සුහදිනි – 61

අහස්ට තිබුණේ පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ක්‍රීඩා කරද්දී දැනුණාටත් වඩා තිගැස්මකි.ඔහු අභියෝග හඹා යන්නෙකි.ජීවිතය අභියෝගයක් කරගත් තරුණයෙකි.නමුත් මේ අභියෝගය අන් සියල්ලටම වඩා වෙනස් එකකි.

“මනමාලියක් බලන්න තනියම යන් නෑ දරුවො.”

අම්මා මේ ගමන අහස් තනිව යනවාට දැඩි විරුද්ධත්වයක් පළ කළා ය.නමුත් මේ යන්නේ මනමාලියක් බලන්නට නොවේ.එවැනි චාරිත්‍ර  ගැන ඕනෑවට වඩා සිතුවා නම් අම්මා සකීව නිවසට ගෙන්වා ගන්නේ නැත.අහස් ගේ පන්දු තරමටම බලවත් ඔහුගේ අරක බිඳින්නට අම්මා අපොහොසත් ය.නමුත් ඉලංගසිංහ මහත්මිය දිගින් දිගටම විරුද්ධත්වය ප්‍රකාශ කළා ය.

“අද සකීත් ගෙදර නෑනෙ අම්මා.මම යන්නේ එයාගේ තාත්තව මුණගැහිලා මට කියන්න තියන දේවල් ගැන පැහැදිලිව කියන්න.ඊටපස්සෙ අපිට මනමාලිව බලන්න යන්න පුලුවන්ද  කියලා අපි බලමු.”

අහස් අම්මාට එසේ පැවසුවා ය.

“හරි,මේ අම්මලා එක්ක යන්න බැරි ගමනක්ම කියමු.ඒ වුණාට මට එන්න බැරිකමක් නෑනෙ.”

සියුම් මිතුරා තනි නොකරන්නට සිතුවේ ය.එහෙත් අහස් ඔහුව ද වළක්වාලන්නට විය.මේ ගමන තනිව යන්නට ඔහුට ඇත්තේ තදබල ඕනෑකමකි.

“උඹේ සිරිමත් මූණ දැකලා තාත්තා උඹට කැමති වුණොත්? ඒ නිසා උඹ එන්න ඕනත් නෑ.”

අහස් සරදමකින් තත්ත්වය සාමාන්‍ය කරන්නට උත්සාහ ගත්තේ ය.මේ ගමන අහස්ට මොනතරමට බලපෑමක් කරාවිදැයි අනුමාන කිරීම අපහසු ය.ඒ හන්දාම සියුම්ට මිතුරා තනි කරන්නට සිත නොදේ.

“වර්ල්ඩ් කප් එක කට උඩ.ඔය ගමන් ගිහින් ඇවිල්ලා මානසිකව වැටිලා ඒක ෆේල් කරගත්තොත්.උඹට නම් මොනව උනත් මට අදාළම නෑ.ඒත් මේක රටක බලාපොරොත්තුවක්.උඹ පිස්සු නැටුවම ඇති ටීම් එකම වැටෙන්න.”

රටක බලාපොරොත්තුව කණ්ඩායම බව සැබෑවක් වුවද සියුම්ගේ බලාපොරොත්තුව අහස් බව හොඳින්ම දන්නේ අහස් ය.අහස් සමහර වාර්තා පිහිටවූ මොහොතක මිටිකර ගත් දෑත එකට තද කරගෙන කඳුළු වාවාගන්නා සියුම් ගැන ඔහුගේ මව ද අහස්ගේ අම්මා ද ඕනෑතරමට කියා තිබේ.ඒ හන්දාම සියුම් සිටින්නේ අහස් ගැන කැළඹීමෙනි.

“මට මේ ගමන තනියම යන්න පුලුවන්.”

අහස් අවසාන තීරණය ලබා දුන්නේ ය.

“මොන දේවල් කොහොම වුණත් සකී මගෙන් ඈත් වෙන්නේ නෑ කියලා මං දන්නව.එහෙම විශ්වාසෙකින් ජීවත් වෙන්න ලැබෙන එකම සහනයක්.ඒ හින්දා මේ ගැන හිතන්න එපා.”

අහස් සියුම්ට පැවසුවේ පිටත් වන්නට ප්‍රථමයෙනි.සියුම් මිතුරා වැලඳ සමු දුන්නේ ය.මේ ඔහුගේ තීරණාත්මක ගමනකි.ඔහු ක්‍රීඩා කරන මොහොතක වාගේම මේ මොහොතේ ද සියුම්ට කළ හැකිව ඇත්තේ දුරට වී ජය පැතීම ය.

“මේක රන්මිණිකාර ප්‍රශ්නයක්ද මන්ද.ඒත් අංකල් අකමැති වුණොත්? ඔයාගේ තීරණේ මොකක්ද සකී?”

දේශනවලට සහභාගී වන්නට තරම් මානසික ඒකාග්‍රතාවයක් නොවූ හන්දා පසෙකට වී වාඩි වී හිඳින සකි අසලින් අසුන් ගත් නිම්නා විමසුවා ය.නිම්නා මෙවැනි ප්‍රශ්න අසන්නේ රන්මිණි මෙන් රිදවන්නට නොවේ.ඊළඟ පියවර සැලසුම් කිරීම උදෙසා ය.ඒ හන්දා ඇයට ඇහුම්කන් දීම සකීට අපහසු කාරණාවක් වන්නේ නැත.

“මේ මගේ ජීවිතේ.මගේ ජීවිතේ ගැන මම තීරණ ගන්න ඕනි කියල මම හිතුවා.වැරදිලා හරි මම ගන්න තීරණයක් වැරදුණොත් ඒ වගකීමත් මට.”

සකී කවරදාටත් වඩා ශක්තිමත් ය.විශ්ව විද්‍යාලයට පැමිණි කාලයේ සිටි බොළඳ මිතුරිය තවදුරටත් නොමැති බව නිම්නා වටහා ගත්තා ය.

“අම්මලා තාත්තලාට අපි ගන්න තීරණවලට බලපෑම් කරන්න තිබ්බා,එහෙම වුනානම් අපි මීට වඩා හොඳට ජීවත් වෙනවා කියලා අපිට හිතෙන දවසක් එන්නත් පුළුවන්.මං මේ කියන්නේ අපේ අක්කා ගැන හිතලා.එය රහල් අයිය බඳින කොට ඒ මනුස්සයා ගැන තේරුම් කරල දෙන්න තිබුණා කියල එයා දැන් අම්මටයි තාත්තටයි දොස් කියනව.ඒ උනාට ඒ කාලේදී කිව්වා නම් ඕක අහන්නේ නෑනෙ.දැන් දරුවත් එක්කම ඇවිල්ලා ගෙදර වැටිලා අම්මට අම්මටයි තාත්තට දොස් කිය කියා ඉන්නවා.”

දික්කසාදයකට සැරසෙන නිම්නාගේ වැඩිමහල් සහෝදරියව සකී සිහි කළා ය.තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් ගන්නා තීරණ වල වගකීම තමන් සතු විය යුතු වේ.ඒවාට බලපෑම් නොකිරීම ගැන දෙමාපියන්ට දොස් නැගීමෙන් සිදුවන යහපතක් නැත.

“අපේ තාත්තා මටයි අහස්ටයි ආශිර්වාද කරනව.එහෙම කරන්නේ මගේ සතුට ගැන තාත්තා දන්න නිසා.මං තීරණයක් ගන්නේ බොහොම විශ්වාසයකින් කියලා තාත්තා දන්නව.ඒ හින්දාම අද අහස්ට බැනුං අහගෙන ආපහු එන්න වෙන්නේ නෑ.”

සකී එසේ කියන්නේ සැනසුම් මඳහසකිනි.නිම්නා ඇගේ අත අල්ලා ගත්තා ය.තවත් රන්මිණිකාර ප්‍රශ්නයක් වේ.

“ආන්ටිගෙ තත්වෙ කොහොම වෙයිද?”

සහකරුට ඕනෑ දේ සිදුවන්නට ඉඩ දී බලා නොසිට ප්‍රශ්න කරන පරම්පරාව බිහි වෙමින් පවතින්නේ වර්තමානයේ ය.අම්මලා සිටින්නේ ඊට අඩියක් පිටුපසින් බව සකී දන්නී ය.එහි වරද හෝ නිවැරදි භාවය ගැන තර්ක කිරීම වෙනම කාරණාවකි.නමුත් අම්මා කියන්නේ ද ඕනෑම දෙයක් “තාත්තාගෙන් අසා කරන්නැයි” පැවසූ සාම්ප්‍රදායික අම්මා කෙනෙකි.

“සමහරවෙලාවට හැමදේම වෙනස් වෙයි.වර්ල්ඩ් කප් කාලේ වෙනකොට ආන්‍ටි අහස්ට බෝධි පූජා තියන මට්ටමට සේරම වෙනස් වෙන්නත් පුලුවන්.ජීවිතේ කියන්නෙ එහෙම දේකට.”

 නිම්නා සිතිවිල්ලේ පැවසුවා ය.අනතුරුව දැනෙන පීඩාකාරි හැඟීම වෙනස් කරගන්නට ඇයට ඕනෑ විය.

“මොනව වුණත් මං සකී කෙනෙක් මේ ලෝකෙ ඉන්නවයි කියලා නොදන්න කාලෙත් අහස් මගෙ ලේ පිච්චුවා.දිනයිම කියල හිතන මැච්වලත් ඔය යකා විකාර කරලා අවුරුදු දහ අටේදි විතරත් අපි ප්‍රෙෂර් පෙති හෙව්වා.දැන් ඉතිං මගෙ මස්සිනා වුණාට පස්සෙත් මේ යකා මට ප්‍රෙෂර් හදනව.ගිහිල්ලා කෝල් එකක් දීලා වෙච්ච දෙ කියනකම් අපි මෙතන පිච්චෙන්න එපැයි.”

නිම්නා කැළඹීමෙන් සිටින බව සැබෑවකි. නමුත් සකී සිටියේ කැළඹීමෙන් නොවේ.ඇය සිදුවන දේ දැන සිටි අතර ඇගේ අනුමාන වෙනස් වී සියල්ල වැරදී ගිය ද කම් නැත.

මේ ප්‍රේමය නොවෙනස් එකකි.

Related Articles

Don't Miss


Latest Articles