ශරදාකාසේ – 6

හඬමින් ද හූල්ලමින් ද දොඩමින් ද සිට විඩාවට පත්  නිශාමනී සෝෆාවේ ඇල වී ගෙන ම කෙටි නින්දකට වැටුණා ය. ඇගේ හිස ඇද වී බෙල්ල ළඟින් කඩා වැටී තිබිණ. පරිස්සමට ඒ සකසා තබන්නට සිතීත් ආකාස එසේ නො කර මුළුතැන් ගේ දෙසට ගියේ ය. ආසියාතික මිනිසුන් තවමත් හදවත් වලින් ඉතා දුප්පත් බව ඔහු දනී. ඔවුන් ආදරය ප්‍රේමය විවාහය හෝ වෙනත් ඕනෑ ම මානව සබඳතාවක් රාමුවකට ලඝු කරති. හැඟීම් යනු සීමා තුළ සිර කළ නො හැකි විස්තාරණය වන්නා වූ යමක් බව අවබෝධ කර ගන්නට තරම් පුළුල් ලෙස  සිතන්නට වුව ඔවුන් ට නො හැකි ය. ඕනෑ ම විෂ සහිත සබඳතාවක වුව ඉතා තදින් එල්ලී සිටිත යුතු යයි ඔවුහු අදහා ගෙන සිටිති. විවාහයක් තුළ ට පත් ගැහැනියක හෝ පිරිමියෙකු ඉන් පාරිබාහිර වූවෙකු ගේ නෙතට රසඳුනක් වීම වුව අපා ගත වන පාපයක් සේ ඔවුහු සලකති. එසේ නො කරන ලෙස ට අන පනත් පනවා සිය සහකරු හෝ සහකාරිය තමන් ගේ පටු ලෝකය තුළ සිර කොට තබා ගැනීමේ අසීරු උත්සාහයක් දරති. නිදහසේ අගය වැඩියෙන් ම දැනෙන්නේත්, ඒ නිදහස සොයා යන්නට පෙළඹෙන්නේත් සිරකරුවන් බව ඔවුහු අමතක කරති. 

විද්‍යුත් කේතලයට වතුර දමා ආකාස එය පරිපථයට සවි කළේ ය. නැවතත් මහ වැස්සක් ඇද හැලෙන්නට යන පෙර නිමිති පෙනේ. ආකාස ශාරද ට දුරකතන ඇමතුමක් ගැන විස්තරය කීවේ ය. 

“මොනාද ඕයි කරන වැඩ…මං දැන ගෙන හිටිය කොයි වෙලේ හරි හොට පටලගනී කියල…කොට්ටෝරුව වගේ හැම ගහකටම කොට කොට යනකොට”

“දැං කවුද ඔය කේලම කියල තියෙන්නෙ…”

“ඒක මන්දන්නෑ. අහම්බෙන් වගේ මං දැක්කෙ නැත්තං නිශාමනී අද කොහෙ ගිහිං තියෙයිද දන්නෑ කියල විතරයි මං දන්නෙ. තමුසෙ ඇවිත් හිත හදනව. මාර විදිහට අඬනව එයා”

මුලින් ම ශාරද ගේ හිතට පිවිසියේ කෝපයකි. කේලම කී එකා අහු වුණොත් ම ර ණ වා යි ඔහු සිතුවේ ය. ඒ ශාරද ගේ හැටියකි. ඔහු ඉවක් බවක් නැතිව කෝපත් වන අවස්ථා බොහෝ ය. තරමක් හෝ මෙල්ල ව සිටියේ නිශාමනී ට ය. නමුත් කාලයා ගේ ඇවෑමෙන් ඔහු ඇගේ පාලනයෙන් ද මිදී සරුංගලයක් සේ පා වෙමින් සිටියේ ය. පංචලී ගේ අතට ඔහු හසු වූයේ එසේ සිටියදී ය. ඇය ශූර ලෙස සරුංගලයෙහි නූල ඈ අතට පත් කර ගත්තේ ශාරද එවැනි අවශ්‍යතාවයක සිටි නිසාවෙනි. ඈ ළඟ දී යම් කිසි සහන ශීලී බවක් ඔහු අත්වින්දේ ය.

නිශාමනී සමග ගෙව් සාමකාමී ස්ථාවර ජීවිතය ගැන ශාරද ටික ටික ඇල්මැරෙමින් සිටියේ ය. සාමාන්‍ය සබඳකමක් තුළ යම් කිසි ප්‍රමාණයකට එවන් ඒකාකාරීත්වයකට පත් වීම ගැන තර්කයක් නැත. නමුත් ශාරද සිය යුග දිවිය තුල අසාමාන්‍ය ලෙස මනසින් ගරා වැටෙමින් සිටියේ ය. ඔහු ට නිතර ම දැනුණේ දිවියෙහි සෝදා පාළුවකි. ඒ සිතිවිලි සේනා නරක අතට හැරෙත්දී ඔහු යන යන තැන දබර ඇති කර ගත්තේ ය. කාර්යාලයේ එකට සේවය කරන අය සමග පැටළුණේ ය. බැංකුවට ගියත්, කඩයකට ගියත්, රථ ගාලක රිය නවතන්නට ගියත්, අනෙකක් තබා තෙල් ගසා ගන්නට ඉන්ධන පිරවුම් හලට ගියත් ඔහු කා සමග හෝ රණ්ඩු වූයේ ය. ඉලක්කම් හයක වැටුපක් ලබන ඉහළ තනතුරක් දැරී ද, රුපියල ක දෙක ක පහක ඉතිරි මුදලක් වෙනුවෙන් හෝ සුපිරි වෙළෙඳ සැල් වල අයකැමියන් සමග වාද කළේ ය. දවසකට කුමක් හෝ පටලැවිල්ලක් ඇති කර ගත්තේ නැති වී නම් ඔහු ට ඒ අසහනකාරී දිනයක් විය. 

“රණ්ඩු වෙන්න යන්න එපා ඔහොම මිනිස්සු එක්ක. ඔයාට ස්ට්‍රෙස් ඩීප්‍රෙෂන් වගේ දෙයක්නං අපි සයිකෑට්‍රිස්ට් කෙනෙක් කන්සල්ට් කරමු”

නිශාමනී කිහිප වර ශාරද ට එහෙම කියා තිබේ. ඒ ගෙදරින් පිටතට ඇයත් සමග ගිය කිහිප වතාවක ම ඔහු මිනිසුන් සමග වචන හරඹ ඇති කර ගත් නිසා ය. ඔහු නිවසේ දී එහෙම කලහකාරී චරිතයක් වූයේ නැත. නමුත් නිශාමනී කැමති චරිතය නඩත්තු කරන්නට යාම තුළ ඔහු ගේ අසහනකාරී හා සටන් වැදීමේ මානසිකත්වය තව තවත් උත්සන්න වූවා වන්නට පුළුවන.

එදා සන්ධ්‍යාවේ ශාරද ගෙදර ආවේ ඇවිලී ගිය සිතිවිලි ඇතිව ය. වරදකරු යටපත් කොට නිවැරදි කරුවෙකු ලෙස නැගී සිට්න්නට නම් නිකං ම නො හැකි වන බව ඔහු අත්දැකීමෙන් දනී. ඒ සඳහා යම් සටනක් කළ යුතු වේ. කෝපත් වීම හා කෑ කෝ ගැසීම  තුළ අන්‍යයන් ගේ අවධානය යොමු කර ගත හැකි බව ඔහු වසර කිහිපයක් තිස්සේ පුරුදු පුහුණු කරමින් සිටියේ ය. මොන වරද සිදු කළත් කට පණ ඇති ව කෑ ගැසිය හැකි නම් අන්‍යයන් ගේ එකඟතාවය ඇති ව හෝ නැති ව ජයග්‍රාහී හැඟීමක් භුක්ති විඳිය හැකි ය.

ආකාස කතා කරන විටත් ශාරද හිටියේ මග ය. කටට ආ දෙයක් කියා රිය තුළ උන් පංචලී ව බස් නැවතුමක බැස්වූ හෙතෙම ගෙදර ආවේ ය.පසු බෑමක් යටි හිතේ විය. නමුත් උඩු හිත ඔහු ගේ පපුව පුම්බා චණ්ඩියෙකු සේ සූදානම් කරවූයේ ය.

ඔහු එන විට ආකාස තේ හදා නිශාමනී ගේ මග් එක ඈ ළඟට ම ගෙන ගොස් අවදි කරවා ඇය ට ඒ දුන්නා විතර ය. ඔහු ද සම්මුඛ අසුනේ හිඳ දෙදෙනා තේ උගුරක් තොල ගෑහ. පෙර දා සිට ම ඇගේ කුසට අහරක් වැටී තිබුණේ නැත. කුස ගින්නේ හිඳ තේ උගුරක් අන්නස්‍රෝතය දිගේ ආමාශය තෙක් ගමන් කරත්දී දැවුමක් වන් සංවේදනයක් නිශාමනී ට දැනිණ.

“මොකද්ද මේ නාඩගමක් නැටුවයි කියන්නෙ…”

ශාරද ගෙට ගොඩ වූයේ ම හිස කෙළින් කර ගෙන පපුව පුම්බා ගෙන ගිරිය පුප්පා ගෙන ය. නිශාමනී එක බැල්මක් ඔහු වෙතට හෙළා ඉවත බලා ගත්තා ය.

“කතා කරනව. ලැජ්ජ නැද්ද පාරවල් ගානෙ ළමයත් උස්සගෙන යන්න…ආ…වැදගත් ගෑනියෙක් ඔය විදිහටද වැඩ කරන්නෙ…”

තේ කෝප්පය කෝපි මේසයේ වීදුරු තලාව මත දඩස් ගා තබමින් නිශාමනී හයිය හත්තිය ඇති වෙළඹන සේ නැගී සිටියා ය.

“ලැජ්ජ නැද්ද කියල මගෙන්ද අහන්නෙ ආ…වැදගත් පිරිමියෙක් විදිහටද තමුං වැඩ කරල තියෙන්නෙ…”

ඇගේ ඇස් තවමත් තෙත් කොට තිබු කඳුළු ඇසිල්ලකින් වාෂ්ප වී ගියේ ය. අහිංසක අසරණ දුක් බැල්ම මොහොතකින් කොටි දෙනක ගේ බියකරු බැල්මක් තරම් රුදුරු විය.

“මං උදෙත් ඇහුව නේද ඒ මුද්ද කාගෙද කියල…මුකුත් දන්නැති චූටි බබා වගේ නේද කතා කළේ…දැං මොනාද කියන්න තියෙන්නෙ…පංචලී කියන්නෙ ඒ මුද්දෙ තිබුණ පී අකුරෙං කියවෙන ගෑනි නෙවෙයි කියලද කියන්න යන්නෙ…”

ඇගේ ඇස් වලින් ගින්දර පිට වූයේ ය. ශාරද එක් අඩියක් පස්සට තැබූ බව පිළි ගත යුතු ය. 

“නිකං පිස්සියක් වගේ හැසිරෙන්න එපා ශාමි. කවුරුහරි මිනිහෙක් කෝල් කරල මොකක් හරි බොරුවක් කිව්වහම වැදගත් ගෑනියෙක් ඔය විදිහට රෙදි ටිකත් අරං ගෙදරිං යන්නෑ. අනිත් එක ඔයා මේ දැං හැසිරෙන හැටි බලන්නකො. නිකං අර..වැල්ලෙ ගෑනියෙක් වගේ…ඔයාද මේ..ආ…මතක තියා ගන්න ගෑනු ඔහොම වෙනකොට තමයි පිරිමින්ට ගෙවල් එපා වෙන්නෙ කියල”

“ශාරද මේ…ඔයා ඕන ගෑනියෙක් ඉස්සහරට ගිහිං ඔහොම හුරතල් වෙන්න. හැබැයි හැබැයි මං ළඟ ඒවට එන්න එපා. ඔයා දන්නවනෙ. ඔයත් එක්ක ආවෙ ඔළුව උස්සල මනුස්සයෙක් දිහා බලල කතා කරන්නෙ නැති කෙල්ලෙක්නෙ. බස් කොන්දොස්තර කෙනෙක්ගෙං ඉතුරු සල්ලි ඉල්ලන්න ලැජ්ජ කෙල්ලෙක්. කාටවත් පේන තැනක ඉඳං කෑම කන්න ලැජ්ජ කෙල්ලෙක්. හැබැයි ඒ කෙල්ලට ආත්ම ශක්තියක් තිබුණ ලෝකෙත් එක්කම සටන් කරල හරි තමන් ආදරේ කරන මිනිහ එක්කම එන්න. අද මේ වෙනකල් මං ඒ ආදරේටවත් විශ්වාසෙටත් අබ මල් රේණුවක හානියක් වෙන දෙයක් කරල නෑනෙ ශාරද. මේක මහ ටොක්සික් රිලේශන්ශිප් එකක් කියල මට හිතුණ තැන් තිබිල තියෙනව. ඔයත් එක්ක ජීවත් වෙන්න බෑ කියල දැනුණ තැන් තිබිල තියෙනව. ඒත් දරුවෙකුත් අරං ඩිවෝස් එකකට යන්න ගෑනියෙක්ට ලොකු ආත්ම ශක්තියක් තියෙන්න ඕන. කසාද බැඳල ආපු මිනිහගෙ මොන වීක් පොයින්ට්ස් තිබුණත් නෑ තව ටිකක් අල්ලං ඉන්න බලනව කියල හිතන්න ගෑනියෙක්ට ඊටත් වඩා ආත්ම ශක්තියක් තියෙන්න ඕන. මං ඒ ආත්ම ශක්තියත් එක්ක හිනා වෙලා හිටිය ගෑනියෙක් ශාරද. ඔයා මේ සෙල්ලං කරල තියෙන්නෙ එහෙම ගෑනියෙක්ගෙ ඉවසීමත් එක්ක”

ඒ අන්තිම ටික කියන විට, එතෙක් හයියට හිටි ඇය දැවෙනා ඉටි පන්දමක් සේ දිය වී වැගිරෙන්නට ගන්නා බවක් නිශාමනී ට දැනිණ. ඇගේ හඬ දුර්වල ව වෙව්ලා ගියේ හැඬුමක පෙරනිමිති කියා පාමිනි. 

“මගුලක්ද ඕයි කියන්නෙ…ඕක ඇවිල්ල සැකේ…තමුන්ට ගෙදර මිනිහට වැඩිය කේලමක් කියපු පිට මිනිහව විශ්වාසයි. මිනිහ සැකයි”

එවර නිශාමනී ශාරද විනිවිද බැලුවා ය. ආදරය ඉල්ලමින් ඔහු ළඟ වැඳ වැටෙන්නට ඇය ට ඕන වුණේ නැත. මට මෙහෙම කරන්න එපා ශාරද, මාව දරුවත් එක්ක පාරට දාන්න එපා ශාරද, මගෙ මොන අඩුපාඩුවක් නිසාද ඔයා වෙන කෙනෙක්ට ලං වුණේ ශාරද කියමින් කඳුළු සලා ඔහු ගෙන් ජීවිතය ඉල්ලා සිටින්නට තරම් හීන මානයක් ඇය ව පෙළුවේ නැත. නමුත් ඇගේ හද සන්තාපය පුරා එක ම එක දුකක් විය. ඉකි ගසා හඬමින් ඇය අවසාන වශයෙන් ඒ දුක ද පිට කළා ය.

“සැකයක් නෑ ශාරද. මේ හැම දේම සිද්ද වෙලා තියන හැටි ගැන මට හිතා ගන්න පුළුවන්. සැකයක් නෑ මට ඒ හැම දේ ම විශ්වාසයි. ඒත්..”

ඇය දසැඟිලි වලින් ඇස් දෙක මිරිකා හැරියා ය. කතා කර ගත නො හැකි තරමට ඇගේ පපුවේ හිර වීමක් විය.

“ඔයා ප්‍රොස්ටිටියුට් කෙනෙක් ළඟට ගියා කියල ආරංචි වුණානං මට මෙහෙම දුකක් නො දැනෙන්න තිබුණා ශාරද…ඔයා ගෑනියෙක්ව ඇඳට අරං ගියා කියල ආරංචි වුණානං මේ අසරණ හැඟීම මට නො දැනෙන්න තිබුණා. ඒත් ඔයා තවත් ගෑනියෙක් එක්ක සම්බන්දයක් තියනව කියල දැන ගත්තහම…තවත් ගෑනියෙක්ට ආදරේ කරනව කියල දැන ගත්තහම..තව ගෑනියෙක් එක්ක මුදු මාරු කරගෙන ජීවිතේ බෙදා ගන්නව කියල දැන ගත්තම…මට මාවත් එපා වුණා ශාරද…”

නිශාමනී පුටුව මත්තෙහි කඩා වැටුණා ය. ආකාස ට තවත් දරා ගත නො හැකි තරම් විය. ඔහු අසුනෙන් නැගිට මිදුල දෙසට ගෑටුවේ ය. සැබවින් ඔහු ගේ දෙපා වල පණ නැති බවක් ඔහු ට දැනිණ. 

“පිස්සු මේකිට”

ආකාස ගේ පිටුපසින් ශාරද ගේ හඬ ඇසිණ. එය කෙතරම් අසරණ හා දුර්වල හඬක් ද කියා ඔහු ට ම දැනුණේ ය. ආකාස අකුණක් වැදුණා සේ හැරී සහෝදරයා දෙස බැලුවේ ය. අයියා ගේ කම්මුල හරහා අතුල් පහරක් එල්ල කරන්නට ඔහු ගේ සුරත නලියෑවේ ය. නමුත් ඔහු අමාරුවෙන් තමන් ව පාලනය කර ගත්තේ ය. 

“තමුසෙ මහ බල්ලෙක් ඕයි”

එපමණක් කියා රියට නැගුණ ආකාස විදුලි වේගයෙන් නික්ම ගියේ ය.

නිශාමනී සෝෆාවෙහි වැතිර ගෙන සිටියා ය. හිස පුපුරන්නට එන කැක්කුමක් ඇය ව අඩ පණ කළේ ය. ඇර ගන්නට බැරි තරම් විඩාවක් ඇස් වලට දැනිණ.

ශාරද ආලින්දයෙහි ඒ මේ අත ඇවිද්දේ ය. ඔහු ගේ සපත්තු අඩි පොළොවේ වදින හඬ නිශාමනී ට දැනුණේ ඇගේ හදවත මත්තෙන් නැගෙනා හඬක් සේ ය. වැස්ස යළිත් හඬා වැටෙන්නට විය. මූසල අඳුරක් හාත්පස ඇතිල්ලී තිබිණ. වෙනදා සේ මල් වල සුවඳ නො හැමුවේ ය.පහන් නො දැල්විණ. හඳුන්කූරු දැවෙනා දුම් සුවඳ නො හැමුවේ ය. ගෙදර විදුලි පහනක් වුව දල්වන්නට තරම් ආලෝකවත් හදවතක් කිසිවෙකු සතු නොවිණ. 

තව දුරටත් නිදහසට කාරණා කියන්නට තරම් ශක්තියක් ශාරද ට වූයේ ද නැත. රෑ වී ආකාස ආවේ කෑම පාර්සල තුනක් ද ගෙන ය. ශාරද ඉක්මනින් කෑම කා කාමරයට ගියේ ය. 

“කමුද…”

බෝ වේලාවක් නිශාමනී වෙනුවෙන් බලා උන් ආකාස ඈ ළඟට විත් විමසුවේ ය. ඇය සෝෆාවෙන් නැගී සිටියා ය. කුස්සියට ගොස් පිඟානක් ගෙනවිත් ආකාස අසුන් ගන්නා තැනින් මේසය මත තැබුවා ය. කෑම කන සූදානමක් ඇය වෙතින් දකිත හැකි වූයේ නැත. ආකාස නැගිට ගොස් පිඟානක් ගෙනවිත් ඈ ඉදිරියෙහි තැබුවා ය. අනතුරු ව  නූඩ්ල්ස් සහිත කාඩ්බෝඩ් පෙට්ටිය  ඈ ළඟට කළේ ය. එය දිග හැර නූඩ්ල්ස් හැන්දක් ඇගේ පිඟානට බෙදුවේ ය. නිශාමනී පිඟාන අතින් වසා තවත් නො බෙදනා ලෙස ඉඟි කළා ය. 

එක ම නූඩ්ල්ස් කට ඇය ට හිර වූයේ ය. ආකාස වතුර වීදුරුව ලං කළේ ය. 

“ඔහොම ඉඳල කොහොමද…ඊයෙ ඉඳලම කෑමක් නෑනෙ”

ඔහු ඇගේ මුහුණ සිය දෑසින් වැළඳ ගෙන කීවේ ය. නිශාමනී නැවත ද නූඩ්ල්ස් බිඳක් මුවෙහි තබා ගත්තා ය.

“ඔව්. මෙහෙම ඉඳල බෑ”

ඉකි බිඳෙන්නට ආවත් ඈ ඉකිළුම වලකා ගෙන නූඩ්ල්ස් ටිකක් කෑවා ය. යළිත් නැගී සිටීමේ උවමනාවක්, පයට පෑගී චප්ප වී නො ගොස් නැගී සිටීමේ උවමනාවක් ඇය ට දැනෙමින් තිබිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

සුහදිනි -75

ලෝක කුසලාන තරග ඇරඹිණ.සකීට මුල් තරග කිහිපය මග හැරෙන බව ඇය දැන සිටියා ය.නමුත් වෙනදා මෙන් සිහින නොපෙනෙන අහස් ගැන ඕනෑවට වඩා...

(අ) හිමි සිහින -229

පැමිණිල්ලේ නීතිඥයා කතාකල පසු එයට උත්තර බැඳීමට අපට අවස්ථාව ආවා.එවිට එතෙක් මා රැගෙන ගිය ලිපිගොනු සියල්ල එකින් එක පොලිස් ස්ථානාධිපතිවරයාට පෙන්වමින් මගේ...

නිබ්බුත ගීත -24

ගේට්ටුවෙන් ඇතුලු වත්දී ම අප පිළි ගත්තේ දණක් උසට වැවුණ තණ කොළ හා වල් පැළෑටි වර්ග ය. කාලයකින් මේ බිමට මිනිස් දෙපා...

අවුරුදු 55 දී IVF තාක්ෂණය භාවිතා කර සිහිනය සැබෑ කරගත් අම්මා

කෙලී ක්ලාක් සිය ජීවිතය ගත කළේ මතකයන් ගොඩනඟා ගැනීමට සහ විවිධ වෘත්තීය අරමුණු සාක්ෂාත් කර ගැනීමටයි. ඇය ගුවන් තොටුපළ පර්යන්ත කළමනාකරුවෙකු ලෙස...

සුහදිනි -74

සකී අහස්ගේ නිවසට ගියේ නිම්නා ද සමඟ ය.හිමිදිරි පාන්දර අහස්ගේ නිවසට යද්දී ඔහු අවදිව වූවා පමණකි.සකී රැගෙන යන්නට එන බවට පිළිණ දුන්නාට...