මේ ඒ වසන්තයයි – 41

0
2945

නුරාන්ගේ ඇමතුම බලාපොරොත්තුවෙන් උන්නද, ඉසිනි කාර්‍යාලයෙන් බැහැර වන තුරුම ඉසිනිගේ බලාපොරොත්තු ඉටු වූයේ නැත. ඉන් රිදුමක් දැනුනි. දින කිහිපයක් ඇතුලත තමා වෙනස් වි ඇත්තේ කෙලෙසින්දැයි ඕ සිතුවේ දුරකතන තිරයටම එබීගෙනය. දැන් හැම තත්පරයක්ම වෙනුවෙන් අලුත් හුස්මක එක් වීමක් දැනෙන්නේය. ඒ එක් වීම ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් නඟන්නේය. පැහැසරාගේ අවසාන තීරණය යලි ඉසිනිගේ දෙසවන් පුරා නින්නාද දෙන්නට ගත්තේය. ජීවිතය එහෙම සැලකීම අදහා ගන්නට නොහැක.

නුරාන් සියලු වැඩ කටයුතු අවසන් කර ආපසු නිවෙසට යන්නට සූදානම් වෙද්දී හිත යළි අන් සැලසුමක් වෙනුවෙන් ඉඩ ඉල්ලුවේය. ඔහු අම්මා ඇමතුවේය.

” අම්මා … ශිපින් එකේ වැඩකට මට හදිසියේම කොළඹ යන්න වෙනවා …. මම මෙහෙමම යන්න බැලුවේ … “

” මේ රෑ වෙන්න තියලා මොන ගමන්ද ළමයෝ ?… හෙට උදෙන්ම යන්න ..”

“තනියෙන් නෙවෙයි .. කොල්ලො දෙතුන් දෙනෙක් යනවා… මෙහෙමම ගියාම ලේසියි අම්මේ ..”

” හා එහෙනම් …”

” මං ගිහිල්ලා කෝල් එකක් දෙන්නම්.. ඇහැරිලා ඉන්නෙපා ..”

නුරාන් කැබ් රිය කාර්‍යාල රිය අංගනයේම තැබුවේය. මිතුරෙකු අමතා වාහනයක් ගෙන්වා ගත්තේය. සිදුවීම කුමක්දැයි කුඩා ඉඟියක් දුන්නේය.

” තෝ මේකට නහින හින්දා මේ කටු කනවා මිසක්, ධනුක අයියා මේක දැනගත්තාම මගේ ඉරණම මතක් වෙනකොට මගේ කකුල් දෙකත් එක්ක හීතල වෙලා යනවා බල්ලෝ …”

” හරි බං …කොහොමටත් උඹ රෙස්ටෝරන්ට් එකේ මට චාන්ස් එක හදලා දීලා කියලා අයියා දන්නවා… නාහෙට උඩින් ගිය වතුර පාර ආයේ ඉතින් මොකද්ද යකෝ..”

” මට තේරෙන්නේ යකෝ තොපි .. දැන් ඒකි මොකද කියන්නේ ?..”

” ඉසිනි බං ඉසිනි .. අරකි මේකි ගාන්නේ බං උබ ..”

;” හරි හරි .. ඉසිනි හරි පිසිනි හරි .. මොකක්ද කියන්නේ ?…”

නුරාන් මිතුරාගෙන් අඩි කිහිපයක් ඉවතට ඇවිද්දේය.

” කෙල්ල බයයි .අයියයි, අක්කයි දෙන්නම කෙල්ල තව බය කරලා .. මට බය ඒක නෙවෙයි බං,… තාරා දන්නේ නෑනේ බං එයා ගියාම මම වින්ද දුක … තාරා ඒ කතන්දර සහසුද්දෙන් දැන්ගත්තොත් කොහෙන් හරි , මාව දාලා යන්නම යයිද කියලා …”

” අමුතුවෙන් දැනගන්න ඇත්තේ උඹ අර මාසයක් හොස්පිට්ල් එකේ උන්න එකනේ.. අනෙක්වා පොදුවෙ දන්නවානේ …”

” උඹට තේරෙන්නේ නෑ බං ඒක ….  ඉසිනි දැන් තමන් විසින්ම තමන්ව වැරදිකාරයා කරගෙන විඳවන ගමන් ඉන්නේ .. ඒක ලේසි නෑ බං උහුලන එක … “

” හරි හරි … හෙමින් සැරේ බලපංකෝ ඉතින් .. මොක කරන්නත් උඹලෑ අයියාගේ ගිණි නිවාගෙන ඉඳහං…”

” බලමු ..”

” එතකොට දැන් අද රෑ උඹ .. හනිමුන්ද ?..”

” පිස්සුද යකෝ … තෝ කොටියම කාපිය /..”

” අනේ පලයංකෝ නුරාන් …  මං නොදන්න තෝ … යමං යමං …. හෙට මට ගෙනල්ලා දීපං කාර් එක හවසවත් ඇ ..”

නුරාන් වීදුරු අඳුරු කෙරූ මෝටර් රිය ඉසිනිගේ නවාතැන අසලින් නැවතුවේය. ඉන් පසුව ඉසිනිට ඇමතුමක් ගත්තේය. සාලයට වී ජංගම දුරකතනයේ දෑස් අලවාගෙන උන් ඉසිනිට කිසිවෙකු ගේට්ටුව අසල යම් වාහන්අයක් නැවතූ හඬ ඇසුණි. ඕ තිර රෙද්ද පසෙකට කර එබී බැලුවාය. සැනින් ඇගේ ජංගම දුරකතනය  නාද  විය.

ඔහු තිරය මත උන්නේය.

” නුරාන් …”

” ආහ් .. ෆෝන් එක  ඔන් එකේම තියාගෙන ඉඳලා වගේ…”

නුරාන් ඉසිනිව තමා වෙත ආසක්ත කරගන්නා ස්වරය වඩා සුමුදු කලේය. එහෙත් ඉසිනි උන්නේ කලබලයක නිසා නුරාන්ගේ තානය ඇයට සුසර වූයේ නැත. ඕ ඒ වෙනුවට දෙපා ඇඟිලි තුඩු වලින් එසවී යමක් සොයමින් උන්නාය.

” තාරා…”

නුරාන් ඇගේ නිහඬ බව කියවා ගත්තේද කලබලයෙනි.

” නුරාන් ඔයා ගෙදර ගියාද ?…”

ඉසිනි වහා පියවි සිහියට පිවිසෙමින් ඇසුවාය. ඔහු කලබල කිරීම  සිදු කල නොහේය.

” ම්ම්… ඔව්..”

” හරි නුරාන් .. මම ටිකකින් ඔයාට ගන්නම් …”

ඉසිනි ඇමතුම විසන්ධි කිරීමට උත්සාහ කරන්නේ මන්දැයි නුරාන්ට වැටහුනේ නැත. ඔහු ඉන් රිදවාගත්තේය.

” මොකද හදිසි…”

” ඉන්නකෝ ටිකක් .. මම ඔයාට ගන්නම් …”

ඉසිනි ඇමතුම විසන්ධි කලාය. නුරාන් යළි ඇමතුවේය. එහෙත් පිළිතුරු ලැබුනේ නැත. ඔහු යලි ඇමතුවේය. අවසානයේ කෙටි පණිවිඩයක් තැබුවේය.

” තාරා මම ගේට් එක ළඟ ..”

සැනින් ඇමතුම ඉසිනිගෙන් විය.

” මොකක්ද කිව්වේ ?…”

” ගේට් එක අරින්න තාරා …’

ඉසිනි ඇමතුම විසන්ධි නොකරම ජංගම දුරකතනය සෙටිය මතට දමා  මිදුලට දිව්වාය. ගේට්ටු පලු දෙකම විවර කර පසෙකට වූවාය. මෝටර් රිය මිදුලට දැමූ පසු ගේට්ටුව යළි වසා දමා මෝටර් රිය වෙතට දිව ගියාය. නුරාන් මෝටර් රියෙන්  බැස්සේ මිතුරා ලවා ගෙන්වා ගත් බියර් කෑන් කිහිපයද සමඟය. ඉසිනි ගල් ගැසී මෙන් බලා උන්නාය. නුරාන් වහා ඇගේ  බාහුවකින් අල්ලා තමා වෙත නතු කරගෙන, ඉන් පසුව ඇයවද අල්ලාගෙනම විවරව තිබූ දොරෙන් ඇතුලු වූවේය. ඉන් පසු ඉසිනිව අත් නොහැරම දොර වසා දැමුවාය. ඉසිනි ඉදිරිපත් වී දොර අඟුලු දැම්මාය.

” මේක ෆ්‍රිජ් එකට දාලා එන්න කෙල්ල ..”

බියර් කෑන් කිහිපය වූ බෑගය ඉසිනි වෙත දිගු කරමින් පැවසූ නුරාන් අනාරාධිතවම අසුනකට වැටුනේ එය ඇගේ අතෙහි බලෙන්ම රඳවමිනි. ඉසිනි එය අසුනක් මතම තබා නුරාන් අසලින් සිට ගත්තාය. නුරාන් උන්නේ ඇය ගනණකට නොගෙන  කමිසයේ අත් වැලමිට දක්වා නවමිනි.

” නුරාන් ???…”

ඉසිනිගේ හඬෙහි වූයේ විශ්මයම පමණි.

” ම්ම්ම් ..”

නුරාන් ඇස් උස්සා යන්තමින් ඉසිනි දෙස බැලුවේය. ඕ තවම සිටින්නේ කුමක් සිදුවන්නේදැයි සිතාගත නොහැකිවය.

” මොකෝ …”

” නුරාන් ඔයා ඇයි මෙහෙම ?…”

ඉසිනි වචන හතර එක හුස්මට ඇසුවාය. ඇයට ඔහු අවැසි නැති බව ඒ ස්වරයේ ගැබ්ව නොතිබුණි. නුරාන් නොදැකීමේ, ඔහුගේ හඬ නෑසීමේ පාලුවෙන් මියෙමින් උන් ඇයට දැන් හුස්ම සේලයින් වැටෙන්නට පටන්ගෙන ඇත.

” යන්නද එහෙනම් ?..”

නුරාන් නැගිටින්නට සූදානම් වූයේය. ඉසිනි ඔහු වැලැක්වූයේ නැත. එහෙත් ඇගේ සිත කලබලව කෑ  ගැසුවේය.නුරාන් ඇයව තමා අසලින් හිඳුවා ගත්තේය. ගෙල වටා එක් අතක් දමාගෙන ඇගේ වත වෙත එබුනේය.

” කාලාද ?..”

ඕ හිස සැළුවාය.

” නැන්දා ආවේ නෑ ..?…”

” නෑ .. “

” ඇයි ඒ ?…”

” දන්නේ නෑ.. කෝල් එකට ආන්සර් කරෙත් නෑ .. හවස ගිහිල්ලා බලලා එන්න තරම් පණක් තිබුනෙත් නෑ….”

” වෙනදාටත් එහෙම වෙනවාද ?…”

” නෑ …”

” ඉන්න ..අපි වත්සලාට කෝල් එකක් දීලා බලමු …”

ඉසිනි හිස සැලුවාය.  නුරාන්ගේ ඇමතුමින් අමන්දානන්දයට පත් වූ වත්සලාගේ උත්කර්ෂවත් සිතුවිලි සැනින් ලෙහී ගියේය. නුරාන් තමා අමතා ඇත්තේ අම්මා එහි නොපැමිණීමේ විස්තර අසා ඇයට පවසන්නටය. එතරම් සමීප බවක් ඔවුන් දෙදෙනා අතර වීම වත්සලාට දරාගන්නටවත් හැකි වූයේ නැත. නොවූ අසනීපයක් මවාගෙන අම්මා බියට පත් කර ඩිස්පෙන්සරිය වෙත ගොස් ආවේත්, අම්මාගේ ජංගම දුරකතය තමා වෙත තබාගෙන ඉසිනිට පණිවිඩය දුන් බව පැවසුවෙත් අම්මා සහ ඇය අතරේ හිත් නොහොඳක් හදන්නට බව දන්නේ වත්සලාම පමණි. 

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here