ටක් ටික් ටුක්

ස්ථානය සහ අවුරුද්ද: 1947,ගාල්ලේ ග්‍රාමීය පාසලක්

පාසල් මිදුල අසල සල් ගස් පිපෙන සහ නැවුම් හුණු දුහුවිල්ල සමඟ මිශ්‍ර වූ මුහුදු සුළඟේ සුවඳ හමන මූද අද්දර ගම්මානයක පාසලකයි සාගර ඉස්කෝලෙ මහත්තයෙක් වෙලා උන්නේ.පොඩි දරුවන්ට කියවන්න උගන්නන එක තමයි සාගර ලොකුවටම කලේ. ඉස්කෝලෙ දවල්ට කන්න දෙන විවේක වෙලාවට සාගර කලේ සල් ගහක් යට වාඩිවෙලා කවි ලිව්ව එක. සාගරට තිබ්බෙ හරිම සරල ලෝකයක්. 

ඉස්කෝලේ බෙල් එකේ සද්දෙ, මූදෙ සද්දෙ, ගමේ පන්සලේ ඝණ්ටාරෙ සද්දෙ, මිනිස්සුන්ගෙ කියවිල්ල අස්සෙ ගෙවිච්ච සරල නිස්කලංක ජීවිතයක් තමයි සාගරට තිබ්බේ.

හැබැයි ඒ සමාරා ගමට ආව දවස වෙනකම් විතරයි. 

සමාරා මේ ගමට ආවෙ එයාගෙ තාත්තා වෙච්ච තැපැල් මහත්තයට ගමේ තැපැල් කාර්‍යාලෙට ලැබිච්ච මාරුවක් හන්දා. නගරෙ ඉඳලා ආව සමාරා ගම දැක්කෙ වෙනස්ම විදිහකට. ගමේ නම් පාරට බැස්ස ගමන් යන්න කුලී කාර් හොයාගන්න ඇහැක් උනාට මොකෝ මේ ගමේ කාර් එකක් දකින්න ලැබුණෙ හාවා හඳ දකින්නැහේ. සාගර සමාරාව දැක්කෙ එයාගෙ ඒ ඇස් දෙකේ තිබිච්ච වෙනස හන්දමයි. ගමේ අනික් කෙල්ලො නම් කොල්ලෙක් දැක්කම ලැජ්ජාවෙන් වගේ හිනාවෙලා බිම බලාගත්තට මොකෝ සමාරාට පුදුම හයියක් තිබ්බා එක එක්කේ ඕනම මනුස්ස පරාණයක් දිහාව බලන්න. කිසි බයක් නැතුව. උගත්කම එහෙමත් තිබ්බ හන්දයි දැන ඇඳුනුම් කම් හන්දයි සමාරාව ගමේ ඉස්කෝලේ ඉංගිරිසි උගන්නන්න දාන්න සමාරාගෙ තාත්තට එච්චර නටන්න උවමනා උනේ නෑ. 

මේ දෙන්නගෙ හිතවත්කම පටන් ගත්තෙත් දවසක් සමාරා ඉස්කෝලේ බිත්ති පුවත්පතට ලිව්ව කවියක් දැකලා. මීට කළින් කවදාකවත් අහල පුරුදු නැති විදියෙ අමුතුම තේරුමක් තිබිච්ච, මීට කලින් කිසිම කවියකින් දැනුනෙ නැති විදියෙ අමුතුම රසයක් තිබ්බ කවිය ළඟ සාගරගෙ හිත නතර වුනේ ඇස් දෙක කවිය ලිව්ව සමාරා ළඟ නතර වෙද්දි.

“ගහගන්නට එපා දෙන්නාටම බිරිඳ

වෙන්නම් නුඹල දෙන්නම මාගේ නොවෙද

සෙල්ලම් කරමු ඇයි මේ කලබල මොකද

කියමින් සැනසුවා සුමිහිරි බස් බොළඳ”  

(මේ කවිය කේයස්ගේ සුදෝ සුදු කවියෙන් උපුටාගත්තේ කතාවට වඩා ගැළපෙනවා යැයි සිතූ නිසාවෙනි)

“ආහ් දෙන්නටම බිරිඳ වෙන්න පුළුවන් ගෑණු ළමේක් ගැන ලිව්වේ කෙල්ලො චපලයි කියල පිළිගන්න හන්දද?” කියල සාගර ඇහුවෙ තරහෙන් නෙවෙයි ඔච්චමට කියල තේරුනාට සමාරට නම් ඒ ප්‍රශ්නෙට ටිකක් ලැජ්ජත් හිතුනා “එයා  මං ගැන මොනව හිතුවද දන්නෙ නෑ” කියලා.

“අනේ නෑ, එහෙම නෙවෙයි.මේ…මට ඊයෙ නිකන් නිදන් ඉද්දි හීනෙන් වගේ තමයි ඒ කවිය හිතුනෙ. ඒක කියවෙන්නෙ පිරිමි ළමයි දෙන්නෙක්ට එකම විදියකට ආදරේ කරන ගෑණු ළමයෙක්ගෙ පැත්තෙන් බව ඇත්ත උනාට මට හිතුනා ලිව්වනම් හොඳයි කියලා. ඒකයි මේ. ඒක නිකන් වෙන කොහෙන්ද ඇහිච්ච කවියක් වගේ” කියලා සමාරා කියද්දි තමයි සාගර හරියටම සමාරාව ඇහැටයි හිතටයි දෙකටම පෙන්න ගත්තෙ.

“වෙන කොහෙන්ද ඇහිච්ච කවියක්? කොහෙන්ද ඔයාගෙ අනාගතෙන්ද?” කියලා සාගර හයියෙන් හිනාවෙද්දි සමාරා කලේ හීනියට හිනාවෙල තව ඩිංගක් බිම බලාගත්ත එක. වෙනද වගේ කෙලින්ම සාගරගෙ ඇස් දිහා බලන්න එදා සමාරට පුලුවන් උනේ නෑ. ඒකට උත්තර දෙන්න විදියක් එයාට තිබ්බෙ නෑ. මොකෝ ඇත්තටම ඒකට දෙන්න උත්තරයක් සමාරා දැනන් උන්නෙ නෑ. එයා දැනන් උන්න එකම දේ හැමදාම වගේ එකම විදියට හීනෙකින් එයාට පේන පිරිමි ළමයෙක් ඉන්නව කියන එක විතරයි. ඒ වගේම ඒ හීනෙ තමනුත් උන්නා. තමන්ට දෙපැත්තෙන් ඒ සාගර නේද කියලා හොඳටම තේරෙන, ඒ උනාට දෙන්නගෙ මොකක් හරි වෙනසකුත් තියෙන එකම වගේ පිරිමි ළමයි දෙන්නෙක් දෙපැත්තෙන් අත අල්ලන් ඉන්නවා කියන එක විතරයි.

ඒ හැම හිනෙකම තමන් හිනාවෙලා උන්නෙ හැබැයි එකම විදියෙ සන්තෝසෙකින් කියන එකත් සමාරා දැක්කා.

ඉතින් ඒ කතාව පටන් ගත්තෙ ආන් එතනින්. කවියකින්.

සමාරා දකින ඒ හීන ගැන සාගර දැනගත්තෙ පස්සෙ. දෙන්න අතරෙ යාලුකම හොඳටම වැඩි උනාට පස්සෙ. 

“මට හිතාගන්න බැරි හීන දකින  මමයි, ඒ හීනවල ඉන්න මමයි අතරෙ කොච්චර ලොකු වෙනසක් තිබ්බත් හීන දකින මම ගාව ඉන්න ඔයයි හීන ඇතුලේ ඒ මං වගේම කෙනා ළඟ ඉන්න ඔයයි දෙන්නම එකම වගේ උනේ කොහොමද කියන එක. 

ඔයා හැසිරුනේ හරියට අපි දෙන්නවම දන්නවා වගේ. කිසිම වෙනසක් නැතුව. වෙනසකට තිබ්බෙ ඔයාගෙ නම ඇඳුම වගේ දේවල් විතරයි.”

“ඔයා ඇයි කිව්වෙ අර එදා ලිව්ව කවිය ඔයාට නිකන් වෙන කොහෙන් හරි ආව කියල දැනුනා කියල. ඔය හීනෙ හන්දද ඔයා ඒක ලිව්වේ?”

“ඔව්, මං ඒව හීන කියල කිව්වට ඒව හීනවලට වඩා ඇත්තටම වෙනවද කියලත් මට වෙලාවකට හිතෙනවා. මොකෝ සමහර හීන හරි කලබලයි. ඒ වගේ හීනයක් දැකලා නැගිට්ටම ඒ කලබලේ මගෙ හිතෙත් ඒ මහන්සිය මගෙ ඇඟෙත් තියෙනවා”

“සමහර විට ඔයා හීනෙන් දකිනවා ඇත්තෙ ඔයා කැමති, ඔයාගේ හිතෙ ඉන්න කවුරුහරි වෙන්න ඇති” කියල සාගර කියද්දි සමාරා හිනාවෙලා සාගර දිහා එවෙලෙ නම් කෙලින්ම බැලුවා.

“ඉතින් ඔයා හිතන්නෙ ඔයා මොන විදියට ආවත් මම ඔයාට ආදරේ වෙයි කියලද?” කියල සමාරම මෙච්චර කල් සාගර හිතේ තද කරගෙන උන්නු ඒ කතාව කියද්දි සාගර තප්පරේකට ගැස්සුණා. හිත කොච්චර සන්තෝස උනත් “ගෑණු ළමයෙක් එහෙම මුලින්ම ආදරේ කියන එක හොඳද?” කියන ප්‍රශ්නෙ 1947 අවුරුද්දෙ ගමක ජීවත්වෙච්ච කොල්ලෙක් වෙච්ච සාගරට ප්‍රශ්නයක් උනා.

ස්ථානය සහ අවුරුද්ද: 2147, Colombo_07_Cinnamon

“කෙල්ලෙක් කොල්ලෙක්ට මුලින්ම ආදරෙයි කියන එකේ වරදක් තියෙනවා කියල මම ඇත්තට හිතන්නෙ නෑ සාරා” කියලා ශේන් කියද්දි සාරා කලේ හිනාවෙච්ච එක.

නම සමාරා උනාට ඒ නම මේ කාලෙට පොශ් මදි කියල හිතිච්ච හන්දා සමාර හැම කෙනාටම තමන්ව හඳුන්වල දුන්නේ මැද තිබිච්ච ම යන්න හලලා සාරා විදියට. හැබැයි මේ සාරා කිව්වේ ඇත්ත ලෝකෙ ජීවත් වෙච්ච කෙනෙක් නෙවෙයි. සාරා කිව්වේ මතකයක්. කවුරුන් විසින් store කරාද කියලා දන්නෙ නැති ගෑණු ළමයෙක්ගෙ මතකයක්.

ශේන් වැඩ කලේ time loop simulations වැඩ කරන tech company එකක. ඒ වෙද්දි මුලු ලෝකෙටම වගේ technology සම්බන්ධ වැඩවලට උදව් කලේ ලංකාවෙන්. ලංකාව තමයි ලෝකෙම tech hub එක විදියට පිළිගත්තෙ. ශේන් ලගෙ company එකේ headquarters තිබුනෙ ලංකාවෙ අගනුවර වෙච්ච Colombo වල lotus tower කියන building එකේ.

වෙනදට නම් full focus එක දීලා වැඩ කරගෙන යන්න ශේන්ට පුලුවන් උනාට අද මිනිහා උන්නෙ ටිකක් අන්දුන් කුන්දුන් වෙලා. ඒ ඊයේ රෑ දැකපු හීනයක් හන්දා. මෙච්චර ඩිජිටල් වෙච්ච ලෝකෙක, මිනිස්සුන්ට හොඳම හොඳ life එකක් දෙන බලාපොරොත්තුවෙන් මිනිස්සුන්ගෙ සිතුවිලි, නින්ද පවා පාලනය කලේ එක එක technology වලින් වෙද්දි ඒ කිසිම monitor එකකට නොතේරෙන්න තමන් මේ “හීනයක්” කියල කියන අමුතු දෙයක් දැක්කෙ කොහොමද කියන එකත් ශේන්ට ප්‍රශ්නයක් උනා.

තමන්ට සම්බන්ධ heart rate, kidney, brains, heart මේ හැමදේටම සම්බන්ධ කිසිම machine එක පොඩි glitch එකක්වත් නැතුව ඒ වගේ දෙයක් දැක්කෙ කොහොමද කියන ප්‍රශ්නෙට උත්තරේ හිතාගන්න ශේන්ට පුලුවන් උනේ නෑ. අනික ඒ හීනෙ උන්නෙ තමන් නොදන්න කෙනෙක් නෙවෙයි. ඒ සාරා. ශේන්ට සාරාව හම්බුනේ මීට කාලෙකට කලින් archival photos based කරගෙන කරපු emotion reconstruction algorithm testing එකකදි. 1947 අවුරුද්දෙන් හොයාගන්න පුලුවන් වෙච්ච school registry එකක විනාශ නොවී ඉතුරු වෙච්ච කොටසක් digitize කරලා තමයි මේ සාරා කියන character එක build කරගන්න පුලුවන් උනේ. ඒකෙන් නිර්මාණය කරගන්න පුලුවන් වෙච්ච සාරාගෙ මූනම හීනෙන් දැක්ක ඒත් ජීවත්වෙනවා කියල හිතිච්ච ඒ ගෑණු ළමයට තිබ්බෙ කොහොමද?

අනික ඒ හීනෙ එයා හිටියෙ මහ අමුතුම තැනක. ලා රෝස පාට ලොකු රවුම් මල් පිපෙන ගහක් යට සුදු කමිසෙකුයි කලිසමකුයි ඇඳගත්ත කොණ්ඩෙ පස්සට පීරුව, වෙනස්, ඒත් තමන් වගේම පිරිමි කෙනෙක් එක්ක හිනාවෙවී.

ඒ හීනෙ ඇතුලෙ ඒ තමන් වගේම කෙනා සාරා වගේ ගෑණූ ළමයට කිව්වා “ගෑණු ළමයෙක් කවදාවත් පිරිමි ළමයට ඉස්සර වෙලා ආදරෙයි කියන්නෙ නෑ” කියලා. ඔය කතාව, ඔය හීනෙ ගැන විස්තර ශේන් සාරාට කිව්වම තමයි සාරා ඇහුවෙ “ඔයා හිතන්නේ මොකද්ද ඒ ගැන?” කියලා. ශේන් නම් ඒකට කිව්වේ “කෙල්ලෙක් කොල්ලෙක්ට මුලින්ම ආදරෙයි කියන එකේ වරදක් තියෙනවා කියල මම ඇත්තට හිතන්නෙ නෑ සාරා”  කියලා.

ස්ථානය සහ අවුරුද්ද: 1947,ගාල්ලේ ග්‍රාමීය පාසලක්

සමාරා උන්නේ ඇත්තටම වෙන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරුව. ඇඳේ නිදාගෙන උන්නු තමන්ට හීනෙන් තමන් කවදාවත් දැකලා නැති අමුතුම විදියෙ ලෝකෙක ඉන්න පිරිමි ළමයෙක් data girl කියලාත් වෙලාවකට සාරා කියලත් කතා කරේ ඇයි කියන එක සමාරට හිතාගන්න පුලුවන් උනේ නෑ.

අනික ඒ ළමයා සාගර වගේම උනේ කොහොමද? මූණ සාගර වගේ උනාට අඳින පලඳින විදිය කොණ්ඩෙ පීරන විදිය සහමුලින්ම වෙනස් උනත් සාගරටත් ඒ ශේන් කියන පිරිමි ළමයටත් දෙන්නටම තියෙන්නෙ එකම හිත, තමන් ආදරේ කල හිත කියන එක එක බැල්මකින් තේරුම් ගන්න සමාරට බැරි උනේ නෑ.

ඒත් එහෙම දේවල් වෙන්න පුලුවන්ද? අනික දැක්කෙ හීනයක් උනත් ඒක ඇත්තක් කියලා හිතුනෙ ඇයි කියන ප්‍රශ්නෙට උත්තරේ සමාරට තිබ්බෙ නෑ. කොහොමත් එදා තමන් ආදරෙයි කිව්වට පස්සෙ “ගෑණු ළමයෙක් කවදාවත් පිරිමි ළමයට ඉස්සර වෙලා ආදරෙයි කියන්නෙ නෑ” කියලා සාගර කිව්වයින් පස්සෙ හිත රිදිච්ච හන්දා මේ වගේ අමුතු හීන දැක්කද කියන එකත් සමාරට හිතාගන්න පුලුවන් උනේ නෑ. ඒත් එකම ප්‍රශ්නෙට හීනෙන් උන්නු සාගර වගේම පිරිමි ළමයා “කෙල්ලෙක් කොල්ලෙක්ට මුලින්ම ආදරෙයි කියන එකේ වරදක් තියෙනවා කියල මම ඇත්තට හිතන්නෙ නෑ සාරා” කියලා කිව්වෙ ඇයි කියන එක සමාරට හිතාගන්න බැරි වුනා. අනික කවුද සාරා කියන්නේ? තමන්මද? එහෙම නැත්තම් වෙන කෙනෙක්ද කියන එකත් සමාරට හිතුනා.

ඒත් ඒ හැමදේම අස්සෙම සාගර හින්දා රිදිච්ච හිත data girl කියලා කතා කරලා “කාලරේඛාව කඩා වැටීම” වගේ අමුතු වචන කියපු ශේන්ව සමාරට ගොඩක් තදට දැනෙන්න පටන් අරගෙන තිබ්බා.

හරියට තමන්ට අලුත් ජීවිතයක් දුන්න කෙනෙක් වගේ.

ඒ පිරිමි ළමයි දෙන්නම තමන්ට ආදරේ බව සමාරා දැනගෙන උන්නා. එක්කෙනෙක් ඇත්ත ජීවිතේදි ආදරෙ හංගගෙන තමන් එක්ක කතා කරා. අනික් කෙනා රැට හීනෙන් ඇවිත් ආදරේ ගැන තමන් කවදාවත් නොහිතපු වෙනස්ම විදියෙ දේවල් තමන් එක්ක බෙදාගත්තා.

දෙන්නම දෙවිදියකට තමන්ට ආදරේ වෙද්දි සමාරා එහෙම නැත්තම් හීන ලෝකෙ සාරා සාගරට වගේම ශේන් දෙන්නටම එකම විදියට ආදරේ කලා. 

කාලෙ ගෙවිලා ගිහින් සාගර සමාරට ආදරෙයි කිව්වෙත්, ශේන් සාරාට ආදරෙයි කිව්වෙත් එකම දවසෙ. කාලෙකට පස්සෙ දා රෑ 1947 ජීවත්වෙච්ච සමාරා සනීපෙට නිදාගත්තා. 

“ආදරෙයි සාරා” කියලා code එකක් ලියලා තියලා ශේන් නින්දට ගියා. සාරා ඇහැරගෙන රෑ තිස්සේ ඒකට දෙන්න උත්තරේ type කරා.

 “ගහගන්නට එපා දෙන්නාටම බිරිඳ

වෙන්නම් නුඹල දෙන්නම මාගේ නොවෙද

සෙල්ලම් කරමු ඇයි මේ කලබල මොකද

කියමින් සැනසුවා සුමිහිරි බස් බොළඳ”  

More Stories

Don't Miss


Latest Articles