මූණට මූණ හම්බුනාම මොනව කියා ගත්තත් එදා වෙච්ච කතාවෙන් පස්සෙ සප්තමීයි මාලවීයි අතරෙ හිත් නොහොඳකමක් තිබ්බ කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ. එකම ටෙලි නාට්‍යයේ දෙන්නටම එකට රඟපාන්න ආව තැන් ඕන තරම් තිබ්බත් ඒවට තමන්ගෙ පෞද්ගලික ප්‍රශ්න ඉස්සර කරගෙන වැඩේ අවුල් නොකරගන්න තරම් මොලයක් දෙන්නටම තිබ්බ එකෙන් වැඩේ හොඳට ගියාට සෙට් එකේ අය එකතුවෙල කද්දි බොද්දි ඒ වගේ තැන්වලදි දෙන්නට දෙන්න ඉස්සර වගේ වැඩි බජනයක් නෑ කියන එක ඕනම කෙනෙක්ට අමුතුවෙන් පැහැදිලි කරලා දෙන්න උනේ නෑ. කොහොමත් ආව මුල් දවසෙ ඉඳලම වාචාලයා වගෙ ඕනම කෙනෙක් එක්ක කතාකරන හන්දා මාලවී එක්ක මුලු සෙට් එකේම අය යාලුවෙලා උන්නේ.
සප්තමී කොහොමත් කා එක්කවත් ඕනවට වඩා කතා කරන මනුස්සයෙක් නොවන හන්දා එහෙම ලොකු බජනෙකට එන්න කවුරුවත් නැතත් මේ දවස්වල හැම ශූට් එකම වෙන්නෙ කොළඹ හන්දා වගේම සප්තමීව තනියෙන් එහෙම නැත්තම් සමුද්‍ර එක්ක යවන්න ගෙදරින් කැමති වෙච්ච හන්දා සප්තමීට ගොඩක් වෙලාවට ඉන්න උනේ සෙට් එකේදි තනියෙන් එහෙම නැත්තම් සමුද්‍ර එක්ක. හැබැයි සෙට් එකේ උන්න ගොඩක් සීනියර් ආස්ටිස්ට්ලා ගානට කතා කරන, ලොකු සීන් නැති, කට්ටියටම ගරු කරල කතාකරන සප්තමීව “අයිඩියල් ජූනියර් ආර්ටිස්ට්” විදියට දැක්ක හන්දා ඒ මිනිස්සු නම් ඇවිල්ලා සප්තමී එක්ක වෙච්ච දේවල් ගැන එහෙමත් කතා කරා.
“යාලුවො දෙන්නා තරහා වෙලාද?” කියල හිනාවෙවී ඇහුවේ සංසාර පාරමිතා ටෙලි නාට්ටියේ බෝඩිමක් මුවාවෙන් කරගෙන යන කොළඹ ගණිකා නිවාසෙ මැඩම් විදියට රඟපාන සමන්තා හතරසිංහ නෝනා. සමන්තා හතරසිංහ කියන්නෙ පුංචි කෙල්ලගෙ චරිතෙ රඟපාන්න ඉන්ඩස්ට්‍රි එකට ඇවිල්ලා, ඉන්පස්සෙ පෙම්වතී, ඉන්පස්සේ බිරිඳ, නැන්දම්මා කියන ඔක්කොම චරිත රඟපාන ඉන්ඩස්ට්‍රි එකේ හැමෝම වගේ ගරුකරන මනුස්සයෙක් හන්දා සමන්තා මැඩම් ඔය කතාව ඇහුවෙ තමන්ට අපහාස කරන ලෙවල් එකකින් නෙවෙන විත්තිය දැනන් උන්නු හන්දම ඒකට හිනාවෙන්න සප්තමීට බැරි උනේ නෑ. ඒ උනාට ඉතින් හිත අස්සෙ හීනියට ලැජ්ජාවක් තිබ්බෙ නෑ කියන්නත් බෑ.
“අනේ එහෙම එකක් නෑ මැඩම්” කියල සප්තමී කිව්වට එහෙම එකක් තියෙනව කියල හිත දැනගෙන උන්නු හන්දා මෙච්චර සීනියර් මනුස්සයෙක්ට ඒ වගේ බොරුවක් කියන්න වෙච්ච එක ගැන හිත අස්සෙ පොඩි ලැජ්ජාවකුත් තිබ්බා. සප්තමීගෙ කටෙන් මොන විදියෙ උත්තරයක් එලියට ආවත් මේ ෆීල්ඩ් එකේ අවුරුදු ගාණක් තෙම්පරාදු වෙච්ච මනුස්සයෙක් උන සමන්තාට නම් මේ කියන කතාවෙ ඇත්ත නැත්ත මොකද්ද කියන එක හිතාගන්න බැරිකමක් තිබ්බෙ නෑ. කතාව ඉතුරු කෑල්ල දිග්ගැස්සුනේ ආන් ඒ තේරුම්ගැනීම එක්ක.
“ඕව ඔහොම තමයි දුව. වැඩිය හිතන්න එපා. මේ ඉන්ඩස්ට්‍රි එකේ කොහොමත් අලුතෙන් කවුරුහරි ආවම ඔය වගේ සිද්දි වලට ඕන තරම් ෆේස් කරන්න වෙනවා. සමහර වෙලාවට දිවට දිව ගාගෙන ඉන්න අයම තමා පස්සෙ අපෙ පස්සෙන් පන්න පන්න දශ්ට කරන්නෙ”
“මැඩම්ටත් එහෙම වෙලා තියෙනවද ආව මුල් කාලේ?”
“මං ආවෙම හරිම පොඩි වයසකින් හන්දා මට ඒ වගේ ප්‍රශ්න වලට ලොකුවටම ෆේස් කරන්න උනේ නෑ. ඒ උනාට ඉතින් ඔය වගේ දේවල් ඕනතරම් අහන්න දකින්න වෙනවා නේ. හැබැයි මාලවී මොන විදියෙ දෙයක් හිතේ තියන් ඔයා එක්ක කතා කරත් නොකරත් මං පර්සනලි හිතනව සමුද්‍ර ඔයා එක්ක යාලුවෙන්න ගත්ත තීරණේ හරි කියල. සමුද්‍ර එක්ක මම ඕන තරම් වැඩ කරල තියෙනව ඔය ඇඩ්වටීස්මන්ට් වල එහෙම. හොඳ ළමයෙක්. මේ ඉන්ඩස්ට්‍රි එකේ කොල්ලෙක්ට ඉතින් ඕන තරම් අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න චාන්සස් තියෙනව උනත් ඒ වගේ දේවල්වලට ගියේ නැති ළමයෙක් තමයි ඔය සමුද්‍ර.
අනික ඇත්තටම මාලවී කොච්චර සමුද්‍රට කැමති උනත් සමුද්‍ර වගේ දරුවෙක් ට ගැලපෙන්නෙ ඔයා වගේ ළමයෙක් කියල මං හිතනවා. මං මේ විත්තිය සමුද්‍ර එක්කත් කතා කරා ඔය ඉන්සිඩන්ට් එක වෙච්ච දවසෙ. මං එයාගෙන් තමා වෙච්ච හැමදේම දැනගත්තෙ. බොරුවට නිකන් හංග හංග ඉන්නෙ නැතුව ඔයාලා දෙන්නම ඕපන්ලි ඕක කතාකරල දාපු එක එකාතකින් හොඳයි, හැබැයි මෙන්න මේකත් හොඳට මතක තියාගන්න පුතේ” කියල සමන්තා මැඩම් කියද්දි සප්තමී කලේ හිනාව දෙතොල් අස්සෙම හංගගෙන සමන්තා මැඩම් දිහාව බැලුව එක.
“සමහර වෙලාවට අපිට ලොකුවටම ප්‍රශ්න ඇති කරන්නෙ අපේ ලඟම ඉන්න මිනිස්සු. ඒ නිසා ඔයා විශ්වාස කරන්න ඕන ළඟම ඉන්න, ඔයාට ළඟින්ම පේන මිනිස්සු කියල හිතන්න එපා. ඔයා විශ්වාස කරන්න ඕන ඔයාගෙ ඇස් දෙකට පේන මානෙ නැති උනත් ඔයාගෙ හිතට ළඟ මිනිස්සුන්ව”
මේ හැමදේම අස්සෙ සමුද්‍ර කිව්ව විදියට “කවූරු මොන දේ කිව්වත් ඔයා ඔලුව අවුල් කරගන්නෙ නැතුව ඉන්නකො” කියලා සද්ද නැතුව, කිසිම දෙයක් ඇහෙන්නෙ පේන්නෙ නෑ කියල ඉන්න සප්තමීට සෑහෙන ලොකු එෆර්ට් එකක් දාන්න උනා. මොකෝ මාලවී පුලු පුලුවන් හැම විදියටම හැම තැනකදිම සප්තමීව මගාරින්න පටන් අරගෙන තිබ්බ නිසා. මාලවී සමුද්‍රට ට්‍රයි කරන විත්තියත්, මාලවී ඒ අස්සෙම වසන්තව අල්ලගෙන මේ ඉන්ඩස්ට්‍රි එකේ උඩට යන්න හදන විත්තියත් මිනිස්සු දැනගෙන උන්නු නිසා මාලවී නැති තැන්වල මිනිස්සු මාලවී ගැන කිව්වෙ එච්චර හොඳ දේවල් නම් නෙවෙයි. හැබැයි මාලවී සප්තමී ගැන කිසිම තැන වරදක් කිව්වෙ නැති හන්දා, කට්ටිය එකට ඉන්න තැනකදි හිනාවෙලා සප්තමී දිහාව බැලුව හන්දා ඇත්තටම මාලවීගෙ හිතේ සප්තමී ගැන තියෙන්නෙ මොන වගේ හැඟීමක්ද කියන එක තේරුම්ගන්න පුලුවන්කමක් කාටවත්ම තිබ්බෙ නෑ.
“පහුගිය ටිකේ මට කතාකරන්න උනේ නැත්තෙ වැඩ හන්දා අනේ. මං ඒත් බැලුව ඔයා හිතුවද දන්නෙ නෑ කියල මම ඔයා එක්ක තරහ වෙලා කියල” මාලවී එයාම හිතල ඇවිල්ල කතා කරපු වෙලාවක එහෙම දෙයක් වෙච්ච එක ගැන හිත මුලින් පුදුම උනත් තමන් මොනවා මාලවී ගැන හිතුවත් මාලවී සමහරවිට තමන් ගැන ඇත්තටම තරහක් නෑ කියල සප්තමී ඒත් හිතුවා.
“හරිනම් ඔයා මාත් එක්ක තරහ වෙන්න ඕන නේද?” කියල සප්තමී ඇස් හිමින් සැරේ උස්සල බලද්දි තමයි දැක්කෙ මාලවී තමන් දිහාවම බලාගෙන ඉන්න විත්තිය.
“ඇයි ඒ?”
“ඔයා කැමත්තෙන් ඉඳපු කෙනා මාත් එක්ක යාලුවෙච්ච එක හන්දා”
“හනේ පිස්සුද? මං මොකටද අනේ ඔයා එක්ක ඒකට තරහ වෙන්නෙ. මං ගාව නෑනෙ ඔය කොල්ලො පස්සෙ යන සීන්. ඔයා දන්නවනෙ, අනික සමුද්‍රමනෙ මා එක්ක මුලින් කතාකරේ. ඒකත් ඔයා කිව්වනෙ ඉතින් වැරදීමක් වෙච්ච එකක් කියල. ඉතින් එහෙම එකේ මිස් අන්ඩස්ටෑන්ඩින් එකක් හන්ද මොකටද මම මේ පොඩි කාලෙ ඉඳල දන්න යාලුව එක්ක තරහා වෙන්නෙ. අනික ඇත්තටම සොරි එදා සමුද්‍ර ඔයාලගෙ ගෙදර ආව දවසෙ මං ඇවිල්ලා ඔයාට බැණපු එකට. මං ඒක ගැන පස්සෙ සෑහෙන දුක් උනා. ඔයාගෙ වරදක් නෑනෙ. ඔයා සමුද්‍රගෙ පස්සෙ ගියේ නෑනෙ”
“ඔයා එහෙම හිතාවි කියල මම ඇත්තටම හිතුවෙ නෑ. තැන්ක්‍යු ඒකට” කියල සප්තමී ඇත්තටම අහිංසක විදියට කියද්දි මාලවී කලේ සප්තමී එක්ක හිනාවෙච්ච එක.
“ඔයා මොකද හෙට කරන්නෙ? හෙට ශූටින් නේද?”
“ඔව් හෙට ශූටින් මට, ඔයාට හෙට නිවාඩු නේද?”
“ඔව් අනේ ඒක තමයි. ඉතින් සමුද්‍ර ඔයාව කොහෙවත් එක්කරගෙනවත් ගියේ නැද්ද තාම?”
“තාම නෑ අනේ, වැඩනෙ ඉතින්. හෙට ශූටින් වලටත් එයාට එන්න වෙන්නෙ නෑ කිව්ව ඇඩ්වටීස්මන්ට් එකක ශූට් එකකට කොහෙද යන්න තියෙනවා කියල. ගෙදර එනවා ඉතින් වීකෙන්ඩ් එකේ. ශූටින් දවසට ශූටින් ඉවර උනාම මාව ගෙදරට ඇරලවනවා”
“ආහ් ඒ කියන්නෙ ඔයාට හෙට ගෙදර එන්න වෙන්නෙ තනියෙන් නේද? මාතලී නෑනෙ” කියල මාලවී හිනාවෙද්දි සප්තමී කලෙත් ඒ හිනාවට එක්කහු වෙච්ච එක.