“මං නම් කියන්නෙම අපි පොලිසියට ගිහිල්ලා මෙහෙම දරුව කතා කර විත්තිය කියමු. දරුවා කොච්චර අඟවන්න හැදුවත් එයාට කිසිම කරදරයක් ප්‍රශ්නයක් නෑ කියලා කවුද දන්නෙ කවුරුහරි අපේ දරුවව හිරකරගෙන ඉන්නවද? ඒ මනුස්සයගෙ බලපෑමට දරුව ඔහොම කතා කරලා අපිට කිව්වද කියලා” නන්දාගෙ වදේටම වගේ තමයි ජයබාහු සමුද්‍රටත් මේ විස්තරේ කියලා ඒ අනුව අරවින්දට ඔය විස්තරේ කියන්න හිතුවෙ.
සප්තමී කතා කරපු එක ගැන සමුද්‍රට කියනවට නන්දා මුලින් අකමැති උනාට මොකෝ “ඒ මිනිස්සු කොහොමත් මේ ගැන හොය හොය ඉන්න එකේ අපි වෙන විදියකට ඔය ප්‍රශ්නෙ විසඳගන්න යන එකෙන් වෙන්නෙ ඕක තව ඔද්දල් වෙන එක විතරයි” කියල ජයබාහු කිව්වයින් පස්සෙ තමා නන්දා කැමති උනේ සමුද්‍රට ඔය විස්තරේ කියන්න.
“සප්තමී කතා කරපු විත්තිය” කිව්වම සමුද්‍ර කලබල වෙයි කියල නන්දා බලාපොරොත්තුවෙන් උන්නා. ඒ විදියටම සමුද්‍ර “හානේ ඇත්තද? මොකද කිව්වේ?” කියල කිව්වට ඒ කලබලේ අස්සෙ නිකන් ඒක ප්ලෑන් කරලා කරපු දෙයක් කියලම තමයි කියල තමන්ගෙ හිත කිව්වෙ ඇයි කියන ප්‍රශ්නෙ නන්දාටත් තිබ්බා.
“ඔය ළමයටත් සප්තමී කතා කරාද?” කියලා නන්දා නිකමට වගේ ඇහුවට මොකෝ සමුද්‍ර ඒකට නම් “නෑ” කියලා තමයි උත්තර දුන්නේ.
“අරවින්දට අද එන්න විදියක් තිබ්බෙ නෑ අංකල්. මේ දවස්වල අර ඉලෙක්ශන් වැඩ අරව මේව හන්ද මිනිහා හරිම බිසී. ඒ උනාට මම ගිහින් විස්තරේ කියන්නම්කො”
“එහෙනම් ඉතින් ඔය ජන්ද වැඩ අස්සෙ ඒ ළමයට මේ කාරණාව බලන්න වෙන එකක් නෑනෙ. මං නම් කියන්නෙ අපි වෙන විදියකටත් උත්සහ කරල දාමු නේද? අපි දැන ඇඳුනුම්කම් මතම මේ ප්‍රශ්නෙ පොලිසියට අරගෙන යන්න ඕන කියල එකක් නෑනෙ. අපිට ගිහින් බැරිය ඇන්ට්‍රියක් දාන්න” කියල නන්දා කියද්දි නම් සමුද්‍රටත් කලින් ඒකට කට ඉස්සර කලේ ජයබාහු.
“අරවින්ද ළමයා වගේ උසස් පොලිස් නිලධාරියෙක් මේ ජන්දෙ අස්සෙ ඕක කොහොමහරි බැලුවට ඔහේ හිතනවද ඔය පොඩි පොඩි පොලිස් නිලදාරින්ට ඕක එච්චර උනන්දුවෙන් කරන්න විදියෙක් තියේවි කියල. හැමෝම මේ වෙලාවෙ ඉන්නෙ ඔය ජන්ද වැඩ අස්සෙ කලබලෙන්නෙ. ඒ නිසා මේ සමුද්‍ර පුතා කියන විදියට වැඩේ කරමු” කියල ජයබාහු කියද්දි නම් නන්දා උන්නේ නහුතෙටම තදවෙලා.
“මං කිව්වෙ ඉතින් තව කරන්න පුලුවන් දේවල්? ඇයි දෙයියනේ මේ කාටවත් තේරෙන්නෙ නෑනෙ මං ඉන්න ගින්දර. මගෙ දරුව අතුරුදහන් වෙලා එක කෝල් එකක් දුන්න පලියට අම්මා කෙනෙක් වෙච්ච මං කොහොමද කියන්නකො හිත හදාගන්නෙ. මට මෙච්චර දවසකට කරන්න ඇහැක් වෙච්ච එකම දේ අර කාන්ති අක්කා එක්ක ඔය සාස්තරයක්වත් බලන්න යනවා වගේ දෙයක් විතරයි.
ඒ මිනිස්සු කියන්නෙත් අපි හොඳටම දන්න කවුරුහරි තමයි කියලා අපෙ දරුවට ඔය කරදරේ කරල තියෙන්නෙ. එහෙම එකේ මං කොහොමද කියන්නකො තව ඉවසන් ඉන්නෙ? ඇහැට පේන්නෙ නැතුව මං කොච්චර හිතේ ගින්දරෙන්ද ඉන්නෙ කියල කොහොමද මං ඔහෙලට තේරුම් කරලා දෙන්නෙ” කියල නන්දා බාගෙට තරහෙනුයි තව ටිකක් අඬන ගමනුයි කිය කිය ගේ ඇතුලට යද්දි සමුද්‍රයි ජයබාහුයි කලේ මූනට මූණ බලන් කල්පනා කරන එක.
“ආන්ටි මාත් එක්කත් ලොකු තරහකින් අංකල් ඉන්නෙ” කියල සමුද්‍ර කිව්වට සමුද්‍ර ඒක කියන්නෙ අමනාපෙකින් නොවන විත්තිය තේරුම්ගන්න තරම් ජයබාහු මේ වෙද්දි උන්නෙ සමුද්‍රව තේරුම් අරගෙන. සමුද්‍ර කිසිම වෙලාවක තමන්ටවත් සප්තමීටවත් මේ පවුලෙ කිසි කෙනෙක්ටවත් කරදරයක් වෙන දෙයක් කරන්නෙ නෑ කියල දන්නවා උනාට තමන්ට තේරෙන ඒ දේ නන්දාට තේරුම් කරවලා දෙන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙත් ජයබාහුට තිබ්බෙ නැතුව නෙවෙයි.
සප්තමී කතා කරා කියන නම්බර් එක අරවින්දට දුන්නයින් පස්සෙ අරවින්ද නම් කිව්වේ සප්තමී මොකක් හරි හේතුවක් නිසා කෝල් එක අරගෙන තියෙන්නෙ අර පාර අයිනෙ තියෙන සල්ලි දාන ෆෝන් එකකින් හන්දත්, ඒ ෆෝන් එක තියෙන හරිය පාලු පැත්තක් හන්දා සීසිටිවි එහෙම මුකුත් ඒවයි සප්තමී කෙනෙක් ගැන රෙකෝඩ් වෙලත් නෑ කියලා. ඒ උනාට සප්තමී ඒ පැත්තෙ ජීවත්වෙනවනම් ඒක හොයාගන්න මේක හොඳ ඔත්තුවක් වෙයි කියල අරවින්දලා හිතන බවත් ජයබාහු ලගෙ ගෙදරට ඇවිල්ලා විස්තරේ කිව්වේ සමුද්‍ර. නන්දා ඒ වෙද්දි නම් හිටියෙ සමුද්‍ර කියන මනුස්සයව තඹ සතේකට විශ්වාස කරන්න බැරි තැනක. ජයබාහු එක්ක උනත් සමුද්‍රට විරුද්ධව වචනයක්වත් කියාගන්න පුලුවන්කමක් නැති එකේ නන්දට ඔය ඔක්කොම දේවල් කතාබස් කරන්න පුලුවන්කම තිබ්බ එකම එක්කෙනා උනේ කාන්ති.
සප්තමී කොච්චර “කාට උනත් මං කතා කර විත්තිය කියන්න එපා” කියලා කිව්වට, මේ වෙන දේවල් එහෙම කාටවත් දැනගන්න තියන්න එපා කියල ජයබාහුලා එහෙම කිව්වට හිත නිදහස් කරගන්න කියලා හිතාගෙන වගේ තමයි නන්දා ඔය විත්තියක් කාන්ති එක්ක කියන්න ගියේ.
“මට ඒත් හිතාගන්න බැරි උනා කාන්ති අක්කේ සප්තමී එහෙම කතා කරාට. අඩුම ගානෙ දැන් ඒ ළමයා ජීවතුන් අතර ඉන්නවා කියල දන්න එක හරි හිතට සැනසීමක්නෙ” කියල නන්දා කියද්දි තමයි කාන්ති දෙන්නටම බොන්න තේ හදාගෙන කෝප්ප දෙකකට වක්කරගෙන සාලෙට ආවෙ. මාලවී ඒ වෙද්දි උන්නෙ කාමරේට වෙලා අලුතෙන් ගෙනාව ඒසී එකේ සීතල යට ඇඳේ හාන්සි වෙලා උනාට මොකෝ කන් දෙක නම තිබ්බෙ අම්මායි නන්දා නැන්දයි දෙන්නා සප්තමී ගැන කියන්නෙ මොන මොනවද කියලා අහගෙන.
“මට තේරෙන්නෙ නැත්තෙ කරදරේකුත් නැත්තම් ඔය ළමයා ඔහොම ගෙයින් පිටමං වෙලා ඉන්නෙ මොකද කියලා” කාන්ති තමන්ගෙ සැකේ තමන්ගෙ හිතෙන් නන්දාගෙ හිතට මාරු කරද්දි සුරුස් ගාලා තේ උගුරක් බීපු නන්දා හීන් සැරේ කාන්තිට ළං උනේ රහසක් කියන්න වගේ.
“සප්තමී මට මහ අමුතු කතාවක් කිව්වනෙ” කියල නන්දා කොච්චර හිමින් කිව්වත් කාමරේ උන්නු මාලවීට තිබ්බෙ ඒ කතාවත් ඇහෙන ලෙවල් එකට ඩිවලොප් වෙච්ච කන් දෙකක්.
“ඒ මොකද්ද?”
“සප්තමීට ළඟම ඉන්න කෙනෙක් මොකද්ද කරදරයක් කරන්න හදනවලු. එයා ඒකලු එහෙම හැංගිලා ඉන්නේ” කියලා නන්දා කියද්දි කාන්ති ඇස් එක්කම ඔලුව ගස්සලා නන්දා දිහාව බැලුවෙ “මොකද්ද ඒ හරුපෙ?” කියල අහන්න වගේ.
“ළඟම ඉඳගෙන කරදර කරන්න හදනවා කියන්නෙ මොකද්ද නන්දො? කවුද ඉතින් එහෙම ළඟම ඉඳන් සප්තමීට කරදර කරන්න හදන්නෙ? අනික අහවල් දේකටද?”
“අනේ මන්දා අක්කෙ, මටත් තේරෙන්නෙ නෑ උන් කියන කතන්දර. උන් දැනගන්න එපාය කරන දෙයක් අපිට ගින්දරක් නැතුව කරන්න. ඒ උනාට සප්තමී කියපු දෙයින් මට තේරුනේ අර වෙච්ච බයිසිකල් ඇක්සිඩන්ට් එක එහෙමත් අපි හිතන්නෙ නැති ඒ උනාට අපි හොඳටම දන්න කෙනෙක් හොඳට ප්ලෑන් කරලා කරපු දෙයක් කියලා.
සප්තමී නොකිව්වට ඒ කෙනා කවුරු උනත් සප්තමී ඒක දන්න විත්තිය තමයි මට තේරුනේ”
“සප්තමී කිව්ව ඒවයින් නංගිට නිකන් ඒ කවුරු වෙන්න පුලුවන්ද කියල හිතුනෙ නැද්ද?”
“මන්දා මට එහෙම සැක කරන්න කියල කෙනෙක් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ. ඔය ඔක්කොම කරදර වෙන්න පටන් ගත්තෙ ඔය ටෙලි නාට්ටියෙ වැඩවලට ගියයින් නෙ. මට වෙලාවකට හිතෙනවා අක්කෙ ඒකෙ කවුරුහරි ද මේ මෙහෙම දේවල් කරන්නෙ කියලා. සප්තමී කිව්ව විදියට එයා කැමැත්තෙන්ම වගේ තමා ඔය ඉන්න තැන ගිහින් ඉන්නෙ”
“සැක කරන්න කෙනෙක් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියලා නංගි කවුරු ගැනද කිව්වේ?”
“මට නම් ඔය සමුද්‍ර ළමයව එහෙමත් එච්චර විශ්වාස නෑ අක්කෙ. ඒ උනාට කෝ ජයබාහු පොඩ්ඩක්වත් මංකියන දේ පිළිගන්නෙ නෑනෙ” කියල නන්දා ලෝස් නැතුව තමන් දන්න හැමදේම කාන්තිගෙ කනේ තියද්දි සමුද්‍ර ඒ වෙද්දිත් උන්නෙ හැමෝටම හොරෙන් මෙච්චර දවසක් යන්න පමාවෙච්ච ගමනක් යන්න සූදානම් වෙන ගමන්.