සීත මාරුතේ -03

බාලිකා පාසල් වල අධ්‍යාපනය ලබන ගැහැනු ළමයින් ට ප්‍රේමය හා පිරිමින් විෂයේ දැනෙනා හැඟෙනා දේවල් ගැන, ඉන් පරිබාහිර වූ අත්දැකීම් ඇති අයට කුකුසක් තිබේ. බාලිකා පාසල් වල ගෑනු ළමයින් ට පිරිමින් යනු මැජික් එකකැයි ද ඔවුන් දකිනා ඕනෑ ම පිරිමියෙකුට මුලා වන්නේ යයි ද පොදු අදහසකි. මාත් නංගීත් දෙදෙනා ම ඉගෙන ගත්තේ කොළඹ ප්‍රධාන බාලිකා පාසලක ය. නමුත් මට හෝ නංගී ට පිරිමින් කිසි දා ක මැජික් එකක් වූයේ හෝ අප ඔවුන් ට මුලා වූයේ හෝ නැත. බාලිකා පාසලක පිරිමින් නොමැති වූවා ට ගෙදරදීත් සමාජයේ දීත් ඔවුන් ට ද පිරිමින් මුණ ගැසේ. මට ද මුණ ගැසිණි. උපකාරක පන්ති යත්දී උසස් පෙළ පන්තියේදීත්, මෝස්තර නිර්මාණ උපාධිය සඳහා පෞද්ගලික විශ්ව විද්‍යාලයේ පාඨමාලාව හදාරත්දීත් තරුණ පිරිමි ළමයින් සමග සමීප ව කටයුතු කරන්නට මට අවස්ථාව සැලසිණි. ඒ කාලය පුරාවට ප්‍රේමාරාධනා කිහිපයක් ද නො ලැබුණා  නොවේ. නමුත් මට ඒ සඳහා කිසිදු උනන්දුවක් වූයේ නැත. අප්පච්චි විසින් ගෙදර පවත්වාගෙන යන ලද දැඩි නීති රීති වලට වන බිය නිසා මා හා නංගී පෙම් සබඳතා වල නො පැටළුණේ යයි යමෙකු කියන්නට පුළුවන. එය යම්තාක් දුරකට අප සීමා පැන නො යන්නට හේතුවක් නො වූවා කිව නො හැකි ය. නමුත් උපාධි පාඨමාලාව හදාරත්දී කිසියම් නිදහසක් මට ලැබී තිබිණි. ඒ වකවානුවේ දී පෙම් සබඳකමක් ඇති කර ගත්තා නම් බොහෝ දුරට අප්පච්චි විරුද්ධත්වයක් නො පාන්නට ද ඉඩ තිබිණි. නමුත් ඇසුරු කළ හෝ මට ප්‍රේමාරාධනා කළ කිසිවෙකු ගැන මා තුළ එවන් ගැඹුරු හැඟීමක් ඇති වූයේ නැත. 

“මන්දාකිණී ගෙ ප්‍රින්සිපල් අප්පච්චි නිසා කෙල්ලට ප්‍රපෝස්ඩ් මැරේජ් එකක් තමයි කර ගන්න වෙන්නෙ”

ඇතැම් යෙහෙළියක එසේ කියන්නට ඇත්තේ මා කිසිදු ප්‍රේමාරාධනයක් පිළි නො ගැනීම නිසා බව දනිමි. නමුත් මම ඔවුන් ට නිදහසට කාරණා කියන්නට උත්සුක නොවුණෙමි. මට ඒ කිසි තැනෙක ප්‍රේමය දැනුණේ නැත. බාලිකාවන් යන්තම් විරුද්ධ ලිංගිකයන් ගැන උනන්දු වන්නට පටන් ගත්දී, ප්‍රේමය හෝ විවාහය ගැන සිතත්දී, මනාලියක වන දවසක් ගැන රහසිගත හීනයක් දකිත්දී හිතේ ඇඳි පිරිමි රුව ඒ කිසි තැනෙක මා දුටුවේ නැත.

දකිනා හෝ ප්‍රේමය විමසනා ඕනෑම පිරිමියෙකු සමග හෝමෝනමය වෙනස් වීම් මත සබඳකමක පැටලෙන්නට මට අවැසි නොවූ බව දිව්රා කිව හැක. මන්ද යත් ආදරය කියන දේ හිඟ නොවන පරිසරයක මම හැදී වැඩුණෙමි. අම්මාත් අප්පච්චිත් නංගීත් මල්ලිත් අතරේ මගේ හිත පිරී උතුරා යන්නට තරම් ආදරය තිබුණේ ය. 

නමුත් කොළඹ මහා සෙනඟක් අතරේ සිට විත්, බොරලන්ද ග්‍රාමයේ කුඩා අවන් හලකදී අහම්බෙන් විනාඩි කිහිපයකට දුටු පිරිමි දෑසක් මගේ හදවතේ චමත්කාරයක් දනවමින් නතර වී තිබේ. ඒ ප්‍රේමය ද කියා මා දන්නේ නැත. එසේ ය කියන්නට තරම් මම ඉක්මන් ද නොවෙමි. නමුත් එය සුන්දර පිස්සුවක් වී ඇති බවක් නම් මට දැනේ.

“ඊළඟ ක්ලාස් දවසට ඔයාගෙ එලකියුශන් ක්ලාස් එකට යන්න මං එනව හොඳේ. අප්පච්චි හරි අම්ම හරි මොනාත් ඇහුවොත් ඔයා කියන්න ඔයාට උදව්වට කියල”

කිසි ම දා ක කර නැති විදිහේ බොරුවකට මා කසුනි ව ඈඳා ගන්නට හදත්දී ඈ සිටියේ මුව අයා විශ්මයෙන් බලා ගෙන ය.

” අම්මෝ…රන්මුතුගේ සර්ගෙන් මට ඉන්න හම්බෙන්නැති වෙයි”

“නෑ නෑ…බය වෙන්න එපා. එහෙම මුකුත් වෙන්නෑ. කොහොමත් ඉතිං මං ක්ලාස් එක බලන්නනෙ එන්නෙ”

“ඔව් ඔව් මන් දන්නව. ක්ලාස් එක බලන්නද අර කොල්ලා බලන්නද කියල. ආව් එහෙම කියනකොට ආපු හිනාවෙ පෙම් පාට”

සැබවින් මගේ සිනහවේ පෙම්වත් බවක් මට ම දැනිණ.

“මං අහන්නමයි හිටියෙ. ඔයා කොහොමද දැනගත්තෙ එයා බබාගෙ මාමා කියල..”

“මං ඉතිං දන්නවනෙ මෙහෙ එක්කෙනෙක් එයාට වශී වෙලයි බලං හිටියෙ කියල. අනිත් එක පොඩි ඩවුට් එකකුත් තිබුණනෙ එයාගෙ බබාද කියල. මං ඉතිං බබාට කිව්ව අන්න තාත්ත බලං ඉන්නව කියල. එතකොට බබාගෙ අම්ම හිනා වෙලා කිව්ව නෑ තාත්ත නෙවේ මාමා…මගෙ අයිය කියල”

“එතකොට එයා මොකද හැම තිස්සෙම නංගියි බබයි පස්සෙන් යන්නෙ…”

“මේ…ඒවනං මට අහන්න බෑ. ඔය මැඩම් හම්බෙලා කතා කරන්නකො. ඔන්න මං මගෙ වැඩේ කරල දුන්න”

මා කසුනි ගේ එලකියුශන් පන්තියට යන එක ගැන නංගී ප්‍රසාදයක් දැක්වූයේ නැත. කොහොමත් ඇය මා තරම් එඩිතර ගෑනු ළමයෙකු නොවේ. මොන දේ කරන්නට ගියත් පස් මහ බැලුම් බලයි. නමුත් මම නම් යමක් හිතට වැටුණ විට එහි අවසානයක් දකිනා තෙක් ම ඒ පසු පස ලුහු බඳිමි.

“කොළඹ ඉඳන් නේද ආවෙ ආ…ලැජ්ජ නැද්ද හලෝ…කොළඹ කොල්ලො හිටියෙ නෑ වගේනෙ. නෝන්ඩි වෙන්න පස්සෙන් යන්නැතුව ඉන්නව”

“කවුද පස්සෙන් යන්නෙ…මං කාගෙවත් පස්සෙන් යන්නෑ”

“පේනව ඒක. හැබැයි ආයෙ ආයෙ ඕක කරන්න තියා ගන්න බෑ හරිද…අර ළමයින්ට අප්පච්චිගෙන් බැනුං අස්සන වැඩක් තමයි. ඔයා ඕක දිගට ඇදං ගියොත් මං අම්මට කියනවා”

ඇය අනතුරු ඇඟවීමක් ද කළා ය. නමුත් එවැනි ප්‍රාථමික බිය ගැන්වීමක් මත මගේ අරමුණ වෙනස් කරනා තැනක නොවේ මා හිටියේ. ආයේ එක වරක් හෝ ඔහු දැක ගන්නට මගේ හිතේ ඇති ව තිබූ උන්මාදය ගැන කිසිත් කියන්නට මම නො දනිමි. නමුත් ඒ උමතුව මත, මා මේ ගමන යන එක කිසිවෙකුට නතර කළ නො හැකි බව පමණක් මම දැන සිටියෙමි. 

“ඔයා ගිහිං මොනා කරන්නද ඉතිං…”

පන්ති දවසට පෙර දා මා ඒ ගමන ගැන කියත්දී අම්මා ප්‍රතිචාර දැක්වූයේ එසේ ය. අප්පච්චි මුලින් කිසිත් නො කියා සිටියේ ය.

“මොකද්ද අනේ. මේ පාළු පැත්තකට ඇවිත් මෙහෙම ගෙට රිංගගෙන ඉන්න පුළුවන්ද…කොළඹ හිටියනං අපි මොනා හරි කරනව. අඩු ගානෙ ෆැශන් ඩිසයිනින් කරන්න පුළුවන් තැනක ජොබ් එකක් හොයා ගන්නව.. මටනං දැන් ඇති වෙලා”

අප්පච්චි ඉදිරියේ වෙනදා නම් මම එසේ කතා නොකරමි. සැබවින් කොළඹ අතැර කඳුකරයට ඒම ගැන මට එහෙව් ඇති වීමක් හෝ එපා වීමක් ඇති වී නො තිබුණ බව ද ඉඳුරා කිව හැකි ය. නමුත් මට යමක් දැනෙමින් තිබිණි. ඒ මා වෙනුවෙන් යමක් කළ යුතු ව ඇති බවයි. අත් දෙක පපුවේ බැඳ ගෙන නිකං ම බලා නො සිට මා ව සොයා යා යුතු බව මොකක්දෝ විඥාණයක් විසින් මට කොඳුරා කියනු ලැබ තිබිණි. ඒ වෙනුවෙන් අරගලයක් කරන්නට මම සූදානමින් ද සිටියෙමි. 

“නෑ ඉතිං අර කසුනි මිස්ගෙ එලකියුශන් පන්තියකටනං…ගියාට වැරැද්දක් නෑ. පොඩි එකෙකුගෙ ඇස් පාදන්න පොඩි හරි උදව්වක් වෙන එක මොන තරං දෙයක්ද..”

අප්පච්චි කීවේ මා කොහෙත් ම බලාපොරොත්තු නොවූ දෙයකි. සත්තකට මට සිතුණේ ඔහු වෙතට පැන ඔහු වැළඳ ගන්නට ය. නමුත් මගේ අධික උනන්දුව පිටතට පෙනෙන්නට හැරිය යුතු නැත. ඒ නිසා මම සිනහව හංගා ගෙන එතැනින් නික්ම ගියෙමි. 

අප පන්තියට ගියේ කසුනි ගේ ස්කූටරයෙනි. බස් එකේ යනවාට වඩා කඳු පාර වල සිරි නරඹමින් එසේ යන ගමන හරි සුන්දර ය. සීතල විටෙක කටු තුඩු සේ සම මත වදී. නමුත් හදවතේ තිබුණේ ඒ සීතල සතපනා උණුහුමකි. එක දවසක් පමණක් දුටු මිනිසෙකු ගේ රුවක් ඒ තරම් තදින් සිතක ඇඳී තිබිය හැකි ද? ඇඳී නොව ඒ රුව මා සිත් හි කෙටී තිබුණා විය යුතු ය.  

අප ස්කූටියෙන් බහිත්දී ම එතැන ඇවිත් නතර වූ රතු පාටින් දිළිසෙනා ටොයොටා සී- එච්ආර් මාදිලියේ නවීන ජීප් රියෙහි රියදුරු අසුන දෙසින් දුටු දෑසින් මට අකුණක් වැදිණ. ඒ ඔහු බව හැඳින ගන්නට දෙවරක් සිතිය යුතු වූයේ නැත. නමුත් කිසි යම් මතකයක් ඇතිව දෝ මන්දා, සැක හැර දැන ගැනීමේ දෑස් හකුළුවා ගෙන හෙතෙම පැති වීදුරුව ද පහත් කරමින් සිටියේ ය. මා ස්කූටියෙන් බැස ගත්තේ මගේ ඇස් වලින් ඔහු වෙතට අභියෝගයක් විදිමිනි. බැස ගත් පසු ද මා ජයග්‍රාහී බවකින් බැලුම් හෙලත්දී හෙතෙම ඉවත බැලුවේ ය. කසුනි ගිල ගත් සිනහවෙන් මට ඇතුළට යන්නට ඇරයුම් කළා ය.

තරුණිය සිය දියණිය පන්තියට ගෙන ආවේ බලයෙන් සේ ය. ඇය පන්තියේ ඉන්නට බෑ යයි කියමින් අම්මා ගේ ගෙල බදා ගෙන හැඬුවා ය. 

“ආ…මේ මොකෝ මේ…මං හිතුව අද අඬන බබා නැලවිලා එයි කියල”

කසුනි ඇයට ලං වෙත්දී දැරිය වඩාත් තදින් අම්මා ගේ කරේ මූණ හැංගුවා ය.

“එහෙම තමයි චූටි බබාල…නේද පැටියෝ…”

ඇගේ පිටෙහි අත තබා මා එසේ කීවා විතර ය. ඇය මොහොතකට හැඬුම නවතා අම්මා ගේ උරයෙන් හිස ඔසවා මදෙස බැලුවා ය.

“ඔයා ශෝයි බබෙක් නේද…අපි දෙන්නා චුට්ටක් සෙල්ලං කරල ඉමුද..ම්…එන්නකො”

මා එසේ කියා දෑත පෑ ගමන් ඇය කිසිදු මැළි බවකින් තොර ව මගේ අතට ආවා ය.

“ආ…බලන්නකො…හරියට අඳුරන එක්කෙනෙක් වගේ”

දැරිය ගේ මව මුව පුරා සිනහ වූවා ය. මම පුංචි කෙල්ල වඩාගෙන ම පන්තියේ දොරකඩට ආවෙමි. 

“අපි මොකද්ද කරන සෙල්ලම…”

මගේ ඇස් යොමු වූයේ රියෙන් බැස ඊට පිට දී අත් දෙක පපුව මැද බැඳ ගෙන පන්තිය දෙස බලා සිටි ආඩම්බරකාරයා දෙසට ය. මා දුටු වන ඔහු ඉවත බලා ගත්තේ නො දුටුවා සේ ය.

“ඔයා සෙල්ලං කරන ටීචර් කෙනෙක්ද…”

දැරිය ඇසුවා ය. 

“සෙල්ලං කරන්නත් පුළුවන් ඉතිං…අකුරු ලියන එකත් සෙල්ලමක්නෙ”

“ඒක සෙල්ලමක්ද…”

“ඔව්…අපි ඒ සෙල්ලම කරමුකො දැන් හොඳේ”

“මං මාමව යවල එන්නං මැණික”

කියා දැරියට කියමින් ඇගේ මව ඔහු වෙත දිව ගියා ය. ඇය ඔහු ට මොනවා ද කියමින් අප දෙස හැරී බැලූයේ සිනහ වෙමිනි. නමුත් ආඩම්බරකාරයා ගේ මුහුණේ එක සිනහ බිඳක් හෝ වූයේ නැත.

“තියන අහංකාරකම විතරක්. හරියට හිනාව ලොකු ගාණකට විකුණන්න පුළුවන් දෙයක් වගේ”

මම කසුනි සමගින් කුටු කුටු ගගා බැන්නෙමි. ඇය සිනහවට ඉඩ නොදී දෙතොල් තද කර ගෙන සිටියා ය. 

කසුනි පන්තිය පටන් ගත් පසු දැරිය ගේ මව සිටියේ පන්තියට පිටින් තබා තිබූ ප්ලාස්ටික් පුටුවක හිඳ ගෙන ය. සැබවින් ම කසුනි ගේ උදව්වට කියා මට කරන්නට වැඩක් නොවිණි. සෙතුකි නම් වන දැරිය සන්සුන් කොට පන්තියෙහි රැඳවීමෙන් පසු මම පිටතට ආවෙමි. තරුණිය සුහද සිනහවක් පෑවා ය. මම යාබද අසුනක හිඳ ගතිමි.

“ඔයත් ගුරුතලාවෙ ටීචර් කෙනෙක්ද…”

ඇය කතාවකට මුල පිරුවා ය.

“නෑ…අප්පච්චි ඉස්කෝලෙ. අපිටත් ඉතිං එන්න වුණා”

“ජොබ් එකක් කරන්නැද්ද…”

“නෑ අනේ…කරන්න ආසාවෙන් තමයි හිටියෙ. ඒත් මෙහෙ ඉතිං ජොබ් කොහෙන්ද…අර ඔයාගෙ අයියව මං කලින් දැකල තියනෝ”

මට ඕනෑ වූයේ එතැනට එන්නට ය. පිරිමියෙකු ගැන විමසුම් කරන්නට ඒ තරම් දිරියක් මා තුළ සැඟවී තිබීම ගැන මම පුදුම වෙමි.

“ඒ කොහෙදිද…”

“අපි ගෑනු ළමයි හතර දෙනෙක් ඇවිදින්න ගියා. මේ කසුනිත් හිටිය. බොරලන්දෙ පේස්ට්‍රි ශොප් එකකදි තමයි එයාව දැක්කෙ. අපි සද්දෙට හිනා වෙවී කතා කරනකොට රැව්ව රැවිල්ලක් අපිට…”

හයියෙන් සිනහ වෙන්නට ගිය අඅය පන්තිය දෙස බලා අතින් මුව වසා ගත්තා ය. 

“එයා එහෙම තමයි. මාර නීති කාරය..අයිය නංගියි මායි ගැන හිතන්නෙ අයිය නෙවෙයි…අප්පච්චි වගේ. මං ඕ ලෙවල් කරන්නත් කලින් අප්පච්චි නැති වුණේ. එදා ඉඳන් අප්පච්චිගෙ බිස්නස් දියුණු කරගෙන අම්මවයි අපිවත් බලා ගත්තෙ එයා. ඒ නිසාද මන්දා එයා ටිකක් ස්ට්‍රික්ට්. පොලිස් කාරයෙක් වගේ තමයි. මං හිතන්නෙ බ්‍රේක් අප් එකක් නිසා ගෑනු ළමයි ගැනත් එයා එච්චර පැහැදීමක නෙවෙයි ඉන්නෙ. ඒකයි ඒ”

ඇයි දෝ මන්දා ඒ වචනයක් පාසා මගේ හදවත පත්ලේ තදින් කා වදිනා බවක් මට දැනිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

හිමගිරි අරණ -46

රවිඳු කිසිවක්ම නොකියා අම්මා දෙස බලා සිටියේ ය.මේ මොහොත කිසිවක් ම කියන්නට හැකි මොහොතක් නොවේ.ඔහුට පාරමීගේ කෝපදීප්ත දෑස සිහිව ආයේ ය.

(අ) හිමි සිහින -142

සියල්ල එසේ සිදුවෙමින් පවතිද්දී මට එක් දෙයක් උවමනා වුණා .ඒ සුදාරක වෙනුවෙන් රුවන්වැලි මහා සෑ රදුන්ට බාරයක් වීමට.උදෑසනම අවදි වී නිරාහාර ව...

පරිප්පු ගණන් වැඩි කාලේ පිරිමැසෙන්නට පරිප්පු උයමු

සාමාන්‍යයෙන් අපි එදිනෙදා සකස් කළ ව්‍යාංජනයක් වූ පරිප්පු දැන් ඉතාමත් මිල අධික වෙලා.ඒ නිසා පරිප්පු තනි ව්‍යාංජනයක් ලෙස සැකසීම සමහරුන්ට ඇත්තටම අසීරු...

සීත මාරුතේ -32

ඒ රාත්‍රිය මා මුළුමනින් නිදි වර්ජිතව සිටියා ය කීවොත් නිබොරු ය. අපේ පුංචි සාදය නිමා වන විට තරමක් රෑ බෝ වී තිබිණ....

අනිත් අයගේ ජීවිත විනිශ්චය කරන්න එපා.

"අපෝ ඔය අනූෂා ඉන්නවා නේද?" මම ඉදල පැත්තකින් තියලා ඒ හඬට හැරිල බැලුවා.අපේ අලුත් ගෙදර අසල්වැසිනියක් පොඩි ගේට්ටුවෙන් එබිලා...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content