මේ ඒ වසන්තයයි – 47

0
2910


ධනුකගේ සහ නුරාන්ගේ කියවාගැනීම අවසන් වූයේ පැහැසරා බලෙන්ම ධනුක කාමරයට ඇදගෙන ගියාට පසුවය. නුරාන් බිඳකුදු ප්‍රමාද නොවී නිවසින් පිටතට ගියේ කිසිවෙකුට පිළිතුරුන් නොදීය. ඉන් එපිටට කිසිඳු  සිදුවීමක් සඟවන්නට පැහැසරාට හෝ ධනුකට ඉඩක් ලැබුනේ නැත. අම්මා සහ තාත්තාට සියලු සිදුවීම් පවසා අවසාන වෙද්දී අම්මා හැඬූකඳුලෙන්ම පසෙකට වූවාය.

” මගේ කොල්ලා යන්තම් දෙයියනේ කියලා ඔලුව උස්සගත්තා විතරයි .. මේ මොන මරාලයක්ද දුවේ පහත් වුනේ ?..”

ඕ පැහැසරාට පවා අස්වසාගන්නට ඉඩක් නොදී හඬා වැටුණාය. පැහැසරාටද පැවසිය හැකිවු යමක් වූයේ නැත.  ධනුක සාලය පුරා ඇවිදිමින් තනිව කියවමින් උන්නේය. ඔහු සිටියේ  නුරාන්ගේ හැසිරිම ගැන කෝපයකට වඩා වේදනාවකිනි. පොඩි උන් ව උන් සමයේ යමක් ක්‍රිකට් බෝලය බෙදා ගන්නට බැරිවවත් නුරාන් තමා හා රණ්ඩු සරුවල් නොකල බව ධනුකට මතකය. ඔහු කලේ බෝලය තමාට දි පසෙකට වීමය. එහෙව් සහෝදරයා තමාට එලෙසින් පහර දුන්නේ කෙලෙසින්දැයි ධනුකට සිතා ගන්නටවත් හැකි වූයේ නැත.

පැහැසරා ධනුක තනිව කියවමින් ඇවිදින දෙස බලා උන්නේ වේදනාවෙනි. තම සැමියා නිසාවෙන් සිතනවා  නොව, ධනුක යනු ස්වකීය මිනිසුන් වෙනුවෙන්ම ජීවිතයම කැප කල පවුල් මිනිසෙක් බව ඕ සිතුවේ වේදනාවෙනි.

නුරාන් ගේ ජීවිතය කලු කුහරයකට ඇදෙමින් තිබූ සමයේ ධනුක ඔහු වෙනුවෙන් කැපවූයේ සහෝදර කම ඉක්මවා යන පීතෲ වගකිමකින් බවද පැහැසරාට අමතක නැත. ජීවිතය සියල්ල මෙලෙසින් පරික්ෂා කිරීම දෛවයේම සරදමකි.

” සරා.. අරූට කෝල් එකක් අරන් බලන්න..”

ධනුක එලෙස පවසමින් හිඳගත්ත්තේ අම්මා සාලයෙන් නැගිටගියාට පසුවය. පැහැසරා ධනුක අසලට විත් හිඳ ගත්තාය. ඔහුගේ අවුල්ව ගොස් තිබූ හිසකේ සැකසුවාය. නළළ පිරිමැද්දාය. උඩු තොළ මත යන්තමින්  මහපටැඟිල්ල තැවරුවාය.

” කතා කරන්න බලන්න සරා..”

” කට් කරනවා…”

“මං ටව්න් එක පැත්තේ ගිහින් එන්නම්…”

” දැන් තේරුමක් නෑනේ ධනුක … අපි මෙහෙම චුට්ටක් ඉමූ…. මල්ලි එයි ගෙදර…”

පැහැසරා ඉක්මවා යන්නට තරම් මානස්ක හයියක් එවෙලෙහි ධනුකට නොවූ නිසා ඔහු නැවතුණේය. යළි ධනුකට සිහි වූයේ, නුරාන් ගේ කෝපාග්නි බැල්මය. කෝපයෙන් පුපුරා ගිය  හඬය.

” සරා..”

“ම්ම්ම්…”

“ඒඩී මිස්ට මල්ලි එච්චරට ආදරෙයිද සරා ? මට කෙල්ලෙක් ඔහොම කලානම්, මම නම් ආයේ  අහලකටවත් වද්දගන්නේ නෑ සරා…. එච්චරට දුක් දුන්න ගෑණියෙක්   දිහාවත් මම නම් බලන්නේ නෑ…”

“මල්ලිගේ ආදරේ ඒම වෙන්න ඇති ධනුක …. සමහරවෙලාවට ඒඩි මිසුත් මල්ලිට ගොඩක් ආදරේ කරන්න ඇති.. මල්ලිම එදා කිවේ, ක්ලාසස් පවා කරලා මල්ලිගේ ස්පෝර්ට්ස් වලට සල්ලි දුන්නා කියලා කාලයක්… ඒත්,  ඒඩී මිස්ට එයාගේ පවුල තෝරගන්න තරම් බයක් මල්ලි ළඟ පේන්න ඇති… මල්ලි ඒ කාලේ පෙන්වලා තියෙන හැසිරීම් එක්කල…”

” හ්ම්ම්ම්…. මොක කරන්නත් මේ කෙල්ල හොයාගන්න එපැයි …”

පැහැසරා ද එයට එකඟ වූවාය. ඉසිනි වෙනුවෙන් එක හෙලාම පෙන්වූ විරෝධය පිළිබඳව දැන් ධනුක යම් පසුතැවීමක සිටින බව පැහැසරා වටහා ගත්තාය.  එහෙත් ඕ ඒ පිළිබඳව කිසිවක් විමසුවේ නැත.

නුරාධ්‍යා බාප්පා තාත්තාට පහර දුන්නේ මන්දැයි විමසමින් දිගින් දිගටම හඬා වැටෙන බව පැහැසරා දුටුවේ ධනුකට කෝපි කෝප්පයක් සකසන්නට කුස්සියට ගියාය පසුවය. ඕ පියාගෙන් නුරාධ්‍යාව ඉල්ලාගෙන ධනුක වෙත ගෙන ගියාය.

කුඩා කෙල්ල ධනුකව වැලඳගෙන මහ හඬින් හඬා වැටුනාය.

” බාප්පා නෝටි … නෝටිම නෝටි .. අපි බාප්පාව එලවමු මෙහෙන් … තාත්තට ඌවා කලා … “

කුඩා කෙල්ල දන්නා උපරිමයෙන්ම විරෝධය පෑවාය.  ධනුක දියණියගේ මුව කමල සිපගත්තේ උතුරා යන සෙනෙහසිනි

” බාප්පා නෝටි නෑ පුතේ…”

“නෑ..නෝටි ..නෝටි… බාප්පට ආදලේ නා බබා…. එපා බාප්පා බබාට…. එපා….”

ඕ පැහැසරා ටද ගතු කීවාය. දෙදෙනැ එකිනෙක දෙස බලා නිහඬව උන්නෝය. තවත් ප්‍රශ්නයක් අත ළඟ බව පෙනෙන්නේය.

නුරාන් අවසානයේ පොලිසියේ පැමිණිල්ලක් දමන්නට තීරණය කලේය. සවස හත පසු වෙද්දීත් ඉසිනිගෙන් කිසිඳු ප්‍රතිචාරයක් නොමැති වීම නිසා ඔහුට අන් කල හැකි යමක් වූයේ නැත. නුරාන් කැබ් රිය යළි හරවාගනිද්දීම ඇමතුම ආවේ ඔහුගේ අවන්හලේ මිතුරාගෙනි.

” කියහං..”

” උඹ කොහේද ?”

“පාරේ බං.. ඇයි කියහං…”

“වරෙංකෝ අපේ රෙස්ටෝරන්ට් එකට පොඩ්ඩක්…”

“පිස්සුද බං.. මං පොඩි අවුලක ඉන්නේ… ම්ං උඹට ගන්නම්  ….”

“උඹේ අවුල ලෙහන්න පුලුවන් කෙනා මම හිතන්නේ මෙන්න මෙතන….”

නුරාන් වහා කැබ් රිය පාරේ පසෙකට කර නැවැත්වූයේය.  ඇසුනේ කුමක්දැයි තහවුරු කර ගත යුතුය.

” මොකක්ද උඹ කියන්නේ ?.”

” ඉසිනි මෙන්න මෙහෙ බං.. ඒත් ඒකි ඉන්නේ සිහියෙන් නෙවෙයි.. මම නිකමට මෙතනින් යන ගමන් ගේට් එක ළඟ කාර් එකක් දාල තියෙනවා ට නැවැත්තුවේ.. කෙල්ල අන්කොන්ශියස්… මං අපේ නෝනාට එන්න කිව්වා.. එතකල් කාර් ඒඑ දොර ඇරලා ඒමම ඉන්න දුන්නා..”

“රණා.. ඇහැ ගහගෙන හිටපං වස්තුවේ.. ම්ම්ං එනවා..”

“පියාඹන්නේ නැතුව වරෙන්… අපි ඉන්නවනේ…”

නුරාන් යළි කැබ් රිය හරවාගත්තේය. සිතට දැනෙන සැනසීම පවසන්නට වචන නැත. දැන් ඕ සිටින්නීය. අන් සියලු කාරනා පසුවටය.   වෙනදාට ගත වන වේලාවෙන් අඩකුත් පැය භාගයක් ගෙවෙන්නත් පෙර  නුරාන් ගමනාන්තයේ උන්නේය.

“පියාඹලාද ආවේ මිනිහෝ ?”

“කෝ?..”

“ඉස්සරහ වාඩි වෙලා අපේ නෝනා එක්ක..අඬනවා නන්ස්ටොප්..ෆේන්ට් උනා දෙපාරක්.. ඒ පාර අපේ නෝනා ඩෙක්ස්ට්‍රෝස් එකක් දුන්නා…..”

“මෙහෙමම මට කැබ් එකට දාගන්නම් මම රණා… “

“ඊට පස්සේ..”

“ගෙදර එක්ක යනවා..”

“”තොට පිස්සුද බං.. මෙවෙලේ  ඒ කෙල්ලට උඹලෑ අයියාගේ පිප්පිලි වලට ෆේස් කරන්න බෑ.. අපේ  ගෙදර යමං…”

“ආයේ හංගන්නේ නෑ රණා….අම්මලා මේක පිලිගනීවි…”

නුරාන් එලෙස පවසමින් අවන්හල තුලට ඇවිද ගියේය.ඉසිනි උන්නේ රණවීරගේ බිරිඳගේ උකුලේ හිස තබාගෙන සෙටියේ දිග ඇදීගෙනය. දිග ඇදීගෙනය කීවාට ගුලි වීගෙනය.

නුරාන් ඕ අසලින් දණ නවාගත්තාය. හිසකේ පසෙකට කර නළල ඉම්බාය. ඉසිනි යන්තමින් ඇස් ඇරියාය. ස්පර්ශය නුරාන්ගේ බව දැණුණි.
එහෙත් ඔහු ආවාද සැකය.

එතෙක් වෙලා යන්තමට වේලී තිබූ කඳූලු ගඟ යලි පණ ගැසුවේය. ඕ වේගවත් හුස්ම ගත්තාය

” තාරා.. අපි ගෙදර යමූ..”

“බෑ..”

ඕ  ඉකියක අගට එලෙස කීවාය.

” මෙහේ ඉන්න බෑනේ තාරා..මුන් දෙන්නාටත් ගෙදර යන්න ඕනි නේ… අපි යමූ.. එන්න..කෝ…”

නුරාන් අඬක් නැවුණු ඉරියව්වකින් සිට ඉසිනිව වත්තන් කරගෙන කෙළින් කරවාගත්තේය. එහෙත් ඕ උන්නේ අඩියක්වත් තනිව තමා ගන්නට නොහැකි තරමේ මානසික බිඳීමකය.

ගත අසනීප මිනිසුන් හිතේ හයියෙන් ජීවත් වනු දැක ඇති වුවද, හිත අසනීපව ගිය පසු ගතේ හයියෙන් ජීවත් වීම උකටලීය.

නුරාන් ඕ ඔසවා ගත්තේය.

” මෙයාගේ ෆෝන් එක බලලා කැබ් එකට දාපං රණා.. කාර් එක ඇතුලට දා මට කී එක දීහං..”

ඉසිනිව බලෙන්ම කැබ් රියේ හිඳුව අසුන්පටි සකසන අතරේ මිතුරා වෙත හැරී පැවසූ නුරාන්, ඉසිනිගේ කොපුල් තෙමමින් තිබූ කඳූලු පිස දැම්මේය.

” නාඬා ඉන්න …”

දැඩි ස්වරයකින් එලෙස පවසන අතරේ, දෑත් දෙකම එකට අල්ලා දැඩි ස්පර්ශයකින් සිප ගත්තේය. ඉසිනිට සිහි වූයේ ඒ ලියා තිබූ වදන් ය.

ඕ වහා ඔහුගෙන් මිදෙන්නට උත්සාහ කලාය. එහෙත් නුරාන් එයට ඉඩ දෙන්නට සූදානම් වූයේ නැත.

” මගේ නම් මගේ තාරා. නුරාන් මන්දිනු තවදුරටත් අතෑරගන්නේ නෑ… කවුරු කීවත්..”

ඔහු ඇගේ සවනටද ලංව එලෙස පවසා දොර වසා දමා මිතුරා වැළඳගත්තේය.

” පින් බං….”

සියල්ල ඒ වචන දෙකට කැටි කලේය.

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here