ලෝකයේ ලොකුම දේවල් හතක්

ලොකුම දේ සෑමවිටම හොඳම දේ නොවේ” කියල කතාවක් අපි අතර තියෙනවනෙ. 

නමුත් එහෙම කියල අතාරින්න බැරි හරිම ආකර්ෂණීය ලොකුම දේවලුත් මේ ලෝකෙ තියෙනව. 

ඉතිං අපි අද ඔබට ගෙන එන්නෙ ලෝකෙ ලොකුම දේවල් 07 ක් ගැන බොහොම රසවත් ලිපියක්. 

බලමුකො මේ දේවල් මොනවද කියල ?

ලෝකෙ ලොකුම සාප්පු සංකීර්ණය

සාප්පු 1200 කින් සමන්විත ආසන්න වශයෙන් වර්ග අඩි මිලියන 13 ක ප්‍රදේශයක් පුරා පැතිරුණ ඩුබායි සාප්පු සංකීර්ණය (Dubai shopping mall) ලොව විශාලතම සාප්පු සංකීර්ණය ලෙස හඳුන්වනවා. 

අයිස් තට්ටුවක්, දිය යට සත්වෝද්‍යානයක්, විශාල දිය ඇල්ලක් සහ මින් මැදුරක්ද ඒ සියල්ලටම අමතරව සිනමාශාල 22 ක්, සුඛෝපභෝගී හෝටලයක් සහ ආපනශාල සහ කැෆේ 100 කට අධික සංඛ්‍යාවක්ද ඩුබායි සාප්පු සංකීර්ණයට අයිති වෙනවා. 

ගොඩබිම ජීවත් වන ලෝකෙ ලොකුම සත්වයා

ගොඩබිම ජීවත් වන ලෝකෙ ලොකුම සත්වයා ලෙස අපි කවුරුත් දන්න අලියා (Elephant) පිළිගැනෙනවා. 

ආසියානු අලි සහ අප්‍රිකානු අලි ලෙස කොටස් දෙකකට බෙදා වර්ගීකරණය කරන අලින්ගේ සාමාන්‍ය බර රාත්තල් 15000 ඉක්මවන අතර උස අඩි 10 ත් 15 ත් අතර වෙනවා. 

දැවැන්ත කන් සහිත ඉතාම අලංකාර සත්වයෙක් ලෙස පිළිගැනෙන අලින්ගේ සුවිශේෂී ශරීර අංගයක් ලෙස කාර්යයන් පහක් සඳහා නිර්මාණය වී ඇති ඔවුන්ගේ හොඬවැල හඳුන්වන්න පුළුවන්. 

හොඬවැල මඟින් ඔවුන්ට හුස්ම ගැනීම, කතා කිරීම, සුවඳ ආග්‍රහණය කිරීම, ග්‍රහණය කිරීම සහ ස්පර්ශ කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. 

ලෝකෙ ලොකුම සත්වයා

ලෝකයේ ලොකුම සත්වයා වගේම ලෝකයේ ලොකුම ජලජ ජීවියා ලෙස හඳුන්වන්නෙත් නිල් තල්මසා (Antarctic Blue Whale) යි. 

රාත්තල් 400000 ක පමණ බරකින් සහ අඩි 98 ක පමණ දිගකින් යුතු ඔවුන් අලින් මෙන් තිස්තුන් ගුණයක් පමණ විශාල වෙනවා. 

ලෝකයේ විවිධ තැන්වලින් කලින් කලට වාර්තා වුනත් අද වෙද්දි ඉතාම අවාසනාවන්ත ලෙස දඩයක්කරුවන්ගේ ගොදුරක් බවට නිල් තල්මසුන් පත්වෙලා තියෙනවා. 

ඒ නිසාම 1960 දී ආරක්ෂා කල යුතු සත්වයෙක් ලෙස නම්කල නිල් තල්මසුන් 5000 ත් 12000 ත් අතර ප්‍රමාණයක් තවමත් ලොවපුරා ජීවත් වෙනු ඇතැයි විශ්වාස කරනවා.

ලෝකෙ ලොකුම පළතුර

ගසක හැදෙන ලොව ලොකුම පළතුර මොකක්ද කියල කීවොත් ඔබ සමහරවිට පුදුමයට පත්වේවී.

දකුණු ආසියාතික සහ ආසියාතික කලාපයේ ඉතාම ප්‍රසිද්ධ සහ සුලභව දකින්න ලැබෙන කොස් එහෙමත් නැත්නම් වරකා තමයි ලෝකේ ලොකුම පළතුර කියල පිළිගැනෙන්නෙ. 

බංගලාදේශයේ ජාතික පළතුර ලෙස සඳහන් වන කොස් එහෙමත් නැත්නම් වරකා තන්තු බහුල ඉතා ගුණවත් ආහාරයක් ලෙස හඳුන්වාදෙන්න පුළුවන්. 

ලෝකෙ ලොකුම මල

මළ මල එහෙමත් නැත්නම් Rafflesia arnoldii කියන අග්නිදිග ආසියාවේ වැසි වනාන්තර වල හටගන්න පුෂ්පය තමයි ලෝකෙ ලොකුම මල ලෙස පිළිගැනෙන්නෙ. 

රතු පැහැයෙන් අලංකාර ලෙස පිපෙන මේ මල සාමාන්‍ය පුෂ්පයක් ලෙස සුවඳ විහිදන්නෙ නම් නෑ. ඒ වෙනුවට මේ මල පිපෙද්දී මළ මස් මෙන් බොහොම අමිහිරි සුවඳක් තමයි විහිදෙන්නෙ.

Rafflesia, the biggest flower in the world , Sumatra, Indonesia

ලෝකෙ ලොකුම දූපත

භූමි ප්‍රමාණයෙන් වැඩි කොටසක් හිමෙන් වැසී පවතින ග්‍රීන්ලන්තය තමයි ලොව විශාලතම දූපත ලෙස පිළිගැනෙන්නෙ. ලොව ජනගනත්වය අඩුම රට ලෙසද හඳුන්වන්නෙත් ග්‍රීන්ලතයයි. 

ග්‍රීන්ලන්තයේ අගනුවර නූක් නගරයයි. 

මෙහි මුල් ස්කැන්ඩිනේවියානු පදිංචිකරුවන් මේ දූපතට ග්‍රීන්ලන්තය ලෙස නම් තබා තිබෙනවා. 

ලෝකෙ ලොකුම රට

වර්ග කිලෝමිටර 17,098,242 පුරා පැතිරුණු රුසියාව ලෝකයේ ලොකුම රට විදිහට පිළිගැනෙනවා. රුසියාවට අයිති ගොඩබිම් ප්‍රමාණය වර්ග කිලෝමිටර 16,376,870 වන අතර එය ලොව සමස්ථ ගොඩබිම් ප්‍රමාණයෙන් 11% ක් ලෙස සඳහන් වෙනවා.

වයස අවුරුදු 71 ක් වන ව්ලැඩිමීර් පුටිං වර්තමාන රුසියාවේ ජනාධිපති ලෙස ක්‍රියාකරනවා. 

ඉතිං මේ වගේම රසවත්, වැදගත් ලිපියකින් අපි නැවත හමුවෙමු. 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles