සතුටු මන්තර 2

එසඳි ට තියෙන්නේ මල් වට්ටියක් වගේ රවුමට වැවුණු, මුදු කැරලි කොණ්ඩයකි. සුදු බෝල මූණක් ද තෙත පාට ලොකු ඇස් දෙකක් ද ආකර්ෂණීය හුරතල් සිනහවක් ද ඇයට තිබේ. ඒ ලොකු ඇස් වල සුදු ඉංගිරියාවන් හි ලා නිල් පාටක් සයුරංගනා ට පෙනේ. විටෙක ඇය උවමනාවෙන් ම ඒ සිඟිති ඇස් වලට එබී බලා ගෙන සිටී. 

දවස් හතළිස් පහකට පෙර බිළිඳෙකු ගේ හිස කේ රොදක් මුලින් ම කැපිය යුතු යයි අලුත් අම්මා- සයුරංගනා දැන සිටියේ නැත. ගිම්හාන් ගේ මව තිලකා දවසක් හදිසියේ ම සිහි වී එවැන්නක් කීවා ය. එතකොට පුංචි එසඳි ට වයස දවස් හතළිස් හතකි.

“අයියෝ…දැං ඉතිං කතා කරන්න ගන්නකල්ම කොණ්ඩෙ කපන්න හොඳ නෑ. දැන ගන්නෙපැයි අනේ චුට්ටි කෙහෙ රොදක් කපල තියන්න”

ඇය චෝදනාවක තානයෙන් නෝක්කාඩු කීවා ය. එසඳි ව තුරුලු කොට ගෙන සිටියා මිස සයුරංගනා නැන්දම්මා ට කිසිත් කියන්නට ගියේ නැත. 

“අනේ ඉතිං මං දන්නෑනෙ එහෙම දෙයක්” 

කියා හෝ කීවේ නැත. තමන්ගෙන් ලොකු වරදක් සිදු වූවාදැයි ඇය දැන සිටියේ ද නැත. සැබවින් මාතෘත්වය ගැන ලොකු අවබෝධයක් ඒ පොඩි වයසට ඇයට නොවන්නට ඇත.

“ගෙදර ළමයි පෝලිමක්ම ඉන්නෙ. අම්ම ඕව කරනව දැකල නැද්ද…”

තිලකා අඩ සිනහවකින් වුව කළේ ඇනුම්පදයක් කියනා එක යි. සයුරංගනා ගේ හිත නො රිදුණා නොවේ. නමුත් ඇගේ එවන් කුඩා හිත් රිදුම් ඒ ගෙදර ඇතුළේ දී අවලංගු කාසි සේ ය. ඒවාට කිසිදු වටිනාකමක් නැත්තේ ය. එවන් රිදුමක් ගැන ඕ කිසි දාක ගිම්හාන් ට ගතු කේළාම් කියන්නට ගොස් නැත. 

කෙසේ වෙතත් ඒ අතපසුවීම හින්දා බිළිඳිය ගේ කොණ්ඩය කැපුවේ නැත. එසේ කිරීමේ විද්‍යාත්මක පදනම කුමක් ද යන පැනය කොතෙකුත් සයුරංගනා ගේ හිතේ නැගිණ. එනමුදු ඇය ඒවා සිය හදවතේ ම හිර කර ගත්තා ය. ගිම්හාන කාලයේ දී බිළිඳිය ගේ හිසට දහඩිය දමත්දී අම්මා වශයෙන් සයුරංගනා ගේ පපුව වාවා ගත නො හැකි වූ අවස්ථා තිබේ. ඒ වෙලාවට ඕ දැරිය ගේ කෙහෙ රොද ඉහළට පිරිමැද බෙල්ලට පවන් සැලුවා ය. මුවින් පිම්බා ය. 

එසඳි ගේ කොණ්ඩය කැරලි බේරී මල් වට්ටියක් වාගේ වැවිණ. ඒ කැරලි කොණ්ඩය සයුරංගනා ගෙන් ආ එකකි. ගිම්හාන් ට තිබෙන්නේ කඩා හැලෙන ඍජු කොණ්ඩයකි.

“ශක්‍යා පොඩිකාලෙත් මේ කොණ්ඩෙමයි”

තිලකා රස කර කියන්නේ ගිම්හාන් ගේ නංගී ගැන ය. එසඳි ට අම්මා ගේ කොණ්ඩය නෑවිත් නැන්දා ගේ කොණ්ඩය පැමිණ තිබේ. සයුරංගනා කට කොන් සිනහව හංගා ගෙන හිත තද කර ගනී. අම්මා ගේ මෙවන් කතාවක් ඇහුණත් ගිම්හාන් නෑසුණා සේ ඉන්නා බව ඇය දනී. අම්මා ගේ කඩු තුඩක් වන් දිවගින් පිට වෙන වචන නිසා බිරිඳ ගේ හිත රිදිය හැකි බව හිතන්නට ගිම්හාන් ට ඕන වුණේ නැත. නැතහොත් ඒ පුංචි කාරණා ඔස්සේ දිගට එල්ලී ගොස් අනවශ්‍ය ගැටළු ඇති කර ගත යුතු නැතැයි ඔහු සිතුවේ ය. ඒත් නැතහොත් සයුරංගනා ඔය වගේ දේවල් ගැන ලොකුවට හිතන කෙනෙකු නොවේයි ඔහු සිතුවේ ය.

එසඳි බහ තෝරන්නට ගත්තා ට පස්සේ කොණ්ඩය කපන්නට වාරණ දැම්මේ ගිම්හාන් ය.

“නෑ නෑ කපන්න ඕන නෑ. තව ටිකක් වැවෙන්න දෙමු. මෙහෙම ලස්සනයි කෙල්ල. බෝනික්කි වගේ”

මල් වට්ටියක් වාගේ රැලි කොණ්ඩය උරහිසට මඳක් ඉහළට වන ලෙස වැටී තිබියදී එසඳි වෙතින් දිස් වන්නේ වඩාත් හුරුබුහුටි බවක් යයි සයුරංගනා ද දැන සිටියා ය. සිඟිත්තිය ගේ වටකුරු පිරුණු මූණට ඒ කොණ්ඩය ලස්සන ය. එක ම ගැටළුව මේ සමකාසන්න දූපතේ උෂ්ණත්වයයි. උණුසුම් දහවලේ දී සයුරංගනා එසඳි කේ රැලි කොණ්ඩය හිස් මුදුනට කොට පොල් ගසක් දැමුවා ය.

යශෝදර ගේ ගෙදර යන්නට පෙර සයුරංගනා එසඳි ගේ කොණ්ඩයට පාට පාට කුඩා කොණ්ඩා කටු කීපයක් ම ගැසුවා ය. රෝස පාට සන්සූට් එකක් අන්දා හා කන් සහිත රෝස පාට ඇලිස් බෑන්ඩ් එකක් ද දැමුවා ය. එතකොට එසඳි ගෙන් දිස් වූයේ ඇස්වහ වැදිය හැකි තරම් හුරුබුහුටි හුරතල් බවකි. තමන් ගේ ම ඇස්වහ වැදේවි ද කියා හිතෙන තරම් වෙලාවක් ඇය සිඟිත්තිය දෙස බලා සිටියා ය. සැබවින් මේ විශ්වයේ සයුරංගනා ට තිබෙන ලොකු ම සතුට මේ රෝස බෝනික්කියයි. ඇය කේන්ද්‍ර කොට ගත් විට ඇය අන් සියල්ල සතුටකට පෙරලා ගන්නට පුළුවන. ට්‍රයිඩැක්ස් මල් පෙත්තක පවා, රෝස පාට පවුඩර් මලක් වන් මිමෝසා රේණුවක පවා, පහළ වෙල ළඟ දං පඳුරු වසා වැවී මල් පිපෙනා මෝනිං ග්ලෝරියා දම් පැහැයක පවා සතුටක් දකින්නට පුළුවන. සයුරංගනා ගේ මූණේ සිනහවක් නැති වෙලාවක් නැතැයි මල්කාන්ති නිතර ම කියයි. මල්කාන්ති යනු ඉස්සරහා ගෙදර යශෝදර ගේ අම්මා ය. ඒ මන්දහාසය සයුරංගනා ගේ ආරක්ෂිත පළිහයි. සැබෑ මුහුණ ආවරණය කරනා වෙස් මුහුණයි. වචන කෝටි ගණනකින්වත් පැහැදිලි කරන්නට නො තේරෙන ගොරතර වනාන්තරයක බියකරු පාළුවත්, අගාධ අඳුරක අනන්ත හිස්කමත් වසා ගෙන සර්ව සම්පූර්ණ පතිණියක සේ ඇය ලෝකයට මූණ දෙන්නේ මේ සිනහව පලන්දා ගෙන ය. නමුත් ඇත්තට ම ඇයට මූණ දෙන්නට ඇය ඉදිරියෙහි වන ලෝකය ද කෙතරම් නම් පටු ද? සීමිත ද?

ඔවුන් යන විටත් යශෝදර ගේ ගෙදර කුස්සියේ සිට බැදුම් සුවඳ හමා ගෙන ආවේ ය. සංගීත හඬ වැට මායිම් පනිමින් ගලා ගියේ ය. යශෝදර ගේ මල්ලී තේමිය හා නංග පාරමී කැරම් ගසමින් සිටියහ. එසඳි දුටු ගමන් පාරමී නැගිට දිවැවිත් ගිම්හාන් අතින් ඇය ගෙන මිරිකුවා ය.

“මගෙ චීස් බෝලෙ…අපි මොනාද කරන්නෙ…ආ…කියමුද සින්දුවක්…”

ගිම්හාන් හා සයුරංගනා ද ජයරත්න ද එහි ගිය ගමන් තේමිය ද ඔවුන් ගේ පියා ආනන්ද ද විත් ආලින්දයේ සෝෆා කට්ටලයෙහි අසුන්ගත වූහ. මල්කාන්ති ලහි ලහියේ විත් කටගැස්ම පිඟන් කිහිපයක් කෝපි මේසය මත තබා ගියා ය. යශෝදර ආවේ බීර කෑන් කිහිපයක් දෑතින් බදා ගෙන ය. 

“නංගි සයුරංගනාට කූල් ඩ්‍රිංක් එකක් ගේනව”

පාරමී බීර උගුරක් තොල ගාන්නට කිසි සේත් එකඟ වන්නේ නැති බව දැන් යශෝදර අත්දැකීමෙන් දනී. 

“අනේ කරදර වෙන්නෙපා පාරමී”

කියා කීවාට ඇය වෙනුවෙන් බීම එකක් විශේෂයෙන් සැකසෙන බව සයුරංගනා දනී. 

මේ ගෙදර මේ වාගේ සතුටු සැමරුම් නිතර සිදු වේ. සතුටු වෙන්නට ලොකු හේතු උවමනා නැති බව ඔප්පු කොට පෙන්වන්නට රාමනායක පවුල තරම් නිදර්ශකයක් තවත් ඕනෑ නැති තරමි. අද මේ කා බී ප්‍රීති වන්නට යන්නේ තේමිය ගේ යූ ටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබර්ස්ලා විසි දහසක් ළඟා කර ගැනීම නිසා ය. හැම පොඩි දේට ම සාද දමනා එක මොන තරම් විහිළුවක් ද කියා කෙනෙකුට සිතෙන්නට පුළුවන. නමුත් සතුටු වන්නට කොතැනකින් හෝ හේතු සෙවීම ජීවන ලාලසාව වඩවයි.

 සයුරංගනා මේ පවුලේ ස්වභාවයට කැමති ය. ඔවුන් නිතර ම සතුටෙන් සිටිනා අය ය. සතුටු වෙන්නට හේතු හොයනා අය ය. එකතු වී කෑමක් හදා ගෙන කා බී සින්දුවක් කියා සතුට සමරන අය ය. මේ ගෙදර බලු සුරතලා ගේ උපන් දිනයට ද ඔවුහු කේක් කපති. හැම දේකට ම දුක් වෙවී සිටිනවාට වඩා පොඩි දෙයක් මත හෝ සතුට බෝ කර ගන්නට තැත් කිරීම ද සතුටකි.

බීර සුවඳ ද කතා රසය ද කෙමෙන් වැඩි වන්නේ ය. ඒ කතා සිනහවෙන් පිරුණ ඒවා ය. එක බීර උගුරක් හෝ තොල නොගෑව ද සයුරංගනා ට සතුටෙන් මත් විය හැක. ගිම්හාන් ඇය ගැන සොයා බලයි. කටගැස්ම තසිමකින් යමක් ගෙන ඇය වෙත පායි. ඒ වෙලාවට ඇය ට ඔහු ගැන සෙනෙහසට ළඟ හැඟීමක් දැනේ. මොනවා වුණත් ගිම්හාන් ඇයට අඩුවක් වෙන්නට නොදේ. සියල්ල සපුරා ලන්නට උත්සාහ කරයි. නමුත් එක ම එක අඩුවක් හදවතේ ඈත අනන්තයකට දැනෙනා බව සයුරංගනා කවදාවත් ගිම්හාන් ට අඟවා නැත. ඒ අඩුව ඔහු ට පිරවිය නො හැකි බව ඇය දනී. ඔහු සිව් වසරක් වෙනත් යුවතියකට පෙම් බැඳි පුරුෂයෙකි. විවාහය සඳහා සයුරංගනා ව තෝරා ගැනෙනුයේ ඇය අහිංසක හා තැලී පොඩි නොවුණ එකියක හින්දා ය. සිය රාජධානිය ඔහු ගේ ම සිහින වලට අනුව වර්ණ ගන්වන්නට සුදුසු වන්නේ එහෙව් යුවතියකැයි ඔහු මුලදී ම තීරණය කළේ ය. ඔහු ගේ ගෙදර, ඔහු ගේ පවුල, ඔහු ගේ බිරිඳ, ඔහු ගේ දරුවන්, ඔහු ගේ රැකියාව…ඒ සියල්ල ඔහු ට උවමනා පරිදි, ඔහු ගේ සැලසුම් පරිදි ස්ථානගත වේ. සයුරංගනා ට තියෙන්නේ ඒ නාටකයේ බිරිඳට රඟපාන්නට පමණි. දරුවා හදන්නට පමණි. උයා පිහා රෙදි හෝදා වේලා ගේ පිළිවෙලට තබා ගන්නට පමණි. අනිත් සියල්ල සිදු වන්නේ ගිම්හාන් ගේ සැලසුම් වලට අනුකූලව ය. අඩු තරමින් ඇය කැමති ශැම්පු එකක් හෝ තෝරා ගන්නට ඇයට අවස්ථාවක් නැත. ඔහු ඒවා රැගෙන එයි. ඔහු කැමති පරිදි රැගෙන එයි!

“රංගනානං හරිම ලකී වයිෆ් කෙනෙක්. ගිම්හාන් වගේ හස්බන්ල කොහෙද අනේ අද කාලෙ. හැම දේම ඔයාගෙ කකුල් දෙක ළඟටම ගෙනත් දෙනවනෙ. ඉල්ලන්න ඕන නෑනෙ ඊට කලින් එයා ගෙනත්”

මල්කාන්ති කිහිප වතාවක් එහෙම කියා තිබේ. ඒ වෙලාවට සයුරංගනා කරන්නේ සිය සුපුරුදු මඳහස තව ටිකක් පුළුල් කර ගන්නා එක ය. ලෝකයේ ප්‍රීතිමත් ම බිරිඳ තමන් වාගේ හිස මඳක් කෙළින් කර ගෙන ඔබ මොබ බලනා එක ය. තමන්ට පිස්සු ද නැත්නම් ලෝකයට පිස්සු ද කියා ඇය සිතා තිබේ.

“අපිට වගේද ඔයාටනං…හැම දේම කකුල් දෙක ළඟට ගෙනත් දෙනව. ඔයාට මොන අඩුවක්ද”

සිය හදවත ඇය ම නො දන්නා අඩුවක් ගැන පැමිණිලි කරන බව කීවොත් ඇගේ අම්මා වුව එහෙම කියනු ඇත. නමුත් ඒ භෞතික වූ කිසිවකින් සන්තෘප්ත කළ නො හැකි යම් අවකාශයක් සයුරංගනා ගේ ගැහැනු හදෙහි වේ. යුග යහනෙහි කායික සන්තර්පනයන්ගෙන් තෘප්ත කළ නො හැකි ඉකි හඬක් ආත්මයෙන් ඇසේ. ඇය ඒ නෑසෙනවා සේ,  භාර්යාව ගේ භූමිකාව පුරුදු සේ රඟදක්වයි.

ඔවුන් ගෙදර ගියේ රෑ මැදියමේ ය. රාමනායක පවුල ම පසුගමන් ආහ. එසඳි සෝදා යහනට දැමූ සයුරංගනා උදේට උයන්නට අවැසි කලමනා සූදානම් කොට තැබුවා ය. අප්පච්චිගේත් දියණියගේත් සෙල්ලම් හා කතා බහ ඇසෙමින් තිබී නෑසී ගියේ ය. එසඳි ට නින්ද ගිය බව සයුරංගනා වටහා ගත්තා ය. ඇය කාමරයට එන විට ගිම්හාන් ද නින්දට පිවිසෙමින් සිටියා විය යුතු ය. ඔහු අවදි නොවන සේ සීරුවට ඕ යහනෙහි වැතිර ගත්තා ය. නිදිමතක් ළඟ පාතකවත් නැතිවා සේ ඇයට දැනිණ. නමුත් ඕ ඇස් පියා උන්නා ය. ගිම්හාන් හුස්ම ගන්නා හඬෙහි වෙනසක් ඇයට දැනුණේ එසේ සිටියදී ය. ඇය ඔහු ගේ හිස කෙළින් කළා ය. එතකොට මුවින් ගොර ගොර හඬක් පිට විය.

“ගිම්හාන්”

සයුරංගනා තරමක කලබලයකින් ඔහු ගේ පපුවට අත තබා සොලවමින් කතා කළා ය. ගොර ගොර හඬත් සමග ඊළඟට ඔහු ගේ මුව කොනින් සෙම හෝ පෙණ ගතියක් බැහැර විය.

“අප්පච්චී…”

සයුරංගනා යටිගිරියෙන් කෑගැසුවා ය. එකෙනෙහි ඇඳෙන් බිමට පැන දොරගුලු හැරියා ය. ජයරත්න කඟවේනෙකු සේ කාමරයට දිව ආවේ ය.

“ඇයි ඇයි..”

“ගිම්හාන්ට මොකක් හරි වෙලා. අනේ ඉක්මන්ට හොස්පිට්ල් ගෙනියමු”

ජයරත්න ගිම්හාන් වෙත නැඹුරු වූයේ ය. සයුරංගනා වහ වහා ගෙයි මහ දොර හැරියා ය.

“යශෝදර….අනේ යශෝදර එන්නකෝ…යශෝදර…ඉක්මනට එන්නකෝ…”

කනට ඇහෙන්නට කතා කර ගන්නට බැරි ඇය ඒ තරම් හඬ නගා කෑ ගැසුවේ කෙසේ දැයි ඇය ම දන්නේ නැත. ගේ අස් පස් කොට නිදන්නට සූදානම් වෙමින් උන් රාමනායක පවුල එකෙනෙහි දිව ආහ. තේමිය ගිම්හාන් ව දෑතින් ගත්තේ ය. පාරමී රිය දොර හැරියා ය. සයුරංගනා පසුපස අසුනට ගොඩ වී ගිම්හාන් ගේ හිස ඇගේ උකුල මත තබා ගත්තා ය. යශෝදර ගිලන් රථයක් සේ හඬ නංවමින් ද ඉඩ ඉල්ලමින් ද රෝහල කරා රිය පැදවූයේ ය.

“අනේ ඇයි ගිම්හාන් මේ…දුවත් එක්ක සෙල්ලං කර කරත් හිටියනෙ ඇඳට වෙලා. ඕන්නං විනාඩි දහයක් විතර නින්ද යන්නත් ඇති. ඉතිං මේ මොකද්ද වුණේ…”

සයුරංගනා නන් දෙඩවූවා ය. සැබවින් මේ සිදු වූයේ කුමක් දැයි ඇයට සිතා ගත නො හැකි ය. ජයරත්න වරින් වර පසු අසුන දෙස හැරී බැලුවේ ය. කතා කරන්නට බැරි තරමට ඔහු ගේ හදවත ද කලබල වී තිබිණ. නමුත් ඔහු අසීරුවෙන් “දුව කලබල වෙන්න එපා” යයි කීවේ ය.

“අනේ තව ටිකක් ඉක්මනට යං යශෝදර. ගිම්හාන්…ඔයාට මාව ඇහෙනව නේද…බය වෙන්න එපා ගිම්හාන්. අපි ඔයාව අරං යන්නෙ හොස්පිට්ල් එකටනෙ. ඉක්මනටම ඩොක්ටර්ස්ල බලල ඕන දේවල් කරයි”

තොල කට වියළී ගිහින් ඇති බවක් හෝ සයුරංගනා ට නො දැනිණ. ඇය වට පිට බැලුවේ රෝහලට තව දුර දැයි නිශ්චිත කර ගන්නට සේ ය. නමුත් අඳුර නිසා ද හිතේ වූ කලබලය නිසා ද මන්දා මං සලකුණු කිසිවක් සොයා ගන්නට ඇයට හැකි වූයේ නැත.

ගිම්හාන් අලගියවන්න හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරිණ. රෝහල් කාර්ය මණ්ඩලය වහ වහා ඔහු වෙත වට වී යන්ත්‍රයකට ඔහු ව සම්බන්ධ කරනා ලදී. සයුරංගනා නෙතු විදා බලා සිටියා ය. වෛද්‍යවරයා ඇදෙස බැලුවේ යටි තොල පිට පෙරළා ගෙන ය.

“ඔයා කවුද පේශන්ට්ගෙ…”

“ම්..මං…වයිෆ්..”

“කණගාටුයි. හස්බන් ඩෙත් වෙලා”

සයුරංගනා අතින් මුව වසා ගත්තා ය. කෑ ගැසෙන්නට ආවාට ඇගේ මුවින් හඬක් පිට නො විණි. හිසට පොලු පහරක් වැදුණා වන් කැරකිල්ල ගතියක්  දැනුණේ ය. ඕ දෑතින් ම හිස අත් බැඳ ගත්තා ය.

“සයුරංගනා…ඔයා..චුට්ටක් අතනිං වාඩි වෙන්න. අංකල්…සයුරංගනා එක්ක පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න”

ඒ වෙලාවේ යශෝදර ට ද කුමක් කළ යුතු ද යන සිහිය වූයේ නැති තරමි. නමුත් සයුරංගනා ට මෙවැන්නක් දරා ගත නො හැකි වන බව ඔහු ගේ සිහියට යන්තමින් නැගිණි. ඔහු ඇයව ද ජයරත්නව ද අත් දෙකෙන් අල්වා ගෙන ගොස් බංකුවක් මත හිඳවූයේ ය. ඒ බංකුවේ ම කොනකට වැටී හිසෙහි අත් දෙක ගසා ගත්තේ ය. මේ කියන කතාව කුමක් ද? එහෙම වෙන්නට පුළුවන් ද? එහෙම වූයේ ඇයි? මේ හදිසියේ, පැයකට ආසන්න කාලයකදී කිසිදු රෝගාබාධයකින් තොර ව ඔහු ගේ ගෙදරින් පිට වී ගිය ගිම්හාන් ජීවිතයෙන් සමු ගෙන ගියා කියා කොහොම විශ්වාස කරන්න ද?

💜️ඔබත් මාත් අතරේ ගනු දෙනු වන්නේ වචන දහස් ගණනක් හා ආදරය පමණකි. ඒ වචන දහස් ගණන වෙනුවෙන් ඔබේ ආදරය ඇඟිලි සලකුණක් හෝ හදවත් සලකුණක් හෝ වචන කිහිපයක් ලෙස ඉතිරි කොට යන්න. හෙට ලියනා වචන දහස් ගණන වෙනුවෙන් එය සතුටු මන්තරයක් වනු ඇත!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles