සිහින අසපුව – 6 කොටස

ආරාධ්‍යා මොහොතක් විහාරා දෙස බලා සිටියාය. විහාරාගේ මුහුණින් පළවන්නේ මහත් වෙහෙසට පත් ස්වභාවයකැයි ඇයට සිතිණ. ආරාධ්‍යාගේ කොට්ටයක් මත හිස තබා ගත් විහාරා තවත් කොට්ටයක් තමා වෙත ඇද ගෙන එය තුරුලු කරගෙන දෑස් පියා ගත්තාය.

“මහන්සියි.”

තොල් වල සිදුවන චලනය අනුව ආරාධ්‍යා වටහා ගත්තා මිසක විහාරාගේ මුවින් වදන් පිට නොවීය.

“කොහේද ගියේ? කොහොමද ආවෙ? මොකක්ද සිද්ද වුනේ කියලා කියන්න නංගි.”

යහන මත හිඳ ගත් ආරාධ්‍යා විමසුවේ හද කකියන වේදනාවෙන් යුතුවය.

“වතුර එකක් දෙන්න… සීතල වතුර එකක්…”

දෑස් පියාගත්වනම විහාරා මිමිණුවාය.

“ගේන්නම්.”

ආරාධ්‍යා නැගිට කාමරයෙන් පිටව ගියාය. විහාරාට වතුර වීදුරුවක් රැගෙන යන්නට රංජනීට කිව යුතු නැතැයි ඇයට සිතිණ. විහාරා යහන මත වැතිර සිටින ස්වභාවය දුටුවේ නම් රංජනී ප්‍රශ්න වැලක්ම විමසනු ඇත. ශීතකරණය තුළින් වතුර බෝතලයක් පමණක් නොව රංජනී විසින් පිළියෙල කොට තබන ලද දොඩම් පානය සහිත බෝතලයක්ද රැගෙන නැවතත් සිය කාමරයට යන්නට සැරසෙද්දී රංජනී පැමිණියාය.

“මට කිව්වනම් මම ඔරේන්ජ් ජූස් එක ගේනවනේ බේබි.”

ඇය පැවසුවාය.

“රංජනී වැඩනෙ. කමක් නෑ. මම අරන් යන්නම්.”

“පොඩි බේබි ආවා නේද?”

එවර ඇය ඇසුවේ රහස් හඬිනි.

“හ්ම්…”

“මම කතා කළා. කතාවක් බහක් නැතිව උඩට දිව්වෙ. අනේ මන්දා. මේ දරුවට මොකක් වෙලාද කියලා. අහන්න බේබි. උදේ ඉඳලා ගියේ කොහෙද කියලා අහන්න.”

“මම අහන්නම්.”

එක් අතකින් වතුර බෝතලයත්, අනෙක් අතින් දොඩම් පානය සහිත බෝතලයත් රැගත් ආරාධ්‍යා පියගැට පෙළ නගින්නට වූයේ සිතිවිල්ලෙනි. උදෑසන නැවුම් රෝස මලක් මෙන් ප්‍රාණවත්ව හා සුන්දරව නිවසින් පිටව ගිය විහාරා මිලින වූ මලක් මෙන් නිවසට පැමිණෙන්නට හේතුව කුමක්දැයි ඇය කල්පනා කළාය.

ආරාධ්‍යා කාමරයට යනවිට විහාරා කොට්ටය තුරුලු කරගෙන කුඩා දැරියක මෙන් තද නින්දට වැටී සිටියාය. තම සිත බොහෝ විඩාපත්ව ඇති විටෙකදී ඇගේ කාමරයට නොගොස් තම යහන මත  ඇය වැතිර සිටින්නේ ඉන් ඇගේ සිතට සහනයක් අත් වන බැවින්ද? දහදිය වැකුණු ගතින් යුතුව ඇය තම යහන මත නිදා ගැනීම පිළිබඳව සිත තුළ බලවත් අකැමැත්තක් ඇතත් මේ මොහොතේ ඇය පිළිබඳව ඇති වන හද කකියන වේදනාව නිසා විහාරා පිළිබඳව අහිතක් සිතන්නට ඇගේ සිත ඇයට ඉඩ නොදුන්නේය.

“නංගි… චූටි….”

ආරාධ්‍යා, විහාරාගේ උරහිසින් අල්ලා සෙලවූවාය. සිහින් කෙඳිරියක් නැගූ ඇය නැවතත් නින්දට වැටුනාය.

“මෙන්න වතුර…”

කිහිප වරක්ම ඇසි පිය සැලූ විහාරා දෑස් හැරියාය. ඇගේ දෑස් වල ඇති විඩාපත් බව ආරාධ්‍යාගේ සිත තුළ ඇති කරන ලද්දේ දැඩි වේදනාවකි.

“ඉස්සරවෙලා වතුර බීලා ඉන්නකෝ.”

අප්‍රාණික ලෙසින් යහන මත හිඳ ගත් විහාරා වතුර බෝතලය මුව තබාගත්වනම අවසාන බිංදුව දක්වාම පානය කළාය. ඇය හැඳ සිටි ටීෂර්ට් එකේ ඉදිරිපස යන්තමින් ජලයෙන් තෙත් වී ඇති අයුරු ආරාධ්‍යා දුටුවාය. හිස් ප්ලාස්ටික් බෝතලය යහනෙහි පසෙකට විසි කළ විහාරා නැවතත් වැතිර කොට්ටය තුරුලු කර ගත්තාය.

“කොහෙද ගියේ?” යි ආරාධ්‍යා නැගූ පැනයට ඇගෙන් පිළිතුරක් නොලැබිණ.

“කියන්නකො. කොහෙද උදේ ඉඳලා ගියේ?”

“ගිහින් දැන් ඇවිල්ලත් ඉවරයි. කියලා පලක් නෑ අක්කෙ.”

“ඇයි?”

“අතීතය අතීතයට එක් වෙලා ඉවරයි.”

දෑස් පියාගත්වනම ඇය මිමිණුවාය.

“කොහොමද ආවෙ?”

“බස් එකේ. බස් එක කියන්නෙත් වෙනමම ලෝකයක්. මං කියන්නෙ…. බස් එක කියන්නෙත්  පොතක්… විවිධාකාර චරිත මහ ගොඩක් තියෙනවා. සංකීර්ණයි.”

විහාරා පවසන්නේ දෑස් පියාගෙනය. ඇය උමතු වී ඇත්දැයි ආරාධ්‍යාට බියක් දැනිණ.

“හොඳ ලමයා වගේ වොෂ් එකක් අරන් කාමරේට ගිහින් නිදාගන්නකො නංගි.”

“මං හොඳ ළමයෙක් නෙමෙයි.”

විහාරා දෑස් පියාගත්වනම මඳ සිනාවක් නැගුවාය.

“හිතුවක්කාර, දඩබ්බර, එපා කරපු කෙල්ලක්. හැබැයි එහෙම නොවෙන්න තිබුනා. සුහේල් හිටියනම්. සුහේල් අරගෙන ගිහින් තියෙන්නෙ මගේ අර ලස්සන හිත අක්කෙ… දඟකාර හිත.”

විහාරා පවසන්නේ දෑස් පියාගත්වනමය.

“සුහේල් කවදාක හරි ඒවි. බලාපොරොත්තු අත අරින්න එපා.”

“නෑ…”

විහාරා මඳ සිනා නැගුවාය.

“මගේ අන්තිම හුස්ම පොද යනකන්ම මම එයා එනතුරු බලාගෙන ඉන්නවා. මට හරි මහන්සියි අක්කෙ…”

“ඔරේන්ජ් ජූස්…?”

“තියන්න. තව ටිකකින් බොන්නම්.”

තවත් ප්‍රශ්න අසා ඇය වෙහෙස විය යුතු නැතැයි ආරාධ්‍යාට සිතිණ. ඇය විහාරා දෙස බලා සිටියාය. ස්වල්ප වේලාවකින් ගැඹුරු ලෙසින් හුස්ම ගනිමින් විහාරා නින්දට වැටුනාය.

                    *

සුහර්ෂා සූරියබණ්ඩාර පැමිණි ජීප් රථය නිවස ඉදිරිපස මිදුලේ නතර විය. රියදුරා දොර විවෘත කරන තුරු සෘජු කරගත් ගතින් යුතුව බලා සිටි ඇය ජීප් රථයෙන් බැස ගත්තේ ඔහුට චෝදනා කරමිනි.

“කැඳ බීලා වගේ වැඩ කරන්න එපා සෝමපාල. පිරිමියෙක් වුනාම පණ කඳ ඇතිව වැඩ කරන්න පුරුදු වෙනවා.”

පසුපස අසුන මත වූ සුහර්ෂාගේ අත් බෑගය අතට ගත් සෝමපාල ඇය දෙස බැලුවේ ප්‍රශ්ණාර්ථයක් දෙනෙත් වලට නගාගෙනය. තමා අතින් සිදු වූ වරද කුමක්දැයි ඔහුට සිතුණද එය ඇසීමට පවා බිය වූ ඔහු බිම බලාගත්තේය.

“මං බලාගෙන හිටියෙ. ළඳක් වගේ තමයි ඩ්‍රයිව් කරන්නෙත්. දොර අරින්නෙත්. ඔතෑනි මිනිස්සු මට පේන්න බෑ. මොකක්ද තමුන්ට ළඟකදි ඉඳලා වෙලා තියෙන්නෙ? ඩ්‍රයිව් කරන්නෙ කරත්තෙ දක්කනවා වගේනෙ.”

“මැඩම්මනෙ කියලා තියෙන්නෙ බීච් රෝඩ් එකේ ස්පීඩ් යන්න එපා කියලා.”

ඔහු ඇසෙන නෑසෙන හඬින් පැවසුවේය.

“හරි. බීච් රෝඩ් එක ගැන නෙමෙයි මං කියන්නෙ. අද මා එක්ක එම්බසි එකට ගියෙත් ඔහොම තමයි. කතා වැඩක් නෑ. යතුර තියලා යනවා.”

“හොඳමයි මැඩම්.”

රියදුරා හිස නැමුවේය.

“මොකද කට්ටිය මා ගැන කියන්නෙ?”

එවර ඇය ඇසුවේ සුහදශීලී ලෙසිනි.

“මට නම් ඇහිලා තියෙන්නෙ මැඩම් බොහොම හොඳ කෙනෙක් කියලා කියනවා විතරයි. ඇත්තටම මැඩම් මොන තරම්  නම් සේවයක්ද කරන්නෙ? දුර පළාත් වල ළමයි වුනත් මෙතන රස්සාවට ඇවිත් මොන තරම් නම් සැප පහසු ජීවිතද ගෙවන්නෙ?”

“බටර් ගාන්න ඕන නෑ. මෙහෙම හිටියට කාගෙ කාගෙත් හැටි දැනගෙන තමයි මං ඉන්නෙ. යතුර තියලා යනවා.”

සුහර්ෂා සෙමෙන් සෙමෙන් නිවස දෙසට පා නැගුවාය. ඇගේ අත් බෑගයත්, ජීප් රථයේ යතුරත්  ගෙතුළින් තැබූ රියදුරා ඇයට හිස නමා පිටව ගියේය. සුහර්ෂා ආලින්දයට ගොඩ වූවාය. ආලින්දයේ පුටුවක් මත වැතිර දෙනෙත් පියාගෙන ගීතයකට සවන් දෙමින් සිටින කවීන් දෙස ඇය මොහොතක් බලා සිටියාය. තමා නිවසට පැමිණි බව ඔහු නොදුටුවේද නැතිනම් නොදුටුවාක් මෙන් සිටින්නේදැයි ඇයට සිතා ගත නොහැකි විය.

“කවීන්…”

ඔහු ඉදිරියෙහි හිඳගත් සුහර්ෂා ඔහු ඇමතුවාය. නින්දෙන් පිබිදුනාක් මෙන් තිගැස්සුනු කවීන් ඇය දෙස බැලුවේය.

“මනෝරාජ්‍යයේ ඉන්නවද? හොඳයි… හොඳයි… එහෙම තමයි වෙන්න ඕන.”

තමා ඉදිරියෙහි වූ පුටුව පයකින් සමීපයට ඇද ගත් සුහර්ෂා සිය දෙපා ඒ මත තබා ගත්තාය.  ඉයර්ෆෝනය ඉවත් කළ කවීන් බිරිඳ දෙස බැලුවේ ඇය පැවසූ වදන් නෑසුන හෙයිනි.

“මොකක්ද කිව්වෙ?”

“මං ඇහුවෙ මනෝරාජ්‍යයේ ඉන්නවද කියලා? අපට වගේද? මොන සැපද? ගෙදර ඇවිත් ප්‍රේම ගීත අහ අහ සැපට හාන්සි වෙලා ඉන්නවා.”

“ඒක මගේ නිදහස.”

කවීන් මුවගට සිනාවක් නගා ගත්තේය.

“ප්‍රේම ගීත අහන්න විතරක් නෙමෙයි. ප්‍රේම කරන්නත් සුහර්ෂාට කාගෙන්වත් තහනමක් නැහැනෙ.” 

“ඒ මොකක්ද ඒ කතාව?”

සුහර්ෂා ඉදිරියට නැමුනාය.

“නීතියේ දෙවඟන ඔයාගෙ ඔලුව අවුල් කරලද?”

කවීන් ඇය පැවසූ වදන් වටහා ගත නොහැකිව ඇගේ මුහුණ දෙස බැලුවේය. විදුලි පහන් ආලෝකය වැටී දිදුලන සුහර්ෂාගේ මුහුණෙහි වූයේ උපහාසයක්දැයි සිතන්නට ඔහු වෑයම් කළේය.

“මුකුත් නොදන්නවා වගේ හිටියට මම හැමදේම දන්නවා කවීන්. අර අම්මණ්ඩි දැන් කෝට්ස් යන්නෙම ඔයාගෙ කාර් එකේ?”

“අර අම්මණ්ඩි කිව්වෙ?”

කවීන් ඇසුවේය. සුහර්ෂා විමසන්නේ මොනාලි පිළිබඳව බව ඔහු දැන සිටියේය.

“මොනාලි… මොනාලි… නීතියේ දෙවඟන…”

සුහර්ෂා නැගූ උපහාසාත්මක සිනාව බිතු කැටයම දෙස බලාගෙන සිටි කවීන්ට නොපෙනිණ. බිතු කැටයමෙහි නාරි රූපයෙහි වූ මායාකාරී ස්වභාවය කාන්තාවන්ගේ දෙබිඩි ස්වභාවය පෙන්වන්නේ යයි එය දකින සෑම මොහොතකම ඔහු සිහියට නැගෙයි.

“මොනාලි තවම පොඩි ළමයෙක්.”

සුහර්ෂා හඬ නගා සිනාසුනාය. කවීන් ඇය දෙස බලා සිටියේ ඇය සිනාසෙන්නේ කුමකටදැයි වටහා ගත නොහැකිය.

“ඔයාගෙ තර්ක වලින් අවුරුදු තිහ හතළිහක අම්මණ්ඩි කෙනෙක් වුනත් ඉස්කෝලෙ යන පොඩි ළමයෙක් කරන්න පුලුවන් බව මම දන්නවා. අප්පා… ලෝයර්ස්ලද?”

සුහර්ෂා පුටුව මතින් නැගී සිටියාය.

“ලෝයර්ස්ලා කියන එක වචනයක්වත් විශ්වාසෙට ගන්න හොඳ නෑ.”

සුහර්ෂා පැවසුවද ඇය එසේ පවසන්නේ අමනාපයකින් නොවන බව ඇගේ ඉරියව් තුළින් පෙනෙයි. ඇගේ මුහුණෙහි ඇත්තේ පෙර නොවූ දීප්තියකි. එය ඇය මුහුණෙහි ගල්වන ලද ආලේපයන් නිසා ඇති වූවක්ද එසේත් නැත්නම් සිත තුළ ඇති ප්‍රීතිමත් ස්වභාවය නිසා ඇති වූවක්දැයි කවීන් සිතුවේය.

“මට මේ පාරත් අවෝඩ් එකක් ලැබෙනවා නෙදර්ලන්ඩ් වලින්.”

පියවර කිහිපයක් ඉදිරියට ගමන් කළ සුහර්ෂා ආපසු හැරී කවීන් අසළට පැමිණියාය.

“නෙක්ස්ට් මන්ත් මට නෙදර්ලන්ඩ් යන්න වෙනවා.”

“හොඳයි. සතුටුයි.”

ඔහු පැවසුවේ සුහර්ෂාට සම්මාන ලැබීම නිසා උපන් සතුටකින් නොව කිසිවක් පැවසිය යුතු නිසාවෙනි. සෑම වසරකම ඇය විසින් පිහිටුවා ගන්නා ලද රාජ්‍ය නොවන සංවිධානයෙන් ධීවර ප්‍රජාව වෙනුවෙන් කෙරෙන සේවය වෙනුවෙන් ඇය සම්මානයට පාත්‍ර වෙයි. සම්මාන උළෙලට සතියකට පමණ පෙර සිටම විදෙස් ගත වන ඇය ඒ සඳහා සහභාගි වන්නැයි තමාට හෝ දරුවන්ට ආරාධනා කර නොමැති බව ඔහුට සිහි විය.

“මේ පාරත් අපේ ටීම් එකක්ම එක්ක යන්නයි මං හිතාගෙන ඉන්නෙ.”

“හොඳයි.”

ඔහු පැවසුවේය.

“හැබැයි මොන සම්මාන ගත්තත් ඔයා මේ ළමයි ගැනත් මීට වඩා හිතුවොත් නරකද සුහර්ෂා?”

සුහර්ෂාගේ මුහුණ මැලවිණ. ඇය මෑතකදී කපා හැඩගන්වන ලද කොණ්ඩය රඳවා ගත් කටුව ගැලවූවාය. උරහිස් දක්වා කඩා වැටුන කෙස් කළඹ නිසා ඇගේ මුහුණ වඩාත් .තරුණ වී ඇති සේ ඔහුට පෙනිණ.

*

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles