සියල්ලට මුලින් කේන්දර කර තියා විවාහ වූ අවාසනාවන්ත යුවතියක්

“ගයානිට යෝජනා කීයක් බැලුවද? එකක්වත්ම හරි ගියේ නෑනේ.”

නිර්මලා තමන්ගේ සැමියා වුණු සෝමසිරිට එහෙම කිව්වේ බොහොම දොම්නසින්. ඔවුන්ගේ බාල දියණිය වූ ගයානිට මොන තරම් විවාහ යෝජනා ගෙන ආවත් ඒ වගේ මොනවා හෝ අඩුපාඩු තිබුණා. ඔවුන් කැමති වූ යෝජනා වලට මනාලයාගේ පාර්ශවයෙන් කැමැත්තක් තිබුණේ නැහැ. මනාලයා ඉහළින්ම කැමති වන යෝජනා වලට ගයානි දැඩි ලෙස විරුද්ධත්වය පළ කළා.

“අනිත් එක මේ ළමයගෙ කුජ හතේ තියෙන්නේ. මගුල් යෝජනා හොයනව කියන්නෙ නෝනේ පුදුම අමාරු වැඩක්.”

කපු මහත්තයා හැම වෙලාවකම පැවසුවේද එහෙම කතාවක්. ලෝකයේ අනිත් රටවල් විවාහයේදී සැලකිලිමත් වන්නේ අධ්‍යාපනික සුදුසුකම්, දරුවන් රෝගවලට ලක් වීමේ අවදානම, අදහස සහ ආදරය වුණත් අපේ රට ඊට වඩා බොහොම වෙනස්. කේන්දරය හිස මත තබා ගත් වැඩිහිටියන් නිසා දරුවන්ගේ ජීවිතවලට ලබා තිබෙන්නේ ඉතාම අවාසනාවන්ත ඉරණමක්.

ගයානි ඒ ඉරණමෙහි තදින් ගිලී සිටියදී එක්තරා සහන් එළියක් ඇගේ පවුලට ලැබෙනවා.

අවිශ්ක ඔවුන්ට කතා කරන්නේ පුවත්පත් මංගල දැන්වීමකට පිළිතුරු වශයෙන්.

“මගේ ගැටලුවක්නම් තියනව. මට අම්මා තාත්තා නෑ. ඇක්සිඩන්ට් එකකින් නැති වුණා. මට ඉන්නේ ලොකු අක්කා විතරයි.”

අවිශ්ක එහෙම කියනවා. නමුත් නිර්මලා සහ සෝමසිරි ඔහු කැඳවන්නට තීරණය කරනවා. අනිත් කාරණාව වෙන්නේ අවිශ්කගේ කේන්දරයත් ගයානිගේ කේන්දරයට හොඳින් ගැළපීම.

“ඔයාට ලොකු වෙඩින් එකක් ඕනෑද මැණිකේ. ඕවා බොරු වියදම්. ඒ සල්ලිවලින් අපිට කාර් එකක් අරන් දෙන්න කියලා තාත්තට කියන්න.”

මේ වෙද්දී දුරකථන මාර්ගයෙන් සමීප වෙමින් සිටි ගයානිට අවිශ්ක එවැනි අදහසක් ලබා දුන්නා.

“දුරදිග කල්පනා කරලා වැඩ කරන කොල්ලා.”

ඒ කතාව ඇසූ නිර්මලා සහ සෝමසිරි සතුටට පත් වුණා මිස කෝප ගත්තේ නෑ. අවුරුදු තිස් දෙකක් තිස්සේ මනාලියක වන්නට තිබූ ආශාව කැප කරන්නට ගයානි තීරණය කළා. ඒ ඇය අවිශ්කට සැබෑවටම ආදරය කරමින් සිටි නිසා.

ගයානිගේ පවුලේ ඥාතීන් කිහිප දෙනෙකු සහ අවිශ්කගේ අක්කා පමණක් සහභාගී වූ සරල උත්සවයකට පසු ඔවුන් විවාහ වුණා.

“මට අම්මා තාත්තා නැති වුණේ පොඩි කාලෙදිනෙ. මං ඇත්තටම ආසයි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් එක්ක ඉන්න.”

අවිශ්ක ගයානිගේ මහ ගෙදර නැවතුණේ එහෙම කියමින්.

“මැණිකේ, බිස්නස් වැඩක් තියනවා යට කරන්න සල්ලි ටිකක් මදි.”

ඒ වගේ කතා අවිශ්ක කියන්නට පටන් ගන්නා විට ඔවුන්ගේ විවාහයට මාස හතරක් පහක් ගෙවී අවසන්. කරන්නේ කුමක්දැයි තීරණය කළ පසු ගයානිගේ රන් බඩු උකස් කරන්නට ඔවුන් තීරණය කළා.

අවිශ්ක buying and selling ව්‍යාපාරයක් කරනවායැයි කීවට ඒ ගැන කිසිම අදහසක් ගයානිගේ පවුලේ අයට තිබුණේම නෑ. ඔහු කරන්නේ මොනවාදැයි සෘජුව සොයා බලන්නැයි ගයානිගේ අක්කාගේ සැමියා වූ නාරද නම් යෝජනා කර තිබුණා.

“ඔය මිනිහා කුඩුවත් විකුණනවානම් එහෙම අපි පවුල් පිටින් ගස්.”

නාරද එහෙම කියද්දී නිර්මලා ඒ ගැන ඉතා කෝපයට පත් වුණා.

“නාරදට වඩා අවිශ්කට යමක් ගැන දැනුමක් තේරුමක් තියනවා. ප්‍රියමනාපකමක් තියනවා. මට නම් හොඳටම තේරිලා තියෙන්නේ අවිශ්ක එක්ක නාරද ඉරිසියාවයි”

නිර්මලා ස්ථිර කරමින් එහෙම කිව්වා.

අවිශ්කට සමහර වෙලාවට ඉතා හදිසි ව්‍යාපාරික කටයුතු මතු වෙනවා.එවැනි මොහොතක ඔහු දින ගණනකට ගෙදරින් පිට වෙනවා.

“කෝල් කරන්නවත් ඉවරයක් නෑ මැණිකේ.”

එවැනි මොහොතක ඔහු කියන්නේ එහෙම කතාවක්. ගයානි අන්ධ බිහිරි ගැහැනියක සේ ඒ සෑම කතාවක්ම පිළි ගත්තා. ඒ නිසා ඇය අවිශ්කව බිඳුවක්වත් සැක කළේ නෑ.

සියල්ල කණපිට පෙරළුනේ හිටිහැටියේ. තරුණ කාන්තාවක් කුඩා පුතෙකුද රැගෙන ගයානිගේ නිවසට පැමිණියේ ඉතා වෙහෙසකර මුහුණින්.

“අවිශ්ක ඉන්නවද?”

ඇය එහෙම අසද්දී ගයානි ඇය දෙස බැලුවේ පුදුමයෙන්. ඇය දන්නා තරමට අවිශ්කට කිසිම නෑයෙක් නැහැ. මේ ව්‍යාපාරික සගයෙකුගේ පෙනුම ඇති කෙනෙක්ද නෙමෙයි.

“මට ආරංචි වුණා එයා මෙහෙ ඉන්නවා කියලා. ඇයි එයාව රවට්ටා ගත්තේ?”

පැමිණ සිටි කාන්තාව, අචිනි එහෙම ඇසුවේ හඬන අතර.ගයානිට හැඟුනේ සියල්ලම පැටලී ගිය ස්වභාවයක්.

“අවිශ්කයි මායි කසාද බැඳලා අවුරුදු පහක් වෙනවා.පුතාට අවුරුදු තුනක්. ඈත පළාතක රස්සාවකට යනවා කියලා එයා අතුරුදහන් වුණේ. මොනවද මන්ද බිස්නස් එකක් කරනවා කියලා මට වරින් වර සල්ලිත් ගෙන දුන්න තමයි. වුණාට එයාට මෙහෙම පවුලක් තියෙනවා කියලා මම දැනගෙන හිටියේ නෑ. අනේ වෙන ගෑනියෙක්ගේ මිනිහෙක්ව කඩාගන්න එක මහා පවක් නෝනා. මට මගෙ මනුස්සයා දෙන්න.”

අචිනි දිගටම පැවසුවේ අවිශ්ක සහ ගයානි අතර අනියම් සම්බන්ධතාවයක් පවතින බවක්. ගයානිට සිතුණේ මේ අවිශ්ක විවාහ නොවූ පෙර පෙම්වතියක් බවක්. මේ ගැටළුව ලෙහා ගැනීම ඉතා අපහසු වුණා.

“අවිශ්ක රවට්ටලා තියෙන්නේ නංගියි, අර ගෑනු කෙනායි විතරක් නෙවේ.දැන් පේන හැටියට එයා අපි ඔක්කොමව රවට්ටලා.”

ගයානිගේ අක්කා වූ අමාලි පැවසුවේ ඉතාම වේදනාවෙන්..අවිශ්ක මේ වෙද්දී ගයානි සතු දේපල විශාල ප්‍රමාණයක් විකුණා දමා තිබුණා. මේ සිදුවීමෙන් පසු ඔහු ඇය දකින්නටවත් ආවේ ද නෑ.

“හරියට බලනකොට මේ කසාදේ වලංගු එකකුත් නෙවෙයි.”

නාරද එසේ පවසද්දී සෝමසිරිට සහ නිර්මලාට දැනුණේ කරකියා ගන්නට නොහැකි තරම් අසරණකමක්. මුදල් හදල් ඇති පවුලක තරුණියක හා විවාහ වී දේපල කොල්ල කෑම අවිශ්කගේ අරමුණ වී තිබුණා 

“කනේ දාන් ඉන්න කරාබු දෙක විතරයි ඉතුරු. බිස්නස්වලට සල්ලි හිරවෙලා කියලා එයා සැරෙන් සැරේ රත්තරන් බඩු අරන් ගිහින් උකස් කළා.”

ගයානි පැවසුවේ හැඬූ කඳුළින්. වඩාත්ම ඛේදජනක කාරණාව වුණේ ඇය මේ වංචනික විවාහය නිසා ගැබිණියක වී සිටීමයි.

“අපි නඩු කියමු.මොන දේ කොහොම වුණත් නංගිට අපි ඉන්නවා.”

අමාලි සහ නාරද එසේ කියමින් ගයානිගේ සහ දෙමාපියන්ගේ හිත හදන්නට වෙහෙසුණා.

ගයනි පසුදාම අක්කා සහ මස්සිනා සමඟ අප මුණ ගැසෙන්නට ආවා. ඇගේ විවාහය ශුන්‍ය සහ බල රහිත එකක් බව අපි ඇයට පැහැදිලි කර දුන්නා.ඉන් නිදහස් වන්නටත් බහු විවාහය යටතේ අවිශ්කට නඩු පවරන්නටත් ඇයට ඕනෑ වුණා. මේ නඩුව මේ වන විට විභාගයට ගැනෙමින් පවතිනවා. අවිශ්කට බහු විවාහ යටතේ සිර දඬුවම් පවා හිමි වන්නට ඉඩ තිබෙනවා. අවිශ්ක නැවත පැමිණෙන තුරු අචිනි බලාපොරොත්තු සහිතව බලා සිටීමත් ඛේදවාචකයක්.

සත්‍ය අසත්‍ය ගැන මිම්මක් දෙන්නට බැරි කේන්දර නොසිතන තැන්වල ගැළපෙන්නට පුලුවන්. නමුත් විවාහය ඊට වඩා බරක් ඇති දෙයක්. ඔබ විවාහ වන පුද්ගලයා ඔහු ගැන කියන දේට අමතරව ඔහු ගැන සොයා බැලීම අතිශය වැදගත්. ඒ සම්බන්ධයෙන් උපාය දූතයන් හෝ යොදවා සොයා බැලීමෙන් ඔබට නරකක් වෙන්නේ නැහැ. අනෙක් අතර විවාහ වන්නේ යෝජනාවකින්නම් මෙය කොහොමටත් කළ යුතුම දෙයක් වෙනවා.

අනිත් කාරණාව මෙවැන්නක් සිදු වූ විට අමාලි සහ නාරද මෙන් හැසිරෙන්න. කලබලයට පත් නොවී විපතට පත් පවුලේ සාමාජිකාව වෙනුවෙන් වහා කළ යුතු දේ කරන්න. කලින් විවාහ වූ දික්කසාද නොවූ පුද්ගලයෙකු සමඟ විවාහ වූ විට විවාහය ශුන්‍ය සහ බල රහිත වෙනවා. ඒ නිසා නීතිය හමුවට ගොස් ඒ දික්කසාදය හැකි ඉක්මනින් ලබා ගන්න.

රැවටීමෙන් මිදෙන්නටත් රැවටිලිකාරයන්ට නීතියෙන් දඬුවම් දෙන්නටත් ඔබට පූර්ණ අයිතියක් තිබෙනවා.

Related Articles

Don't Miss


Latest Articles