේ අප්‍රමාණ සැනසීමක් එක්කය.

පැහැසරා ධනුක පවසන්නේ කුමක්දැයි විශ්වාස කරගන්නට නොහැකිව මෙන් බලා උන්නාය.

ඉන් පසුව යලි යලි එකම දේ විමසුවාය.

“ඒඩී මිස් කවුරු කියලාද ඔයා කියන්නේ ?…”

” “ඒඩී මිස් කවුරු කියලාද ඔයා කියන්නේ ධනුක ?…”

” ඔයා කියන්නේ ඒඩී මිස් කවුරු කියලාද අනේ ?..”

ධනුක ඇය නිහඬ වන තුරුම ඉවත බලා උන්නේය. ඉන් පසුව ඇය දෙස බැලුවේය.

” ඔයා කවදාවත් නොදැක්ක, ඔයා ජීවිතේ වැඩියෙන්ම වෛර කරපු, මල්ලිගේ ජීවිතේ අපායක් කරලා ගියපු ගෑණි තමයි සරා,  ඉසිනි නයනතාරා සෙල්ලනායක කියන්නේ… මට ඒ නම කවදාවත් අමතක වෙන්නේ නෑ…”

” ඉතින් …. මෙච්චර කල් … ඔයා ?.. ධනුක ..මට ඇත්තම කියන්න .. මොකද්ද මේ වෙන්නේ ?..”

පැහැසරා උන්නේ තම හිස මත පුපුරා ගිය බෝම්බය කුමක්දැයි සිතා ගන්නට නොහැකිවය. ඒඩී මිස් සහ නුරාධ්‍යා අතරේ වන සමීප හිතවත්කම ධනුකගේ ඇස් වල කටු අනින්නාක් මෙන් වූයේ ඇයිදැයි ඇයට එක්වරම සිහියට ආවේය. තමාට ඇය හඳුනාගන්නට කෙලෙසකින්වත් නොහැකි වීම ගැන පැහැසරා විස්සෝප වූවාය.

” කන්නත් උයං ගිහින් දුන්නා මම ඔය ගෑණිට …”

” කන්න බොන්න දුන්න එව්වා කියවන්නෙපා සරා .. එව්වා අමතක කරලා දාන්නකෝ .. දැන් ප්‍රශ්නේ ඒක නෙවි නේ … නුරාන් ඉතා තදට ඒඩී මිස් පස්සෙන් වැටිලා ඉන්නේ.. අද උදේ ඔෆිස් එකට ඇවිල්ලා ගියා … ඒ මදිවට හවස දෙන්නා මුණ ගැහිලා තියෙනවා…”

ධනුක වඩා සුවපහසු වෙමින් කීවේය. දැන් අපහසුම නිරාවරණය කිරීම අවසන් ය. පැහැසරා සමඟ එක්ව විසඳුමක් සොයා ගැනීම පමනක් ඉතුරුය.

” මං ඒඩී මිස්ට කතා කරන්නම් ධනුක .. මම පෑහැදිලි කරන්නම්,  අපි පවුලේ කවුරුත් මේකට කැමති නෑ කියලා.. ඒ අකමැති වෙන්න හේතුව ඒඩීමිස් ඩිවෝස් වෙලා ඉන්න කෙනෙක් නෙවෙන බවත්, මල්ලිට කරපු බලු වැඩේ අපිට අමතක කරන්න බැරි හින්දා බවත් මම කියන්නම් .. හෙටම මම හමුවෙන්නම්.. එක්කෝ දැන්ම කෝල් කරන්නම් මම …”

පැහැසරා එලෙසින් පවසද්දී ඕ සතුව වූ විශ්වාසය ධනුකගේ ඊළඟ වචන කිහිපය සමඟ බිඳී ගියේය.

” ඔය ඔක්කොම කතා එක්ක, බොහොම හිතවත්ව, ගෞරවාන්විතව මම දෙපාරක්ම පැහැදිලි කරා එයාට අප්පා …. එවෙලෙට හොර බැලලියෙක් වගේ අහගෙන ඉන්නවා .. ඊට පස්සේ ඒ ඔක්කොම මතකවත් නැති ගානට නේ අර මල්ලි එක්ක රවුම් ගහන්නේ ..”

වැඩිමහල් මිනිස්සුන්ගෙ ජීවිත වල පාලනය පවුල් සංස්තා, මිතුරු කව වල බලපෑමෙන් මිදීම විය යුතු දෙයකි. ඔවුන්ගේ සෙවනැලි වැදගත් වුවද, ජීවිත වල තීරණ වෙනුවෙන් බලපෑම් කිරීමට එක් වීමෙන් යහපතක් වන්නේ නැත.

” ඔයා අම්මලට කිව්වේ නෑනේ ?..”

” නෑ …”

” දැන්ම කියන්න එපා …”

” හ්ම්ම්ම්..”

” අද මල්ලි ආවම මේක කතා කරමු .. මං මතක් කරලා කියන්නම් ඔක්කොම ..”

” ඌටත් කිව්වා සරා මම .. ඌ ගෝනිබිල්ලා වගේ.. හිතේ තියෙන දේවත් පේන්න නොදෙන්න පරෙස්සම් වෙනවා ….”

ධනුකගේ හඬෙහි වූයේ පරාජිත බවකි. තම ලෙය කකියන්නේ මේ සා ප්‍රාමාණික බවකින් යැයි ධනුකට පවසන්නට නොහැක. එහෙත් ඉසිනි විනාශ කර දැමුයේ තම සහෝදරයාගේ ජීවිතයේ වටිනාකම් දැන් වඩා බරින් ධනුකට දැන්එන්නේය. ඇතැම් විට නුරාන් උමතුවී, රෝහල් සයනයක බැඳ දමා තබන්නට වේයැයි තමා බියෙන් උන් දවස් තිබූ බව ධනුක සිහි කලේය.  නුරාන් සිය දිවි නසා ගනීවියැයි බියෙන් උන් දවස් වල වූ ඳුරු ගතිය ධනුකා සිහි විය.

” එක්කෝ .. මේ ඔක්කොම පැත්තකට කරලා, කසාදයක් කරලා දීලා මූ මෙහෙන් යවන්න ඕනි ….”

” අර වත්සලා එක්ක මෙයාගේ ඇයි හොඳයියක් ඇති කියලා මම හිතුවේ ධනුක .. ඒ කෙල්ල සර්, සර් ගගා මෙයා පස්සෙන්ම නේ …”

” තියෙන්න ඇති … ඒත් දැන් තවදුරටත් එහෙම දෙයක් නැති බව  නම් දන්නවා.. අර ගෑණි තනිකරම මායාකාරියෙක් වගේ මල්ලිව වහගෙන …”

” ඒත් වත්සලාට වඩා මල්ලිට ගැලපෙන කෙල්ලෙක් හොයාලා දෙන්න පුලුවන් ධනුක … “

” ඔය මොක කරත්, අපි බලෙන් කොහොමද ඉස්සරහට දේවල් කරන්නේ සරා .. ඌ දැන් බබෙක් නෙවෙයිනේ …”

දෙදෙනා රාත්‍රී ආහාරය ගත්තේද නැත. නුරාන් කාමරයට රිංගාගෙන මද වේලාවකින් දෙදෙනාද කාමරය වෙත ඇවිද ගියේ නුරාධ්‍යා මවට බාර කරමිනි. දොර අඩවන්ව තිබූ නිසා ධනුක තට්ටුවක් දාගෙනම ඇතුලු වූයේය. නුරාන් උන්නේ යහන මත හරස් අතට වැටීගෙන ජංගම දුරකතනයේ යමක් බලමිනි.

” අප්පා … ඉහල උසාවියත් ඇවිල්ලා …”

සවස අවන්හලේදී අයියාගේ මිතුරා තමා දුටුවාට පසු, මෙවැනි කඩා පැනීමක් අනිවාර්‍යෙන්ම අද සිදු වන බව නුරාන් දැනගත්තේය. තමාටද අවැසි එයම නිසා ඔහු එයට සූදානමින් , කල් නොඇර නිවසට ආවේය.

නුරාන් යහන මත හිඳගත්තේය. පැහැසරා සහ ධනුක අසුන් දෙකක හිඳගත්තෝය.

” මොකෝ අක්කේ මූණ දෙක කරගෙන ?..”

නුරාන් කිසිවක් නොදන්නා සේ විමසුවේය.

” ඒක මම ඔයාගෙන් නේ අහන්න ඕනි මල්ලී.. ඇයි මගේ මූණ දෙක වෙන වැඩ කරන්නේ කියලා….”

පැහැසරා කඩා පැන්නාය. ගින්න ඇවිලී අවසන් බව නුරාන් තහවුරු කරගත්තේය.

” හරි ඉතින් .. ඇයි මේ කලබල .. හෙමින් කතා කරගමු .. මොකද්ද අවුල ?.. කොහොමටත් මටත් ඔය දෙන්නා එක්ක කතා කරන්න විශේෂ දෙයක් තියෙනවා.. මෙහෙම සෙට් වුන එක හොඳයි …”

නුරාන් තමාද උන්නේ සූදානමින් බව අඟවමින් කීවේය.

” කියන්න ඕනි නෑ.. කියන්න යන්නේ මොකක්ද කියලා අපි දන්නවා මල්ලි ..හැබැයි මේකත් මතක තියාගන්න ඔයා…. ඔය කියන්න යන කතාවට අයියාවත්, මමවත්, අම්මාවත්, තාත්තාවත් එක දශමයක් කැමති නෑ.. අපේ ආශිර්වාදෙකුත් නෑ… මම නම් පැත්ත බලන්නේ නෑ ඔය ගෑණිගේ….”

පැහැසරා දැඩිවෙමින් පවසද්දී නුරාන් ගැඹුරු සුසුමක් හෙලා සටනට සූදානම් වූයේය. 

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here