මතක දිගහැරුම 6 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හයවන දිගහැරුම

කිසිම දිනක මගේ සිත තුල පන්ති බේදයක් තිබුනේ නැත.හැම මිනිසෙක්ම එක සමානය යන හැඟීමෙන් මා අදටත් කටයුතු කරන කෙනෙක් අතර කිසිම ආඩම්බරකමකින් තොරවම සියලු දෙනා සමඟ මම සිනාසෙමි , කතාබහ කරමි.මිනිසුන් ලෙස අප කුමන තරාතිරමක සිටියද අනෙකාට ගරු කල යුතු බව මගේ සිතුවිල්ලයි.
මගේ ඒ ගතිගුණය නිසා ඇතැම් දිනවල අම්මා සමග මා කොහේ හෝ යන්නට සූදානම් වූ විට ඇයගෙන් මට ලැබෙන්නේ ආදරණීය තරවටුවකි .

” ඔන්න දැන් ඉතින් සකබඹරේ වගේ කැරකි කැරකි හැමෝටම අත වන වන මා එක්ක යන්න එන්නෙපා “

පාර අතුගාන පුද්ගලයාගේ සිට සෑම කෙනාටම ” අන්කල් ” ලෙස අමතමින් ” අන්කල් කොහොමද ” යැයි මා අසමි. ” අපි පොළේ යනවා ” , ” අපි කඩේ යනවා ” කියමින් ,ඔවුන් සමග සිනහා වෙමින් ඔවුන්ට අත වනමින් මවගේ අතේ එල්ලී යාම මගේ පුරුද්ද විය.කඩේට ගිය විට කඩේ මුදලාලි සමඟද ,ඔහුගේ බිරිඳ එහි සිටින විට ඇය සමඟද කතා කර මිසක් මා ආපසු එන්නේ නැත.සෑම කෙනා කෙරෙහිම මගේ සැලකීම එක සමාන වූ අතර එය මා මගේ හදවතින්ම සිදු කල දෙයකි.

මගේ එම පුරුද්ද නිසාවෙන්ම තාත්තා එකල විහිලුවට කියනා දෙයක් මට මතකය.

” මෙයාගේ වෙඩින් එක මට ගන්න වෙන්නෙ ගෝල්ෆේස් එකේ.පාරේ ඉන්න මිනිස්සුන්ටයි ,කඩවල් වල මුදලාලිලාටයි , යාලුවෝ ඔක්කොටමයි කියන්න වෙනවනේ ඉතින් .ඔයාව හැමෝම අඳුරනවනේ “

තාත්තාට තමන්ගේ දරුවන් ගැන තිබුනෙ අහසක් උසට බලාපොරොත්තු ය .එකී බලාපොරොත්තු පෙරදැරි ව ඔහු සහ අම්මා නිතරම යහපත් ගුණධර්ම සමග නංගීවත් මාවත් උස්මහත් කිරීමට බොහෝ කැපවිය .

ඉස්සන් සහ දැල්ලන් ආහාරයට ගත් විට ශරීරයේ උශ්ණය පිට දමන ගතියක් එකල මට තිබුනි.ඒ නිසාවෙන්ම අම්මා ඉස්සන් සහ දැල්ලන් හදන දිනවල ආසාවට මෙන් ඉස්සන් දෙන්නෙක් හෝ තුන් දෙනෙක් පමණක් රස බැලීමට මට හැකි විය. නමුත් එවිටද කකුල් වල රක්තය සෑදුනා මෙන් උශ්ණය පිට දැමීම සිදුවිය.ඒ නිසා තාත්තා සතියට දින දෙකක් හො තුනක් ගාලු මුවදොර පිටියට හෝ ගල්කිස්ස මුහුදු වෙරළට අප රැගෙන යයි.ඒ යනවිට පුංචි බාල්දියක්ද රැගෙන යන තාත්තා මට මුහුදු රැල්ල පාගන්නට හැර මුහුදු වතුරින් මාව නහවයි.ඉන්පසු මගේ ශරීරයේ තිබූ එම උශ්න පිටදැමීම් ඉබේටම සුව විය.තාත්තා භාවිතා කලේ එවැනි ක්‍රමය. ඔහුවත් අම්මාවත් කිසි දිනක ඔවුන්ගේ පහසුව තකා අසනීපයක් වූ සැණින් අපව රෝහලට රැගෙන ගියේ නැත.

උසස් පෙළ විභාගයට මාස තුනක් පමණ ඉතිරිව තිබියදි දිනක් මගේ මිතුරියක් මට පාසල ඇරී ඇගේ කාර්‍යයක් සඳහා යාමට යෝජනාවක් ගෙන ආවාය. ඇයට අයදුම්පත්‍රයක් බාර දීමට ඇති බවත් , එය බාර දිය යුතු ස්ථානය පාසල අසලම ඇති බවත් , එදින අවසන් දින බවත් පස්වරු 3 ට පෙර එය භාර දිය යුතු බවත් ඇය මට පැවසූයෙන් මා ඇය හා යාමට එහි යාමට ඒ මොහොතේ එකඟ වූයෙමි.පාසල අවසන් වූ විගස මා මගේ මිතුරිය සමග එම කාර්යාලය වෙත ගියෙමි . AFS Scholarship නම් වූ එයට අයදුම් කිරීමට කැමැත්තක් ක්ශණිකව මා තුලද ඇතිවිය.
ඒ මොහොතේම මා ඔවුන්ගෙන් අයදුම්පත්‍රයක් ලබා ගෙන එතනදීම පුරවා අවසන් කලෙමි.අම්මා හෝ තාත්තා එහි අත්සන් කල යුතු බව සඳහන් වී තිබුනි.එදින මා බස් රථයේ යන දිනයක් වූ බැවින් තාත්තා පැමිණෙන්නේද නැත . නිවසට ගොස් තාත්තාගෙන් අත්සන් ලබා ගෙන නැවත පාසල අසලට පැමිණීමට කාලයක්ද මට නොවීය.මා එම ස්ථානයේ සිටි අයගෙන් තව දුරටත් කරුණු විමසූ විට පාසලේ විදුහල්පති හට එයට අත්සන් කල හැකි බව ඔවුන් පැවසීය .එසැණින් මා විදුහල්පතිතුමිය සොයාගෙන පාසලට දිව ගිය අතර මගේ වාසනාවට මෙන් ඇය පාසල ඇරී නිවසට ගොස් සිටියේ නැත .මා ඉතාම නොයිවසිල්ලෙන් ඇයට මා සතුවු අයදුම්පත්‍රය ලබා දෙමින් එය අත්සන් කර දෙන ලෙස කාරුණික ඉල්ලිමක් කලෙමි.පාසලෙන් බිහි වීමට නියමිත වෛද්‍යවරියක් ඇයට අහිමි වන බව පවසමින් ඇය සිය අකමැත්ත පල කලත් මා එය අත්සන් කර දෙන ලෙස ඇය හට දිගින් දිගටම ඇවිටිලි කලෙමි.අවසානයේදි ඇය ඉතාම අකමැත්තෙන් එයට අත්සන් තබා දුන්නාය. මා නැවත අදාළ කාර්යාලයට ගොස් එම අයදුම්පත්‍රය භාර දුන්නෙමි .නමුත් ඉන් එහාට කුමක් සිදුවේදැයි මා සිත තුළ ඒ මොහොතේ අදහසක් තිබුණේ නැත

නමුත් මා සිහිනෙකින් වත් නොසිතූ ලෙස දවස් කීපයකින් සම්මුඛ පරික්ශණයක් සඳහා මට ඇමතුමක් ලැබිණි.එම ශිෂ්‍යත්වය සඳහා කොළඹ සියලුම පාසල් වලින් ළමුන් තුන්සිය ගණනක් අයදුම් කර තිබුණු අතර මෙය ඔවුන් සියලු දෙනාගේම පලවන සම්මුඛ පරීක්ෂණය විය .එම සම්මුඛ පරීක්ෂණය සඳහා මම තාත්තා සමඟ සහභාගී වූ අතර දෙවන සම්මුඛ පරීක්ෂණය IQ test එකක් විය.එයින් ද සමත් වූ මට තුන්වන සම්මුඛ පරීක්ෂණයටත් කැඳවීම ලැබිණි. පලවන සම්මුඛ පරීක්ෂණයට සහභාගි වූ විශාල පිරිස අතරින් තුන්වන පරීක්ෂණයට සහභාගි වූයේ සමත් වූ සුළු පිරිස පමණි .එම පරීක්ෂණයටද සහභාගි වූ පසු ඔවුන් පැවසුවේ එදිනම හවස එහි ප්‍රතිඵල ලබා දෙන බැවින් ඒ වනතෙක් අපට නතර වී සිටින ලෙසයි.ඉන්පසු ඔවුන් එක් එක් රටවල් වලට යාම සඳහා තේරුණු ලමුන්ගෙ නම් පවසන්නට විය .එංගලන්තය, නවසීලන්තය, ඇමෙරිකාව වැනි රටවල් වලට යාම සඳහා තේරුණු ළමුන්ගේ නම් සඳහන් කළ පසුව ඔවුන් ජපානයට යාම සඳහා තේරුණු ළමුන්ගෙ නම් සඳහන් කරන්නට විය .ජපානයට යාම සඳහා තෝරාගෙන තිබුණේ ළමුන් පස් දෙනෙක් පමණි . එම නම් සඳහන් කරන විට ඒ අතර මගේ නම ද සඳහන් කරනු මට ඇසුණි . කිසිවක් සිතා ගන්නට නොහැකි වූ මා වට පිට බලන විට ඔවුන් නැවතත් මගේ නම සඳහන් කරනු මට පැහැදිලිවම ඇසුණි .
වැඩිදුර අධ්‍යාපනය සඳහා වත් මාව පවුලෙන් ඈත් කර තැබීමට තාත්තගේ එතරම් කැමැත්තක් තිබුණේ නැත.එම කාර්යාලයේ සිටි අය තාත්තාට පැවසුවේ බිඳක්වත් බිය නොවන ලෙසයි . ජපානයේ සංස්කෘතිය ශ්‍රී ලංකාවේ සංස්කෘතියට සමාන බවත් , ඉතාම විනයගරුක සහ ආචාරශීලි මිනිසුන් එහි ජීවත් වන බවත් ඔවුන් තාත්තාට පැහැදිලි කර දුන් පසුව හා තත්ත්වය තේරුම් ගත් බව මට වැටහිණි .
අහම්බෙන් සිදු වූ සිදුවීමක් නිසා මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වූයේ එලෙසිනි .එක රැයක් වත් නිවසෙන් වෙන්වී , අම්මා තාත්තා සහ නංගී නොමැතිව නොසිටි මා හට වැඩිදුර අධ්‍යාපනය සඳහා ජපානය බලා යාමට අවස්ථාව සැලසුණේ ඒ අයුරිනි .ජීවිතයේ කිසිදිනක නොදැකපු මිනිසුන් සමග , නොසිතූ අත්දැකීම් වලට මුහුණ දෙමින් ජීවිතයේ බොහෝ දේ ඉගෙන ගත් සමය ඇරඹෙන්නේ ඉන් අනතුරුවය

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles