දක්ෂිණ විතානගේ අන්තරා ජීවත් වන නිවස ඉදිරියට පැමිණෙන විට මැදියම් රැයට ආසන්න වෙමින් තිබිණ. ඔහු සිටියේ බීමතිනි. අන්තරා යහන මත වැතිරී, ඇය ඉදිරිපිට තිරයෙහි වන සීසීටීවී දර්ශන දෙස ඔහේ නෙතු යොමාන සිටියේ නින්දක් අසලකටවත් නො පැමිණි බැවිනි. මෝටර් රථය නතර වනු දුටු ඕ වහා යහන මත හිඳගත්තා ය.
දක්ෂිණ රියෙහි කැබි හෝල් එකෙන් රෝලර් ගේට්ටුවෙහි දුරස්ථ පාලකය ගෙන එය විවර කිරීමේ උත්සාහයක් ගත් නමුත් අසාර්ථක වූයේ ය. නීත්‍යානුකූලව වෙන් වීමට පියවර ගත්තාට පස්සේ අන්තරා රාත්‍රියට ගේට්ටුවෙහි විදුලි සම්බන්ධය විසන්ධි කොට තැබුවේ හිතාමතා ම ය. ඒ හිතුණ ගමන් ඕනෑ ම වෙලාවක ගෙදර පැමිණෙන එක ඔහු ගේ පුරුද්දක් වී තිබූ බැවිනි.
“ඔයා දැන් මෙහෙ ඇවිත් නතර වෙලා යන්න එපා දක්ෂිණ. ඒක එච්චර හොඳ නෑ”
අන්තිමට ඔහු පැමිණි දවසේ ඇය ඉතා පැහැදිලි ලෙස කීවා ය. නමුත් දක්ෂිණ කියන්නේ හිතුවක්කාර පිරිමියෙකු බව අන්තරා අත්දැකීමෙන් ම දැන සිටියා ය.
ගේට්ටුව විවර නොවූ බැවින් දක්ෂිණ ඇයට දුරකතන ඇමතුමක් ගත්තේ ය. යහන පසෙක කබඩ් එක මත අන්තරා ගේ දුරකතනය හැඬවෙන්නට පටන් ගති. නිහඬ හිස් බැල්මකින් එදෙස බලා සිටියා විනා ඇය පිළිතුරු දෙන්නට ගියේ නැත.
“හරි. කොයි වෙලාවක හරි ගේට්ටුව අරියිනෙ. මං යන්නෑ. එතකල් මං මෙතනම ඉන්නව. යකෝ මේව මං හදපු ගෙවල්නෙ. දැං ඒ ගේට්ටු මට ඇරෙන්නෑ. යකාගෙ නීති තමයි මේව”
තනිව දොඩවමින් සිටි දක්ෂිණ ට මඳ වෙලාවක දී රිය තුළ ම නින්ද ගියේ ය. අන්තරා අවකාශයට සුසුම් එක් කරමින් යහන මත නිදිවැරුවා ය. ඊටත් හෝරාවකට පමණ පසු ඇගේ දුරකතනයට පැමිණි ඇමතුම සම්පතීගෙනි.
“ලැජ්ජ නැද්ද මගෙ මිනිහව තවත් ඔහෙට ගෙන්නගන්න… මහ ලොකුවට කිව්ව නේද වෙන ගෑනු ළඟට ගිය පිරිමි එපා කියල… දික්සාද වෙනවලු. හහ්… ඒ වුණාට තවත් ඒ මිනිහව එහෙ නවත්තගන්නව. දැංවත් ඔය මනුස්සයට ගෙදර එන්න කියනව”
සම්පතී ට මුලින් ම ඇසුණේ අන්තරා ගේ මුදු සිනහවේ වූ සමච්චල් සර ය. ඉනික්බිති ඕ බෝ සන්සුන් ව දෙඩුවා ය.
“ඔයාගෙ හස්බන් ඉන්නෙ මගෙ ගේ ඇතුළෙ නෙවෙයි. මගෙ ගේ ඉස්සරහ ගේට්ටුවෙන් එළියෙ පාරෙ කාර් එක නවත්තගෙන. සීසීටීවී වලින් මේ දැනුත් මට පේනව. සිහියෙන් ද අසිහියෙන් ද බීල ද නිදිද කියන්න මං දන්නෑ. හැබැයි දැන් පැයක් විතර තිස්සෙ එතන. ඔයා ඇවිත් එක්කං යන්න”
අන්තරා කියා නිම වෙත්දී ම සම්පතී දුරකතන සම්බන්ධය බිඳ දැමුවා ය.
දක්ෂිණ අවදි වූයේ අළුයම් කාලයේ ය. ඔහු රිය හරවාගෙන නික්ම යත්දීත් අන්තරා අවදියෙන් සිටියා ය.
ඒ මහ පාන්දර ම සම්පතී දක්ෂිණ සමගින් රණ්ඩුවක් ඇල්ලුවා ය.
“අර මහලොකු ඉෂ්ට දේවතාවි කිව්වෙ ගේට්ටුව ළඟ මගෙ මිනිහ වාහනේ නවත්තගෙන ඉන්නවය ඇවිත් අරං යන්නය කියල. මේ මනුස්සය මටයි මේ දරුවන්ටයි ලැජ්ජ කරන හැටි ඇත්තට”
දක්ෂිණ වචනයක් හෝ කීවේ නැත. ඔහු ට මහත් හිස් බවක් දැනෙමින් තිබිණ.
“අපි අන්තරා කැමතිනං එයාව ටිකක් එළියට එක්කං යමු. නිකමට තේ එකක් බීල චුට්ටක් ඇවිදල රිලැක්ස් වෙලා එන්න. යාළුවො විදිහට අපිට කරන්න පුළුවං එහෙම දෙයක්නෙ. කොච්චර වුණත් එයා ස්ට්‍රෙස් වෙලා ඇත්තෙ”
යුගාන්ත පාරින්දි ට කීවේ ය. පාරින්දි ගේ ඉල්ලීම අන්තරා විසින් පිළිගැනුණෙන් ඒ හැන්දෑවේ ඔවුහු මුහුදු වෙරළට ගියහ. අනන්ත සාගරය අප්‍රමාණ මිනිසුන් ගේ ජීවන සුසුම් සිය ඇකයෙහි හොවාගෙන ඔවුන් නිදහස්කොට ඇතිවා විය යුතු ය.
“මං කාලයක් තිස්සෙ කිසිම යාළුවෙක්ව ළඟින් ආශ්‍රය කරල නෑ. මේ වෙලාවෙ ඔය දෙන්නව ඉරණම මට ලංකරන්න ඇත්තෙත් හයියට කවුරුහරි ඕනනිසා වෙන්නැති. විශේෂයෙන්ම පුතත් ළඟ නැති නිසා”
අන්තරා මුහුද දෙසට මඳහසක් පාමින් කීවා ය. යුගාන්ත ඇගේ හැම ඉරියව්වක් ම විනිවිද දකිමින් ද ගවේෂණය කරමින් ද සිටියේ ය. කුණාටු එක්ක පොරබදනා එක පහසු ය. කුණාටු වලට ඕනෑ දෙයක් කරන්නට හැර නිහඬ ව නිසල ව බලා සිටීම ඊට වඩා අසීරු ය. අන්තරා වූ කලී ඒ අසීරු පිළිවෙත තෝරාගෙන හිඳිනා තැනැත්තියකි. පිටතින් ඈ සන්සුන් ය. ඒ දෑස් කවුළු, අභ්‍යන්තර කැළඹුම නිහඬව ලෝකයට කෑගසා කියනා කැඩපත් වැන්න.
“මට තේරෙන්නැති එක දෙයක් තියනව”
කෝපිහලක හිඳ කෝපි තොලගාන අතරේ අන්තරා ඈ තුළින් ගැඹුරෙන් මිමිණුවා ය. ඒ මොහොතේත් ඇය ඒ නො තේරෙන දෙය ගැන සිතමින් සිටියා සේ ය.
“අතරමගක වෙන්වෙන එකනං ඉරණමේ ලියවිල තියෙන්නෙ… ඇයි එහෙම අය කාලෙකට හරි හම්බවෙලා එකට ජීවිතේ බෙදාගන්න සලස්වන්නෙ කියනඑක…”
“ඒකනං ඇත්ත. අපි දිගටම ජීවත් වෙන අයව මුලින්ම අපිට මුණගැස්සුවනං හරිනෙ අම්ම තාත්ත සහෝදරයො වගේම… එහෙම වුණානං කිසී දුකක් වේදනාවක් හිත් රිදුමක් නෑනෙ. මැරෙනකල් ඒ අය එක්ක සාමෙං සමාදානෙං ජීවත් වෙනවනෙ. හිත් කැඩිල බලාපොරොත්තු විනාස වෙලා අපි බිඳිච්ච මිනිස්සු වෙන්නෑනෙ”
පාරින්දි අන්තරා ගේ සිතිවිල්ල ස්ථිර කළා ය.
“ඒක හිතන්නෝනෙ එහෙම නෙවෙයි කියලයි මන්නං හිතන්නෙ”
යුගාත්ම පරිනත පිරිමි විලාශයකින් සිය අදහස ඉදිරිපත් කරන්නට සූදානම් වූයේ ය.
“ජීවිතේ කියන්නෙ ගමනක් කියල හිතන එක හරි ලේසියි. හිතන්නකො… ඉපදුණ දා ඉඳල අපි ගමනක් තමයි මේ යමිං ඉන්නෙ. කොහෙටද… මරණය මුනගැහෙනකල්. එහෙම බැලුවාම ජීවිතේ කියන්නෙ මරණය තියන තැනට යන පාර”
මුණිවර භාෂිතයක් සේ ඒ වදන් අන්තරා ගේ ඇතුළාන්තයෙහි තැන්පත් වන්නට විය.
“එකම මිනිස්සු ටිකක් එක්ක හැමදාම ඔය ගමන යන්න ගියානං ඇත්තටම අපිට ජීවිතේ නීරස වෙයි. පෙඩ්ඩක් හිතන්නකො එකම පිරිසක් එක්ක කතා කරනව කියන දේ. අපි අපේ ගැන උනන්දුවෙන් දේවල් කතා කරන්නෙ ඒ හමුවීමෙ මුල් දවස්වල තමයි. ඊට පස්සෙ කතාබහ කරන්න දේවල් අඩු වෙලා ඒ ආශ්‍රය ගැන උනන්දුව වුණත් අඩු වෙන්න ගන්නව. ඊට පස්සෙ එතන තියෙන්නෙ හරි නියුට්‍රල් රිලේශන්ශිප් එකක්. මැරේජ් ලයිෆ් එකක්නං ඊට පස්සෙ ඇදං යන්නෙ වගකීම් යුතුකම් උඩ. දරුවො හදනව… දරුවන්ට උගන්නනව. ගෙවල් දොරවල් හදනව. සල්ලි හම්බකරනව… ෆික්ස්ඩ් ඩිපෝසිට් වල සල්ලි එකතුකරනව. ඔහොම තමයි. අර නියුට්‍රල් වෙන්න ගත්තහම මිනිස්සුන්ට ආයෙ ෆ්‍රෙශ් රිලේශන්ශිප් එකක් ඕන වෙනව. එහෙම තැනක් හොයනව. එහෙම තැනක් හම්බුනාම එතන නතර වෙනව. එතකොට අර පරණ සම්බන්ධයෙ හිටිය අයට හිතෙනව මේ මනුස්සය වෙනස් වෙලා කියල. ඇත්තටම වෙනස් වෙනව කියන එක තමයි මේ ලෝකෙ පැවැත්ම. හැමදේම වෙනස් වෙන නිසා තමයි අලුතෙන් දේවල් ගොඩනැගෙන්නෙ. සම්බන්ධතා වුණත් අලුත් වෙන්නනං නැවුම් හැඟීමක් දැනෙන්නනං ඒ සම්බන්ධකං කැඩිල බිඳිල ගිහිං අලුත් සම්බන්ධකං ගොඩනැගෙන්න ඕනෙ. අර මරණය හම්බවෙනකල් යන ගමන ඔහේ කම්මැලිකමේ යන්න බෑනෙ. මොනාහරි වෙන්න ඕනෙ. එකම දේවල් ටික සර්කල් එකක් වගේ ආයෙ ආයෙ වෙන එක තමයි ඉතිං ජීවත් වෙනව කියන්නෙ. පරණ මිනිස්සු ඈත් වුණාම අපි අලුත් අයට ලං වෙනව. ඒ සම්බන්ධයෙ උද්‍යෝගය තියනකල් ඒකෙ එල්ලිල ඉන්නව. නියුට්‍රල් වෙනකොට වෙන ආයෙ වෙන අයට ලං වෙනව. සදාකාලික නෑ කිසිම සම්බන්ධයක්. හැබැයි අපේ මනුස්ස හදවත් සදාකාලික සම්බන්ධකං බලාපොරොත්තු වෙනව. සදාකාලික මනුස්සයො හොයනව. සදාකාලික පෙම්වතුන් පෙම්වතියන් හොයනව. මට හිතෙන්නෙ ඒක වෙන්න බෑ. වෙන්න ඕනත් නෑ. ජීවිත වල අවසානය වෙනකල්ම එකම මිනිස් රංචුවක් එකට ගමන යන්නෙ නෑ. අතරමගින් අලුත් කට්ටිය එනව. යනව. තව අය එනව. මැරෙනකල් ඕක වෙනව. ඒව සිද්ධ වෙන්න ඕනෙ. ඒව සිද්ධ වෙනකොට අපි අත්දැකීම් ගන්නව. අත්දැකීම් අපිට ඉස්සරහ ජීවිතේ ටිකක් ලේසි කරනව. මොකද එතකොට අපි අනාගතේට කල් ඇතුව සූදානම් වෙනව. යාළුවෙක් වුණත් සදාකාලික නෑ කියල අපි තේරුං ගන්නව. එතකොට ඊලඟට ජීවිතේට එන අයත් ඕනම වෙලාවක යන්න පුළුවන් කියල අපි දන්නව. එතකොට අපි ඒගොල්ලොන්ව ආශ්‍රය කරන්නෙ කොයි වෙලාවෙ ගියත් කමක්නෑ කියන සූදානම ඇතුව. අඩුවෙන් රිදෙන්න බලාගෙන. මං හිතන්නෙ එහෙම. සම්බන්ධකමක් ඇතුලෙදි ඒකට අවංක වෙලා… ඒ සීමාව ඇතුළෙදි සදාචාරය කියාගෙන මිනිස්සු එක්ක ජීවත් වෙනව. යන අයට යන්න අරිනව. එන අයට එන්න අරිනව. ඒ මොහොතෙ ඉන්න අයත් එක්ක ඒ මොහොතෙ ජීවත් වෙනව. දුක් වෙනව වෙනුවට ජීවිතේ සිදුවීම් දිහා උපේක්ෂාවෙන් බලනව. ඇත්තටම අපිට කරන්න පුළුවන් එච්චරයි. කරන්න ඕනත් එච්චරයි”
අන්තරා සේ ම පාරින්දි ද යුගාත්ම දෙස බලා සිටියේ ඔහුගෙන් ගිළිහෙන එකදු වචනයක් හෝ අපතේ නො යවන ලෝභී සිතකින් යුතුව ය. බුදු බණකට සවන් දෙන උවැසියන් තරම් ශ්‍රද්ධා භක්තියකින් හෙබිව ය.
“අපි දන්නෑ අපේ මේ යාළුකං වුණත් කොහොම පවතීද කවදා නවතීද කියල. ඒ ගැන නොහිතා ළඟින් ඉන්න කාලෙදි ලස්සන මතක එකතු කරමු. අනිත් කෙනාට අවංක හිතවත්කමක් දෙමු. දැන් මෙහෙම කතාකරන අපි ආයෙ මුණගැහෙයිද කියල වුණත් කියන්න බෑනෙ. හෙට හම්බවෙමු කියල ගියාට අද මං ජීවත් වෙන අන්තිම දවස වෙන්නත් පුළුවන්. ඒක නිසා පුළුවන් තරං අනිත් කෙනෙකුගෙ හිතක් රිද්දන්නැතුව අපේ හිතවත්කං වලට පවතින්න අරිමු”
අන්තරා තුළ ගැඹුරු පැහැදීමක් ඇතිවෙමින් තිබිණ. යුගාත්ම සතු විවෘත අවබෝධී මානසිකත්වය, මීට පෙර ඇයට හමු වී ඇති බොහෝ අවස්ථාවාදී ගැහැනුන්ට පිරිමින්ට වඩා විනිවිද පෙනෙනා සුළු ය. ජීවිතාවබෝධයක් ද ජීවන දර්ශනයක් ද සහිත මිනිසුන් ඇසුරු කිරීම වඩාත් පහසු ය. ඔවුන් හිතට සුවයකි. සනීපයකි.
ඔවුන්ගේ මිතුදම ශක්තිමත් පදනමක් මත ගොඩනැගීම ඇරඹුණේ ඉනික්බිති ය. ඒ පදනම, විශ්වාසය, හිතවත්කම හා ගෞරවය යන සාධක වල සම අනුපාත වලින් පදම් විය. දෙතුන් දිනකට වරක් උනුන් හමු වී තේ එකක් කෝපි කෝප්පයක් බොමින් පිළිසඳරක යෙදෙන්නට ඔවුන් පුරුදු වූයේ නිරායාසයෙනි. ඒ හමුවීම් වලට තිදෙනා ම එක් වීම ද නිල නොලත් කොන්දේසියක් සේ විය. අත්‍යාවශ්‍ය සිදුවීමකදී හැරුණු විට ඔවුහු අන්තරා ගේ විවාහයේ බිඳවැටීම ගැන කතා නොකරන්නට ප්‍රවේසම් වූහ. රිදී බිඳී ඇති ඇගේ හිත පිළිසකර කිරීම ඒ හමුවීම් වල ප්‍රධාන අරමුණ වන්නට ද ඇත. ඔවුන්ගේ ඇසුර ඔවුන්ට සුවපහසු කලාපයක් වෙමින් තිබිණ.