අපි දෙන්නා උන්නෙ වැල්ල උඩ වාඩිවෙලා මූදෙ රළ බිඳෙන දිහා බලාගෙන. හැන්දෑවරුවල එහෙමෙහෙ යන දවස්වලින් හිත ඔෆිස් එකේදි ගොඩක් කලබල වෙච්ච වෙලාවල්වට අපි දෙන්නා බීච් එකට එන එක පුරුද්දක් කරගෙන ඒ වෙද්දි ගොඩක් කල් ගිහින් තිබ්බා. සමහර දවස්වලට රුවිනිත් අපි එක්ක එක්කහු උනාට මං වගේ තනි ගෙදරක, තනියෙන් ජීවත්වෙච්ච මනුස්සයෙක් නොවී මව් දෙමව්පියො එක්ක ජීවත්වෙච්ච හෙටානිද්ද කසාද බඳින්න බලාගෙන උන්න රුවිනිට මට වඩා ලස්සන ජීවිතයක් උරුම වෙලා තිබිච්ච හන්දා මගේ දුක්ඛ දෝමනස්ස වලට කන්දෙන්න හැම හවස්වරුවක්ම නාස්ති කරන්න වෙලාව තිබ්බෙ නෑ.
ඒත් ඒ ඉඩකඩ අහුරන්න, ඒ පාලුව මකන්න ඕනවටත් වඩා ආදරෙයි, හිතවත්කමයි, යාලුකමයි අරගෙන හේසර ඒ වෙද්දි මට එහා පැත්තෙන් හිටගෙන හිටියා.
සෑහෙන වෙලාවක් යනකල්ම මූදෙ සද්දෙ ඇරෙන්න වෙන කිසිම සද්දයක් අපි දෙන්නා අතරෙ ඇහුණෙ නෑ.
“හේසර…” මම හරිම හෙමින් ඒ නිහඬතාවය බින්දෙ ඒක මට දරාගන්න බැරිම වෙච්ච තැන.
“හ්ම්?”
“ඔයාට මාව දරාගන්න එක අමාරු නැද්ද?”
එයා ඒකට හිනාවුණේ හරිම සැහැල්ලුවෙන්.
“දරාගන්න මම ඔයාව උස්සගෙන ඉන්නවද?“ කියලා එයා හිනාවෙලා කිව්වට මම දැනගෙන උන්නා ඒක එච්චර ලේසියෙන් කියලා ඉවර කරන්න පුලුවන් කතාවක් නෙවෙයි කියන එක.
“ඔයාට හිතෙන්නෙ නැද්ද මම හරිම පටලැවිල්ලක් කියලා?”
“ඔව්. හැබැයි ඒ පැටලැවිල්ල අස්සෙ තියෙන ලස්සන මට පේනවා.”
අපි වාඩිවෙලා උන්නෙ මිනිස්සු නැතිම තරම් හිස් වෙච්ච වෙරළක. හැන්දෑවෙ අන්දකාර නිල් පාට අහසෙ බැහැගෙන යන ඉරේ රත්තරං පාට තාමත් අහස අල්ලගෙන උන්නා. එකින් එක වැලි මතට ඇවිත් බිඳෙන රළ සද්දෙ අපි අතරෙ තිබ්බ සයිලන්ස් එකට අමුතුම සංගීතයක් එක්කහු කළා. හේසර එයාගෙ ඇඟිලිවලින් වැලි උඩ එක එක ඉරි අඳිනවා මට පෙනුණා. මම ඒ දිහා බලාගෙන හිටියෙ හරියට එයා ඒ රේඛාවලින් මගේ හිතේ තියෙන රහස් කියවනවා වගේ හැඟීමකින්. හීනි හුළඟට වැලි පාවෙලා ඇවිත් මගේ කකුල් උඩ තැවරෙද්දි, මට හිතුණේ මගේ හිතත් මේ වැලි වගේම හරිම හෙමින් වෙනස් වෙලා යනවා නේද කියලා.
“ඔයාට ඇත්තටම මම අමාරු චරිතයක් කියලා හිතෙන්නෙ නැද්ද?” මම ආයෙත් ඇහුවා.
“ඔයා හිතන තරං ඔයා පටලැවිල්ලක් නෙවෙයි,” එයා වැලි අඳින එක නතර කරලා මගේ දිහා බැලුවෙ අන්න එවෙලෙ. “ඔයා ඔයා ගැන ගොඩක් පරිස්සම්. ඒ කිව්වෙ ඔයා එක්තරා විදියකින් ඔයාව ඉන්ට්‍රොවර්ට් මනුස්සයෙක් කරන්න උත්සහ කරන කෙනෙක්.”
“ඉතින් ඒ දෙකම එකම නේද?”
“නෑ,” එයා හිනාවුණා. “පැටලිලි සහගතයි කියන්නෙ තේරුම් ගන්න අමාරු කෙනෙක්ට. හැබැයි බලෙන් ඉන්ට්‍රොවර්ට් කෙනෙක් වෙන්න හදන කෙනෙක් කියන්නෙ… ජීවිතේ කොතැනකදී හරි හොඳටම තුවාල වෙච්ච කෙනෙක්ට.”
“ඔයාට හිතෙන්නෙ මම තාමත් සම්පූර්ණයෙන්ම හීල් වෙලා නෑ කියලාද?”
“මට හිතෙන්නෙ ඔයා හීල් වෙලා ඉවර වෙන්න බයයි කියලා.”
“ඇයි එහෙම කියන්නෙ?”
“මොකද… ඔයා සම්පූර්ණයෙන්ම හීල් වෙලා වුණ දවසට ඔයාට නිදහසට කාරණාවක් නැති වෙනවා.”
“මොන වගේ නිදහසට කාරණාවක්ද?”
“ආදරේ භාර නොගෙන ඉන්න තියෙන නිදහසට කාරණාව.”
එකපාරටම ආපු ලොකු රළක් අපේ කකුල් ළඟටම ඇවිත් වැදෙද්දි මම කලබලයෙන් මගේ කකුල් පස්සට අදිද්දී හේසර මගේ දිහා බලලා ආයෙත් හිනාවුණා.
ඇත්තටම මම මේ පස්සට අදින්නෙ මගේ කකුල් දෙක විතරක්ම නෙවෙයි කියලා මට හිතුණෙ ඒ හිනාව අස්සෙ තිබ්බ මොකක් හරි තේරුං ගන්න බැරි කතාවක් හන්දා. හේසර කිව්වා වගේම මම මගේ මුළු ජීවිතේම පස්සට අදින්න හදනවා. තුවාලයක් සනීප වුණාම ඒකට දාපු බැන්ඩේජ් එක අයින් කරන්න ඕන වුණත්, මම තාමත් ඒ බැන්ඩේජ් ටික මගේ හිතේ තද කරලා පටලවාගෙන ඉන්නවා. මොකද ඒ පටි ටික ගැලවුණ දවසට මට ආයෙත් ලෝකෙට මූණ දෙන්න සිද්ධ වෙනවා. මම හිතාමතාම හදාගත්ත ඒ තනිවෙච්ච ලෝකෙට වෙලා ඉන්න එක මට හරිම ලේසියි. ඒත් මගේ ඉස්සරහ ඉන්න මේ මනුස්සයා ඒ තාප්ප ගඩොලෙන් ගඩොල ගලවලා දානවා මට පේනවා. මම බය මේ පාර රිදෙයි කියල නෙවෙයි, මම බය මේ පාර ඇත්තටම සනීප වෙයි කියලා. මොකද සනීප වුණොත් මට ආයෙත් ආදරේ කරන්න සිද්ධ වෙනවා. අන්න ඒ වගකීම දරාගන්න මට පුළුවන්ද කියලා මම තාමත් මගෙන්ම අහනවා.
“ඔයා හැම ලස්සන දෙයක්ම මග අරිනවා මේඝා… සන්තෝසෙ පවා.”
“මම සන්තෝසෙ මග අරිනවා කියලා ඔයාට හිතෙනවාද?”
“ඔව්, මොකද ඔයා දන්නවා සතුට ලැබුණොත් ඒක කවදා හරි නැති වෙන්නත් පුළුවන් කියලා. ඔයා ඒ නැති වීම දරාගන්න බැරි බයට සතුට මග අරිනවා.”
“ඉතින් ඒක ඇත්තක්නෙ හේසර…”
“ඔව්, ඒක ඇත්තක් තමයි. හැබැයි ඒ බය නිසා ජීවිතේට ලැබෙන හැම ලස්සන දෙයක්ම එපා කියන එක සාධාරණ නෑ.”
ගෑනු අපි කොච්චර මට එයාව අමතකයි කියලා අපිටම කියාගෙන හිටියත්, අපිට රිද්දපු මිනිස්සුන්ව අපි හිතෙන් සම්පූර්ණයෙන්ම මකලා දාන්නෙ නෑ. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ එයාලා ආයෙත් අපේ ජීවිතේට එන්න ඕනෙ කියලා. හැබැයි කොහේ හරි හිතේ පොඩි කොනක ඒ මිනිස්සුන්ව තියාගන්න අපිටම උවමනාවක් තියෙනවා වගේ දෙයක් තමයි ඒක.
මතින්ද්‍රව අමතක කරන්න මම කොච්චර උත්සාහ කළත්, මටම නොදැනිම මම ආයෙ ආයෙත් ඒ පරණ මතක අස්සෙම රිංගුවා. ඒක තාමත් එයාට තියෙන ආදරේ නිසාද කියලා මම මගෙන්ම අහපු වාර අනන්තයි. හැබැයි ඇත්තටම ඒක ආදරේ නෙවෙයි කියලා මට හෙමින් හෙමින් තේරෙන්න ගත්තා. ඒක හරියට නිකන් පරණ තුවාලයක් නැවත නැවත හූරලා බලනවා වගේ වැඩක්. ඒක හූද්දි රිදෙනවා කියලා දැන දැනම, ඒ වේදනාව අතහැරලා දාන්න මගේ හිතේ පොඩි අකමැත්තක් තියෙනවා වගේ දෙයක්.
ඒක ටිකක් විකාරයක් වගේ පෙනුණට, ඒක තමයි ඇත්ත. සමහර වෙලාවට අපිට රිදෙන දේවල් හූර හූර ඉන්න එකෙන් හිතට අමුතුම සැනසීමක් දැනෙනවා. හරියට මට මෙච්චර රිදිලා තියෙනවා කියලා අපි අපිටම ඔප්පු කරගන්න හදනවා වගේ. ඒ වේදනාවට අපි පුදුම විදියට ඇලෙනවා. මටම හිතුණා ඒක නිකන් මානසිකව අපි අපිටම කරගන්න ස්වයං වින්දනයක් වගේ දෙයක් නේද කියලා.
අපිට රිද්දපු මිනිහෙක්ව අමතක කරලා සතුටින් ඉන්න එක වෙනුවට, අපි කරන්නෙ ආයෙ ආයෙත් එයා ගැන හිතලා හිත රිද්දගන්න එක. ඒකෙන් අපිට දැනෙන්නෙ මං තාමත් හැඟීම් තියෙන කෙනෙක් කියන එක. ඒ වේදනාව අස්සෙන් අපි අපේම වටිනාකමක් හොයන්න දඟලනවා.
හැබැයි ඒකෙ ලොකුම විහිළුව තමයි, අපි ඒ පරණ මතක වලින් අපිවම රිද්දගන්න අතරේ, අපිට ඇත්තටම සතුටක් දෙන්න පුළුවන් මනුස්සයෙක් අපේ ඉස්සරහට වෙලා අපි දිහා බලාගෙන ඉන්න එක. මතින්ද්‍ර මාව රිද්දපු හැටි මතක් කර කර මම මාවම රිද්දගන්නකොට, හේසර මට රිද්දන්නෙ නැතුව කොච්චර ආදරේ කරනවාද කියන එක මම මඟහරිනවා.
ඒක තේරෙනකොට මට මං ගැනම දැනුණෙ ලොකු ලැජ්ජාවක්.
ළඟ ඉන්න රත්තරං මනුස්සයෙක්ව මඟ ඇරලා, දාලා ගිය කෙනෙක් ඉතුරු කරපු කුණු මතක අස්සෙ දඟලන එක මොන වගේ මෝඩකමක්ද කියලා මට එවෙලෙ හිතුණා.
ඒත් ඒ හැමදෙයක් අස්සෙම මට තව ලොකුම ලොකු ධර්මතාවයක් මතක තිබ්බා.
“අපි බය වෙන්නෙ සන්තෝසෙ නැතිවෙන එකට නෙවෙයි. සන්තෝසෙට අපි හුරු වෙලා ගියාම, ඒක නැති වෙච්ච දවසට අපිට අපිවම හඳුනාගන්න බැරි වෙයි කියන එකට.”


