මේ ඒ වසන්තයයි – 49

0
2866

ඉසිනිගේ ගත දොවා ඇයට තම රාත්‍රී ඇඳුමක් අන්දවා  ඇයට යහනේ වැතිරෙන්නට උදවු කලේ පැහැසරාය. ඉසිනි මෙතරම් දුර්වලව සිටින්නේ ඇයිදැයි පැහැසරාටද වැටහුනේ නැත. ඇතැම්විට ඕ මානසිකව දරාගන්නට නොහැකි වෙහෙසකින් සිටිනවා විය යුතුය. පැහැසරා ඇගේ හිස පිරිමැද්දාය. ඉසිනි දෑස් යන්තමින් විවර කර ඕ දෙස බැලුවාය.

” රස්නෙන් මුකුත් බීලා ඉමු පැටියෝ … නුරාන් පහල බලාගෙන ඉන්නේ.. එයා අතේ එවන්නම් මම ..”

ඉසිනි පැහැසරාගේ අතකින් අල්ලා ගත්තාය. එය ළමැද ගුලි කරගත්තාය.

” නුරාන්ව අත අරින්න එපා මං හින්දා .. මම …”

” ශ් ශ් … නාඩා ඉන්නකෝ ඉතින් .. කවුරුත් කාවවත් අතාරින්නේ නෑ ….  අපි ඔයාවත් අල්ලගෙන ඉන්නේ.. .. මේ ගේට්ටුවෙන් මෙහාට ඔයා අපේ නංගී.. අනෙක් ඔක්කොම අමතක කරලා ඒක කල්පනා කරගන්න දැන්…”

“එකපාරටම… කොහොමද මෙහෙම පැහැසරා මිස් ?”

ඉසිනි අසීරුවෙන් වචන එකතු කලාය. පැහැසරා සිනාසෙමින් ඇගේ හිස යළි පිරිමැද්දේය.

” ඔයාගේ නුරාන් හින්දා තමා… ඔයාට ඔය කතන්දර හදලා පතුරවලා තියෙන්නේ ධනුක කියලා හිතාගෙන නුරාන් හවස ඇවිල්ලා ධනුක එක්ක රණ්ඩු කරලා ගියේ ..  ඒ හැසිරීමෙන් ධනුඅ තේරුම් ගත්තා, නුරාන් ට ඔයාව කොච්චරක් වටිනවාද කියලා…”

“රණ්ඩු කලා කිව්වේ ?”

ඉසිනි කතාවේ මැදින් පැන්නාය. පැහැසරා සිනාසුනාය.

” නුරාන් ගෙන්ම අහගන්නකෝ…”

ඉසිනි හිස පසෙකට ඇල කර ගැඹුරු සුසුමක් හෙලුවාය.

“ඔයා ඔහොම ඉන්න හොඳේ.. මම නුරාන්ව එවන්නම්…”
එහෙත් පැහැසරා නැගිටින්නටත් පෙර නුරාන් කාමරය තුළට ආවේය. දෙදෙනාම ඔහු දෙස බැලුවේ විමතියෙනි. නුරාන් ඉසිනි ගේ ජංගම දුරකතනය ඇය වෙත පෑවේය. ඉසිනි ට අම්මලගේ ඇමතුම සිහි වූයේ එවෙලෙහිය. වීඩියෝ ඇමතුමෙන් සියල්ල පෙනෙයි. තමා සිටින්නේ රෝගීව බව සඟවන්නට නොහැකි වනු ඇත.

පැහැසරා ඇමතුම ට පිළිතුරු දුන්නේ ඉසිනිවද පෙනෙන පරිදිය. ඕ නුරාන් ට අසෙකට වන්නට ඉඟි කලාය. තමා ඉසිනි ගේ කාර්‍යාල සගයෙකු බවත්, ඉසිනි හදිසියේම අසනීප වූ නිසා තම නවාතැනට කැටුව ආ බවත් කීවාය. දැන් අවශ්‍ය ප්‍රතිකාරද ලබා දී ඇති බවත්, ඇය සුවෙන් බවත් කීවාය.ඉසිනි ද කලබල වී සිටින අක්කාට තමා සුවෙන් බවත් හෙට දිනයේ ඇමතුමක් ගන්නා බවත් පවසා ඇමතුම විසන්ධි කලාය. නුරාන් පැහැසරා දෙස බලා උන්නේ කෘතඥපූර්ව බැල්මකිනි. 

” ඔයා වොශ් දාලාත් නෑනේ මල්ලී..”

පැහැසරා කාමරයෙන් පිටව ගියේ එලෙසින් පවසාගෙනමය. ගෙවුණු පැය පුරාවටම ධනුකගෙන් සමාව ඉල්ලිම හැරෙන්නට අන් යමක් කරගන්නට වෙලා නොතිබූ බව ඇයට නොපවසා නුරාන් ඉවසුවේය.  ධනුක සියල්ල අමතක කරන ලෙසින් පැවසූවද, අයියාට රිදෙන්නට තමා අතින් වැදුණු පහර ගැන නුරාන් ට නිස්කලංක හැඟීමක් දැනුනේ නැත. 

” වොශ් දැම්මා ?”

නුරාන් ඉසිනි අසලින් හිඳගෙන, හිස පිරිමැද්දේය. මහ ගින්නක් නිවුනාට පසුව නැගෙන ගිණි පුපුරු වල උණුසුම දෙදෙනාටම අඩු නැතිව දැනෙමින් තිබුණි. එහෙත්, එලෙසින්ම මහා ගින්නකින් දිවි ගලවා ගැනීමේ ආශ්චර්‍යයම සැනසීමද ඔවුන් වටා නැඟෙමින් තිබුණේය. ඉසිනි හිස සැලුවාය.

” පැහැසරා මිස් වොශ් දැම්මෙව්වේ..”

හිස සලා අවසන් වන විට ඉසිනි එහෙමද එක් කලාය. ඕ අක්කා බව දැනෙන්නේ නැතිවා නොවේය, එහෙත් පුරුදු වචන පනින්නේය.

“අපරාදේ… මං දන්නවා නම් එනවා…”

“ඒ මොකටද ?”

“වොශ් දම්මවන්න …”

” ඒ මොකටද ?”

“නා එක්කෝ.. අරින්න තියෙන මල්ල ආයේ ඔබ ඔබ බලන්නේ මොකටද ?”

නුරාන් සිනාසිසී පැවසුවා වුවද, ඉසිනි සැනින් වෙනස් වූවාය. ඉසිනි නොදන්නවා වුව නුරාන් ඒ වෙනසට හේතුව ඇගේ මුවින්ම අසා දැන උන්නේය. නුරාන් වහා අනෙකක් කීවේය. නුරාධ්‍යා තමා හා සමඟ අමනාමපව සිටින බවද කීවේය.

” අයියාට ගැහුවානේ මම දවල්… කෙල්ල ඒක දැකලා… මගේ මූණ බලන්නෙ නෑ.. බනිනවා එකසිය ගානට… එපාම කිව්වා මාව…”

නුරාන් ඇස් ඔසවා   නළලටම ගෙන  විස්තර  කලේය. ඉසිනිගේ නෙත් යළි තෙත් විය.

” අනේ අඬන්න එපා තාරා.. ඒක ඉවරයි..  අයියා ශේප්…ඌ ඔක්කොම තේරුම් අරගෙන .. අයියා මං වගේ නෙවෙයි… පත්තුවෙනවා තමා.. ඒත් නිවෙනවා.. අයියාට දන්නවා මම ඌට අත ඉස්සුවේ එවෙලේ මගේ අසරණකමට කියලා.. මට මුකුත්ම හිතාගන්න බැරි උනා තාරා… මම ඔයාව ගන්න හිතාගෙන ඔෆිස් එක ළඟට වෙලා ඉඳලා ඉඳලා, ඔයාට කෝල් කරේ..ෆෝන් ඕෆ්..බැරිම තැන මම සිකුරිටි අංකල්ගෙන් ඇහුවා ගිහින්.. පොර තමා විස්තරේ කිව්වේ.. පස්සේ මම සංජය අයියාට ගත්තා…ඌ තමා වැඩි විස්තර කිව්වේ…”

ඉසිනි ගේ දෑස් විසල් වූවේය. සංජය යැයි මුවින් මිමිණුනේය.

” මං පොරට විස්තරෙ කිවා… පොර අවුලක්ම නෑ… “

ඉසිනි සුසුමක් හෙලුවාය. සියල්ල අළු වී  ගිය ඉක්මන ඇයට සිතාගන්නට නොහැක. යළි රැකියා ස්ථානයට යෑම සිහිනයකි. සියලු දෙනා තමා දෙස බලන්නේ අනුකම්පාව සහ පිළිකුළ අඩු වැඩිව ගිය බැල්මකින් බව ඇයට වැටහේ. සංජය නුරාන් සහ තමාගේ අතීත කතාවද ඔවුන්ට පැවසූ පසු ඔවුන්ගේ සිත් තුළ තමා කෙරෙහි උපදින්නේ පිළිකුලම පමණක් බවද වැටහේ.

” හූල්ලන්නෙපා තාරා… මං ඕක කරපු එකා හොයාගන්නම් ..”

” තේරුමක් නෑ නුරාන් …  අරුණෝද මට සැනසීමෙන් ඉන්න දෙන්නේ නෑ…  එයා මාව ඩිවෝස් කලාට පස්සේත් මම එයා පස්සෙන්ම වැටීගෙන ඉඳී කියලා එයා හිතුවේ.. එයා මට කිව්වා, ගෙයක් අරන් දෙන්නම්. ඒකට වෙලා ඉන්න.. එයා එන්නම් පුලුවන් වෙලාවට කියලා.. ඒ අතරේ එයා බැඳලා දරුවෙක් හදලා එයාගේ ජීව්තේ හදාගත්තම මට යන්න කිව්වා මං කැමති දිහාවය… බල්ලෙක් ඒ.. ඒ බල්ලා මාව පන්න පන්න හපනවා.. අරුණෝද ගේ අක්කලාත් ඒ විදියමයි… ඊයෙත් මැසේජ් කරලා තිබුණා රත්තරන් බඩු වගයක් අහලා.. මං කිව්වනේ ඔයාය නුරාන් .. මං මුකුත්ම ගෙනාවේ නෑ..”

නුරාන් මුවින් කිසිත් නොපවසා ඉවසුවේය. අරුණෝද මරා දමන්නට තරමේ කෝපයක් නැඟෙන්නේය. එහෙත් මෙවෙලෙහි ඉසිනි ව සන්සුන් කරවාගෙන සිටීම වඩා වැදගත් ය

” අපි බලමුකෝ. ම්ම්… වීකෙන්ඩ් එකේ මෙහෙම ඉඳලා, අපි සඳුදාට ඔෆිස් යමූ … ඒ ගිහින් බලමු ඉතුරු වැඩ..”

ඉසිනි එලෙස නොහැකි බව පවසන්නට හිස සැලුවාය. නුරාන් කෝපයක් මවාගෙන ඕ දෙස බලා උන්නේය.

” ඔෆිස් යන්නේ නෑ ආයේ..”

“අනේ විකාර තාරා.. ඔයා එච්චරට දුර්වල ගැණියෙක් නෙවෙයි… හරි… ඒකට කමක් නෑ.. ඔෆිස් යන්නේ සඳුදානේ.. ඉස්සෙල්ලම කාලා බීලා කෙලින් වෙලා ඉන්න ඕනිනේ….”

පැහැසරා සුප් කෝප්පයක්ද රැගෙන ආවාය.

“ඔන්න… නුරාන් මන්දිනු ගේ මශ් රූම් සුප් එක… හැදුවේ අම්මා.. ඒත් අධීක්ෂණය මෙයා කියලා හිතාගෙන ඔක්කොම බොන්න…..”

නුරාන් පැහැසරා ට ඉඩ දෙමින් පසෙකට වන්නට උත්සාහ කලත්, පැහැසරා ඔහු වැලැක්වූයේය.

“එදා රෑ කිව්වේ, තාරා හරි ආසයි මම කවනවාට පොවනවාට කියලා…. ඉතින් , කවන්ඩ.. පොවන්ඩ…”

පැහැසරා නාට්‍යානුසාරයෙන්ම කීවාය. ඉසිනි මේ වෙනස්වීම් දෙස බලා උන්නේ  දරා ගන්නට නොහැකිවය. තම පියයුරක් මත ඇති  අරුණෝද විසින් දින කිහිපයක්  සිගැරට්ටුවකින් ඇති කෙරූ  කැළල පිරිමැද ඉන් පසුව තම හිස පිරිමැදි වෙලේ, ඉසිනිට දැනුනේ අක්කා යළි ලංකාවට විත් ය කියාය. නුරාන් යන්තමින් පවසා තිබූ කතන්දරය නිසා ඒ ඉසිනිගේ පෙර සැමියාගේ මිලේච්ච හැසිරීම් වග පැහැසරා ට සිතා ගන්නට අපහසු වූයේ නැත.

” දේවල් මෙහෙම ඉක්මන් වැඩි නැද්ද නුරාන්..”

තමා ඇඳ වියලට වන සේ හිඳුවා සුප් කෝප්පය රැගෙන යලි වාඩි වන නුරාන් ගෙන් ඉසිනි විමසුවේ දෑත් උකුල  මතට වන සේ ගෙන අසීරුවෙන් හරි බරි ගැසී හිඳගනිමිනි

” ඔයා ඔය වාක්‍ය පාඩම් කරනවාද තාරා ? කී වතාවක් අහන්න ඇතිද ඕක ..”

නුරාන් සුප් හැන්දක් ගෙන , එය මුවය ලං කර සෙමින් පිඹ, ඉන් පසුව ඉසිනිගේ මුවට ලං කලේය. ඉසිනි ට යළි හැඬුණි. නුරාන් ඒ කඳුලු නොදැක්කා සේ ඕ හා කතාවට වැටුනේය. ඇතැම් සිදුවීම්  යට යන්නට දීම හොඳම පිළිතුර වන්නේය. ඒවා දිරාපත් වී ගිය පසු ජීවිතයට ජීරණයව අවශෝෂණය වන්නේය.

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here