සුහදිනි -73

ලෝක කුසලාන තරග ඇරඹෙන්නට ඉතිරිව තිබුණේ අතක ඇඟිලිවලින් ගැනිය හැකි තරමේ කෙටි දින ගණනකි.සකී ඇගේ විභාග කටයුතු සඳහා වෙහෙසෙමින් සිටියා ය.ඇයට පළමු තරග දෙකතුනක් මඟ හැරේ.ඉන්පසු ක්‍රීඩාංගනයට වී ඔහුගේ දක්ෂතා සියැසින් දැක ගන්නට සකී අදහස් කරන්නී ය.

“එක අතකට දෙන්නම මාරෙට බිසී වෙන එක හොඳයි නේද?”

නිම්නා ඇසුවේ ඇත්තටම ය.

“ඒ කියන්නේ සමහර වෙලාවට කෙනෙක් වැඩ නැතුව ඉන්නකොට එයා දවසේ එකම වැඩේ විදියට කරන්නෙ අනිත් කෙනාගේ ඔලුව කන එක.”

සම්බන්ධතා තුළ විෂ සහිත වීම මොනතරමට මානසික පීඩාවක්දැයි නිම්නා හොඳින්ම දැන සිටියා ය.ඇය අසාර්ථක ප්‍රේම සම්බන්ධතා කිහිපයකට පසු ඇගේ ආදරය සොයාගත් යුවතියකි.සකී ප්‍රථම ප්‍රේමයෙන් ම සාර්ථකත්වයට පත්වීම ගැන නිම්නා එතරම ට සන්තෝෂ වන්නේ ඒ නිසා ය.

“සෑහෙන වැඩ ගොඩක හිර වෙලා ඉන්න කෙනෙක් මෙලෝම වැඩක් නැතිව සැහැල්ලුවෙන් ඉන්න කෙනෙකුට ආදරේ කරන එක ටිකක් කරදරකාර වැඩක්.ඔයා ඔච්චර බිසි වෙන්නේ ඇයි කියලා රණ්ඩු පටන් ගන්නෙ එතකොට.”

නිම්නා එසේ කියද්දි සකීට කියන්නට තවත් කතාවක් තිබුණා ය.

“අපි ආදරේ කරන්න ඕනේ තමයි. ඒත් ආදරේ කරන කෙනාව මුළු ලෝකෙම කරගන්න එක නරකයි.ස්ටිකරයක් වගේ එයාටම ඇලිලා ඉන්න ගත්තාම අපේ ලෝකේ මහ අන්ධකාර එකක් වෙනව.”

සකීගේ කතාව නිම්නා ඉහළින්ම පිළි ගත්තා ය.එය බොහෝ සත්‍යයකි.

“ඔය මම තනියම කියන පණ්ඩිත කතාවක් නෙමෙයි.අහස් තමයි මට එහෙම කිව්වේ.”

සකීට එසේ කියන්නට හේතුවක් තිබිණි.අහස්ට ඇයට දෙන්නට කාලය මදි වන අවස්ථා ඕනෑතරම් ය.ඒවා ගැන සිතමින් ලත වෙමින් සිටින්නට උත්සාහ කළහොත් ජීවිතය වඩාත් කටුක වන බව සකී දැන් දන්නී ය.

“සකී,ඔයාගෙ ජීවිතේ හැම සතුටු දවසකම ඔයා ලඟින් හිටියා කියලා මට ලොකු සන්තෝෂයක් තියෙනවා.මේක රන්මිණි කියන ජාතියේ කතාවක් නෙමෙයි, හැබැයි මට ඔයාට කියන්න හිතුණා”

නිම්නා එසේ කියා සකීගේ අතකින් අල්ලා ගත්තා ය.දැන් සකී ධනවත් පෙම්වතෙකු සමඟ විවාහ වන්නට සැරසෙන්නියක නිසා ගමන් බිමන් වලට ඇගේම කියා වාහනයක් ඉල්ලා ගත යුතු බවට ඇතැම් මිතුරියන් පවසන්නේ සරදමට ය.නමුත් සකී තවමත් කැමති ගිනි අව්වේ කුඩයක් යටින් නිම්නා සමඟ කියවමින් ඇවිද යන්නට ය.මේ ගතවෙමින් තිබුණේ ද එවැනි මොහොතකි.

“ඔයා ඉන්නේ හරි සතුටින් ආදරෙන් කියලා මම දන්නව.ඔයාගේ ෆස්ට් ලව් එක මේ වුණාට මං අවුරුදු පහළොවේ ඉඳන් ලව් කරපු කෙල්ලක්.ඒ හින්දා අද රෑට හැමදාම සතුට තියෙන්න බෑ කියල මම දන්නවා.ඔයාගේ කතාව අමුතු එකක් නිසා එහෙම නොවෙන්නත් පුළුවන්.හැබැයි මාත් එක්ක හිනා වෙවී මේ දේවල් කියනවා වගේම ඔයාට හොඳටම අඬන්න හිතෙන දවසක් ආවොත් තනියම අඬන්න නම් එපා.මං ඔයා ළඟ ඉන්නවා.”

සකී නිම්නාගේ අත අල්ලා ගත්තේ ආදරයෙනි.ගිනියම් මද්දහනක පවා ඇයට මිත්‍ර ස්නේහයේ සිසිලස අඩු නැතුව දැනේ.

“හිනා වෙන්න ලේසි වගේම අඬන්නත් ලේසිම තැන ඔයා නිම්. ගොඩක් දෙනෙක්ට හරි ආදරයක් මුණගැහෙනවා.ඒත් ඒ ආදරේ පරිස්සම් කරගන්න බැරි වෙන්නේ සමහර යාලුවෝ හින්දා.හොඳ යාලුවෙක් ඉන්නවනම් අනිත් හැමදේම වගේම  ආදරේ කරන එකත් හරිම ලේසියි.”

නිම්නා කියන්නේ සහෝදරියකට සම යාළුවෙකු බව සකී හොඳින්ම දන්නී ය.

“ඒ වුණාට මං මේ ඔයාගේ යාළුකමට සලකනව හොඳ ද?”

සෑම ක්‍රිකට් තරගයක්ම නරඹන අවසරපත් ඇය ලබා ගත්තේ නිම්නාට ද යන්නට ලැබෙන පරිදි ය.

“මං මැචස් කොච්චරක් නම් බලල තියනවද? ඒත් මට ඉන්න එකම සහෝදරයා වර්ල්ඩ් කප් එකේ ප්ලේ කරන එක බලනව කියන්නෙ වෙනම හැඟීමක්.”

නිම්නා එසේ කියන්නේ හැඟීම්බරව ය.

“මම දන්න කාලේ ඉඳලා වැඩිපුරම ආසා වුණේ ක්‍රිකට් වලට ද නැත්නම් අහස්ට ද කියන එක මට පැහැදිලි නෑ.ඒත් මට කවදාවත් එයාව ඇත්තටම දකින්න යන්න හයියක් තිබුණෙ නෑ.”

ප්‍රේමය විවිධාකාර ය.කෙසේ හෝ සටන් කර  දිනාගන්නා ප්‍රේමය ද  ලැබෙන තුරු ඇඟිලි ගනින ප්‍රේමය ද අසමාන බව සකීට නොසිතේ.විවිධාකාර වුව ද ප්‍රේමය කියන්නේ ප්‍රේමයට ය.

“ඔයා අත වෙවුල වෙවුල සුුරියකාන්ත මල් අඳින හැටි මම දැකලා තියෙනවා.නපුරු හීනවලට බයෙන් අහස්ගෙ නම කියාගෙන කෑගහගෙන ඇහැරෙන හැටි ඊටපහුවදා අහස් මොකක්ම හරි විනාශයක් කරගන්න හැටිත් මම දැකලා තියෙනවා.ඒව මොන විදිහට සිද්ද වුනාද කියලා මම අදටත් දන්නෙ නෑ සකී.ඒවා දැනගන්නවත් තේරුම් ගන්නවත් මම උත්සාහ කරන්නෙත් නෑ.ඒත් ඔයා ළඟම ඉන්න කෙනා විදියට ඔයා දැන් හීන දකින්නෙම නැති තරම්.ඒකට හේතුවක් තියනවද?”

අහස් කියන්නේ සිහිනයක් වූ කාලයේ ඇය සිහින දකින්නට ඇත.දැන් ඔහු ඇගේ ජීවිතයේ යථාව ය.ඒ යථාව තුළ ජීවත් විය යුතු හන්දාම සිහින දකින්නට කාලයක් නැති බව සකීට සිතිණ.

“මට ගිෆ්ට් එකක් ලැබුණානෙ.”

අහස් එවැනි පණිවිඩයක් එවා තිබුණේ හවස්‍ යාමයේ ය.ආදරය කරන්නට පටන් ගත් මුල් කාලයේ මෙවැනි කතාවක් ඇසුණු සැනින් “කෙල්ලෙක්ගෙන්දැයි” ඇසීම සකීගේ පුරුද්දකි.නමුත් දැන් ඈ එවැනි ප්‍රශ්න නාසයි.ඔවුන් දෙදෙනා ඇවිදින්නට යන ඕනෑම මොහොතක අහස් ඉලංගසිංහ සමග ඡායාරූප ගන්නට ආශාවෙන් පෙළෙන තරුණියන්ගේ කැමරා ශිල්පිනිය බවට පවා සකී පත් වන්නේ ආශාවෙනි.ඔහු ඇයටම අයත් වස්තුවක් නොවන වග දැන් ඇය තේරුම් ගනිමින් සිටී.

කාගෙන්දැයි නෑසූ ප්‍රශ්නයට සකීට පිළිතුරක් ලැබිණ.ඒ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ජනප්‍රිය ක්‍රීඩකයෙකුගෙනි.ඔහු අහස්ගේ මිතුරෙකු බව සකී දන්නී ය.අපේ ක්‍රීඩකයන්ව විදෙස් රටවල ක්‍රීඩකයන් එතරම් ගණනකට නො ගන්නා බව ලියා තබන සමහර  ක්‍රීඩා මාධ්‍යවේදීන් දන්නේ මොනවාදැයි අසන්නට සකීට සිත් වන්නේ එවැනි මොහොතක ය.

ඒ මිලාධික ත්‍යාගයක් නොවේ.එහෙත් වටිනාකම කියන්නට නොතේරෙන තෑග්ගකි.

“ඔයාට පුලුවන්ද හෙට උදේම මාව ගන්න.”

තෑග්ග ගැන ඇසූ සකී අහස්ගෙන් ඇසුවා ය.අහස් එය ඉටු කරන්නට පිළිණ දුන්නේ ය.

“මම හුඟක් බිසී හැබැයි.අපි කොහෙද යන්නේ?”

අහස් අසන්නේ විමසිල්ලෙනි.

“ඔයාලගෙ ගෙදරට.”

සකීට දෙන්නට තිබුණේ කෙටි පිළිතුරකි.

(තෑග්ග අනුමාන කරමින් හෙට වෙනතුරු ඉවසන්න.සකීගේත් අහස්ගේත් කතාවේ අවසන් කොටස් කිහිපය කියවන හැම කෙනෙකුටම ආදරයෙනි 🌻)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles