පතිදම්වැල් 31

දුලන්‍යාගේ ක්ලාස් ටීච මිස් උශාලි තමයි ඇත්තටම මුලින්ම මේ බව තේරුම් අරගෙන තිබුනෙ, විච් ඊස්  ගුඩ් තින්ග්, අපි ඒකයි හිතුවෙ මිස්ට කුලරත්න මේ ගැන මිස්ට කුලරත්න එක්ක කතාකරන්න ඕන කියල.

අපි සාමාන්‍යයෙන් මොන දරුවෙක් උනත් මේ වගේ වෙනස් හැසිරීමක් පෙන්නද්දි ඒක ගැන කනිස්ඩර් කරනව. මිස්ට කුලරත්න දන්නව ඇතිනෙ අපේ ප්‍රී ස්කූල් ඕව්නර් චයිල්ඩ් සයිකොලොගිස්ට් කෙනෙක්. ඉතින් මැඩම් හරිම කන්සර් පොඩි දරුවො මේ වගේ ප්‍රශ්න වලට මූණ දෙද්දි.

මිස්ට කුලරත්න කැමතිනම් විතරක් අපිත් එක්ක ප්‍රශ්නෙ බෙදාගන්න. එහෙම නොකල කියල අපේ ඉශූ එකක් නෑ. ඒත් දරුවා ගැන ටිකක් අවධානයෙන් හිටිය නම් හොඳයි. මොකද මේ වගේ ඒජ් එකකදි දරුවෙක්ගේ ඔලුවට යන දේවල් මුලු ලයිෆ් එක පුරාම දිගටම තියෙන්න පුලුවන් නිසා”

ලොකු මැඩම් ගේ වදන් අසමින් තම අසුනට නුදුරු අසුනක වාඩි වී හිඳින දුලන්‍යාගේ තාත්තාගේ දෙනෙත ලැජ්ජාවෙනුත් වේදනාවෙනුත් බිමට බර වී තිබෙන බව දුටු උශාලිට තම හදවත ඇතුලින් දරාගත නොහැකි අන්දමේ යම් කිසි හැඟීමක් හෝස් ගා එළියට මතුවෙනු තේරුනි.

ඔහුව බදා වැලඳගන්න, ලැජ්ජා නොවන්නයි පවසන වදන් හිත ඇතුලතින් උතුර උතුරා ආවාට ඒවා කිසිම දිනක වචන බවට පත් කල හැඟීම් නොවේ.

එහෙත් ඒ හැඟීම් එළියට පිටවීම වලක්වා ගන්නට අසීරු උත්සාහයක නිරත වී හුන් උශාලිට තම් ඇස්වලට කඳුලු බිංදු පිරෙණු දැනුනි.

“මගෙයි වයිෆ්ගෙයි අතරෙ පොඩි ප්‍රශ්න කීපයක් වෙලා එයා මේ දවස්වල ගෙදරින් ගිහිල්ලා ඉන්නේ මැඩම්. දුව ඒක ගැන ටිකක් දුකෙන් ඉන්නෙ. ගෙදරදි මම එහෙම ලොකුවට වෙනසක් දැක්කෙ නැහැ මොකද ගොඩක් වෙලාවට මම ගෙදර එද්දි රෑ වෙනවනෙ වීක් ඩේස් වල. වීකෙන්ඩ්ස් වල උනත් නිතරම අපි පාලුව නැති කරන්න හිතල සෙල්ලම් එහෙම කරනව.

ඉඳල හිටල අම්මා ගැන අහනව උනත් මේ තරම් ලොකුවට එයාගෙ හිතට මේ ප්‍රශ්නය ඇතුලුවෙලා කියල ඇත්තටම මට තේරුනේ නෑ”

ඒ වූ කලී තමා ඇසු දුක්බරම පාපොච්චාරණය බව උශාලිට පැහැදිලිය. පිරිමියෙකු මෙතරම් සංවේදී විය හැකිද යන්න ගැන උශාලිට අත්දැකීම් තිබුනේම නැති තරම් ය.

“අපිට තේරෙනව මිස්ට කුලරත්න ඉන්න ගැටලුව. බට් ඕනම ප්‍රශ්නෙකට උත්තරයක් තියෙනවනෙ. හැමදේටම වඩා වැදගත් වෙන්නෙ දරුවගෙ මෙන්ටලිටි එක ස්ටේබල් විදියට තියාගන්න නෙ. ඉතින් අපිත් ප්‍රාර්තනා කරනවා ඒ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න මිස්ට කකුලරත්නට පුලුවන් වෙන්න කියල. අපිට ඒ වෙනුව්නෙ උදව්වක් කරන්න පුලුවන් නම් ඒ ගැන අපිව දැනුවත් කරන්න”

කතා බහ අවසානයේ විදුහල්පතිනියට හිස නමා දුලන්‍යාගේ තාත්තා කාමරෙය්න් පිටව යද්දි උශාලිද ඔහු පසුපස ආවේ පෙර පාසල අවසන් බැවින් දුලන්‍යාව ක්‍රීඩා කාමරයේ තබා මේ කතා බහට ආ නිසාවෙනි.

ඇගේ පියාව ඇය ළඟට ඇරලව නිවසට යාම උශාලිගෙ අදහස විය.

අඩි හයකට වඩා උස ඔහු කොරිඩෝව දිගේ ගමන් කරන්නේ හිස බිමට නැඹුරු කරගෙන බර කල්පනාවක එල්ලීය. ඔහු පිටුපසින් ඇවිද යන තමා ඔහුට වඩා ඉතාම මිටි බවත් කුඩා බවත් යන සිතුවිල්ල උශාලිගේ සිත අස්සට රිංගුවේ “ඔහු ගැන යලිත් සිතන්නේ නැතැයි” යන සිතුවිල්ල සහමුලින්ම බිඳ දමමිනි.

එළියේ මද වැස්සක් වැටෙන අතර අව්වද සහමුලින්ම වියැකී ගොසින් නැත. ඉතින් තමත් ඔහුත් හමුවන හැම දිනකම වැස්ස වහින බවට අමුතුවෙන් තේරුම් ගැනීම් උශාලිට දැන් අවශ්‍ය නැත. තමාත් ඔහුත් හමුවන හැම දිනකම පාහේ මල් වැසි වැසීම දැන් නියතයක් බඳු ය.

“අයෑම් සොරි”

කිසිත් හේතුවක් නැතුව ඇවිද යමින් උන් ගමන අඩාල කර ඔහු එසේ පැවසුවේ ඇයිද යන කුතුහලය උශාලිගේ දෑස මත ඇඳී තිබුණ. අනුපද ඒ බව නොදුටුවා නොවේ. ඉතින් දෑසින් අසන පැනයට පිළිතුරු දෙන්නට පමා විය යුතු නැත.

“ඔයාලට දුලන්‍යාගෙන් ටිකක් කරදරයි නේද?”

“අනේ නෑ, එහෙම කිසිම කරදරයක් නෑ. මම ආදරෙයි මේ දරුවන්ට මගෙ බබෙක්ට තරම්ම. අනික එයාලා තාම පුංචිනෙ. ඉතින් හිත ඉක්මනට රිද්ද ගන්නවා. අපි ඒකට ඉඩ නොතියන්නනෙ ඕන. ඒ නිසා කිසිම කරදරයක් නෑ”

“මම මේක අහන්නෙ ප්‍රින්සිපල් මැඩම් කිව්වට වඩා දෙයක් ඔයා මේ ඉන්සිඩන්ට් එක ගැන දන්න බව දන්න නිසා”

ඔහු අහන්න යන්නේ කුමක්දැයි ගැන නිනව්වක් උශාලිට නැත. අනෙක් අතට ඔහුට මේ සිද්ධිය පිළිබඳව තව දෙයක් අසන්නට තිබේදැයි යන සිතුවිල්ල පවා උශාලිට කුතුහලයකි. මෙතෙක් වේලා ඔහු පිටුපසින් නිහඬව කල ගමන ඔහු හා සමාන්තර ගමනකට පෙරලුනේ කතාබහ සමගිනි. ඉතින් ඒ සමාන්තර ගමන සිතට සතුටකි. ඔහු තමාට වඩා උසින් වැඩි වුවද නෙත් කොනින් බලන විට පෙනෙන ඔහුගේ මුහුණේ පැතිකඩ ඉතාම මනස්කාන්තය.

ඒ දසුන සිහිනයෙන් දකින් අඔහුගේ රූපයට වඩා ඉතාම සිත් ඇදගන්නාසූලුය. පිරිමියෙකුගේ මුහුණට එතරම්ම මනස්කාන්ත සුන්දරත්වයක් කැටිවුණු නිස්කලංක බවක් එකතු විය හැකිද යන්න උශාලි සිතෙන් ඇසුවාය.

උශාලි ඔහු දෙස නෙත් කොණින් බලා උන්නේත්, ඔහු නොසිතූ මොහොතක උශාලි දෙසට හැරී යමක් අසන්නට මුව විවර කලේත් අහම්බයකින් මෙනි.

එතෙක් වේලා ඔහු දෙසටම යොමුව තිබුන දෑස කලබල වී වෙනත් තැනක නතරවන්නට කරන කැළඹිල්ල ඔහු නුදුටුවානම් අපූරුය.

“ඇත්තටම බබා මොනවද කිව්වේ?”

ඒ පැනය ගැලවුම්කාරයෙකු වැනිය. මෙතෙක් වේලා කලබලව එහෙ මෙහෙ සරන්නට වූ දෑස ඔහුගේ මුහුන මත එක් අරමුණක තබා පිළිතුරක් සොයාගන්නට ඒ පැනය විසින් දුන් වේලාව ගැන උශාලිට දැනුනේ අස්වැසිල්ලකි. එහෙත් තමාගෙන් පිලිතුරක් බලාපොරොත්තු නොවීම ඔහු කතා බහ දිගු කරන්නට සිතා ඇත.

“ගෙදරදි ඇත්තටම වීක් ඩේ එකක නම් මම ගොඩක් වෙලාවට එද්දි හවස හයහමාර විතර වෙන නිසා දුලා අපේ අම්මයි තාත්තයි එක්ක තමයි ඉන්නෙ. ඒ දෙන්නට නම් එහෙම ලොකු වෙනසක් තේරිලා තිබුනෙ නැ. කොටින්ම මටත් එහෙම වෙනසක් තේරුනේ නෑ. සමහරවිට ඒ ටීචට තරම් අපිට එයා එක්ක ඉන්න ලැබිල තියෙන වෙලාව අඩු නිසා වෙන්නැති.

ඒත් මට හිතාගන්න බැරිඋනා මැඩම් කතා කරල කිව්වම මෙහෙම දෙයක් වෙලා කියල. මම ඇත්තටම හිතුවෙ දුලා පොඩි නිසා එයාට මේ ප්‍රශ්න ගැන ඒතරම් දුරට තේරුමක් නැතුව ඇති කියලා”

“දවස් කීපෙක ඉඳල දුලන්‍යා ටිකක් සයිලන්ට් කියල මට තේරුනා. ඒත් මම හිතුවෙ නෑ ගෙදර ප්‍රශ්නයක් නිසා වෙන්නැති කියල.

දවස් කීපෙකට කලින් ක්ලාස් රූම් එකේදි ඇක්ටිවිටි එකකට අපි ඩ්‍රෝවින් කරද්දි මම කිව්ව මයි ෆැමිලි අඳින්න කියල. එයා ඇඳල තිබුනෙ චිත්‍රෙ අම්මා හිටියේ ඈතින්. බෑග් එකකුත් අතේ තියාගෙන  ඉඳපු එයා කවුද කියල ඇහුවම තමයි දුලන්‍යා කිව්වෙ ඒ අම්මා කියල. ඊටපස්සෙ එයා එකපාර අඬන්න පටන් ගත්ත. මම ඇයි කියල ඇහුවම තමයි දුලන්‍යා ඉඳන් කිව්වෙ අම්මා ගමන්ක් ගිහින්, අම්මා ආයෙ එන්නෙ නෑ කියල එයාට බයයි කියල”

ළමා වියේ සුවපහසු ලෝකය තුළ, අපි නිවස ලෙස හඳුන්වන ස්ථානය ශීත ඍතුවේ දී සිනිඳු බ්ලැන්කට්ටුවක් මෙන් උණුසුම් හා ආදරණීය නවාතැනක් විය යුතුය. නමුත් සමහර දරුවන්ට එය සැමවිටම එසේ නොවේ. අඳුරු වලාකුළු හිරු අහස ආවරණය කරනවා සේම ඔවුන් නිවසේ දී විවිධාකාර අන්දමේ ගැටලුවලට මුහුණ දෙති.

නිවසේ ඇති වන ගැටලු නිසා දරුවන්ට දුකක්, ව්‍යාකූලත්වයක් සහ කනස්සල්ලක් ඇති විය හැක. එය නැතිවූ කොටස් සහිත විශාල ප්‍රහේලිකාවක් වැනිය.

ඒ ගැටුම් සහගත තත්ත්වයන් ළඟඳී සිත පිළිසඳ ගන්නා ඇතැම් මනෝභාවයන් ඔවුන් වැඩිවිය පත්ව සමාජයට වැඩිහිටියන් ලෙස පැමිණෙන විට පවා ඔවුන් හැරදමා නොගොසින් සිත අභ්‍යන්තරයේ සිර වී තිබෙන්නට ඇති ඉඩකඩ වැඩිය.

අනුප උන්නේ නිහඬවය. එහෙත් සිත ඇතුළතින් ඔහු බොහෝ දේ සිතන බව උශාලි දැනහුන්නාය. සෙමෙන් සෙමෙන් ඇඉද ගොසින් ක්‍රීඩා කාමරය අසල නතර වුණු පියවර හඬට බිල්ඩින් බ්ලොක්ස් වලින් සෙල්ලම් කරමින් උන් කුඩා දුලන්‍යා හැරී බලා විසල් සිනාවක් නැංවුයේ තාත්තා දුටු නිසාවෙනි.

දුලාට තාත්තලා යනු මහමෙරක් තරම් වටින චරිතය.

දුලන්‍යා කෙටි පියවර තබා දුව විත් තාත්තාගේ දෙපා බදාගත්තේ ඇය දෙසම බලා හුන් උශාලි වෙතට ලැජ්ජාසහගත සිනාවන් එවමිනි.

“ඇත්තද මේ ටීච කියන්නේ ඔයා නෝටි කියලා?”

ඔහු අසන්නේ හුරතලයෙනි. උශාලිට මතක් වන්නේ තමාගේ තාත්තාය. කුඩා අවදියේදී ලංකාවේ සේවය කරන කාලයේ නිවාඩු දිනයක්න් හිදී තමාව පෙර පාසලෙන් රැගෙන යන්නට විත් වඩාගෙන එක් උරයක තම බෑගයද එල්ලාගෙන පයින්ම ගෙදර යන තාත්තාද මෙවන් හුරතල් කතා සමග බෙදාගත් හැටි උශාලිට මතකය.

එවන් වූ තවත් තාත්තා කෙනෙකු හැරයන්නට තරම් දුලන්‍යගේ මවට ඒ නිවස ඇතුලේදී මුහුණ දීමට සිදු වූ වේදනාත්මක සිදුවීම කුමක් විය හැකිද?

මතුපිටින් පෙනෙනවාට වඩා දුලන්‍යාගේ තාත්තා සැරපරුෂ පිරිමියෙකු වීම එයට හේතුව විය හැකිද යන පැනය ඉතින් සිතට නැගීම අහඹුවක්ද?

“නෝති නෑ”

“නෝටියි තමයි, නේද ටීචර්?”

දුලන්‍යාව වඩාගෙන ඇයගේ කම්මුල් මත හාදු තබමින් ඔහු තමාගෙන් අසන්නේ පෙර වූ වේදනාවේ අඳුරු වලාකුල සැඟවී ගිය ප්‍ර්‍රබෝධමත් මුහුණකිනි.

“නෝටි නෑ නේද? දුලන්‍යා ඊස් අ ගුඩ් ගර්ල්” උශාලි එසේ පැවසුවේ දුලන්‍යාගේ සියුමැලි අතක් සොලවමිනි.

“අපි යන්ද එහෙනම්, ම්ම්?”

වඩාගෙන හිඳින දුලන්‍යාගේ මුහුණ බලමින් ඔහු අසයි.

“ඉස්තෝබෙලි කමු?” මුහුණ පැත්තකට ඇල කර දුලන්‍යා අසන විදියට උශාලිගේත් අනුපගේත් තොල් මත සිනාවේ සුන්දරම මල් පිපේ. ඇය එතරම්ම හුරුබුහුටිය. හුරතල්‍ ය. ආදරබරය.

“හොර කෙල්ල, නෝටිකම් ඔක්කොම ඉවරයි නේද ස්ට්‍රෝබෙරි කන්න ඕන උනාම. හරි හරි ස්ට්‍රෝබෙරි කන්න යන්කො. බෑග් එක කෝ”

“බාතිට බායි කියල එන්නම්”

වඩාගෙන ඉද්දී දුලන්‍යා බිමට බහින්නට දඟලන්නේ යන්නට පෙර තමාගේ යහලුවෙකුට සමුදෙන්නට ඕනෑයයි කියමිනි.

දුලන්‍යාට යන්නට හැර ඔහු බලාහුන්නේ සිනහව රැඳි මුවකුත් කුහුල රැඳි නෙතකුත් සමගය.

ඒ කුහුල අස්වසන්නට මෙන් “ඒ අපේ ක්ලාස් එකේ ඉන්න තව බබෙක්. එයාගෙ අම්මා එන්න තව ටිකක් ලේට් වෙන නිසා එයා අම්ම එනකම් ඉන්නවා”

“දැන් ගෙදරද යන්නේ?”

මෙතෙක් වේලා දුලන්‍යා ගිය මග බලා හුන් ඔහු දැන් තමා දෙස බලා හිඳී. ඒ සිනහවේත් දෙනෙතේත් ඇති කාන්තිය දරාගන්නට අපහසු තරම් ය. එහෙත් ඔහුගේ පැනයට පිලිතුරු නොදී ඉන්නට නොහැක.

“ඔව්”

“කොහොමද යන්නේ?”

“බස් එකේ”

“මහන්සි නැද්ද?”

“දැන් ඉතින් පුරුදුයි”

“ගෙදර යන්න පරක්කුද?”

හිස දෙපසට සොලවමින් නැත යැයි කියමින් “ඇයි එහෙම ඇහුවෙ?” කියා උශාලි ඇසුවේ දෑසිනි.

“ස්ට්‍රෝබෙරි කන්න යන්ද? ගෙවල් ළඟින් දාන්නම් ප්‍රොමිස්”

ඒ පොරොන්දුවේ වූ ආදරණීය බව මගහරින්නට බැරි අතහරින්නට බැරි සදාතනික ආදරයක් කැටි වූ හඬකින් ආ පොරොන්දුවකි.  

“කවුරුවත් දකීවි කියල බයද?”

ඒ හඬ මෙතෙක් වේලා දුලන්‍යා ගැන කතා කල හඬට වඩා කෙඳිරුම් හඬකි. ඒ හඬ අමතන්නේ සිත ඇතුළාන්තයටය.

තමා යනවා දකින්නට කෙනෙකු නැත.එහෙත් සිතට බියක් නැතුවාම නොවේ. මේ ළංවීම් අවසන දරාගන්නට බැරි වේදනාවක් විඳින්නට වේය යන බිය සිත ඔත්පල කරයි. ලබා ගැනීමක් අයිති කරගැනීමක් ගැන නොසිතා ආලය කරන්නැයි කීවද එය කල හැකි දෙයක් ද?

“ප්‍රශ්නයක් වෙයිද?”

“ඔයාටද මට?”

“මට නම් ප්‍රශ්නයක් නෑ”

ඔහු එයට පිලිතුර ලෙස මහා හුස්මක් හෙලුවේ ඇයිද කියා උශාලි නොදනී. එහෙත් එහි වූයේ බලාපොරොත්තු බිඳ වැටීමක් ලකුණුය.වේදනාවක නටඹුන් ය.

“මට තවත් වෙන්න ප්‍රශ්නයක් ඉතිරි වෙලා නෑ උශාලි, වෙන්න ඕන හැමදේම දැනටම වෙලා තියෙන්නේ”

ඒ ඇයිදැයි අසන්නට පෙර දුව ආ දුලන්‍යා නිසාවෙන් කතාබහ අතරමග නතර වුවද දුලන්‍යාගේ අතකින් අල්ලාගෙන වාහනයට ගොසින් නගින තුරුම උශාලි උන්නේ ඒ පැනය සිත තුලින් විමසමිනි. ඒ පැනය වතුර කඳකි. සිත පුලුන් ගොඩකි. ඉතින් සිත බර වීම පුදුමයක්ද? 

දුලන්‍යාගේ සොඳුරු කතාබස් ඔස්සේ ජාග්‍රෝ වෙත යනකම්ම උශාලිට වෙලාව ගතවෙනවා නොදැනුන තරම් ය. විහාරමහාදෙවි උද්‍යානය ඉදිරිපිට කොට්න් කලෙක්ශන්හි ජාග්‍රෝ ආයතනය ඇතුලට වාහනය දමා දුලන්‍යාටත් උශාලිට බැසිය හැකි ලෙස දොර විවර කලේ ඔහුය. “ඉස්තෝබෙලි ඉස්තෝබෙලි” කියමින් නටමින් හුන් දුලන්‍යාගේ හුරතලයට සිනාවෙමින් දොර අල්ලාගෙන බහින ඔහුගේ දෙනෙතට ඇලී උශාලි වාහනයෙන් බැස්සාය. ඔහුගේ ඇවතුම් පැවතුම් වල ඇත්තේ සිත් ඇදී යන ආලවන්ත කමකි. සිනහවේ ගෑවී ඇත්තේ ආදරයට ඇරයුම් කරන පෙනුමකි. එය ඔහුව සිප ගැනීමට පොළඹවන හැඟිමකි.

“මීට කලින් ඇවිත් තියෙනවද?”

“මෑ”

“ළඟනෙ ඉන්නෙ ඉතින්”

“එන්න කවුරුවත් නෑනෙ”

“තනියම එන්න බැරිද?”

“ලැජ්ජයි”

“එහෙනම් ඉතින් එන්න කවුරුහරි හොයාගමු?”

මද මුදු සිනහවක් හැර එයට කියන්නට දෙයක් උශාලිට නැත. එහෙත් මේ කතාබහට සිත ප්‍රියය. ඔහු තරම්ම සිතට ප්‍රියය. එසේ සොයාගන්නට කෙනෙකු උවමනා නැති බවත්, සිත සෙවූ කෙනා මුණ ගැසී ඇති බවත්, ඔහුව හිමිකර ගැනීම කල නොහැකි දෙයක් බවත් පවසන්නට තිබුනා නම් අපුරුය. එහෙත් හිමිකර ගන්නට නොහැකි අවසානයක් ඇති මේ කතාව නොපවසා හිඳීම හොඳය. 

බොහෝ ආදර කතාවන් මෙසේය. කියාගන්නට නොහැකි ආදර කතා මැද හිමිකරගන්නට බැරි බව දැන දැනම පාන ආල කතන්දර මොනතරම් නම් වේදනාකාරීද වග දන්නේ ඒ වේදනාවේ ගිලුණු මිනිසුන්ම පමණකි.

එහෙත් අවසානය කොතෙන් දුක්බර වුවද හිමිවන කුඩා මොහොතක වුවද ආදරයේ අරුමැසි සිහිලස විඳ නොගෙන ඉන්නට සිත ඉඩකඩක් නොදෙයි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles