මිලියන 59 ක් වියදම් කළ සියවසේ විවාහයේ මනාලයාට සිරදඬුවම් ?


විවිධ අරමුණු උදෙසා පැවැත්වෙන විවිධ උත්සව අතර විවාහා මංගල උත්සව වලට හිමිවෙන්නෙ ඉතාම වැදගත් ස්ථානයක්නෙ.

ඒ අතරිනුත් විවිධ හේතු නිසා මහජන අවධානය වැඩිපුර යොමුවෙන විවාහ මංගල උත්සවත් තියෙනව. හරියට චාල්ස් – ඩයනා විවාහය, විලියම් – කේට් විවාහය, ජස්ටින් බීබර් සහ හෙයිලි අතර විවාහය වගේ. 

ඉතිං මේ විදිහට මාධ්‍ය සහ බොහෝ ජනතාව පුදුමයට පත් කරමින් සියවසේ ලොකුම විවාහය පසුගිය දවසක ආදරයේ නගරය එහෙමත් නැත්නම් ප්‍රංශයේ පැරීස් නුවර කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. 

ඒ මැඩලීන් බ්‍රෝක්වේ සහ ජේකොබ් ලැග්ග්‍රෝන් අතරයි.

කවුද මේ මැඩලීන් සහ ජේකොබ් ?

ලෝකෙ ලොකුම විවාහ මංගල උත්සවය ගන්න තරම් ධනවත් මේ මනාලිය සහ මනාලයා කවුද කියල ඔබටත් හිතෙනව ඇතිනෙ.

ඒ වගේම මේ නම් නිතර අහන්න දකින්න ලැබෙන වැඩි ප්‍රසිද්ධියක් ඇති නම් නෙමෙයිනෙ.

එහෙනම් ඔවුන් කවුද?

ඔව්. මේ විවාහය සිදුවන තුරුම මැඩලීන් හෝ ජෙකොබ් අඩුම තරමින් සමාජ මාධ්‍ය තුළ පවා ප්‍රසිද්ධියක් හිමිකරගෙන තිබූ චරිත නෙමෙයි.

නමුත්, මැඩලීන් බ්‍රෝක්වේ කියන්නෙ මර්සිඩීස් බෙන්ස් සමාගමේ මව් සමාගමක් වන Bill Ussery Motors සමාගමේ අයිතිකරු සහ ප්‍රධාන විධායක නිළධාරී වන රොබට් බොබ් බ්‍රොක්වේ ගේ දියණියයි.  

මේ විවාහ මංගල උත්සවයේ සියළුම වියදම් දරා තිබෙන්නේ රොබට් බ්‍රොක්වේ එහෙමත් නැත්නම් මනාලියගේ පියා බවයි වාර්තා වෙන්නෙ. 

ඒ වගේම මනාලය වන ජේකොබ් සංගීත කණ්ඩායම් සහ ගායකයන්ගේ සම්බන්ධීකරණ නිළධාරියෙක් ලෙසත් පාපන්දු කණ්ඩායමක මෙහෙයුම් සහයකයෙකු ලෙසත් කටයුතු කර තිබෙනවා.

2020 අවුරුද්දෙදි ටෙක්සාස් විශ්වවිද්‍යාලකදී ඇරඹෙන තමන්ගෙ ආදර සබඳතාවය 2023 නොවැම්බර් 18 වෙනිදා මෙසේ අලංකාර විවාහයක් දක්වා ගෙන එන්න තරම් ඔවුන් වාසනාවන්ත වුණා. 

සියවසේ විවාහය

විවාහය සිදුවීමට සතියකට පෙර විවාහයේ පෙර සූදානම් උත්සව ආරම්භ වුණා. ඒ අති සුඛෝපභෝගී Amangiri Resort හිදීයි. මේ හෝටලයේ අඩුම මිල ඇති කාමරයක දවසක වටිනාකමත් $3150 ක් පමණ වෙනවා. 

දින හතරක් පුරා තේමා හතරකින් යුක්තව මේ උත්සව පැවැත්වුණා.

ඒ වගේම ඔවුන්ගේ විවාහය සතියක් පුරාවට පැරීසියේ විවිධ ස්ථානවලදී පැවැත්වුණා. Opera Garnier හි රාත්‍රී භෝජන සංග්‍රහයක්, Chanal හි දවසක් ගත කිරීමක්, Palace of Versailles හි රාත්‍රියක් ගත කිරීමක් සහ Château de Villette හි විවාහ මංගල උත්සවය ඒ අතර කැපී පෙනුණා. 

මනාලිය වෙනුවෙන්ම නිර්මාණය කළ Dior මංගල ගවුම, Maroon 5 සංගීත කණ්ඩායමේ ඉදිරිපත් කිරීම්, සමනළ නිවහනක්, $1500 ක වටිනාකමින් යුතු බිස්කට් පෙට්ටි, විවාහ මංගල උත්සව දිනය අලංකාර කළ ස්වභාවික සුදු පැහැති මල්, රාත්‍රී සාද අලංකාර කළ විවිධ පැහැයන්ගෙන් යුතු මල් සහ සංගීත ශිල්පීන් වගේම M සහ J අකුරු දිස්වෙන පරිදි අහසේ පෙළගස්වා තිබූ ඩ්‍රෝන යානාද බොහෝදෙනෙක්ගේ අවධානය දිනාගන්න සමත් වුණා. 

විවාහ වන විට මනාලයා වන ජේකොබ් 29 වැනි වියේත් මනාලිය මැඩලීන් 26 වැනි වියේත් පසුවුණා.

මනාලයා හිරගෙදරට

ඔවුන්ගේ විවාහයට පෙර 2023 මාර්තු 23 වෙනිදා ජෙකොබ් ලාග්‍රෝන් ප්‍රසිද්ධියේ ප්‍රචණ්ඩ අයුරින් හැසිරීම සහ පොලිස් නිළධාරීන් තිදෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධියක් නිසා පොලිස් අත්ඩංගුවට පත්වුණා. 

මේ කොහොම වුනත් ඔවුන්ගෙ විවාහයෙන් හරියටම සතියකට පස්සෙ ඒ චෝදනා වලට වැරදිකරු වුන ජෙකොබ්ට වසර 25 ක සිරදඬුවම් නියම කෙරුණා. 

එයින් පසු මැඩලීන් සිය ටික්ටොක් ගිණුම ඉවත් කරගත් අතර ඉන්ස්ටග්‍රෑම් ගිණුමද පුද්ගලික කරගෙන තිබුණා. මේ පිළිබඳ ජෙකොබ්ගේ නීතීඥයා විසින්වත් කිසිදු ප්‍රකාශයක් නිල වශයෙන් දැනුම් දී තිබුණේ නෑ. 

ඒ නිසා මේ විවාහය පිළිබඳ නැවතත් සමාජයේ දැඩි අවධානයක් සහ කතාබහක් ඇතිවුණා.

සිරගෙදරක ජීවිතය පහසු නෑ. වැරද්දක් කරාම තමා කොයි තරාතිරමක කෙනෙක් වුනත් ඒ වැරැද්දේ ප්‍රතිවිපාක විඳින්න තමන්ට සිද්ධ වෙන බව ජෙකොබ් සහ මැඩලීන් ගේ කතාව අපිට කියාදෙනවා.

සියවසේ ලොකුම විවාහයේ මනමාලය වෙන්න වාසනාව ලැබුන ජෙකොබ් ඇත්තටම වාසනාවන්තයි කියල ඔබ හිතනවද?

සටහන – දුලානි නවෝද්‍යා

Related Articles

Don't Miss


Latest Articles