කාන්තාවන්ට ඇති අධික ඔසප් වේදනාව අඩු කළ හැකි දේශීය පාන වර්ග කිහිපයක්.

ඔසප් සමයේ අපහසුතා බොහෝ දෙනා අතර තිබෙනවා. සමහරුන්ට තදබල වේදනා දුන්නත් සමහරුන්ට එසේ වන්නේ නෑ. දෛනික වැඩ කටයුතුවලට බාධා එන තරමේ වේදනාවක් නම් වෛද්‍ය උපදෙස් පැතිය යුතුමයි. මේ ලිපියෙන් අපි කතා කරන්නේ සාමාන්‍ය ඔසප් වේදනා තත්ත්වයකදී එය මග හරවා ගැනීමට නිවසේ සිටම කළ හැකි දේවල් පිළිබඳවයි.

සරල වේදනා නාශකයක් ගැනීම.

ඔබට වේදනා ඇත්තේ ඔසප් සමය ආරම්භ වී පළමු පැය කිහිපය පමණක් නම් පැරසිටමෝල් වැනි සරල වේදනා නාශකයක් භාවිතා කළ හැකියි. එසේත් නැතිනම් Nonsteroidal anti-inflammatory drugs (NSAIDs) එනම් Ibuprofen වැනි ඖෂධයක් භාවිතා කරන්නට පුලුවන්. මෙම ඖෂධ සාමාන්‍යයෙන් ඔබට වෛද්‍ය නිර්දේශයකින් තොරව ෆාමසියකින් ලබාගන්නට පුලුවන්. එහෙත් නියමිත මාත්‍රාවෙන් නියමිත කාල පරාසයක් තුළ දී ඒවා ලබා ගැනීම ඔබේ වගකීමයි. මසකට එක් වරක් පමණක් නිසා එය ඔබට විශාල අහිතකර බලපෑමක් එල්ල කරන්නේ නෑ. එහෙත් දීර්ඝ කාලීන වේදනාවකදී සුදුසු ඖෂධ පිළිබඳ ව අනිවාර්යයෙන් වෛද්‍යවරයෙකු මුණ ගැසී සාකච්ඡා කළ යුතුයි. 

උණුසුම් දේ භාවිත කිරීම. 

පානය කිරීමට සීතල ජලය භාවිතා නොකර උණුසුම් ජලය භාවිතා කිරීමෙන් ඔබට සුවයක් දැනෙනවා. සීතල ජලයෙන් ස්නානය කිරීමට වඩා සුවයක් උණුසුම් ජලය ස්නානයෙන් ලැබෙන්නේත් එලෙසින් ම යි. ආහාර ගැනීමේදීත් හැකිතාක් උණුසුම්ව ම ලබා ගැනීමෙන් වඩාත් පහසුවක් දැනේවි. ඔබට Heating pad එකක් ඇත්නම් එය වේදනා ගෙන දෙන ස්ථානයේ තබා ගන්නට පුලුවන්. එසේත් නොමැතිනම් උණුසුම් තුවායක් හෝ උණුසුම් බෝතලයක් වුවත් මේ සඳහා යොදාගත හැකියි. කොන්දේ හෝ යටි බඩෙහි ඔබට වේදනාව ඇති ඕනෑම තැනක මෙසේ උණුසුම් යමක් තබාගෙන තැවෙන්නට හැරීමෙන් වේදනානාශකයක් ගත් සේ ම වේදනාව අඩු වෙන බව ඔබට ම අත් විඳින්නට පුලුවන්.

ලිංගික තෘප්තිය ලැබීම 

ලිංගික තෘප්තිය ලැබීම ඔසප් වේදනා අඩු වන්නට හේතුවක්. සුරතාන්තයට පත් වීමේ දී නිකුත්වන Endorphins වලට වේදනා අඩු කරලීමේ හැකියාව තිබෙනවා. 

තෙල් සම්බාහනයක් සිදු කිරීම.

ලැවැන්ඩර් තෙල් මානසික ආතතිය අවම කරන්නට බොහෝ සෙයින් සමත් බව ඔබ දන්නවා. පිරිසුදු පොල්තෙල්වලින් තනුක කරන ලද ලැවැන්ඩර් තෙල් සම්බාහනයකට ඔබේ මාසික ඔසප් වේදනාව අඩු කරන්නට හැකියාව තිබෙනවා. මෙය ඔබට තනිව කරගන්නට වුවත් පුලුවන්. මේ සඳහා මග පෙන්වූ ඕනෑ තරම් වීඩියෝ අන්තර්ජාලය පුරා ම තිබෙනවා. 

ආහාර පිළිබඳ සැලකිලිමත් වීම.

ආහාර ඔබේ ජීවන චක්‍රයට සිදු කරන බලපෑම සුළුපටු නෑ. ඉතින් ඔසප් සමයේදී ඔබේ ආහාර රටාව ඊට බලපෑම් එල්ල කරන බව අමුතුවෙන් කිවයුතු දෙයක් නොවෙයි. තෙල් අධික ආහාර, ලුණු අධික ආහාර, සීනි අධික ආහාර, ක්ෂණික ආහාර, මත්පැන්, කැෆේන් සහිත ආහාර මේ කාලයේදී ඔබ වැළකිය යුතුයි. තේ, කෝපි වැනි පාන ඔසප් වේදනා සහිත ඔබ කිසි සේත් භාවිතා නොකළ යුතුයි. කෙසෙල්, ඩාක් චොකලට්, තද කොළ පැහැ එළවලු, පරිප්පු, මාලු, යෝගට්, බිත්තර ඔබට ඔසප් සමයේදී පෝෂණය ලබා දෙන ආහාරයි. එම ආහාර ලබා ගැනීමෙන් ද ඔබට ඔසප් වේදනා අඩු කරගන්නට හැකියාව ලැබෙනවා. එමෙන් ම හොඳින් හා නිතරම පිරිසිදු වතුර පානය කිරීම ද ඔබට පහසු ඔසප් සමයක් උරුම කර දෙනවා.

ඔසප් වේදනා අඩු කරගන්නට පාන වර්ග කීපයක්

  • සූදුරු තේ හැන්දක් උණු වතුරේ දමා විනාඩි දහයකින් බොන්න. ඔසප් වීම ආරම්භ වූ පසු දවසට දෙවරක්, දවස් තුනක් බීම ප්‍රමාණවත්. 
  • කොත්තමල්ලි ඇට තේ හැන්දක්, ඉඟුරු කෑල්ලක් සමඟ තම්බා බොන්න. ඔසප් වීම ආරම්භ වූ පසු දවසට දෙවරක්, දවස් තුනක් බීම ප්‍රමාණවත්. 
  • කුරුඳු පොතු කැබැල්ලක්, ඉඟුරු කැබැල්ලක් සහ මීපැණි ටිකක් තම්බා බොන්න. ඔසප් වීම ආරම්භ වූ පසු දවසට දෙවරක්, දවස් තුනක් බීම ප්‍රමාණවත්. 
  • උළුහාල් මේස හැන්දක් සහ සුදුලූණු බික් දෙකක් හොඳින් තම්බා බොන්න. ඔසප් වීම ආරම්භ වීමට දින දෙකකට පෙර සිට,දවසට දෙවරක්, දවස් පහක් බීම ප්‍රමාණවත්. 

ඉහත සඳහන් දේ සිදු කරන අතරේම පෝෂ්‍යදායී ආහාර රටාවකුත්, ක්‍රියාශීලී ජීවන රටාවකුත්, සුවදායී මනසකුත් පවත්වාගෙන යෑමෙන් ඔබට ඔසප් වේදනා අඩු සුවබර දිවියක් ගත කරන්නට හැකියාව ලැබෙනවා. 

Related Articles

Don't Miss


Latest Articles