මල්සර හී සර – 41

0
270

වෙච්ච ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ හිතුවට වඩා ඉක්මනට ආයෙම ශූටින් යන්න පුලුවන් වෙච්ච එක ගැන සප්තමී උන්නෙ සන්තෝසෙන්. වැඩක් භාරගත්තට පස්සෙ මොකක් හරි හේතුවක් හන්දා ඒ වැඩේ කල් දාන කාරණාව තමන් වෙන එක තමන්ගෙ හිතට හරි නැති හන්දම සප්තමී සනීප වෙලා තනියම වැඩක් පළක් කරගන්න පුලුවන් වෙච්ච් ගමන්ම වගේ ආයෙම වතාවක් ශූටින් යන්න පටන් ගත්තට මොකෝ ගෙදර මිනිස්සුයි සමුද්රයි උන්නෙ නම් ඒක ගැන එච්චර සන්තෝසෙකින් නෙවෙයි.

“මං නම් කියන්නෙ ඔයා තව සතියක්වත් ගෙදර ඉඳලා හොඳට රෙස්ට් කරන්න කියලා” සමුද්ර කියද්දි ජයබාහු මහත්තයා නම් ඔලුව වනලා ඒක ඇත්තක් විත්තිය ඇඟෙව්වට නන්දා නෝන නම් උන්නෙ වෙනම දෙයක් කියන්න වගේ කට හද හද. දෝණියැන්දගෙ අසනීප සනීප වෙන්න ගත්ත කාලෙට වඩා අඩු කාලය​ක් තමයි නන්දට සනීප වෙන ගියේ. ඒ උනාට පාරක් ගහන්නෙවත් නැතුව හදපු දරුවට මෙහෙම දෙයක් වෙච්ච එක දරාගන්න බැරිවෙච්ච හන්දද කොහෙද හිතේ තුවාල නම් තිබ්බෙ සනීප වෙන විදියක් ගැන හිතන්නෙවත් නැතුව. 

“මං නම් ඇත්තටම කැමති නෑ සමුද්ර පුතේ මෙයා ආයෙ ඔය ගමන් බිමන් තියාගන්නවට. මාමලා බැණලා දෙගොල්ලො එක්කහු වෙලා මට මොකක් හරි දෙයක් හංගන විත්තිය නොතේරෙනවා නෙවෙයි මට. අනික මෙච්චර කාලයක් මේ කිසිම ප්‍රශ්නයක් නැතුව උන්නු දරුවව මේ එකපාර බයිසිකල් කාරයෙක් ඇවිල්ලා හප්පන්න පුලුවන්ද කියන එකත් මට කල්පනා වෙනවා. එහෙම එකේ මම කැමති නෑ ඇත්තටම සප්තමී ආය ඔය ගමන් බිමන් තියාගන්නවට. මටත් හැමදාම කියලා එන්න පුලුවන්කමක් නෑ. පුතාට යන්න පුලුවන්කමකුත් නෑ. අනික මෙයාලව එහෙම අපිට හැමදාම අපේ ඇස් මායිමේම තියාගෙන ඉන්න පුලුවන් කමකුත් නෑනෙ. එහෙම එකේ අනේ මන්දා” කියලා වෙන්ඩ නැන්දම්මා කියද්දි සමුද්ර කලේ මාමණ්ඩි දිහා බලපු එක. තාත්තයි සමුද්රයි ඇස් වලයින් මොන මොනවා හරි තමන් නොදන්න කතාවක් හුවමාරු කරගන්න විත්තිය තේරුණාට මොකෝ ඒ මොකද්ද කියන එක නම් තේරුම්ගන්න සප්තමීට පුලුවන් උනේ නෑ. 

“නෑ ආන්ටි එහෙම බය වෙන්න දෙයක් තියෙනම් මම ආය සප්තමීට ශූටින් වලට පරක්කු වෙලාවත් යන්න කියන්නෙ නෑනෙ. ආන්ටි බයවෙන්න එපා මම කොහොමහරි සප්තමීව පරිස්සම් කරගන්නම්කො. අනික එහෙම අපි ආන්ටිට හංගන දෙයක් මෙතන නෑ. මගේ යාලුවෙක්නෙ පොලිසියෙ ඔය කේස් එක බලන්නෙ.තාම ඒ ගොල්ලන්ට අර බයිසිකල් කාරයව අල්ලගන්න බැරිවෙලා තියෙනවා. ඒකයි මේ ඔක්කොම ප්‍රශ්න. ඒ මනුස්සයව අල්ලගත්ත දවසක අපිට වන්දියක් උනත් ගන්න පුලුවන් සප්තමීගෙ හොස්පිටල් රෙකෝඩ්ස් එහෙම උනත් පෙන්නලා”

“අනේ අනේ ඒවා නම් ඕන නෑ. මට දැනගන්න ඕන උනේ මේ පාර අයිනෙ කඩේක උන්නු මගෙ දරුවව හප්පන්න තරම් ඒ බයිසිකල් එක පැදපු මනුස්සයට තිබ්බ කඩිකුලප්පුව මොකද්ද කියන එක” 

“බයිසිකල් පදින උදවියටද නෝනා කඩිකුලප්පුව නැත්තෙ. උන් මේ බයිසිකලේට නැග්ගට පස්සෙ හිතාගෙන ඉන්නෙ රාවණාගෙ දඬු මොණරෙට නැග්ගා කියලනෙ. එහෙම එකේ මේ වෙච්ච දේ වගේ දේවල් ඕන තරම් වෙනවා ඇතිනෙ. නෝනා නිකන් ඕක ගැන ඕනවට වඩා වදවෙන්න යන්න එපා” කියල ජයබාගු කිව්වට ඉතින් නන්දා නම් හිතුවෙ ඇහේ තියන් හදපු දරුවට මෙහෙම දෙයක් උනාම මොන අම්මටද පුලුවන් කියලා ඒ ගැන නොහිත ඉන්න. කොහොම කොහොමහරි දවස් ගෙවිලා ගිහිල්ලා සප්තමි ආයෙ ශූටින් වලට ගියා. සප්තමීට තාම සම්පූර්ණයෙන්ම හොඳවෙලා කියල කියන්න බැරි හන්දා වසන්ත ආණමඩුවෙ ශූටින් ටිකක් පස්සට දාලා කොළඹ තියෙන සප්තමීගේ ශොට්ස් ටක් ටක් ගාලා ඉවර කරන්න තමයි ප්ලෑන් කරගෙන හිටියෙ.

“මං හිතුවෙ ඔයාට තව සෑහෙන කාලෙකට ශූටින් එන්න බැරිවෙයි කියලා” මාලවී හිනාවීගෙන තමන් ඉස්සරහට එද්දි සප්තමී ඒකට උත්තර දෙන්න ලෑස්ති උනේ හිනාවකින්මයි.

“ගෙදරිනුයි සමුද්‍රයි නම් ඇත්තටම කැමති උනේ නෑ මම දැන්ම ශූටින් වලට එනවට. ඒ උනාට අනේ දැනටම කොච්චර කල් වසන්ත සර් දුන්නද නිවාඩු? එහෙම එකේ මගෙ යුතුකමනෙ ඒ මනුස්සයාට මෙහෙම හරි සහනයක් දෙන එක”

“එහෙමම අවුලක් නෑ ඉතින්. කොළඹ තියෙන ශොට්ස් වලදි ඔයාට වඩා මාවනෙ හයිලයිට් වෙන්නෙ. අපි ටක් ටක් ගාලා ඒවා ගත්තා. වන්ටේක්ම ගන්න පුලුවන් උනා ගොඩක් ඒවා” කියල මාලවී කියන අතරවාරෙ හිනා උනාට මොකො ගෑණිගෙ හැටි දන්න සප්තමීට ඒ හිනාව අස්සෙ “උඹට වඩා මට හොඳට රඟපාන්න පුලුවන්” නොකිව්ව කතාවක් තියෙන විත්තිය තේරුම්ගන්න බැරි උනේ නෑ. ඒ උනාට ඔය වගේ දේවල් නිකන් හාරවුස්සන්නේ මොකටද කියලා හිතලා තමයි සප්තමී ඒකට මුකුත් කියන්නෙ ගියේ නැත්ත. ඒ උනාට මාලවී නම් උන්නේ ඒ කතාව ඉවර කරන අදහසක නෙවෙයි.

“ඉතින් සමුද්‍ර මොනවද තව කියන්නේ?” කියන්නෙ මාලවී අහද්දි සප්තමීට ඇතිවෙච්ච ප්‍රශ්නෙ තමයි  මාලවී මොකක් ගැනද මේ කතාකරන්නෙ කියන එක.

“ඒ කිව්වේ?”

“ඔයාලා දෙන්න ගැන සමුද්ර මොකද කියන්නේ කියලා මම ඇහුවෙ?”

“ම්ම් එහෙම විශේෂ දෙයක් කියන්නෙ නෑ ඉතින්”

“ආහ් මම හිතුවා දෙන්නා ටෙලිඩ්‍රාමා එක ඉවර වෙද්දිම වගේ මැරි කරාවි කියලා”

“අනේ ඒවා ගැන නම් අපි තාම එහෙම කතාකරගෙන නෑ හලෝ. තාම මේ අෆෙයාර් එකත් පටන් ගත්ත ගමන්ම වගේනේ. අනික ඉතින් උඹ දන්නවනෙ මට එහෙම කලින් අෆෙයාර්ස් තිබිලා නැති හන්දා එහෙම මේකට උනත් හදිස්සි වෙන්න හොඳ්අ නෑනෙ”

“එහෙම කිව්වේ සමුද්ර ගැන මොකක් හරි හිතේ කහටක් වගේ තියෙනවද?”

“අනේ නෑ පිස්සුද? මොකටද මම එයා ගැන කහටක් හිතේ තියාගන්නේ? අනික ඉතින් එහෙම කහටක් හිතේ තියෙනම් ඉතින් මම යාලුවෙන්නෙ නෑනෙ. ඇයි එහෙම දෙයක් ඇහුවෙ?”

“නෑ ඉතින් ඔයා දන්නවනෙ මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ගොඩක් මිනිස්සුන්ට තියෙන්නෙ එලියට පෙන්නන මූණ නෙවෙයිනෙ.අනික මම උඹව පොඩි කාලෙ ඉඳලා දන්න හන්දයි, උබට මීට කලින් අෆෙයාර් එකක් එහෙම තිබිලත් නැති හන්දයි මම මේ වගේ දේවල් ගැන අහන කරන එක ඇත්තටම වෙන්න ඕනනෙ. මං අර නිකමට ඇහුවෙ. අපි කිසිම මනුස්සයෙක්ව කාලා බලල නෙවෙයිනෙ ඉතින් ආශ්‍රය කරන්නෙ. ඒ හන්දා මොලෙන් තමා ගේම ගහන්න ඕන” කියල මාලවී හිනාවෙලා කතාව ඉවරකරලා තමන් අර පැත්තට යන විත්තිය කියලා තමයි යන්න ගියේ. මාලවී කිව්වේ මොකක් හරි ඩබල් මීනින්ග් එකක් තියෙන දෙයක් කියලා තේරුණාට මොකෝ ඒ ගැටපදේ ලෙහාගන්න උවමනාවක් සප්තමීට තිබ්බෙ නැත්තෙ ඒ හැමදේටම වඩා හිත සමුද්රව විශ්වාස කර හන්දා.

එදායි ඉන්පස්සෙ දවස් කීපෙකයි සප්තමීට ශූටින් ඉවර වෙලා යද්දි එද්දි එයාව ගන්න ඇරලවන්න සමුද්ර වරද්දන්නේ නැතුව ආව. ඒ ගමන් බිමන් වලදි දෙන්නා ඉතින් දෙන්නගෙ ඉස්සරහා ජීවිතේ ගැන කතාකරා. ටෙලිනාට්‍ය ශූට් කරලා ඉවර උනාට පස්සේ සමුද්රගෙ ගෙදර අයව සප්තමීලගෙ ගෙදර මිනිස්සුන්ව හම්බුවෙන්න එක්කරගෙන එන්නම් කියන පොරොන්දුව එහෙමත් සමුද්ර සප්තමීට දුන්නේ ඔය ගමන් බිමන් අතරවාරෙදි තමයි. මාසයක් විතර ගෙවිලා සප්තමීගේ ගතේ තුවාලයි හිතේ තුවාලයි ඔක්කොම සනීප උනාට පස්සෙ තමයි වසන්ත ටෙලි නාට්‍යයේ අන්තිම කොටස් ටිකත් ශූට් කරලා ඉවර කරන්න සතියක විතර ට්‍රිප් එකක් ආණමඩුවට ආයෙ දාගත්තෙ. ඒ වෙද්දි නන්දා නෝනා එහෙමත් හොඳටම සනීප වෙලා උන්නු හන්දයි සප්තමීගෙ පරිස්සම ගැන හැමෝම හොඳට හිතපු හන්දයි නන්දා නෝනා සප්තමී එක්ක ආණමඩුවෙ යන්න තියාගත්තා. 

ශූටින් ඉවර වෙන දවස් කිට්ටු වෙද්දි කට්ටියගෙම හිත්වල සතුටයි දුකයි දෙකම එක්කහු වෙලා තමයි තිබ්බේ. මෙච්චර දවස් එකට උන්නු කට්ටිය ඔක්කොම ආයෙ තමන් ආව තැන්වලට විසිරිලා යන දුක, තමන් රඟපාන ටෙලි ඩ්‍රාමා එකක් එලියට එනවා කියන සන්තෝසෙන් එහෙමකට කියලාම තුනී උනේ නෑ. කොටින්ම ඔය ටෙලි ඩ්‍රාමා ෆීල්ඩ් එකට අලුතෙන් එක්කහු වෙච්ච සප්තමීලා මාලවීලාට තමයි ඒ දුක වැඩි හරියක්ම තිබ්බේ.  අන්තිමටම ශූටින් ඉවර වෙච්ච දවසෙ වසන්ත මහත්තයා ගානේ කට්ටියටම හොඳ ලන්ච් එකක් දුන්නා. 

“ආයෙ ඉතින් හම්බුවෙන්නෙ නැතුව නෙවෙයිනෙ. සප්තමීලා මාලවීලාට මේ ටෙලිය එලියට ආවට පස්සෙ කොහොමත් තව වැඩ ඕන තරම් ඒවි”

“සප්තමී නම් ආයෙ රඟපාන්න එන්නෙ නැහැකි කියනවනෙ” කියලා එවෙලෙ වසන්තට දැනුම් දුන්නේ මාලවී.

“ආහ් ඒ මොකද ඒ?”

“එයාට ආයෙ රඟපාන්න ඕන නෑලුනෙ”

“ඔය ඕන නෑ කිව්වට සප්තමීට ඉතින් සමුද්රගෙ වැඩවලට එක්කහු නොවී ඉන්න පුලුවන් වෙන එකක් නෑ” කියලා සමන්තා නෝනා හිනාවෙවී කියද්දිම වගේ තමයි සප්තමිගේ ෆෝන් එකට සමුද්රගෙන් කෝල් එකක් ආවෙ. ශූටින් වල අන්තිම දවස හන්දා හරිනම් සමුද්රත් කට්ටිය එක්ක කතා බස් කරලා වැඩේට සම්බන්ධ වෙලා ස්තුති කරලා යන්න ඕන උනාට මොකෝ හදිසියෙ වැටිච්ච මොන මොනවද වැඩ වගයක් තිබිච්ච හන්දා සමුද්රට ඒ ගමන ප්ලෑන් කර විදියට එන්න උනේ නෑ. අම්මා උන්න හන්දා සප්තමීට බයක් සැකක් නොතිබ්බට සමුද්ර උන්නා නම් තව කොච්චර හොඳද කියන එක සප්තමී නොහිතුවා නෙවෙයි.

“එක්ස්කියුස් මී” කියලා ෆෝන් කෝල් එක අරගන්න කට්ටිය කකා උන්නු තැනින් එලියට ආව සප්තමී සමුද්ර එක්ක පෙම් බස් දොඩ දොඩ ඉන්න ගමන්මයි ගස් අස්සෙන් පාර දිහාවට ඇවිදගෙන ආවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here