සඳ ගංතෙර -65

“රැයක් තිස්සෙ දරුවා තනියෙන් තියන්න එපා. දූ ආපහු යන්න.”

චාන්දනීගේ හඬ ඇසෙන්නේ බිඳෙමිනි. තාරුකා නිරුත්තරව බලා සිටියා ය. රැයකට හෝ දැරිය අත් නොහරින්නැයි ඉල්ලන්නට චාන්දනීට අයිතිය තිබේ. ඒ සූකිරිගේ අත්තම්මා ය. නමුත් ඇය සූකිරිගේ අම්මාව වසර ගණනක් අතැර දැමූ ගැහැනිය ය.

“අම්මා බිස්නස්වලට මහන්සි වෙනවද? ලෙඩ වෙන්නේ?”

තාරුකා කතාව මාරු කළා ය. එහෙත් ඇය සිටියේ නොනවත්වාම චාන්දනීගේ හිස පිරිමදිමිනි.

“ඉස්සර මල්ලිව ලැබෙන්න ඉන්න කාලෙත් ඔයා පුංචිකමට මගෙ ඔලුව අතගානවා.”

ඇය එහෙම කියද්දී නෙත් අගින් කඳුළක් රූරා වැටිණ. තාරුකා වහා ඒ කඳුළ පිස දැමුවා ය.

“අම්මට අඬන්න හොඳ නෑනෙ අම්මා. අම්මා පොඩි ළමයෙක් වගේනෙ. ඉක්මනින් සනීප වෙන්නෙ නැද්ද? මල්ලිලාවයි අංකල්වයි බලාගන්නේ කවුද?”

තාරුකා අසන්නේ තද හඬකිනි. සැබෑවකි. ඇය බලා ගත්තේ කමල් සහ නිවුන් දරු දෙදෙනා පමණි. විජිත ද වෙනත් විවාහයක් කර ගත්තානම් දරුවන්ට යන කල කුමක්දැයි චාන්දනීට සිතේ.

“විහස් මල්ලි අවුලින් කියලා අපේ මල්ලි හොඳටම අවුල් වුණා අම්මා. අපි ආවෙම ඒකයි. අම්මාට අපි ආපු එක අසනීප වැඩි වෙන්න හේතුවක් කියලා හිතෙනවානම් අපි යන්නම්.”

තාරුකා ඇසුවේ ඇත්තටම ය. මෙවැනි මොහොතක කඩාපාත් වී ඕනෑවට වඩා කම්පනයක් අම්මාට නොදී ඉන්නට තිබිණ.  ඇයට ඒ ගැන කල්පනා වෙන්නේ දැන් ය.

“පුතාගේ හස්බන් කෝ?”

චාන්දනීට හදිසියේම දුලාජ් දකින්නට ඕනෑ විය. තමන්ට දවසක ලස්සන ලේලියන් දෙදෙනෙකු  ලැබෙන බව කියමින් සිටි ගැහැනියට හදිසියේම එකම බෑනා දකින්නට ඕනෑ විය.

“දැන් අඩුයිනෙ අම්මා? හදිසියේ මල්ලිලාව බය කරන්න හිතුණද?”

තාරුකාගේ ඇමතුමට රෝහල් කාමරයට ආ දුලාජ් ඇසුවේ සැහැල්ලුවෙනි. චාන්දනී ඒ කඩවසම් පෙනුමැති කාරුණික තරුණයා දෙස බලා සිටියා ය.

“දවසක කෙල්ල කසාද බඳින්නෙ කොහොමද කියලවත් හිතපං. අම්මා මඟුලෙ ගියා වගේ තොටත් යන්න බැරිද කියලා ඒකිව කිසිම මිනිහෙක් අරන් යන එකක් නෑ.”

අම්මා එසේ බැන අඬ ගැසූ හැටි චාන්දනීට මතක ය. එහෙම වේවිදැයි ඇයට සංකා ඉපදුණු තැන් පවා තිබිණ.

“අපි කෙල්ලට කියනවා අම්මා මැරුණා කියලා කොල්ලට කියන්න කියලා.”

දියණිය විවාහ වන්නට ඔන්න මෙන්න තබා ඇමතුමක් දුන් නංගී එහෙම කීවා ය. නමුත් මේ තරුණයා ඒ කිසිම දෙයක් ගැන තැකීමක් කර නැති පාට ය.

“අම්මා ඔය බිස්නස් අනන්මනන් ගැන හිතන්න එපා. ඒවා අංකල්ටයි මල්ලිලාටයි බැලුවැකිනෙ. අම්මා රෙස්ට් එකේ ඉන්න.”

චාන්දනීට හැඬුණේ ඒ මොහොතේ ය. පවුලක හැඟීම දැනෙන්නේ කාලයකට පසුව ය. පුතෙකුගේ සෙනෙහසම විනාඩි කිහිපයක් තුළ දැනෙන්නට දෙන බෑනා කෙනෙක් පවා මඟ හැරී ගොස් තිබේ. ඇයට වේදනාව දරා ගන්නට අමාරු ය.

දුලාජ් තාරුකා දෙස බලා සිටියේ වේදනාවෙන් ය. ඇගේ අතීතය ගැන අම්මාට පැවසූ දවසේ “අම්මා කළ දේ නොකරන නොට්ටිගේ දූවරු” නැති බව අම්මා නොපැවසුවා ය.ඒ වෙනුවට ඇය පැවසුවේ වෙනම කතාවකි.

“බිඳිලා ඉන්න කෙනෙක්ට ආදරේ කරන එක හරිම අමාරුයි පුතා.ඒ දරුවා අවුරුදු ගාණක් ගෙදරට අම්මා වුණු දරුවෙක්. එයාට ඒ බර ඕනවට වඩා නොදැනෙන්න ජීවිතයක් හදලා දෙන්න ඔයා පරිස්සම් වෙන්න. නැත්තං වෙන්නේ එයාගේ බිඳුනු තැන්වලින් ඔයත් බිඳෙන එක. ඊට පස්සේ ජීවත් වෙන එක හරිම අමාරු දෙයක් වෙනවා.”

දුලාජ් අම්මාගේ කතාව හිස් මුදුනින් පිළි ගත්තේ ය. ඔහු දුලන්‍යා තරමටම තාරුකාව රැක බලා ගන්නට පටන් ගත්තේ ය. ඕනෑම රාත්‍රියක තනිවම ගමනක් යන්නට හුරුව සිටි ඕනෑ දෙයක් තනිවම කරගන්නට හුරුව සිටි යුවතියකට ඔහු ඕනෑවටත් වඩා උදව් දෙන්නට පටන් ගත්තේ ය.හිසරදයකදී පමණක් නොව ඔසප් දවසකදී පවා විවේක ගත යුතු බව ඇයට බල කරන්නට ඔහු වග බලා ගත්තේ ය.

You melt my heart!

තාරුකා එසේ ලියා එවූයේ ඔවුන්ගේ ප්‍රේමයට මාස පහ හයක් පිරෙන කාලයකදී ය. යන්ත්‍රයක් මෙන් ජීවත් වන්නට හුරු  වී සිටි යුවතියක් වගකීම් බිම තබා හුරතල් වෙන්නට පටන් ගෙන තිබිණ. අනතුරුව ඇය ගැන ඕනෑවටත් වඩා සොයා බලන අම්මා කෙනෙකු ඇයට මුණ ගැසිණ.

දිනක් සරසවි ආපන ශාලවට දුලාජ් එද්දී තාරුකා සිටියේ හොඳටෝම හඬමින් ය. හඬන්නේ ඇයිදැයි අසමින් හිස පිරිමද්දී තාරුකා පැවසුවේ අරුම පුදුම කතාවකි.

“ඔයාගේ අම්මා කෝල් කරා. අම්මා මට සැර කරා”

අම්මා එහෙම කරන කෙනෙකු නොවන බව දන්නා දුලාජ් පුදුමයට පත් විය. තාරුකා නොගැළපෙන කෙනකු බවට තීරණය කළා නම් අම්මා ඇයට තර්ජනය කිරීම වැනි වැඩ කරන්නේ නැත. ඇය ඒ ගැන දුලාජ් සමග කෙලින් කතා කරන්නට වග බලා ගනියි. 

“අද උදේට කෑවද කියලා අම්මා මගෙන් ඇහුවා. මට කන්න බැරි වුණානෙ. දැන් වෙලාව දෙකටත් ළඟයි. ඔහොම නොකා නොබී ඉන්න වයසක්ද කියලා අම්මා කෑගැහුවා.”

එය සොඳුරු පැමිණිල්ලකි. දුලාජ් බලා සිටියේ ආදරයෙනි.

“මටත් අම්මෙක් ඉන්නවා හැඟීම මම කොහොමද දුලාජ් දරා ගන්නේ? අපිට වැදගත් හොඳ රිසල්ට් ගන්න එක නෙමෙයි වැදගත් ඔයාලා සනීපෙන් ඉන්න එක කියලා අම්මා හොඳටම කෑගැහුවා. කාපු ගමන් කෑවා කියලා කෝල් කරන්න ඕන කිව්වා. අනේ මට අම්මා කෙනෙක් ඉන්නවා කියන හැඟීම දරා ගන්න බෑ දුලාජ්”

 සැබෑවටම තාරුකාට දරා ගන්නට නොහැකි තරමට අම්මා ඇයට ආදරය කරන්නට පටන් ගෙන තිබිණ. රාත්‍රියේ ඇගේ දුරකථනය බොහෝ වෙලා කාර්යබහුල වේ. ඉන්පසු මතු වෙන්නේ ඇගේ ප්‍රීතිමත් කටහඬ ය.

“අම්මා කතා කළානෙ. අද මල්ලි මරු වැඩක් කරලා. “

දුලාජ් ඒවා දරාගන්නේ සතුටින් ය. නිවසේ සමහර ආරංචි ඔහුට පෙර දැනගෙන ඒවා තාරුකා ඇයට කියද්දී කූඩුවක් අහිමි කිරිල්ලකට කූඩුවක් ලබා දීම ගැන ඔහු අත්‍යන්ත ප්‍රීතියක් අත් වින්දේ ය.

“මං මගේ දරුවා ගැන දැනන් හිටියා. ගැළපෙන ඉලන්දාරියෙක් හොයාගන්න බවනම් හොඳටම විශ්වාස කරා. ඒත් මේ දරුවගෙ ජීවිතේ ලොකුම හිඩැස පුරවන්න කටයුතු කරපු එකනම් දෙයියන්ගේ තීරණයක් වෙන්නැති.”

මල්වැන්න මහතා එසේ පැවසුවේ කැඩුණු හඬකිනි. ඔහු දෑස් පියා ගන්නට ඇත්තේ සැනසීමෙනි. 

“පුතේ,මට සඳරැස් පුතා බලන්න ඕන”

චාන්දනී තාරුකාගේ අත අල්ලා ගත්තේ එහෙම කියමිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles