මල්සර හී සර – 42

0
2351

ගෙදර යන්න ලෑස්තිවෙලා නන්දා සප්තමීව හෙව්වට මොකෝ සප්තමීගේ හෙවණැල්ලක්වත් මූණට වැටිච්ච නැති කොට තමයි නන්දා මාලවීගෙන් වසන්තගෙන් එහෙම ගිහිල්ලා සප්තමී එයාලා ඉන්න තැනක ඉන්නවද කියන එකවත් බලන්න ආවෙ. 

“නෑනෙ මිසිස් ජයබාහු අපි අර කෑම කකා ඉද්දි සප්තමී කෝල් එකක් ඇවිල්ලා ඒක අරගන්න එලියට ගියාට පස්සෙ මම ඇත්තටම එයාව දැක්කෙ නෑ” කියල වසන්තා කියද්දිම වගේ තමයි පාර පැත්තෙ ඉඳලා මාලවීත් මේ ගොල්ලො ඉන්න පැත්තට ඇවිදගෙන ආවේ. 

“අනේ පුතේ අපේ එක්කෙනා හිටියද ඒ පැත්තෙ?” කියලා සප්තමීලගෙ අම්මා තමන්ගෙන් අහද්දි මාලවීට තිබ්බ ප්‍රශ්නෙ “ඇයි සප්තමී නැද්ද?” කියන එක.

“නෑනේ පුතේ, මං මේ හැමතැනම බැලුවා සප්තමී නෑ. අනේ කෝල් එකක් හරි දීලා බලන්නකො දරුවො. අර ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ කකුල හිරිවැටෙනවා කියලා කිය කිය හිටියා. වැටුනද දන්නෙත් නෑ” කියලා සප්තමීලගෙ අම්මා කියද්දි මාලවී සප්තමිගේ ෆෝන් එකට කෝල් ගත්තට මොකෝ සප්තමීගේ ෆෝන් එක තියෙන්නේ ස්විච් ඕෆ් කරලා විතරයි කියලා තමයි එයාට අන්තිමේ දැනගන්න පුලුවන් උනේ. මොකක් හරි හේතුවක් හන්දා සප්තමී සෙට් එකෙන් අතුරුදහන් වෙලා කියලා තේරුම් යද්දි මෙච්චර වෙලා හිත අස්සේ තිබිච්ච බය මහා විලාපයක් විදියට එලියට දාන්න නන්දා නෝනට ඉඩ හම්බු උනා. “අනේ පුතේ මගෙ දරුවා කොහෙද ගිහින් තියෙන්නේ?” කියලා ​නන්දා අහද්දි ඒකට දෙන්න ඕන උත්තරේ මොකද්ද කියලා හිතාගන්න බැරුව තමයි මාලවී වසන්ත දිහාව බැලුවෙ. 

සමුද්රට කෝල් එකක් අරගෙන විස්තරේ කියන්න වසන්ත ට්‍රයි කරාට මොකෝ සමුද්රගෙ ෆෝන් එක තිබ්බේ ආවරණ කලාපයෙන් බැහැරුව කියලා කිව්ව හන්දා කරන්නම දෙයක් නැති තැන හොයලා බලන්න පුලුව්න හැම අස්සක මුල්ලකම වගේ හොයලත් හොයාගන්න බැරි වෙච්ච තැන තමයි වසන්ත මේ විත්තිය අපි පොලිසියට කියමුද කියලා නන්දාගෙන් ඇහුවේ. හොඳටම අඬලා හෙම්බත් වෙච්ච නන්දා උන්නේ ඒකට උත්තර දීගන්නවත් පණක් නැතුව වෙච්ච එකේ මාලවී තමයි වසන්තගෙන් ඇහුවෙ “සමහරවිට සප්තමී අපිට කියන්නෙ නැතුව වෙන කොහෙ හරි ගියාද දන්නෙ නෑනෙ, අපි තව ටිකක් බැලුවොත් මොකද?” කියලා.

“බලන් ඉන්න කියල ඉතින් තව කොච්චර වෙලාවක් බලාගෙන ඉන්නද? අනික දැන් මේ සප්තමීට මෙහෙම කරදරයක් වෙච්ච දෙවනි පාරනෙ. පලවෙනි වතාවෙ බයිසිකල් ඇක්සිඩන්ට් එක. දෙවනි පාර මේ ළමයව හොයාගන්නවත් නෑනෙ. මට නම් මොකක් හරි මේක පිටිපස්සෙ මහ අමුතුම කතාවක් තියෙනවා කියලා තමයි හිතෙන්නේ” කියල වසන්ත කියද්දි මාලවී කලේ අමුතු විදියට වසන්ත දිහාවම බලාගෙන උන්නු එක.

“වසන්ත සර් කියන්නෙ බයික් ඇක්සිඩන්ට් එකයි මේකයි අතරෙ මොකක් හරි සම්බන්ධයක් තියෙනව කියලද?” කියලා වසන්තගෙන් ඇහුව එතන උන්නු කැමරා බඩු ටික මැනේජ් කරන මල්ලි කෙනෙක්. 

“ඒක එහෙමමයි කියල මම කියනවා නෙවෙයි ඒ උනාට මට නිකන් මොකක් හරි අමුත්තක් හිතට දැනෙනවා. අනික දැන් බලන්නකො මේ ටෙලි ඩ්‍රාමා එකේ වැඩවලට කී පාරක් නම් බාධා උනාද මේ වගේ දේවල් හන්දා. සමුද්රට ආයෙ කෝල් එකක් අරගෙන බලන්නකො මොකද්ද වෙලා තියෙන්නෙ කියලා” වසන්ත කියද්දි තමයි මාලවී ආයෙ පාරක් සමුද්රගෙ ෆෝන් එකට කෝල් එකක් ගත්තෙ. මෙච්චර වෙලා ආවරණ කලාපයෙන් බැහැරව තියෙනවා කිව්ව නම්බර් එක ඔන්න ඒ වෙලාවෙ නම් වැඩ කරන්න පටන් ගත්තා. 

“හෙලෝ මාලවී කියන්න” කියලා සමුද්රගෙ කට හඬ කිසිම වෙනසක් නැතුව එහා පැත්තෙන් ඇදිලා තමන්ගෙ කන් දෙක අස්සට ගියාට මොකෝ මෙතනින් එහාට වෙලා තියෙන දේ ඇහුවට පස්සෙ නම් සමුද්රට ඔය විදියට කතාකරන්න බෑ කියල දන්න හන්දම මාලවී උන්නෙ දැන් මේ කතාව කියන්නෙ කොහොමද කියලා හිත හිත.

“සමුද්ර සප්තමීට පොඩි කරදරයක්” කියල මාලවී කියද්දි සමුද්ර ඒකට උත්තර දුන්න විදියෙ මොකක් හරි වෙනසක් තියෙනවා කියන එක මාලවීට හිතුනෙ හරිනම් යාලුවෙච්ච අලුත කොල්ලෙක් තමන්ගෙ කෙල්ලට මොකක් හරි කරදරයක් වෙලා කියනවා කිව්වා ඔහොම නෝමල් එකේ “ඇයි මොකද්ද වෙලා තියෙන්නෙ?” කියලා අහන්නෙ නැති හන්දා.

සප්තමී එකපාරම කෝල් එකක් ඇවිලා කෑම මේසෙන් නැගිටලා ගියා කියන එකත්, ඉන්ප්ස්සෙ හැමතැනකම එයාව හෙව්වට එයාව හම්බ උනේ නෑ කියන එකත් මාලවී කිව්වට පස්සෙත් සමුද්රගෙ පැත්තෙන් ඒකට කිසිම උත්තරයක් ආවෙ නැති එකත් මාලවීගේ හිතට එකතු කලේ මහ අමුත්තක්.

“එහෙම ඉතින් මිනිස්සු එකපාර අතුරුදහන් වෙලා යන්නෙ නෑනෙ, හරි මට පැය දෙකහමාරක් විතර යයි කොහොමත් මේ ඉන්න තැන ඉඳ්අලා ඔහෙට එන්න. මම එන්නම්, ඔයාලා ඔතනම ඉන්නවද? එහෙම නැත්තම් කොළඹ එනවද?” කියලා ඒ විස්තර අහගෙන ෆෝන් එක තිබ්බ සමුද්ර ආණමඩුවට යන්න පිටත් උනේ සප්තමීගෙ තාත්තවත් ඒ මනුස්සයගෙ වැඩපොලෙන් අරගෙන.

දරුවා නැතිවෙලා කියන කතාව කිය කිය නන්දා නෝනා ජයබාහු මහත්තයගෙ උරහිසේ ඔලුව තියාගෙන අඬද්දි සමුද්ර කලේ ඊලඟට කරන්න ඕන දේ කල්පනා කරන එක. අරවින්දට අරගන්න එක කෝල් එකකින් මේ සිද්දියට සම්බන්ධ ඕන උදව්වක් ගන්න පුලුවන් විත්තිය දන්න හන්දම තමයි සමුද්ර අරවින්දට කෝල් එකක් දීලා බයික් ඇක්සිඩන්ට් එකකින් තුවාල වෙච්ච සප්තමී දැන් අතුරුදහන් වෙලා කියන කතාව දැනුම් දුන්නේ.

“මං උඹට එදත් කිව්වනෙ මොකක් හරි ලොකු අපි නොදන්න සීන් එකක් මෙතන තියෙනවා කියන එක” කියල අරවින්ද කියද්දිත් සමුද්ර කලේ ඔලුව වනලා ඒක ඇත්තක් කියලා පිළිගන්න එක.

“දැන් අපි මොකද්ද සර් කරන්න ඕන?” කියල සමුද්රයි අරවින්දයි ළඟට ළංවෙලා ජයබාහු වගේම වසන්ත අහද්දි අරවින්ද කිව්වෙ “හරිනම් මේක අපි මෙහේ පොලිසියට දැනුම් දෙන්න ඕන සිද්දිය උනේ මේ පලාතෙදි හන්දා. ඒ උනාට දැනටමත් සප්තමීගේ ඇක්සිඩන්ට් එකට සම්බන්ධව කේස් එක අපි කොළඹින් හැන්ඩ්ල් කරගෙන යන හන්දා මං හිතන්නෙ අපි මේ අප්ඩේට් එකත් එහෙටම දෙන එක හොඳයි. එතකොට ඔක්කොම කරුණු ඉතින් එක තැනකට අරගෙන එක යුනිට් එකකින් අපිට වැඩේ ඉවර කරලා දාන්න පුලුවන් නේ” කියලා.

ශූටින් වලට ආණමඩුවට ගිය සප්තමී මෙහෙම අතුරුදහන් උනා කියන කතාව අරවින්ද එයාම ගිහිල්ලා පොලිසියෙ බයික් ඇක්සිඩන්ට් එක ගැන හොයල බලන ටීම් එකට කියන්නම් කිව්වයින් පස්සෙ නන්දාව එක්කරගෙන ජයබාහු මහත්තය ගෙදර ගියා. මේ වෙන හැමදෙයක් අස්සෙම තමන්ට නොතේරෙන මොකක් හරි දෙයක් වෙන විත්තිය තේරුනත් ඒ මොකද්ද කියලා තේරුම්ගන්න පුලුවන්කමක් මාලවීට තිබ්බෙ නෑ. මාස ගාණක් තිස්සෙ ශූටින් වලට මහන්සි වෙච්ච මහන්සිවිල්ල හේදිලා යන්නත් එක්ක  වොශ් එකක් දාගෙන ආව මාලවී අම්මා එක්කත් ඔය සප්තමීගේ විස්තර කියන ගමන් තමයි කැම ටිකක් කෑවේ.

“ඔය කියන විදියට මොකක් හරි නපුරක් ඒ ළමයට කරන්න බලාගෙන කවුරුහරි හතුරෙක් ඒ ළමයට ඉඳලා තියෙනවනෙ” කියල අම්මා කියද්දිත් මාලවී කලේ ඔලුව වනලා නිකන්ම “හ්ම්” කියලා කිව්ව එක. 

ආණමඩුවෙ සප්තමීලාගෙ ශූටින් තිබිච්ච හරියෙ සීසිටීවි එහෙම මුකුත් හොයාගන්න පුලුවන්කමක් තිබ්බෙ නැති හන්දා අරවින්දලට කරන්න පුලුවන් වෙච්ච එකම දේ ඒ පැත්තෙ ඉන්න මිනිස්සුන්ගෙන් ගිහිල්ලා ඔය සිද්දියට සම්බන්ධව මොන මොනවා හරි දැක්කද කියල අහන එක විතරයි කියල ජයබාහුලට සීන් එකේ අප්ඩේට්ස් අරගෙන ආවෙ සමුද්ර. අරවින්ද කියන පොලිස් මහත්තය සමුද්රගෙ යාලුවා හන්දා වෙන කේස්වලට වඩා සැරට මේ කේස් එකට බර දාලා හොයන විත්තිය දන්න හන්දම නන්දා හිත අස්සෙ පොඩි බලාපොරොත්තුවක් තියාගත්තට මොකෝ දෙයියන්ට පින් දෙද්දි, බුදුන්ට පහන තියද්දි “අනෙ මගෙ දරුව ඉක්මනටම ගෙදරට එවන්න” කියල ඉල්ලන්න අමතක කලේ නෑ.

දවසින් දවස ගෙවිලා යද්දි කිසිම සුබ අරාංචියක් ඇහෙන්නෙ නැති වෙද්දි තමයි නන්දා මාලවීලගෙ අම්මා වෙච්ච​කාන්තිලතාවත් එක්කාසු කරගෙන අංජනමක් බලලා​හරි සප්තමී ඉන්න තැනක් හොයාගන්න පුලුවන් වේද කියලවත් හොයන්න ගියේ.

“ඔය හොර අංජනම් කාරයන්ට නිකන් සල්ලි පුදන මෝඩයෙක් වෙන්න එපා” කියලා ජයබාහු කියද්දිත් නන්දා උත්තර දුන්නේ කදුලු ඉස්සර කරගෙන.

“ඔයාට මේව පිස්සු වගේ පෙනුනට මට හිතට පොඩි හරි සැනසීමක් දැනෙන හන්දයි මං මේවා කරන්නේ” කියල කියාගෙනම තමයි නන්දා ගෙයින් එලියට බැස්සෙ. උදෙන්ම ගිහින් අංකයක් අරගත්ත උනත් හම්බ උනේ විසි අට. තමන්ගෙ අංකෙ එනකම් පෝළිමේ ඉද්දිත් කාන්තිලතා නන්දා එක්ක දෙඩෙව්වෙ මේ අංජනම් බලන මනුස්සයට කොච්චර ලොකු සෙනඟක් දිනපතා එනවද කියන එක.

“අනේ ඒ කියන්නෙ අපිට හරියාකාරව දෙයක් දැනගන්න පුලුවන් නේද? මං කෝකටත් කියල කේන්දරෙත් අරගෙන ආවා” කියල නන්දා කියද්දි තමයි කාන්තිලතා කිව්වේ “ආයෙ කිරි ගහට ඇන්න වගේ කියනවා. කීදෙනෙක්ට මෙතනින් හරිගිහින් තියෙනවද? ඒකනෙ ඔය සෙනග වැල නොකැඩී එන්නෙ” කියලා. 

අංකෙ ආවයින් පස්සෙ දේවාලෙ ඇතුලට ගිහින් හතර අතේ බලද්දි තිබ්බ දේව රූපයි මොණර පිලුයි අරවා මේවයි දකිද්දි ඇස් දෙක නිකන් නිලංකාර වෙනවා වගේ තේරුනාට මොකෝ මේ මනුස්සය දෙයියන්ගෙ පිහිටෙන් අංජනමක් බලලා සප්තමීට වෙච්ච දේ​ගැන හරියාකාරව යමක් කියාවි කියන කතාව ඒ ඇස් නිලංකාර විල්ල නන්දට අඩු කරලා දුන්නා.

“පවුලෙ හිතවතෙක් ගැන නේද මේ කියන්නේ?” කියල ඒ මනුස්සය මොණර පිල එහෙට මෙහෙට ගගහා අහද්දි නන්දයි කාන්තිලතයි දෙන්නා බයෙන් වෙව්ල වෙව්ල වගේ තමයි “ඔව්: කියලා කිව්වේ.

“ගෑණු රූපයක් පේනවා මට” කියද්දි නන්දාගෙ කටෙන් එකපාරටම ඉතින් “අනේ ඔව් ඔව් මගෙ දුව” කියලා කිය උනා”

“ලස්සනයි, ටිකක් විතර මුරණ්ඩුයි” කියලා අංජනම් බලන මනුස්සයා ආයෙ වතාවක් කියද්දි නන්දා තමයි “ඔව් ඔව්” කියලා කිව්වේ. 

“ ඒ උනාට මේ අම්මා ඉන්නෙ හිත් කරදරෙන්. දුව හන්දා. මොකක් හරි වින්නැහියක් වෙලා තියෙනවා. ළඟම එක්කෙනෙක් සම්බන්ධයි” කියලා ඒ මනුස්සයා දේවාරූඩයෙන් වගේ කියද්දි නන්දට හිතාගන්න බැරි උනා තමන් දැන් කරන්න ඕන ඒ කිව්ව දේට සන්තෝස වෙන එකද දුක් වෙන එකද කියලා.

“ඔව් ඔව් හාංදුරුවනේ, මගෙ දරුවා ගෙදර නෙවෙයි ඉන්නේ” කියලා නන්දා කියද්දිම වගේ තමයි අර දේවාරූඩ වෙලා උන්න මනුස්සයා ආය මනුස්සය ලෝකෙට ආවේ.

“ඔච්චරයි දෙයියන්නාන්සෙ පෙන්නන්නේ. මොකද්ද කිව්ව නම් හැබෑවටම වෙලා තියෙන්නේ? දෙයියන්ට කියලත් ඉතින් කොච්චර වැඩ රජාකාරි තියෙනවද? අපි අඬගහන අඬගහන සැරේට එන්න බෑනෙ මෙතෙන්ට” කියල ඒ මනුස්සය කියද්දි මෙච්චර වෙලා අතේ බුලත් කොලේක ගුලිකරන් උන්නු පඬුරු ටික නන්දා පඬුරු වට්ටියට දැම්මාඅ.

වෙච්ච දේ ඔක්කොම ටික කිව්වයින් පස්සෙත් ඒ මනුස්සයා කිව්වේ “මං අංජනමෙන් කිව්ව යම් දෙයක් ඇතිනෙ. අන්න ඒක ගැන හොඳට හිතලා බලන්න. ජීවිත හානියක් නම් වෙලා තියෙනව කියලා පෙන්නන්නේ නෑ දෙයියන්නාන්සෙ. ඔය ඇක්සිඩන්ට් එක වෙච්ච වෙලාවෙ ආවනම් මෙහෙම වින්නැහියක් නොවෙන්න මට මොකක් හරි උදව්වක් කරන්න තිබ්බා. ඒ උනාට ඉතින් දැන් වෙච්ච දේ වෙලා ඉවරනෙ. හාර මාසයක් යන්න කලින් දූ ගෙන් මොකක් හරි උත්තරයක්​ දැනගන්න ලැබේවි. එහෙනම් බුදු සරණයි. හැමදාම හවසට බුදුන්ට මල් පහන් පූජා කරලා දෙයියන්ට පින් අනුමෝදනා කරලා දරුවට විපතක් නැතුව ගෙදර එන්න පුලුවන් වෙන්න කියලා පතන්න. මං කොහොමත් දැනටම දෙයියන්ට කියලා තියෙන්නේ ඒ ගෑණු දරුවා ගැන බලාගන්න කියලා” කිව්වයින් පස්සෙ ඔක්කොටම වැඳලා කරලා ආපහු එන ගමනුත් නන්දයි කාන්තිලතයි දෙන්නා කතා කරේ බලන් උන්නා වගේ උන්නාන්සෙ මේ හොයන්න ආවෙ කෙල්ලෙක් ගැන, ලස්සන, මුරණ්ඩු ගති ගැන ඔක්කොම කිව්වෙ කොහොමද කියන එක ගැන.

“මං ඒත් කල්පනා කරේ කාන්ති ඔය ළඟම එක්කෙනෙක් සම්බන්ධයි කියලා කිව්වේ කවුරු ගැන වෙන්න පුලුවන්ද කියලා?”

“නන්දාට එහෙම කවුරුහරි මතක් වෙනවද දරුවට මෙහෙම දෙයක් කරන්න පුලුවන්?”

“මට එක්කෙනෙක් ගැන හිතෙනවා. ඒ උනාට මං එහෙම හිතන එක හරිද වැරදිද කියලත් වෙලාවකට මට හිතෙනවා” කියලා නන්දා කියද්දි කාන්තිලතා ඔලුව ගස්සලා නන්දා දිහාව බැලුවේ ඒ අප්‍රබංසෙ මොකද්ද කියලා තේරුම් ගන්න බැරුව වගේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here