පෙනහළුවල විෂ ඉවත් කරන ස්වභාවික ක්‍රම 8ක්

අප ආශ්වාස කරන වාතය විවිධ වර්ගයේ දූෂක වලින් දූෂිත වී තිබිය හැකියි. මේවා පෙනහලු වලට ඇතුළු වී ඔබ වෙනුවෙන් විශේෂ කාර්යභාරයක් ඉටුකරන පෙනහලු වල විවිධ රෝග තත්ත්වයන් ඇති කිරීමට ඉඩ තිබෙනවා. පෙනහළු යනු බොහෝ දුරට ස්වයං පිරිසිදු කිරීමේ අවයවයකි.එම පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය ප්‍රශස්ථ මට්ටමකින් ක්‍රියා කිරීමට උපකාරී වීම සඳහා අපට කළ හැකි සමහර දේවල් ද තිබෙනවා. අද අපි කතා කරන්නේ පෙනහලු වල ඇති විෂ ඉවත් කරන ස්වාභාවික ක්‍රම කිහිපයක් පිළිබඳවයි 

නිවසේ ඇති කෘතිම සුවඳකාරක ඉවත් කරන්න

මෙය බොහෝ දෙනෙක් නොසිතන කාරණාවක්. ඔබ නිරන්තරයෙන් ම ඔබගේ නිවසේ වාතාශ්‍රය හොඳින් පවත්වාගෙන යාම සඳහා එයාර් ෆ්‍රෙශ්නර් , ඉටිපන්දම් වර්ග හෝ වෙනත් සුවඳ සුවඳ කාරක වර්ග භාවිතා කරනවා ඇති. කෙසේ වෙතත් මෙවැනි කෘතිම සුවඳකාරක වල පෙනහලු වල විවිධ ආසාදන තත්ත්වයන් සහ රෝග තත්ත්වයන් ඇතිකළ හැකි රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා. ඒ නිසා එවැනි කෘතිම සුවඳ කාරක භාවිතය අවම කිරීම හෝ නතර කර දැමීම ඉතාම සුදුසුයි 

හැකි සෑම අවස්ථාවකම නැවුම් වාතය ලබා ගන්න 

මෙය ඔබේ පෙනහලු වල ඇති විෂ ඉවත් කර ගැනීමට ගත හැකි හොඳම පියවරක්. බොහෝ විට උදෑසන කාලයේ හෝ අළුයම් කාලයේදී ඇති වාතාශ්‍රය ඉතා නැවුම්. එවැනි වේලාවක දී පිටතට ගොස් ඇවිදීම හෝ ව්‍යායාම කිරීම අතරතුරදී වාතය හොඳින් ආශ්වාස කිරීම ඔබේ පෙනහලු වල ඇති විෂ ඉවත් කිරීමට උපකාරී වනවා. මේ සවස් කාලයේ දී එතරම් ප්‍රායෝගික නොවන්නේ විවිධ පාරිසරික හේතු , මාර්ග තදබදය සහ පරිසරයෙ ඇති කලබලකාරී බව නිසා වාතයේ විවිධ විෂ ද්‍රව්‍ය පිරී තිබීමට ඉඩ ඇති නිසායි. එම නිසා උදෑසන කාලයේදී නැවුම් වාතය ආශ්වාස කිරීමට හැකි නම් එය නුවණට හුරු ක්‍රියාවක්

හුස්ම ගැනීමේ අභ්‍යාස කරන්න 

සමහර හුස්ම ගැනීමේ අභ්‍යාස මගින් පෙනහලු වල ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට හැකි වනවා මෙන්ම එමඟින් පෙනහලු වල ඇති විෂ ද්‍රව්‍ය ස්වාභාවිකව ඉවත් කිරීමටද හැකියාව ලැබෙනවා දුම් පානය කර නතර කළ පුද්ගලයන්ට ද , දුම්පානය කරන පුද්ගලයන්ට ද නිදන්ගත පෙනහළු රෝග වලින් පෙළෙන පුද්ගලයන්ට ද මෙවැනි හුස්ම ගැනීමේ අභ්‍යාස කිරීම මගින් හොඳ ප්‍රතිඵල ලබාගත හැකිවනවා.

ඔබේ ආහාර වේල පිළිබඳව සැලකිලිමත් වන්න

ඔබේ ආහාර වේල් මඟින් ලැබෙන පෝෂණ සංඝටක වලින් පවා ඔබේ පෙනහලුවල ක්‍රියාකාරිත්වය වැඩි කරගනිමින් පෙනහලු වල ඇති විෂ ඉවත් කර ගැනීමට හැකියාව තිබෙනවා.විශේෂයෙන්ම විටමින් ඩී අඩංගු සැමන් , සාඩින් , බිත්තර වැනි ආහාර ලබා ගැනීම මගින් පෙනහලු වල සෞඛ්‍ය වැඩි දියුණු කරගත හැකි වන අතර , හරිත තේ , බ්‍රොකලි වැනි ප්‍රතිඔක්සිකාරක අඩංගු ආහාර සහ පාන වර්ග ලබා ගැනීම මගින් ශ්වසන මාර්ගයේ ඇති විය හැකි දැවිල්ල තත්ත්වයන් සමනය කර ගැනීමට හැකිවනවා.

වැඩිපුර aerobic ව්‍යායාම වල නිරත වන්න

Aerobic ක්‍රියාකාරකම් ඇතුළත් ව්‍යායාම වල නිරතවීම ඔබේ පෙනහලු වල ධාරිතාව වැඩි දියුණු කිරීමට උපකාරී වනවා. ඇවිදීම , දිවීම , බයිසිකල් පැදීම , බොක්සිං, පිහිනීම , සුම්බා වැනි නැටුම් ආශ්‍රිත ව්‍යායාම , tennis වැනි ක්‍රීඩා වල නිරතවීම ඉතා සුදුසුයි.ඔබට නිදන්ගත පෙනහළු රෝගයක් තිබෙනවා නම් ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඔබට ගැළපෙන ව්‍යායාම රටාව තෝරාගත හැකියි 

වාෂ්ප ඇල්ලීම 

ඔබ සාමාන්‍යයෙන් හුස්ම ගැනීමේ අපහසුතාවයක් , හෙම්බිරිස්සාවක් හෝ කැස්සක් වැළඳුණු විට වාෂ්ප ඇල්ලීම සිදු කරනවා ඇති. නමුත් මෙය සාමාන්‍ය පුරුද්දක් කරගත් විට මෙවැනි රෝග තත්ත්වයන් ඇතිවීම ද වළක්වනවා. නින්දට පෙර දිනපතා වාෂ්ප ඇල්ලීම කළ හැකි නම් ඔබේ පෙනහලු වල ඇති විෂ අපද්‍රව්‍ය ඉවත් වීම සිදුවෙනවා.එමගින් ඔබට නිතර නිතර කැස්ස හෙම්බිරිස්සාව වැනි රෝග තත්ත්වයන් ඇතිවීම ද වලක්වන අතර සාමාන්‍යයෙන් පෙණහලු ආශ්‍රිතව ඇති විය හැකි රෝග තත්ත්වයන් ද සමනය කරනවා.

සෞඛ්‍ය සම්පන්න බීම වර්ග පරිභෝජනය කරන්න 

නිවැරදි බීම වර්ග පරිභෝජනය කිරීම ඔබේ පෙනහලු වල සෞඛ්‍යය ඉහළ නැංවීම සඳහා සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරනවා.පර්යේෂණ මගින් සොයාගෙන ඇති ආකාරයට ,

ජලය

හරිත තේ

බ්ලූබෙරි යුෂ

ඉඟුරු තේ

දෙළුම් යුෂ 

වැනි පාන වර්ග පෙනහලු වල සෞඛ්‍යය ඉහළ නැංවීම සඳහා ඉතාම සුදුසු වනවා .යුෂ වර්ග සහ ශාකසාර තේවල ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර ඒවා මගින් ශ්වසන මාර්ගයේ දැවිල්ල අඩු කිරීම සහ විෂ ද්‍රව්‍ය ඉවත් කිරීම සිදු කරනවා.

තරබාරුකම අඩුකර ගන්න

මේ ඔබ කිසිසේත්ම නොසිතන කාරණාවක් වන්නට පුළුවන්.නමුත් තරබාරුකම පෙනහලු වල සෞඛ්‍යයට සැලකිය යුතු බලපෑමක් එල්ල කරනවා.උරහිස් කලාපයේ අධික මේදය සහ සිරුරේ බර පෙනහළු මත දැඩි පීඩනයක් එල්ල කරනවා.මෙවැනි මේද පටක මගින් පෙනහළු වලට ප්‍රසාරණය වීමට සහ හැකිළීමට ඇති හැකියාව සීමා කළ හැකි අතර පෙනහලු අනුකූලතාව අඩු වීමට සහ එක් එක් හුස්ම ගැනීමේදී ඔක්සිජන් ප්‍රමාණය අඩු කිරීමට ද හේතු වනවා.මෙය හුස්ම ගැනීමේ අපහසුතා සහ හුස්ම හිරවීම වැනි තත්ත්වයන් වලට ද බලපාන්නට පුළුවන්. එම නිසා පෙනහලු වල සෞඛ්‍යය වැඩි දියුණු කර ගැනීමට සිතන ඔබ තරබාරු කම පිලිබඳවත් සැලකිලිමත් විය යුතුයි.

මේ ලිපියෙන් අපි ඔබට කිව්වේ පෙර හලෝ වල ඇති විෂ ඉවත්කර ගනිමින් සෞඛ්‍ය සම්පන්න පෙනහළු පවත්වාගෙන යා හැකි ක්‍රම පිළිබඳවයි.නමුත් ඔබට පෙනහලු වල සැලකිය යුතු රෝග තත්ත්වයන් තිබෙනවා නම් ඒවා නොසලකා හැරිය යුතු නැහැ. උපක්‍රම අනුගමනය කරන අතර තුළ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ද ඔබ කළ යුතු වෙනවා. එවැනි රෝග තත්ත්වයක් නොමැති නම් විවිධ රෝග තත්ව ඇතිවීම වලක්වා ගැනීම සඳහා මේ උපක්‍රම පාවිච්චි කරන්න ඔබට පුළුවන්.

Related Articles

Don't Miss


Latest Articles