සුහදිනි – 33

“අද ෆයිනල් මැච් එක.අර මෝඩ යස්සයා මැච් එක කෑවොත්නම් ඔයාවත් බෝඩින් එකෙන් පන්නනවා.”

සකී රන්මිණිගේ ඒ කතාවට තිගැස්සුණා ය.අහස් ගැන එසේ කියන්නට නම් ඇයට මොනවා හෝ ඉව වැටිය යුතුම වේ.

“හරි කෝලමක්නෙ.ඒ අපි කාගෙත් ෆේවරිට් ක්‍රිකටර් කෙනෙක් මිසක් අපේ කවුරුත් නෙවේනෙ”

කරන්නට අප්‍රමාණ වැඩ ද ඇති හෙයින් ක්‍රිකට් තරග නරඹන්නට වෙලාවක් නැති බව පවසමින් නිම්නා සිහි කළා ය.ඇයට සැකයක සේයාවක් නැතිවා නොවේ.නමුත් සකී හෙළි කරනතුරු ඒ ගැන විමසන්නට ඇයට සිතක් නොවේ.

“ඔයා අහස්ට මැරෙන්න තරම් කැමති කියල දැන දැනම ඔයා ක්‍රිකට් මැච් බලනවට ඔයාගේ බෝයි කැමතිද?”

රන්මිණිගේ මේ ප්‍රශ්න ඇසීම නවතිනවානම් ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට සකී සූදානම් ය.නමුත් ඇය දිගින් දිගටම කියවීම තෝරා ගෙන තිබිණ.

“මං නම් චමත්‍ට කාංචනා අනුරාධිගෙ සින්දුවක්වත් අහන්න දෙන් නෑ.ඒ තරමටම ඉරිසියාවයි.මට නොතේරෙන්නෙ ඔයා අහස්ට මෙච්චර කැමතියි එයා වෙනුවෙන් මෙච්චර අපහාස අහනවා එයා වෙනුවෙන් චිත්‍ර අඳිනවා වගේ කතා ආරංචි වුණත් ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ්ට ඒක ගාණක් නැද්ද කියල.”

නමුත් සකී ඒවාට පිළිතුරු දෙන්නට නොගියා ය.කැමතිම අය ඕනෑතරමට සිටින්නට පුළුවන.නමුත් ආදරය හිමි කරගන්නේ එක් අයෙකි.ඒ ආදරයේ අයිතිකාරිය හෝ අයිතිකරු කැමතිම අය වෙනුවෙන් විස්සෝප විය යුතු නැති බව සකී සිතන්නට වූවා ය.

“ඔයා කැමතිම නිළිය කවුද? බොලිවුඩ්වල?”

සකීගේ ඒ ප්‍රශ්නයට අහස් දුරකථනය ඔස්සේ දුන් සිනාව සකීගේ ලස්සනම මතක වලින් එකකි.ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලිය තුළ ඒ තරුව මුණ ගැසෙන්නේ නම් සකීට එය දරා ගන්නට බැරි ඉරිසියාවක් වන්නට ඉඩ ඇති බව අහස් කියන්නේ හිනැහෙමිනි.සකී ඔහුගේ සිනාවට එක් වූවා ය.ඇයට ඔහු සිනාසෙනවනම් ඒ සිනාව බෝ වන්නට වැඩි වෙලාවක් ගත වන්නේම නැත.

“වැඩක් නෑ.මගේ බොලිවුඩ් ක්‍රෂ් එක කෝලි අයිති කරගෙන ඉවරයි.ඒ හින්දා මට කොහොමත් ඌව අඩු ලකුණු ගාණකට අවුට් කරගන්න එක තමයි එකම සතුට.”

එසේ පවසා අහස් හිනැහුණු අන්දම සිහි වෙද්දී සකීට තවමත් සිනා නැගෙයි.අහස් ඕනෑම මොහොතක් සරල සිනාවකින් ගෙවා දමන්නට කැමැත්තෙන් හිඳින්නෙකි.ඔහුගේ සිනාව මිනිසුන් රවටනසුළු එකක් බවට සමහරුන් සමාජජාලාවල ලියන්නේ ඇයිදැයි සකී සිතුවේ වේදනාවෙනි.නමුත් ඒවා ගැන කම්පනය වීම මේ මොහොතේ කළ යුතු නැතැයි ඇය ඉන් අනතුරුව තීරණය කළා ය.

“අද අපි පැරදුණොත් සම්පූර්ණයෙන් වැරැද්ද මගෙ වෙනව.”

අහස් තරගයට පෙර ඇය අමතන්නට හැකි වූ මොහොතේ පැවසුවේ මඳ ළතැවිල්ලෙනි.ඔහු තිගැස්මෙන්දැයි සිතෙද්දී ඇයට වේදනාවක් නොදැනෙනවාම නොවේ.නමුත් ඇය ඔහුව ශක්තිමත් කරන්නට වූවා ය.

“සකී,ඔයාට ඊයේ රෑ නපුරු හීනයක් පෙනුණද?”

අහස් අසයි.සකී සැබෑවටම නරක සහ නපුරු සිහිනයක් දුටු බව නොපවසා ඉන්නට සිතුවා ය.ඔහු සහ ඇය හිඳින නපුරු සිහිනය ඇය ඔහු ලංකාවෙන් පිටව ගිය දිනයේ ද ඊයේ ද දුටු බව ඔහු දැන ගත යුතු නොවේ.ඔහු ඒ සෑම මොහොතකම අනතුරේ වැටුණේ අනතුර පෙනි පෙනී ය.තමන් යන මාවත ඔසවන පියවරක් ගැන ද අහස් හිඳින්නේ විශ්වාසයෙන් නොවන බව සකී ඒ සිහිනය අනුව සිතුවා ය.

“ඔයා ඉන්නේ පොඩ්ඩක්වත් ඊළඟට වෙන දේ අනුමාන කරන්න බැරි ගේම් එකක.මම හිතන්නේ නෑ අපිට ඒ ගේම් එක හීනෙන් දිනන්න පුලුවන් කියලා.”

සකී ඔහුගේ හිත නොරිදෙන පිළිතුරක් ලබා දුන්නා ය.නමුත් අහස්ට දැන ගන්නටම ඕනෑ විය.ඇය ක්‍රිකට් තරග නොබලා අත් හරින්නේ ඔහු ගැන නරක නපුරු සිහින දකින දින බව දැන් ඔහු දනියි.

“ඔයා ඔයාව විශ්වාස කරන්නයි ඕන.හීන ගැන අපිට කියන්න බෑ.”

සකී නොනවත්වාම පැවසුවේ එපමණකි.ඇයට පවසන්නට තිබුණේ ද එපමණකි.

අහස් මුලදී සාර්ථක වූයේ නැත.මුලින්ම ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවීම ආරම්භ වී තිබිණ.අහස්ට ඕස්ට්‍රේලියානු පිතිකරුවන් දරා ගැනීම පහසු වූයේම නැත.ඔහු එතරම් ළකුණු පූජා නොකරන්නේනම් යැයි සකී පවා සිතන්නට වූවා ය.නමුත්,ඇය හුන් තැනම වාඩි වී ඔහු විශ්වාස කරන්නට පටන් ගත්තා ය.නිම්නාගේ ජංගම දුරකථනය හරහා ක්‍රිකට් තරගය නරඹමින් හුන් ඇය එහෙමෙහෙ ඇවිදින්නට වූයේ නොසන්සුන්ව ය.

“මේ යකාට මීම් හැදෙනව හිටු කියල.ක්‍රිකට් ගැන ලියන ගොඩක් මිනිස්සු නැති භංගස්ථාන වෙන හෑලි තමයි ලියන්නේ.”

රන්මිණි සිටියේ සතුටිනි.සකී මුහුණ නරක් කර ගත්තා ය.නමුත් ඕනෑම ක්‍රිකට් තරගයක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ යුතුම යන මානසිකත්වයේ සිට නරඹන නිම්නා ඒ කතාවට එකඟ නොවී ය.

“අනේ මේ.මට ඔයාගේ ඔය විකාර ඇති වෙලා.අනිත් අයගෙ ක්‍රෂ් පාච්චල් කරාට කමක් නෑ.ඒක ඔයා ඕනෑවට වඩා කරනවනෙ.අපේ ක්‍රෂ් එකක් කිව්වොත් ඒ සින්දුව කැතයි.නැත්තං ෆිල්ම් එක කැතයි.නැත්තං මැච් එක පරදින්න ඕන.මේක හරි විකාරයක් වුණානෙ.”

රන්මිණිට එසේ කියන්නටත් ඉන්පසු ඇති වූ වාදය හන්දාත් නිම්නා දුරකථනය නිවා දැමුවා ය.දැන් කාමරයෙන් ක්‍රිකට් තරගයේ හඬ ඇසෙන්නේ නැත.

සකී සඳැල්ලට ආවා ය.හාත්පස අඳුර පැතිරෙමින් පවතී.මේ අඳුර අහස්ගේ ජීවිතය මත වැටෙන්නට ඉඩ දිය යුතු නැතැයි ඇය ප්‍රබල තීරණයකට එළඹියා ය.ඇය දුරකථන විදුලි පන්දම දල්වා ගත්තී, කොළයක් ද පින්සලක් ද රැගෙන සඳැල්ලට ආවා ය.

ක්‍රිකට් තරගයේ අහස් කුමක් කරමින් සිටීදැයි සකී ඉනික්බිතිව නොසිතුවා ය.කාමරය තුළින් නිම්නා දුක් වන හඬ ද රන්මිණිගේ දෝස් මුර ද ඇසේ.අහස් අතින් ලැබුණු ලකුණු හන්දාම ශ්‍රී ලංකා පිලට හඹා යන්නට වෙන්නේ අසීරු ඉලක්කයක් බවත් එය පන්දු ඕවර විස්සකින් නොව ඕවර පනහකින්වත් දිනා ගත නොහැක්කක් බවත් සියුම් කෙටි පණිවිඩයක් එවා තිබිණ.

“මේ වතාවත් ෆේල් කියන්නේ අපේ කොල්ලට මොනවා වෙයිද නංගි.”

ඔහුට කිසිවක්ම වන්නේ නැත.දක්ෂයෙකු තමන්ගේ දක්ෂතා අමතක කර දමා අන් අයගේ දෝෂාරෝපණය හන්දා සසැලෙනවා පමණකි.සකී සියල්ල අමතක කර දැමුවා ය.තමන් වටා ලෝකය කරකැවෙමින් තිබෙන බව පවා අමතක කර දැමුවා ය.ඇය ඔහු ප්‍රීතිමත් සිනාවකින් සූරියකාන්ත මල් ගොමුවේ ඇවිද යන අන්දම සිතුවම් කරන්නට වූවා ය.බොහෝ වෙලා ගත කරමින් ප්‍රීතිමත් අහස්ව සිතුවම් කරන්නට ගත්තා ය.

වෙලාව ගත වන්නට ඇත.හුන් තැනම ගල් වී ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා එකතු කරමින් සිටි සකීට ඔරලෝසුවේ කටු කරකැවීමවත් නොපෙනේ.ඇය අහස්ගේ ප්‍රීතිමත් මඳහස සහිත සිතුවම අවසන් කළා ය.

“සකී…එන්ඩෝ! මේක නොබලන ඇස් වැඩක් නෑ.වරෙං…”

නිම්නා මහත් ඝෝෂාකාරීව කෑගැසුවා ය.කාමරයට යනවාද නැද්දැයි සිතමින් ඇය සිතුවමේ සිටින ප්‍රීතිමත්ම අහස් දෙස බලා සිටියා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles