මවකගේ සෙනෙහස වෙනුවෙන් මග බලන දෙනෙතක්

උමා තමන්ගේ ස්ථීර නිවස උන ළමා නිවාසයේ ගේට්ටුව දිහා බැලුවේ බලාපොරොත්තු දල්වාගත් දෑස් වලින්. මාස කීපයකට තමන්ට අම්මා තාත්තා වෙච්චි ඒ ආදරණීයයන් දෙන්න ආයේ එයිද කියලා උමා හැමදාම මග බැලුවා.
ඇයට ඕන උනේ ඒ ගෙදර හැදුන රස කෑම බීමවත් , සැප පහසු ජීවිතයවත් නෙමෙයි , අම්මා කෙනෙකුගෙයි තාත්තා කෙනෙකුගෙයි ආදරේ. ඒ ආදරේ මතක ඇති කාලයකට පස්සේ උමා අත්වින්දේ නිරෝෂා සහ ලක්මාල් ළමා නිවාසයට ඇවිත් ටික දිනකින්

” උමා .. ඔන්න ඔයාට පවුලක් ලැබෙන්නයි යන්නේ “

කාලයකට කලින් ළමා නිවාසයේ පාලිකාව එහෙම කියනකොට , උමාට ඒ ගැන ලොකු අදහසක් තිබුනේ නෑ.මොකද උමා කියන්නේ තවමත් අවුරුදු අටක පුංචි දැරියක්

” අනේ ලක්මාල්. මට මේ කෙල්ලව අදම අරන් යන්න හිතෙනවා “

පාලිකාව එක්ක හිටපු තරුණ වයස නොඉක්මවූ කාන්තාව එහෙම කිව්වේ ආදරය පිරුණු ලෝබකමකින් උමාගේ හිස අතාගන ගමන්

” අපි කරන්න ඕන වැඩ ටික කරලා ඉක්මනට උමාව ගෙදර එක්කන් යමු නිරෝෂා “

කරුණාවන්ත හඬකින් කතා කරන ලක්මාල් තමන්ගේ තාත්තා වෙන්න යනවා කියලා උමා දැනගත්තේ දින කීපයකට පස්සේ පාලිකාව උමාව ආදරයෙන් ළඟ තියාගෙන කරුණු කාරණා පැහැදුවට පස්සේ

” හැමෝටම මේ වාසනාව නෑ උමා. ඔයා එහේ ගිහින් හොඳට ඉන්න ඕනේ හරිද ? ඔයාට මෙහෙ ඉන්නවට වඩා යාලුවෝ , ලස්සන සෙල්ලම් බඩු , රස කෑම එහෙම එහෙ ගියාම හම්බ වෙයි “

පාලිකාව එහෙම කියද්දි උමාගේ පුංචි හිතේ බලාපොරොත්තු ගොඩක් දැල්වුනේ මතක ඇති කාලයක ඉඳලම අම්මා කෙනෙකුගේ උණුහුමක් ,තාත්තා කෙනෙකුගේ ආදරයක් උමා විඳලා නැති නිසා.

” උමා.. එන්න සෙල්ලම් කරන්න “

එහා ගෙදර සංජය උමාට කතා කලේ ගේට්ටුවෙ කූරු අස්සෙන් එබෙන ගමන්

” අම්මා. මං යන්නද ? “

උමා ආයාචනාත්මක දෑස් වලින් නිරෝශා දිහා බැලුවා.

” යන්න මැණික.එහෙ ඉන්නෙ ඔයාගෙ නැන්දා. ඔය සංජය අයියාත් ඔයාගෙම අයියා. ගිහින් සෙල්ලම් කරන්න “

” සංජය.. නංගිව පරිස්සමින් එක්කන් ගිහින් එන්න ඕනෙ හොඳේ “

නිරෝශා එහෙම කිව්ව විතරයි උමා සංජය දිහාවට දුවලා ගිහින් එක විනාඩියට ගේට්ටුවෙන් නොපෙනී ගියා

නිරෝශාගෙත් ලක්මාල්ගෙත් ජිවීතය එළිය උනේ උමාව එක්කන් ආවට පස්සේ.විවාහ වෙලා අවුරුදු ගානක් ගිහිල්ලත් දරුවන් ලබන්න වාසනාව නොලබපු මේ දෙන්නා දහස් ගාණක් වියදම් කරලා වෛද්‍ය ප්‍රතිකාර කරලා හෙම්බත් වෙලා හිටියා.අන්තිමට දෛවය විසින් තීරණය කරලා තියන දේ බාරගන්න නිරෝශා වගේම ලක්මාලුත් හිත හදාගත්තා

” අපි දරුවෙක් අරන් හදාගමු “

උමා ඔවුන්ගේ දියණිය බවට පත් වෙන්නේ එහෙම.

” සංජය. හැම වෙලේම අරකිව මෙහාට එක්කගෙන එන්න එපා “

නිල්මිණි අවුරුදු නමයක් වයසැති තමන්ගේ පුතාට එහෙම කියන්නේ දත්මිටි කන ගමන්

” ඇයි අම්මේ ? උමා නංගි හරිම ශෝක්නේ.මං නම් කැමතියි එයා මෙහෙ එනවට. එයා කොහෙ ඉඳලද මාමලගේ ගෙදරට ආවේ ?”

” උඹට ඒ පණ්ඩිතකම් වලින් වැඩක් නෑනේ.ආය ඒකිව මෙහෙ එක්කන් එන්නෙපා. කොහෙ උන්ද දන්නෑ.අපෙ මල්ලිටත් පිස්සුනේ “

නිල්මිණිගේ හිතක් පපුවක් නැති වචන වල අරුත තේරුම් ගන්න කුඩා සංජයට බැරි උනත් තමන්ගේ අම්මා උමා එක්ක මොකද්දෝ තරහකින් ඉන්න බව නම් සංජයට තේරුනා.ඒත් වැඩිහිටි හිත්වල තියන නොහොඳ නෝක්කාඩු පුංචි සංජය හිතට ගත්තේ නෑ

” නංගි.ඔය උමා කාගේ කවුද කොහෙ පවුලකද කියලා හරියට හොයලා බැලුවෙ නැද්ද ඕගොල්ලෝ ?”

දවසක් හවස නිරෝශාගේ ගෙට ගොඩවුනු නිල්මිණි රහසින් වගේ එහෙම ඇහුවා

” එයාව ළමා නිවාසෙට බාර දීලා තියෙන්නේ පුංචි කාලෙමයි අක්කේ.සමහරවිට දුප්පත් පවුලක් වෙන්න ඇති “

” ඒ උනාට ඔය ළමයින්ට මොනවගේ පුරුදු තියනවද දන්නෑ. මොකෝ මේ අපි වගේ හැදිච්ච පවුල් වල උන් නෙමෙයිනේ.මට නම් බයේ බෑ අපේ ගෙදර එනකොටත් “

” කොහෙන් ආවත් උමා කියන්නේ දැන් මගෙයි ලක්මාල්ගෙයි දුව. එයාට කවුරුත් මොකුත් කියනවට මම කැමති නෑ “

නිරෝශා ඒ ටික කිව්වෙ ටිකක් තදින්.

” ඔයාට අක්කට එහෙම නොකියා ඉන්න තිබ්බේ නිරෝශා “

” අපේ දරුවට එක එක ඒවා කියනකොට ඔයා කියන්නෙ මට කටවහන් ඉන්න කියලද ? “

” ඒ උනාට අක්කා කැමති නෑ උමාට.අපි අපේ ළමයව බලාගෙන අපේ පාඩුවේ ඉමු.නිකන් නැති ප්‍රශ්න ඔනෙ නෑනේ “

” මට නම් මගේ ළමයා තරම් කිසි කෙනෙක්ව ලොකු නෑ “

” අපිට අක්කව තරහ කරගෙන බෑනේ නිරෝශා මොනා උනත් “

” අම්මා “

උමා ඇවිත් නිරෝශාගේ සායේ එල්ලුනා. තමන්ට අම්මා කියනා නාමය දුන්න උමා ගැන නිරෝශාට ඇතිවුනේ අසීමිත දුකක්.

උමා නිරෝශාගෙයි ලක්මාල්ගෙයි දියණිය බවට පත්වෙලා ඔවුන්ගේ කැදැල්ලේ සතුට ඉතිරෙන්න පටන් අරන් මාස කීපයක් ගෙවිලා ගියේ උමා කියන්නේ තමන්ගේ කුසින් වදාපු දරුවෙක් නෙමෙයි කියන එක නිරෝශාට අමතක කරවමින්. දරුවෙක් බලාපොරොත්තුවෙන් අවුරුදු ගානක් කණස්සල්ලෙන් ගත කරපු නිරෝශා ,උමාව ඇහේ තියාගෙන පරිස්සම් කලා

” උමා.. අඹ කඩමුද “

පුංචි සංජය ගේ දොරකඩටම ඇවිල්ලා අහනකොට උමා හිටියේ ලක්මාල් තෑගි කරපු බෝනික්කාව නලවන ගමන්

” කොහොමද කඩන්නේ , උස නෑනේ “

” ගල් වලින් ගහමු . යන්කෝ මාත් එක්ක “

අඹ කන්න තිබ්බට ආසාවටත් වැඩිය ලා කොළ පාටින් දිලිසෙන අඹ ගෙඩි වලට ගල් වලින් ගහන්න ආසාවක් උමාගේ දඟකාර හිතට ආවා.සංජය පස්සෙන් වැටුන උමා හෙමින් සීරුවේ සංජයලාගේ මිදුලට ගොඩවුනේ ඊට පස්සේ.

” ස්ලාං “

ගල් පහර කීපයකට පස්සේ එක අඹ ගෙඩියක් වත් බිමට නොවැටුණු නිසා සංජය තරමක ලොකු ගලක් අරන් අඹ ගෙඩියකට ගැහුවත් ඒ ගල පතිත උනේ සාලේ ජනේලේ වීදුරුවකට

සංජයටත් වඩා උමා ඒ වෙලාවෙ බය උනේ නිල්මිණි යක්ශාවේස වෙන හැටි අත්දැකීමෙන්ම දන්න නිසයි

” කැඩුව නේද වීදුරුව . දෙයියනේ දැන් ඉතින් දහස් ගානක් යනවනෙ මේවා හදන්න “

” අ..අම්මේ මම ගැහුවේ , අ..අඹ ගහට “

” උඹ දැන් මේකිව බේරන්න බොරු කියනවා නේද ? ආ? “

” නැ..නැන්දේ මම නෙමෙයි.. මේ “

උමාට වචන හිරවුනා.

” නැන්දා.. මං කොහොමද උඹේ නැන්දා උනේ ? හහ්. අනාත නිවාසෙන් ආව අවජාතක එකී. අපෙ ගෙවල් වලට රිංගල අපෙ ළමයින්වත් නරක් කරනවා මදිවට ගෙවල් වල වීදුරුත් කඩනවා. මහ එවුන්ගේ වැරදි මේවා. “

නිල්මිණිගේ ශක්තිමත් අතක් උමාගේ පිට හරහා වැදුනේ හිතපු නැති වෙලාවක.උමා අඬාගෙන ගෙදර දිව්වේ ගුටියේ සැරට වඩා නිල්මිණිගේ වචන වලට හිත රිදිලා

” ඔයාට තිබ්බනේ නිරෝශා උමා ගැන ටිකක් අවධානෙන් ඉන්න.දන්නවනෙ අක්කගෙ හැටි.මොකටද එහෙ යැව්වෙ ළමයව “

වෙච්ච දේට සමාව ඉල්ලන්න නිල්මිණිගේ ගෙදරට ගොඩ වෙලා ආපහු ආව ලක්මාල් ඉස්තෝප්පුවෙන් වාඩිවුනේ එහෙම කියන ගමන්.

” ඔය අවජාතක ළමයා උඹේ ගෙදර ඉන්නකන් ආයේ මට අක්කා කියන්නවත් ,මේ ගෙදර පස් පාගන්නවත් එපා ලක්මාල් “

අක්කාගේ අපහාසාත්මක වචන ලක්මාල්ගෙත් හිත හොඳටම රිද්දලා තිබුනත් , ලක්මාල් ඒවා නිරෝශාට කියන්න ගියේ නෑ.

” වීදුරුව කැඩිලා තියෙන්නෙ සංජය ගහපු ගලකින් නේ ලක්මාල් .අපේ ළමයා මොනව කරන්නද “

” මේ ළමයා නිසා මට මගේ අක්කාව නැති කරගන්න බෑ නිරෝශා. මට ඉන්නෙ එක අක්කයි “

” මොකද්ද ? මොකද්ද ලක්මාල් ඔයා දැන් කියන්නේ ? “

තමන්ගේ අක්කව තරහ කරගන්න බැරිකමින් අසරණ වෙලා හිටපු ලක්මාල්ගේ අන්තිම තීරණය උනේ , ප්‍රශ්ණ වැඩි වෙන්න කලින් උමාව ආපහු ළමා නිවාසයටම බාර දෙන එක.නිරෝශා පොළවේ හැපි හැපී ඇඬුවත් එක කුස උපන් තමන්ගේ අක්කා වෙනුවෙන් ඒ තීරණය ගන්න අකමැත්තෙන් උනත් ලක්මාල්ට සිද්ධ උනා

අම්මා කෙනෙකුගෙයි තාත්තා කෙනෙකුගෙයි උණුහුම විඳින්න දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන ආව උමාට , ඒ බලාපොරොත්තු කන්දරාවත් එක්කම ආපහු ළමා නිවාසයට එන්න උනේ එහෙම.

තමන්ට අප්‍රමාණව ආදරය කරපු ඒ දෙන්නා තමන්ව ගෙදර එක්කගෙන යන්න ආපහු එයි කියලා උමා අදටත් ළමා නිවාසයේ දොරකඩට වෙලා ගේට්ටුව ඇරෙනකන් බලාගෙන ඉන්නවා !

More Stories

Don't Miss


Latest Articles