සම්පතී තීරණයක් ගත්තා ය. ඒ දින ගණනාවක් කල්පනා කිරීමෙන් පසුයි. අන්තරා විසින් නීත්‍යානුකූල වෙන්වීමක් ගැන කතා කරනු ලැබීමෙන් පස්සේ සම්පතී තුළ ඇති වුණා වූ ප්‍රහර්ෂය, දක්ෂිණ ගේ අසාමාන්‍ය හැසිරීම නිසා බලවත් දෙදරීමක් බවට පත් විය. ඒ තත්වය සම්පතීව බරපතල මානසික වියවුළක අතරමං කරන්නට සමත් විය. සාමාන්‍යයෙන් ඇය පලා යන්නියක නොව සටන් වදින්නියකි. මේ වෙලාවේදීත් අවසාන මොහොත තෙක් සටන් වදින්නට ඇය තීරණය කළේ සිය පුරුද්ද මතයි.
අන්තරා සිටියේ තාප්පය අයින දිග සිටවූ නෙළුම් රෝස පාත්තියේ මල් නෙළමිනි. යහමින් මල් පිපෙනා කාලයට විශාල මල් අස්වැන්නක් ලබා දෙන්නට රෝස ගස් වගබලාගනී. සාමාන්‍යයෙන් අන්තරා නිතර ම රෝස මල් කඩාගන්නේ නැත. මල් වැඩි කාලයට ඇය රෝස තෙල් ටිකක් නිස්සාරණය කොට තබයි. නූපුර ගේ ළමා වියෙහි දී ඈ අතින් ම නිස්සාරණය කරනා ලද රෝස තෙල් ඇසුරෙන් ඕඩි කොලෝන් නිෂ්පාදනය කොට ඔහු ගේ හිස ගැල්වූවත්, ලොකු වෙන්නට වෙන්නට ඔහු ඒ සුවඳවල් ප්‍රතික්ෂේප කළේ ය.
“ඒක ගර්ලිශ් ෆ්‍රේග්‍රන්ස් එකක් අම්ම. මට එපා”
සාමාන්‍යයෙන් පිරිමින් ආකර්ෂණය වන විලවුන් වර්ග නිෂ්පාදනයේ දී කස්තුරි, තේ කොළ, පැඟිරි, කරාබු නැටි වැනි කුළුබඩු වර්ග, දුම්කොළ, දේවදාර, සඳුන්, වල්ලපට්ට වැනි දැව වර්ග වැනි දෑ යොදාගනී. පිටකොටුවේ වේල්ලවීදියෙන් එවන් සගන්ධ තෙල් වර්ග මිලදීගෙන හෝ ලෙමන් කුලයේ පළතුරු තෙල් නිස්සාරණය කොට,අන්තරා ඒවායින් නූපුර වෙනුවෙන් ඕඩි කොලෝන් නිෂ්පාදනය කළේ ඉනික්බිති ය. ඇගේ අතින් ම නෙලාගත් මේ රෝස මල් වලින් පාරින්දි ට සුවඳ විලවුන් කුප්පියක් තිළිණ කරන්නට අන්තරා සිතා සිටින්නී ය.
ගේට්ටුවේ සීනුව නාද වූයේ ඒ වෙලාවේ ය. කුහුල් සිතින් යුතුව පැති ගේට්ටුවේ සිදුරු වලට නෙතු තබා බැලූ ඕ දුටුවේ සම්පතී ව ය. අන්තරා වහ වහා ගේට්ටුව විවර කළා ය.
“සම්පතී…”
අන්තරා ගේ හද ගැස්ම මඳකින් වැඩි වූයේ ය. ඇස් වලත් ස්වරයේත් කුතුහලාත්මක විශ්මයක් තැවරී තිබිණ.
“කලබල වෙන්න දෙයක් නෑ අන්තරා. මං ආවෙ ඔයත් එක්ක ටිකක් කතා කරන්න”
සම්පතී ආරූඪ කරගත් අහිංසක බවකින් තෙපළා ය. ඇයට ඇතුළට එන්නට ඉඩ ලබා දී අහවර අන්තරා ගේට්ටුව වසා ඉස්සර වූවා ය.
“එන්න ඇතුළට”
ලොකු රෝස මල් වට්ටියක් ඉඟට බරකොටගෙන සිටිනා ලස්සන ගැහැනිය ගැන ඊර්ෂ්‍යාකාර හැඟීමක් සම්පතී ගේ පපුව ඇතුළේ හිර වී තිබිණ. තමන් ඉදිරියේ ඕ තොමෝ මෙතරම් සන්සුන්ව හා නිරවුල්ව හැසිරෙන්නේ කෙසේදැයි සිතාගන්නටවත් සම්පතී සමත් වූවා නොවේ.
“ඇතුළට එන්න”
සම්පතී වැරැන්ඩාවේ නතර වෙත්දී අන්තරා ඇරයුම් කළා ය.
“මෙහෙම හොඳයි”
සම්පතී ගේ හඬ වෙව්ලා ගියේ ය. අන්තරා දොර උළුවස්සට හේත්තු වෙත්දී සම්පතී වැරැන්ඩා පුටුවකට බර වෙන්නට ගියා ය.
“ඇතුළට එන්න සම්පතී. පිට කෙනෙක් නෙවෙයිනෙ වැරැන්ඩා එකේ ඉඳන් කතාකරන්න”
පිහි පාරක් වාගේ ඒ වචන සම්පතී ගේ පපුව පසාරු කරගෙන කිඳාබැස්සේ ය. හිඳගන්නට ගිය පුටුවෙන් මෑත් වී ඇය ආලින්දයට ගොඩ වූවා ය. පූජනීය ස්ථානයක වන බැතිබර නිවුණු සන්සුන් බව එහි රැඳී තියේ. මීට දශකයකටත් එපිට දී අන්තරා හා දක්ෂිණ ද කුඩා නූපුර ද එක්ව ගත් විශාල කරන ලද ඡායාරූප ගණනාවක් ආලින්දයෙහි වේ. කලාගාරයක් වන් ඒ නිවස්නය වූ කලී කාලයක් තිස්සේ මහ මතක කන්දක් රැස් කළා වූ ජීවිත ස්මාරකයක් බව බැලූ බැල්මට සම්පතී ට දැනිණ. සිය ස්වාමි පුරුෂයා සේ ඇය සිතාගෙන සිටිනා මිනිසා ගේ අක් මුල් වන්නේ මෙතැන ය. ඇගේ ගෙදරට ඔහු වූ කලී ශරතයේ දී හැලී හමා ආ තුරු පතක් බඳු නො වෙද? සම්පතී ට මහත් හීනමානයක් ද හඬන්නට තරම් දුකක් ද දැනිණ.
“සම්පතී බොන්නෙ මොනාද… තේ එකක්ද කූල් ඩ්රිංක් එකක්ද…”
“ඔයාට ලේසි දෙයක්”
ඇය යන්තමින් උගුර යටින් කියාගත්තා ය. වචන පිට වූවා දැයි ඇයට ම නිශ්චිත නැති තරම ය. අන්තරා ගේ අභ්‍යන්තරයෙහි ද තිගැස්මක් ඇතිව තිබුණෙන් ඇය ශීතකරණයෙහි වූ ඇපල් යුෂයෙන් වීදුරුවක් පුරවාගෙන සම්පතී වෙත ගෙන ගියා ය. එක ම පිරිමියෙකු හට පෙම් කළ, ඒ පිරිමියාට ජාතකව දරුවන් තැනූ ගැහැනුන් දෙදෙනෙකු වශයෙන්, ඔවුන් දෙදෙනා ම එක සුළි කඅණාටුවක් ඇතුළේ ඒ මේ අත තල්ලු වෙමින් ද හැපෙමින් ද නැගී සිටිනට උත්සාහ කරමින් ද සිටියා විය යුතු ය.
ඇපල් යුෂයෙහි සම්පතී ට දැනුණේ තිත්ත කහට රසයකි. අන්තරා මේ වගේ රස වලට කැමති මන්දැයි සිතන්නට ඇයට ඕනෑ විය. ජීවිතයත් ඇපල් යුෂ වාගේ යයි අන්තරා නිතර සිතයි. කහට හා තිත්ත රස අතරින් මිහිරි ප්‍රණීත රසයක් ද එබිකම් කරයි.
“දක්ෂිණ කිව්ව අන්තරා ඩිවෝස් එකට යමු කිව්ව කියල”
අන්තරා ප්‍රතිචාර දක්වන්නට ගියේ නැත. ඇගේ අහංකාර ස්ත්‍රී පෞරුෂය, සම්පතී ගේ සුලභ ගැහැනුකම් සසලවා දැමී ය.
“අනේ අන්තරා ලොකු උදව්වක්. ඔයා දන්නවනෙ මට දරුවො දෙන්නෙක්ම ඉන්නව කියල. මාත් ගෑනියෙක්. දක්ෂිණ මේකට පස්ස ගහයි. ඩිවෝස් වෙන්න බෑ කියල කියයි. එයාටනං මොකද… කොතනක වුණත් වයිෆ් කියල කට ඇරල නම කියන්න එයාට ඔයා ඕනෙ. අන්තරා ස්වරාවී ගාන්ධාරා මුතුමුදලි… භාණුක ජිතේන්ද්‍ර මුතුමුදලි මාස්ටර් ගෙ දුව. එතකොට මං… මං කවුද අන්තරා… බැඳපු මිනිහෙක්ගෙ ආලවට්ටං වලට රැවටිලා ඒ මිනිහ වෙනුවෙන් ජීවිතේ හැම දෙයක් ම පූජ කරපු ගෑනියෙක්ගෙ හිත කොහොම තැනක්ද කියල ඔයාට හිතාගන්නවත් බෑ අන්තරා. ඒත් මං අල්ලං හිටිය. දරුවො දෙන්නෙකුත් හැදිල නිසා. ලෝකෙට විතරක් නෙවේ ඔයාට වුණත් මං මෝඩ ගෑනියෙක් නැත්තං විහිළුවක් වගේ පේනව ඇති. හැබැයි තනි අතකින් අත්පුඩි ගහන්න බෑ අන්තරා. පිරිමියෙක් කෙල්ලෙක් ඉස්සරහ ලෝකයක් මවල පෙන්නනකොට ඒක ඇත්තක්ද බොරුවක්ද කියල වෙන් කරල අඳුරගන්න ලේසි නෑ. පහුවෙනකොට අඳුරගන්න ඕනත් නැතිවෙන තරමයි. ආදරේ අන්ධයි කියන්නෙ නිකමට නෙවෙයි. අපි ඉස්සරහ තියෙන්නෙ ආදරේ කියල පිළිගන්න තියන කෑදරකමට අපි කැමැත්තෙන්ම අන්ධ වෙන්න ලෑස්තියි. ඒ සිද්ධ වෙච්ච දේවල් වලට කාටවත් දොස් කියල වැඩක් නෑ. ඒත් මං මේ ආවෙ ඔයාගෙ කකුල් දෙක අල්ලල වඳින්න වුණත් ලෑස්ති පිටයි අන්තරා. මගෙ දරුවො දෙන්න වෙනුවෙන්… ඔයා ඒ තීරණේ ගන්න. දක්ෂිණ කවදාවත් ඒක කරන්නෑ. එයා ඔයාට ආදරේද නැද්ද කියල මං දන්නෑ. එයා මටත් ආදරේ කළාද නැද්ද කියල මං ඇත්තටම දැන්නං දන්නෑ. ආදර් කියන කෙහෙල්මල දැන් මට වැඩකුත් නෑ. ඔයා ඩිවෝස් වුණොත් මට දක්ෂිණව බඳින්න පුළුවන්. අන්තිමට මට ඒකවත් දෙන්න අන්තරා”
සම්පතී සැබවින් ම අසුනෙන් අර්ධ වශයෙන් නැගිටිමින් අන්තරා ගේ පාද ස්පර්ශ කිරීමේ උත්සාහයක් දැරුවා ය. අන්තරා අනිච්ඡානුගව ම මෙන් පස්සට පැනගත්තා ය.
“වෙන ගෑනියෙක් ළඟට ගිය මිනිහෙක්ව මට කොහොමටත් ඕන නෑ. මං මගෙ හදවතෙන් එයාව අතෑරියෙ එයා එහෙම කළා කියල දැනගත්ත දවසෙ. ඊට පස්සෙ මෙහෙ ආව ගියාට… උඩ කාමරේ තනියම රෑ එළි කළාට… මගෙ ළඟ මැරේජ් සර්ටිෆිකේට් එක තිබුණට එයා මගෙ දරුවගෙ තාත්ත විතරයි. පුතා වෙනුවෙන් මං එයාගෙ ලීගල් වයිෆ් වෙලා හිටිය. ඒ කටු ඔටුන්න ඔයාගෙ ඔළුවෙන් තියන්න මේ දැන් වුණත් මං ලෑස්තියි. ඒක ඔයා බාර ගන්නවද නැද්ද කියල දැනගන්නවත් ඕනකමක් නැතුව මං දක්ෂිණව මේ නීති බැම්මෙනුත් නිදහස් කරනව. ඊට පස්සෙ ඔයා කැමති දෙයක් කරගන්න. පස්සෙ දරුවො කී දෙනෙක්ට තාත්ත වුණත් එයා මුලින්ම තාත්තෙක් වුණේ නූපුරට. මේ ජීවිතේ තියනකං එයාගෙ පළවෙනි දරුව නූපුර. මං දන්නෙ එච්චරයි”
හොඳට ම දැනගෙන සිටි සත්‍යයක් වූවාට, ඒ ටික කියා දැමීමෙන් පස්සේ අන්තරා ගේ පපුවට හතියක් වාගේ දැනිණ.
“බයවෙන්නෙපා. මං එයාගෙන් අයින් වෙනව”
පසුව ඈ එසේ ද කීවේ සම්පතී සමගින් තවත් කතා කරමින් සිටීම හිතට වදයක් සේ දැනුණු බැවිනි. ඒ තරම් ඉක්මනින් නික්ම යාමේ අදහසක් සම්පතී ට නොවුණාට, අන්තරාගෙන් දිගු කතාවකට අනුබලයක් නො ලැබෙත්දී නික්ම යනු වස් නැගී සිටින්නට ඇයට සිදු වියගේට්ටුව වසා දමා විත් අන්තරා බරාඳ පුටුවක් මතට වැටුණා ය. ඉක්මනින් හුස්ම වැටෙන්නේ ඇයි කියා ඇයට තේරෙන්නේ නැත. ඇස් දෙක තද කරගෙන ඈ මඳ වෙලාවක් නිසොල්මනේ සිටියා ය. අභ්‍යන්තරයෙහි වුව මෙහෙව් කැළඹීමක් ඇති විය යුතු නැත. අත්හරිනවා නම් යමක් අත්හළ යුත්තේ ඇස් පිහාටුවකට වුව නො දැනෙන්නට යි. නො එසේ ව එය පූර්ණ වූ අත්හැරීමක් වන්නේ නැත. දක්ෂිණ නික්ම ගොස් වසර ගණනාවකට පස්සේත් ඔහු ගේ උණුහුමක් ඇගේ හදවත හතර මායිමෙහි ඉතිරි විය යුතු නැත. අත්හැරීමෙන් අත්විඳිත හැකි නිර්වාණය වූ කලී එයයි. හිත මුළුමනින් හිස් වීමයි!
පිරෙන්නට නම් හිස් විය යුතු ය. පිරෙන්නේ හිස් නම් ය. යමක් සංසරණය වන්නේ, ගලනය වන්නේ වැඩි තැනකින් අඩු තැනකටයි. එය වූ කලී සොබාදහමේ නියතයකි!
අන්තරා ට සිය නටඹුන් ප්‍රේම නගරයෙන් නික්ම යාමට අවැසි ය. කාලයේ පුලින තලා වලින් යට වී ඒවා වැසී යනු ඇති බැව් ඇයට විශ්වාස ය. දැනට ද අර්ධ වශයෙන් වැසී ගොස් තිබේ. අන්තරා ඒ නටඹුන් මතු කරගෙන මතක පුරාණයෙහි සැරිසරන්නට කාලයකින් පෙළඹී නැත. වෙනස් වන ලෝකයෙහි වෙනස් නොවෙනා කිසි ම කිසිවක් නොමැති බැව් විශ්වාස කරන්නට දැන් ඇය කැමැති ය. කිසිදාක වෙනස් නොවෙතැයි අදහාගෙන සිටි මිනිසුන් පවා එක ම එක තත්පරයක දී පැරණි හැව හලා අලුත් මිනිසුන් ලෙස ඉපදෙන අයුරු ඇය දැක තිබේ. දිවිහිමියෙන් පෙම් කළ අය, කිසිදු මනුෂ්‍යයෙකු හට කළ නො හැකි යයි සිතත හැකි කැපකිරීම් කළ මිනිසුන් පවා අසුරු සැනෙන් වෙනස් වී ජීවිත වලින් සදහට අභිනික්මන් කරනා අයුරු ඈ දැක තිබේ. දක්ෂිණ වෙනුවෙන් ද ඈ නොකළ දෙයක් නැති තරමි. මුලින් ම ඔහු වෙනුවෙන් ඈ සිය මව් පියන් සමග අරගල කළා ය. ඊලඟට ඔහු තෝරාගනු වස් ඔවුන් අත්හැරියා ය. සම්පතී වෙත නොයා ඔහු ව ඇය වෙත රඳවාගනු වස් කළ හැකි සියල්ල කළා ය. නමුදු යන යකුන් කොරහත් බිඳගෙන යනවායි කතාවක් ජනවහරේ තිබේ. ඒවා අත්දුටු සත්‍ය මත පදනම් වූ කතා යයි දැන් ඇය අවබෝධයෙන් විශ්වාස කරයි. යමෙකු තම ජීවිතය මත සදහට රඳවාගැනුමට කියා කිසිවෙකුට කිසිවක් කළ නො හැකි ය. කවර පරිත්‍යාගයක් කළ ද සිය අවස්ථාව බලා යන කෙනා යන්නේ ය. කාලය පැමිණෙන තුරු කල්යල් බලමින් කාලය ගෙවාගන්නවා පමණි. සම්බන්ධතා පවත්වාගත යුත්තේ ඒවා බිඳී ගිය කල මඳහසකින් එදෙස බැලිය හැකි සීමාවේ ය. අනිත් අතට සම්බන්ධතා රැකගන්නට ය කියා අනවශ්‍ය කැපකිරීම් හා සැලකිලි කිරීම අතිශය අන්තරායක බව ද අන්තරා අත්දැකීමෙන් පසක් කරගෙන තිබේ. ඇතැම් විට ඒ සම්බන්ධතා නරක අතට හැරෙන්නට ද ඒ වැඩි සැලකිලිවල බලපෑමක් ඇතිවිය හැකි බැවිනි. පැළයකට වුව වතුර වැඩි වූ විට මැරී යයි!
සුසුමකින් අසුනින් නැගී සිටි අන්තරා ස්වරාවී ගාන්ධාරා, සිය ජංගම දුරකතනය ගෙන ඉන් යුගාත්ම කාශ්මීර අමුණුගම ගේ දුරකතනය අංකනය කළා ය.