මල්සර හී සර – 44

0
2406

සීනිගමයි කන්දෙ විහාරෙයි අතන මෙතන කොතන ගියත් අන්තිමේ කියවුනේ එකම වගේ දේවල්.

“දරුවා පරිස්සමෙන් ඉන්නවා. ඉක්මනට බලලා යන්න ඒවි. එහෙම නැත්තම් පණිවිඩයක් දේවි” කියලා සමහරු කියද්දි තව සමහරු කිව්වේ “හාර මාසයක් යන්න කලින් දරුවා ගෙදර ඒවි” කියලා. “හාර මාසයක් යන්න කලින් එනවා කියන්නෙ ගියේ මොකද කියලා දැනගන්න විදියක් නැද්ද?” කියල නන්දා කණට කරලා මැතුරුවට කාන්තිලතා නම් කිව්වේ “ඔව්ව් අහන්න ගිහිල්ලා දෙයියො කෝප කරගන්න එපා” කියලා. 

“දෙයියන්ට කියන්න බැරිද මං කෝප වෙලා ඉන්නේ?” කියලා අහන්න හිතුනට මොකෝ දැන් තමන්ගෙ දරුවාව බලාගන්න පුලුවන් ඇත්තටම දෙයියන්නාසෙට විතරක් හන්දා නන්දා කට පියාගෙන අහගෙන උන්නා. ඔය වගේ අනන්ත අප්‍රමාණ අංජනම් බැලිලා, බෝධි පූජා තැබිලි මහ ගොඩකට පස්සෙත් නන්දට උනේ අන්තිමේ “වෙන දෙයක් වෙච්චාවෙ” කියලා හිත හදාගෙන සප්තමී කවදක හරි දවසක ආයෙම තමන්ට කතා කරනකම් හරි ගෙදර එනකම් හරි බලාගෙන ඉන්න එක.

ටෙලි නාට්‍යයේ වැඩ අවසන් වෙලා තිබ්බ හන්දා වසන්ත ඒත් සමුද්රගෙන් ඇහුවා “සප්තමී ගැන තාම කිසිම ආරංචියක් නැති එකේ අපි ටෙලි ඩ්‍රාමා එක මේ වෙලාවෙ එලියට දාන එක ඒ ළමයට කරන වරදක්ද කියලත්?”. හැබයි සමුද්ර නම් ඒක ගැන හිතුවෙ වෙනම විදියකට.

“නෑ මං හිතන්නෙ සප්තමී උනත් තරහ වෙන එකක් නෑ එහෙම දෙයක් කරා කියල. අනික වසන්ත මහත්තයා සප්තමී නෙවෙයි මං මැරුනත් වසන්ත මහත්තය ඔය කරල ඉවර වෙච්ච වැඩේ එලියට දාන්න ඕන කියල තමයි මම නම් හිතන්නෙ. මොකෝ එක්කෙනෙක් විතරක් මහන්සි වෙච්ච වැඩක් නෙවෙයිනෙ. සප්තමී විතරක් නෙවෙයිනෙ ඕකෙ රඟපාන්න ආවෙ. එහෙම එකේ සප්තමී ආයෙ එන දවසක් කියලා හිතාගෙන ඕන කල්දාන එක මං කියන්නෙ අනික් මිනිස්සුන්ටත් කරන වරදක්නෙ”

“ඔව් ඒක නම් එහෙම තමයි. මම ඒත් හිතුවෙ කට්ටියගෙන්ම අහන්නත් කියල අපි මේ වැඩේ සප්තමීගෙන් හොඅඳ්අ ආරංචියක් ලැබෙන කම් කල් දානවද කියලත්”

“නෑ මං නම් කියන්නෙ එහෙම කල් දාන්න උවමනාවක් නෑ. මංනෙ කියන්නෙ වසන්ත මහත්තයා බය නැතුව වැඩේ රිලීස් කරන්න. මගෙන් මොනාහරි තව උදව්වක් ඕන නම් ඒක කියන්න. මං කරලා දෙන්නම්. ඒ ඇරෙන්න නිකන් බොරුවට මේ වැඩේ කල් දාන්න එපා. අනික මේ අවුරුද්දෙ ඕක රිලීස් කරගත්තොත් අපිට තියෙන්නෙත් අඩු කොටස් ගාණක් හන්දා ඊලඟට එන අවෝඩ් සෙරමනි එකකට උනත් ඕකක් දාගන්න බැරිවෙන එකක් නෑ” කියලා සමුද්ර කිව්වයින් පස්සෙ තමයි වසන්ත ටෙලි නාට්ටිය රිලීස් කරන වැඩේ කරන්න හිතුවෙ.

“සප්තමිත් නැති හන්දා මාලවීව ටක් ගාලා හයිප් වෙලා එයි” කියන එක ටෙලියට සම්බන්ධ වෙච්ච කාන්ඩෙ ඔක්කොම වගේ කතාකරද්දි මාලවී එලියට පෙන්නුවෙ මාර නිහතමානි සන්තෝසයක් උනත් ඇත්තටම වුනේ මොකද්ද කියලා දන්නෙ නැතුව හරි සප්තමී මෙහෙම අන්තරස්දාන වෙච්ච එකෙන් තමන්ටත් හොඳක් වෙලා තියෙනවා කියන එක හිත අස්සෙන් හිතුව විත්තිය නම් කියන්නම ඕන. ටෙලි නාට්ටිය පටන් ගත්තයින් පස්සෙ ඇස් දෙකට දකින්න නැති තමන්ගෙ දරුවව ටීවි එකේ බලාගන්න කියල හිතලා හරි නන්දලා ජයබාහුල හැමදාම රෑ අට වෙද්දි කෑම පිඟානත් අරගෙන ටෙලිවිශන් එක ඉස්සරහට එන එක පුරුද්දක් කරගත්තා. අල්ලපු ගෙදර කාන්ති නම් පරණ කෝන්තර ඔක්කොම අමතක කරලා තමයි මාලවීවයි සප්තමීවයි දෙන්නවම බලන්න හිතාගෙන ටීවි එක ඉස්සරහට ආවේ.

“අලුතෙන් ටෙලි තිරයට හදුන්වා දෙන නවක නිළියො යුගලයක්” විදියට​ මාලවීව වගේම සප්තමීවත් සෝශල් මීඩියාවල මිනිස්සු “කාලෙකින් ආව රූපෙයි දක්ශතාවයයි දෙකම තියෙන දෙන්නෙක්” විදියට ඉන්ට්‍රඩියුස් කරද්දි පත්තර වල කට්ටියද ඔය එක එක ටීවි ශො වල මිනිස්සුන්ද මාලවීවයි සප්තමිවයි ඒ ටීවී ශෝස් වලට අරගෙන එන්න උත්සහ කරාට ඒවට යන්න පුලුවන් උනේ මාලවීට විතරයි. මාලවී එහෙම දේකට යනවා කියල දැනගත්ත මුල් කාලෙදිම මාලවීලගෙ ගෙදර අයටයි සප්තමීලගෙ ගෙදර අයටය් අරවින්දම තමයි ඇවිල්ලා කිව්වේ “ඔයාලා එලිපිට සප්තමීට ඇත්තටම වෙච්ච දේ ගැන කතාකරන්න යන්න එපා. මොකද ඒක අපේ ඉන්ක්වයරි එකට බාධාවක් වෙන්න පුලුවම්. සප්තමීට අනතුරක් කරන්න බලාගෙන ඉන්න අයට අවස්තාවෙන් ප්‍රයෝජනයක් ගන්න ලැබෙන හොඳ චාන්ස් එකක් වෙන්න පුලුවන්. ඒ හන්දා දැනට සප්තමී ස්ටඩීස් හරි මොනවා හරි දේකට රට ගිහිල්ලා කියල අපි කියමු” කියලා.

කොහොමත් මෙච්චර ජනප්‍රියත්වයක් තමන්ට ලැබිල තියෙන්නෙ කියල තේරිලා තියෙන වෙලාවෙ අතුරුදහන් වෙච්ච සප්තමියෙක් ගැන කියන්න ගිහින් තමන්ට ලැබිච්ච ජනප්‍රියත්වෙ නිකන් දෙකට බෙදාගන්නෙ මොකටද කියලා හිතලා තමයි මාලවී අරවින්ද කිව්ව විදියට කවුරුහරි තමන්ගෙන් සප්තමී ගැන ඇහුවම “එයා ස්ටඩීස් වලට රට ගිහින්” කියල වගේම තමන්ගෙ පැත්තෙන් පොඩි ලුණු ඇඹුල් ටිකක් එක්කහු කරන්න හිතාගෙන “එයා කොහොමත් මේ වගේ ඉන්ටවිව් වලට එන්නෙ නෑ, එයාට ආයෙ රඟපාන්න එන්න ආසාවකුත් නෑ” කියන ටිකත් කිව්වේ. ඔය හන්දම නිලියො දෙන්නට දෙකට බෙදිලා යන්න තිබිච්ච ජනප්‍රියත්වෙ එහෙම පිටින්ම තමන්ගෙ කරගන්න මාලවීට මහ ලොකු නැටුමක් නටන්න උනේ නෑ. ඒ ජනප්‍රියත්වෙ එක්ක ෆේස්බුක් ද ඉන්ස්ටග්‍රෑම් ද ටික්ටොක් ද මාලවීගෙ ෆලෝවර්ස්ලා වැඩි උනේ හිටු ගාලා. ඒ එක්කම ටීවි චැනල් එකක අලුතෙන් පටන් ගත්තා ඩාන්සින් ශෝ එකකටත් සම්බන්ධ වෙන්න මාලවීට පොට පෑදුනා. බොරු කියන්න ඕන නැනෙ. මොන අඟර දඟර දැම්මත් කට්ටිය එක්ක කතා බස් කරන ඉන්න පුලුවන් රංග ලීලෙයි ඕන නැටුමක් නටාගන්න තිබිච්ච පුලුවන්කමයි හන්දා වගේම කැමරාව ඉස්සර හරීම විනීතව හැසිරෙන්න තිබිච්ච දක්ශතාවයයි හන්දා වසරේ ජනප්‍රියම නිලිය වෙන්න මාලවීට පුලුවන්කම තියෙන විත්තිය කට්ටියම එහෙ මෙහෙ කතාවෙන්න පටන් ගත්තා.

දිගට හරහට ගලා ගෙන ආව ඉන්ටවිව්ද, ටෙලි නාට්‍යද, ටීවි ශෝ ද, පත්තර වල ඉන්ටවිව්ද, ඇඩ්වටීස්මන්‍ට් ද එක්ක ටික දවසක් යද්දි කාන්තිලතා ඒත් මාලවීට කිව්වා “අන්තිමේ ළමයො සප්තමී විතරක් නෙවෙයිනෙ ගෙදර නැත්තෙ ඔයත් නෑනෙ” කියලා. ලැබිච්ච සල්ලි බාගෙ වලින් අම්මයි දුවයි එක එක විදියට ජීවිතේ උඩහට යද්දි මාලවීම තමයි අම්මට කිව්වේ “අපි තව කාලයක් මොකටද අනේ මේ ගුබ්බෑයම් අස්සෙ රිංගන් ඉන්නෙ, අපි කොළඹට ලඟ තැනකින් ගෙයක් බලමු” කියලා.

“එහෙම පුලුවන්කමක් තියෙනම් කොච්චර හොඳද, ඒ උනාට ඉතින් මේව එහෙම අතෑරල දාලා යන්න ඕන නෑනෙ. මොක උනත් අපිට ලැබිච්ච හැමදේම ලැබුනෙ මෙතන ඉද්දිනෙ”

“ඒ උනාට අනේ මෙතනට ඉන්ඩස්ට්‍රි එකේ කාවවත් ගෙන්න ගන්නවත් පුලුවන්ද බලන්නකො? ඉන්ටවිව් එකක් කරද්දි වෙන කොහෙට හරි යන්න ඕන. ෆොටෝ එකක්වත් හරියට ගන්න තැනක් නෑ. කාක්කො ජරා කරපුවයි, පාට හේදිච්ච බිත්ති තමයි බැක් ඩ්‍රොප් වලට තියෙන්නෙ. අනික අපි වගේ අය මේ වගේ තැන්වල ඉද්දි අර මිනිස්සු උනත් වැඩකට කතාකරද්දි දෙතුන් පාර හිතනවා. ක්ලාස් එකක් හැදෙන්නෙත් නෑ මෙහෙම තැනක ඉද්දි.

මං වාහනේකුත් අරගන්න හිතන් ඉන්නෙ. ඒ නැතත් වසන්ත සර් කිව්වා කාලෙකට පස්සෙ එයාග් ටෙලියක් මෙච්චරම කට්ටිය කතාකරන දෙයක් උනේ මං හන්දා කියලා. එහෙම එකේ කාර් එකක් හම්බෙච්ච දවසට ඒක අව්වට කර වෙවී වැස්සට තෙමි තෙමී මෙතන මේ එක එකාගෙ ඇස් වහ වැදි වැදි එලියෙ තමයි තියන්න වෙන්නෙ. මං ගෙයක් බලන්නම්, ඔයා යන්න ලෑස්ති වෙන්නකො” කියලා. මාලවීගෙ මූණට “අයියෝ, අපරාදෙ, මෙතන ඉමු, අපේ තැනනෙ” කියල මූණිච්චාවට කිව්වට මොකෝ සප්තමීගේ අම්මායි හවුසින් ස්කීම් එකේ අනිත් අයයි ඉස්සරහදිනම් කාන්තිලතා දෝණියැන්දගෙ කයිවාරුවම තමයි කියෙව්වේ.

හැමෝම ටෙලිවිශන් එකෙන් සංසාර පාරමිතා බලද්දි සප්තමී උන්නෙත් තමන් උන්නු ගෙදර ඉඳගෙන හැමදාම රෑට සංසාර පාරමිතා බලන ගමන්. ඔය ටෙලි නාට්ටියෙ රඟපාන්න ගිය දවසෙ ඉඳල තමන්ගේ ජීවිතේ මහ ලොකු වෙනස්කම් කොච්චර උනාද කියල හිතුනත් සප්තමී උන්නෙ වෙච්ච දේවල් ගැන දුක්වෙන ගමන් නෙවෙයි සන්තෝස වෙන ගමන්. හිතේ තිබ්බ එකම දුක “අම්මල එක්ක එක්කහුවෙලා මේක බලන්න බැරිවෙච්ච එක තමයි” කියලා තමන් ඉන්න ගෙදර අම්මා එක්කලා කියද්දි ඒ මනුස්සයා නම් කිව්වේම “ සමහර මාරක වලින් බේරෙන්න පුතේ අපිටත් ආසම දේවල් කැපකරන්න වෙනවනෙ” කියලා. 

“අම්ම හොඳටම විස්සෝපෙන් ඇත්තෙ. මට බය මං ගැන කල්පනා කරන්න ගිහිල්ලා අපෙ අම්මාට ලෙඩක් දුකක් වත් හැදේවිද කියලා. අම්මට කතාකරලා මං සන්තෝසෙන් පරිස්සමෙන් ඉන්නවා කියල කියන්න පුලුවන් නම් හොඳයි” 

“ගෙදර ෆෝන් එකකින් කෝල් එකක් එහෙම දෙන එක කාට උනත් මේ තැන හොයාගන්න පාර කපනවනෙ” කියලා මේ ගෙදර ඉන්න අම්මා කියද්දි සප්තමී හොරෙන් වගේ හිනාඋනේ ඒකට තමන් ලඟ උත්තරයක් තියෙනවා කියන්න වගේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here