අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ

“නඟා ඇයි මූණ නාළු කොරගෙන, මෙච්චර හොඳ දවසෙ?”

රේන්ද අල්ලාපු මහ බර ඔසරියකුත් ඇඟ වටේ ඔතාගෙන, සුදු පාටම හින්නික්කිතර රෝස පාට මල් වලින් හදාපු මල් බොකියකුත් අතේ තියාන, මම වත්ත පල්ලෙහ පොකුණ පැත්තට වැටිච්ච පඩිපෙළ උඩ වාඩිවෙලා උන්නා.

උන්නෙ තනියම උනාට එකපාරටම පිටිපස්සෙන් ඇහිච්චි කටහඬට මන් තිගැස්සුනේ නැත්තෙ, ඒ කටහඬ මට නිතර දෙවේලෙ අහල හොඳ හැටි පුරුදු වෙච්ච එකක් හන්දමයි.

“නඟාට මන් කීව එක ඇහුණේ නැද්ද මන්ද?”

ආයෙමත් ඒ කනට පුරුදු කටහඬ ඇහෙද්දි මන් හිමීට මූණ ඒ දිහාවට හැරෙව්ව. ඇස් කොණට යාන්තම් පේන නොපෙනෙන උන්දැගේ රූපෙ දිහා බලාගෙනම උත්තර බඳින්න මන් කට හැදුවා.

“ඇහුණා”

එයැයිට තියා මටවත් ඇහෙන්නෙ නැති තරන් හීනියට තමා මගෙ වචන හැබෑවටම එළියට පැන්නෙ.

“හැබෑටම මක්කයි නඟා මෙතන්ට වෙලා කරන්නෙ? අරහෙ අම්මල නැන්දල හොයනවත් ඇති.”

කළියෙන් ඇහැව්ව පුරස්නෙම ආයෙත් එයැයි ඇහැව්වෙ, කියන්නෙ මොකද්ද කියල මන් දහ අතේ කල්පනා කරද්දි.

“අද දවසෙම මෙහෙම උන්නෙ ඇයි කියල අයිය ඇහැව්වෙ අද මගේ මගුල් දවස හන්දද?”

මන් මහ සද්දෙට අහපු හන්ද වගේම, කේන්තියෙන් වගේ ඇහැව්ව නිසාමද කොහෙදෝ පියල් අයියා එක පාරටම තිගැස්සුණා.

“පුරස්නෙ මක්කද නඟා? මක්කටෙයි මේ බෙරිහන් දෙන්නෙ?”

මගුල් දවසෙ මනමාලියෙක්ගෙ තියෙන්න ඕන කෝමල ගතිය, අවිහිංසක ගතිය, ලැජ්ජ බය මගෙන් නොදැක්ක හන්දද කොහෙද පියල් අයියා එහෙම ඇහැව්ව.

“පුරස්නෙ මගෙ මගුල් දවස වෙලත් මට සන්තෝසෙන් හිත එකළස් කරන් ඉන්න බැරිවෙච්චි එක”

“හැබෑටම නගා මක්ක කියවනවද කියල මට නම් තේරෙන්නෙ නෑ.”

මන් අරහෙම කිව්වම පියල් අයියා එහෙම කිව්ව. “තේරෙන්නෙ කොහෙද, හැමදාම කොරේ මෙලෝ දෙයක් නොදන්න මිනිහෙක් වගේ ඇස් කන් කට පියන් උන්නු එකනෙව.”

පියල් අයියගෙ මූණට බනින්න බැරිකම හන්දම මන් කොරේ පල්ලෙහයින් පේන පොකුණ දිහා බලාන මගේ හිතටම මුමුණපු එක.

“හැබෑටම නගා පුරස්නයක් තියෙනම් කියන්න.මට ඇහැක් විදිහට මන් නගාට උදව්වක් පදව්වක් කොරන්නම්. අනික මන් නගාව දන්නෙ මොන තරම් කල් ඉඳලද? නගාගෙ අයියණ්ඩි එක්කල හිතවත්කම ඇතිවෙච්චි දා ඉඳලම නගාවත් මන් අඳුරනව නෙව. පුරස්නයක් තියෙනම් කියන්න නගා”

එක හුස්මට කියවන් ගිය පියල් අයියා දිහාව මන් ඔහේ ඉවක් බවක් නැතිව වාගේ බලාන උන්නා.

“මට කසාද බඳින්න බෑ පියල් අයියේ”

උන්දැ ඇහැව්ව දේට මට දෙන්න තිබ්බ එකම උත්තරේ ඒක විතරයි.

ඒත් මට නොතේරුනා නෙවි, “පුරස්නයක් තියෙනන් කියන්න නගා මං ඇහැක් විදිහට උදව් කොරන්නම්” කීව පියල් අයියා, මන් දීපු උත්තරේ එක්ක සෑහෙන පුරස්නෙකට වැටිච්චි විත්තිය. නොසෑහෙන්න කලබල වෙච්චි විත්තිය.

“මට හැබෑවටම කසාද බඳින්න බෑ පියල් අයියෙ”

මක්කවත් නොකිය මන් දිහා බලාන ඉඳල ආයෙම පොකුණ දිහාව ඔහේ බලාන කල්පනා කර කර උන්නු පියල් අයියට මන් කලින් කීව දේ ඇහුණෙ නැතෑ කියල හිතල මන් ආයෙම එකම දේ කියෙව්ව.

ඒ සැරෙත් උන්දැ සද්ද නැතුව උන්නෙ, මන් කීව දේ ඇහුණෙ නැති හන්දද නැත්තම් මට ආයෙ කියන්න දෙයක් උන්දැට ඉතිරිවෙලා නැති හන්දද කියන්න මන් හැබෑවටම දැනන් උන්නෙ නෑ.

අපේ ඇඟ පිහදාගෙන වගේ ගලාන යන හුළං පාරටත් වඩා සැර හුස්ම පාරක් හෙළාපු පියල් අයියා මන් දිහාව බලලා ආයෙම ගේ පැත්ත බැලුවෙ කවුරුහරි මේ දිහාවට එනවද කියල විපරං කොරන්න වගේ.

මෙච්චර වෙලා මට වඩා පඩි තුන හතරක් උඩහින් උන්නු එයැයි හීන් සිරුවෙ මන් උන්නු පඩියට උඩ පඩිය වෙනකම් ඇවිදින් නතරවුනා.

“හැබෑටම මක්කද නංගියෙ පුරස්නෙ? තකහනියෙ මේ කසාද බඳින්න බැරුවය කියන්නෙ? ඔක්කොම කටයුතු සූජානම් කොරල තියෙද්දි තව පැය කීයද හත්දෙයියනේ පෝරුවට නඟින්න තියෙන්නෙ.”

ආයෙමත් එක හුස්මට පියල් අයියා මක්කදෝ කියාන ගියා. ඒත් උන්දැ දොඩවාපු එක වචනයක් අස්සෙවත් මන් බලාපොරොත්තු වෙච්චි උත්තරේ තිබ්බෙ නෑ.

“මට සමන්තව කසාද බඳින්න බෑ පියල් අයියෙ”
අඬන්න බැරි කමට කඳුලු හංගාන උන්න වුනත් මගෙ කටහඬේ තිබ්බෙ මහ දියාරු වෙච්ච ගතියක්. සමන්ත කීවෙ මන් තව ඩිංගකින් කසාද බඳින්න ඉන්න එක්කෙනා.
උන්දැව මට තීන්දු වුනේ අපෙ තාත්තල අම්මල එක්කහු වෙලා කතාකොරගත්ත එහෙකින්.

උන්දැව බඳින්න මගෙ හිතේ මොන කැමැත්තක්වත් හැබෑවටම තිබ්බෙ නෑ.අපෙ අම්මල කිසිම වෙලාවක උන්දැ එක්ක දීග යන්නය කියාල මට බල කලෙත් නෑ.

“දෝණි වෙන යම් දරුවෙක් එක්ක ඇයි හොඳැයියක් තියෙනම් මට කියන්න දෝණි.අපිට ගැළපෙන අහක නම් අපි දෝණිට විරුද්ධ වෙන් නෑ. දෝණිගෙ අකමැත්තෙන් කිසිම කටයුත්තක් තීන්දු කොරන්න මගෙයි තාත්තගෙයි අදහසක් නෑ.”

අම්මල තාත්තල හැමෝම පාහේ මට තින්දු තීරණ ගන්න ඕනෑකරපු නිදහස දීල තිබ්බට මට ඇහැක් උනේ නෑ මට ඕනැ හැටියට වැඩ කටයුතු කොරන්න.

“මක්කයි නඟා කල්පනා කොරන්නෙ? හැබෑවටම මේ නඟා කියන දේ මට තේරෙන්නෙ නෑ. මක්කෙයි මේ සමන්ත මල්ලිව බඳින්න බැහැයි කියන්නෙ?”

කල්පනා කොර කොර උන්නු මාව ආයෙම මේ ලෝකෙට ඇදල ගත්තෙ පියල් අයියා.

“මන් වෙන කෙනෙක්ට කැමත්තෙන් ඉන්නෙ අයියෙ.මට ඒ හන්දා සමන්තව බඳින්න බෑ”

හිතේ මෙච්චර දවස් හිරකරන් උන්නු හැඟීම මන් එහෙම් පිටින්ම එලියට දැම්මෙ තව ඒ හැඟීම හිරකරන් ඉන්න මට ඇහැකි උනේ නැති හන්දා.

මන් එහෙම කීවත් එක්කම පියල් අයියා ආයෙම වතාවක් නොසෑහෙන්න තිගැස්සුන විත්තිය මට තේරුනේ, ඇස් ගෙඩි දොඹ ගෙඩි දෙකක් තරම් විසාල කරගෙන මන් දිහා බලාන උන්න විලාසෙ දැකලා.

“ඒත්… ඒ… ඒත් නංගියෙ නංගි කැමති හන්දා නෙව නැන්දයි මාමයි එක්කහු වෙලා මේඑ කටයුත්ත තීන්දු කොරේ. නගාගෙ අකමැත්‍තක් තීවනම් කලියෙන් කියන්න තිබුනා නෙව, අඩුම තරමෙ නැන්දට මාමට කියන්න බැරිනම් මට හරි අපෙ නඟාට හරි කියන්න තිවුනා නෙව”

වෙන කියන්න දෙයක් ඉතිරිවෙලා නැති හන්දද කොහෙද පියල් අයියා එහෙම කීවෙ.

“කවුද දැන් නගා කැමති එක්කෙනා? උන්දැ විරුද්ධ වුනේ නැතෙයි නඟා සමන්ත මල්ලිව බඳිනවට? දැන් මන් කෝමෙයි නඟාට උදව් කරන්න ඕන.මට තේරෙන්නෙ නෑ මක්ක කොරන්නද කියල නඟා.”

“එයැයි මක්කවත් කීවෙ නෑ අයියෙ මන් සමන්තට තීන්දු වෙච්ච වෙලේ”

“අර මක්කෙයි ඒ? ඔය කියන එක්කෙනා නඟාට ආදරේනම් කියනව නෙව වෙන කෙනෙක්ව බඳින්න එපාය කියල. හරිහමන් පිරිමියෙක්නම් ගෙදෙට්ට ඇවිදින් කතා කොරනව නෙව මොන පුරස්නෙ ආවත්”

පියල් අයියෙ එවෙලෙනන් ඒ වචන ටික කියල දැම්මෙ ටිකක් සද්දෙට, හරියට මට බනින්නැහේ.කෝමත් මගෙ අයියා වෙච්චි අරවින්ද ගෙ යාලුවන්ගෙන් නිතර දෙවේල අපේ ගෙදෙට්ට එන්න අම්මල තාත්තල ඉඩ දුන්නෙ පියල් අයියට විතරයි. අපෙ අයියට කොයිමනත් යාලුවො උන්නට පියල් අයිය තරම් අපෙ පවුලට හිතවත් වෙච්චි එක්කෙනෙක් උන්නෙම නෑ. ඒ හන්දම වගේම පරම්පරාවෙන් ආව වෙදකම උරුම කරගත්ත වෙදමහත්තයෙක් වෙච්චි පියල් අයියට අපේ හිත්වලත් බෝම සෙනෙහසක්, බය පක්සපාතී ගතියක් තිබ්බ.

මාත් මගෙ නංගිල උනත් අපෙ අයියට වගේම පියල් අයිය කියන දේකටත් ඇහුන්කන් දුන්නා.

ඒ හන්දම මෙවෙලෙත් සද්දෙට කතාකරපු හන්දම මන් ඩිංගිත්තක් බයවුනා.

“එයැයි දැනන් උන්නෙ නෑ අයියෙ මන් එයාට මනාප විත්තිය.”

“මක්ක කීවා? උන්දැ දැනන් උන්නෙ නැත්තම් නඟා කෝමෙයි තීන්දු කොලේ සමන්තව බඳින්න බැරිය කියල. නඟා උන්දැට මනාපය කියල නොදන්න එකෙක් හන්දා නඟා හදන්නෙ මුළු පවුලෙම මූණෙ දැලිගාන්න නෙවෙද? ඔන්න ඔව්ව අමතක කොරල උඩහට යන්න නඟා.ගිහින් සූජානම් වෙන්න.”

“අයියා මක්ක කීවත් මට බෑ අයියෙ සමන්තව කසාද බඳින්න.මගෙ හිතේ උන්දැ ගැන සෙනෙහසක් නෑ.එහෙව් එකේ මන් කෝමද උන්දැව කසාද බඳින්නෙ?”

“නඟා දැන් ඔව්ව කතාකොරන්න වෙලාවක් නෙවි මේක. එක්කො නගාට තිබ්බෙ කාටහරි මේ කසාදෙ තීන්දු කොරගන්න කලියෙන් නගා මේකට අකමැතිය කියල කියන්න.එක්කො ඔය කැමතිය කියන උන්දැ එක්ක දෙකෙන් එකක් බේරුන් කොරගන්න එක නෙව.ඔක්කොම සූජානම් කොරාට පස්සෙ දැන් බෑ කීවම හරියනවද?”

“මන් හිතුවෙ මන් නොකීවට උන්දැ ඒක තේරුන් අරන් ඇතිය කියල.උන්දැ මා එක්ක කතා බහ කොරද්දි විහිළු කොරද්දි මන් හිතුවෙ උන්දැත් මට කැමති ඇතිය කියාලා.”

“ඔය කවුරු ගැනද නගා හැබෑටම කියන්නෙ? උන්දැ කවද හරි නඟාට ඉඟියක් දීල තියෙද කැමති විත්තියක් ගැන? අඩුගානෙ නගා හරි උන්දැ එක්ක මේක කතාකොරගන්න නෙව තිබ්බෙ”

“මන් බලාන උන්නෙ අයියෙ, උන්දැ ඇවිත් මන් ගැන අපෙ ගෙදරින් අහනකම්.මන් කෝමෙයි ඉස්සර වෙන්නෙ මන් ගෑණුලමේක් නෙව”

ඇස් වලින් වැක්කෙරෙන්න හදන කඳුලු බිංදු බෝම අමාරුවෙන් නවත්තන්න මන් නොසෑහෙන්න වැර වීරිය දැම්මා. පියල් අයියා උන්නෙ දහ අතේ කල්පනා කොරන ගමන්.

“උන්දැ කවදාවත්ම නගාගෙන් මක්කවත් අහල නැද්ද?”

“නෑ ඒත් උන්දැ හැසිරිච්ච විදිහෙන් මන් හිතුවෙ එහෙම. උන්දැ මාව තේරුන් ගත්ත හේ අහපු පුරස්න වලින් මන් හිතුවෙ එහෙම”

කියාල කට ගන්නත් කලියෙන් මට ඇහුනා අපෙ ලොකු නංගි මට අඬගහන සද්දෙ.මල්.බොකියට තව මල් ඩිංගිත්තක් හොයාන එන්නම් කියල ලොක්කි කොයිබදෝ ගිය සුනංගුවට තමා මන් එලියට ඩිංගිත්තක් ආවෙ.

“අක්කේ… සුදු අක්කේ…”

ලොක්කිගෙ කටහඬ එන්න එන්න ලංවෙද්දි උභතෝකෝටික පුරස්නෙකට මූණ දීල හිතේ තියෙන දාහක් පුරස්න අහන්න වෙලා නැතුව උන්නු පියල් අයියා දිහාව මන් බලල පඩිපෙල නැඟල උඩහට යන්න ගියා.

” උන්දැ හැබෑවටම නගාට කැමතිය කීවෙ නැද්ද නගා, නගා මේ හැටි විස්සෝප වෙන්නෙ අහවල් එහෙකටය නැත්තම්?”

“උන්දැ කවදාවත් මට ආදරෙයි කියල කීවෙ නෑ පියල් අයියෙ.උන්දැ හැමදාම මාව තේරුම් අරන් කතා කොරා. හිතේ දුකක් තද කරන් ඉද්දි ඇවිත් ඇහැව්වා”

“මක්කද ඇහැව්වෙ?”

අහපු දේ කියන්න කලියෙන් මන් ආයෙම පාරක් හැරිල පියල් අයියා දිහා බැලුවා.

එයැයි ඇහැව්වෙ,
“නඟා ඇයි මූණ නාළු කොරගෙන, මෙච්චර හොඳ දවසෙ?” කියලා.

මන් දීපු උත්තරේ එක්ක පියල් අයියා වචනයක්වත් නොකිය බලාන උන්න.හිනාවීගෙන මල් අතු වගේකුත් අරන් එන ලොක්කි දිහාව බලාගෙනම මන් හිමීට පියල් අයියගෙ ඇස් මානෙන් අයින් වුනා.

පෝරුවෙ කටයුතු අහවර වෙලා, ගෙයින් පිටවෙන්න නැකත ලංවෙද්දි තමා මන් ආයෙම පියල් අයියව දැක්කෙ.

දානයක් මරණයක් මොන දේක උනත් අපෙ ගෙදර අපෙ අයිය එක්ක එක හුස්මට එක සුමේට වෙනද වැඩ කරන පියල් අයියා, අද ඉස්තෝප්පුවේ ගරාදි වැට ලඟ ඉඳන් කල්පනා කොරනව මන් දැක්කා.

පියල් අයියව අසරණ කොරේ මන් නෙවිද කියන පුරස්නෙ එක අහකින් හිත රිද්දද්දි අනිත් පැත්තෙන් මගෙ හිතේ තිබ්බ දේ කියාගන්න මෙච්චර පමා වෙච්ච එක ගැන මගෙ හිත මටම දොස් කීවා.

ගෙයින් එළි බහින්න නැකත ලන්වෙද්දි අම්මල නංගිල වැළඳගෙන අඬා වැළපෙද්දි ඈත ඉඳන් මන් දිහා බලාන උන්න පියල් අයියව මන් දුටුවා. වෙනදට මූණෙ පිරිල තියෙන ඒ හිනාව අද නැති විත්තිය වගේම, සාමාන්‍ය උස මහත සරීරයක් තිබ්බ පියල් අයිය එක පාරට වැහැරිලා වගේ මන් දුටුවෙ.

අපෙ අයියට වැඳපු මන් පුරුද්දට වගේම පියල් අයියට වඳින්න එයැයි උන්නු දිහාවට ගියා. ඇස් වල පිරිච්ච කඳුලු එක්ක මන් පාත්වෙල එයැයිගෙ කකුල් දෙක අල්ලලා වඳිද්දි ඇස් වලින් ගිලිහිච්ච කඳුලු බින්දුවක් එයැයිගෙ කකුලට වැටිල විසිරිලා ගියේ හරියට අපි දැන් පරක්කුයි කියන්න වගේ.
මගෙ උරහිස් වලින් උස්සල බුදු සරණයි නංගියෙ කීව පියල් අයියගෙ අත් වෙව්ලන විදිහ මට දැනුණා.

හැමෝටම සමුදීලා මගුල් කාරෙකට නඟින්න යද්දි මට මතක් වුනේ අපි ගාල්ලෙ කොටුව බලන්න ගිය වෙලේ අත මගෙයි සමන්තගෙයි අත බලාපු සාත්තර කාරයෙක්ගෙන් පියල් අයිය අහපු පුරස්නෙ,

“දෙන්නෙක්ට බැරිද එක්කෙනෙක්ට ආදරේ කොරන්න?”

එවෙලෙ ගිය හැමෝම උන්දැට කීදාහක් නම් විහිළු කොරාද. ඒත් මට දැන් හිතුණෙ එකදෙයයි.

මට පියල් අයියව තේරුම් ගන්න බැරි වුනාද? එයැයි කීව වචන වල තේරුම ලිහාගන්න බැරිවුනාද?

-උදතාරී-

More Stories

Don't Miss


Latest Articles