සංගීත සංධ්වනියෙහි පුහුණුවීම් නිමාකොට භාණුක ජිතේන්ද්‍ර මුතුමුදලි ගෙදර පැමිණියේ වෙහෙසින් වී ද තෘප්තියෙනි. ඔහු ගේ වෙහෙස සාර්ථක වෙමින් ඇති බව, පෙනෙන නො පෙනෙන ගාණට මුව මත පොපියන ඒ සිනහව කිශෝරි ට සාක්ෂි දෙයි. එතකොට ඒ තරම් සැනසිල්ලක් ඇයට නැත. ජිතේන්ද්‍ර හමු වූ දා පටන් ඇගේ සතුට ඔහු ගේ සතුට වෙයි. ඇගේ ජීවිතය ඔහුගේ ජීවිතය ම වෙයි. ඔහු ගෙන් තොර සිතිවිල්ලක් හෝ බලාපොරොත්තුවක් ද නැත. ඇයට හුස්ම ගන්නට තිබූ එක ම හේතුව ඔහු යි. ඔහු වෙනුවෙන් ජීවත් වෙන්නට හෝ මියෙන්නට ඇයට පිළිවන. ඈ ඔහුගේත් ඔහු ඇගේත් අත් වලින් අල්වාගත්තේ ගමනාන්තය තෙක් එක්ව ඇවිද යන්නට ය. දිවිහිමියෙන් ඔවුහු ඒ පොරොන්දු සුරකිමින් සිටිති. රහසින්වත් පව් නොකරති. හිතිවිල්ලකින්වත් වෙනතක නො බැඳෙති. ප්‍රේමයේ පරමානන්දයත්, ප්‍රේමයේ සංතෘප්තියත්, ප්‍රේමයේ දැල්වීම හා නිවීමත් ඔවුන් වෙතින් ම මිස වෙනතකින් නො පතති. ඉනිතින් ප්‍රේමය යනු ඔවුන් ට ඔවුන් ම ය.
“ජිතේ…”
ආදරයේ අධිමාත්‍රාව එක් කොට හදනා කිරි කහට කෝප්පය ඔහු අතට දෙමින් කිශෝරි දෙඩුවේ ලොකු කතාවක ප්‍රාරම්භය බව ඇදෙස නො බැලී ද ජිතේන්ද්‍ර දනී. ඔහු කිරි කහට උගුරක් තොල ගෑවේ ය. රස නහර පිනා යන මේ කිරි කහට එක කිශෝරි ගේ අතින් මිස ලෝකයේ වෙන කොතැනකින්වත් ලබා ගත නො හැකි ය. ජිතේන්ද්‍රට කවරුන් හැදූ කිරි තේ එකකවත් මේ වාගේ රස පදමක් විඳිය නො හැක. එක්කෝ කහට මදි ය. එක්කෝ කිරි මදි ය. එක්කෝ සීනි වැඩි ය. එක්කෝ කට පිච්චෙන උණු උණුවෙන් ලැබෙන්නේ නැත. කුමක් හෝ අඩුවකින් එන එවන් තේ එකක් ඔහු හඳුන්වන්නේ පල් වතුර හැළියක් කියා ය. නියම කිරි තේ එකක් බොන්නට නම්, ලෝකයේ කොතැනක කරක්ගසා හෝ ගෙදර පැමිණිය යුතු ය.
“ජිතේ…”
“ම්…”
“දික්කසාද නඩුවත් ඇහෙන එකේ… අපි ධාරා බලන්න ගිහින් ආවොත් හොඳයි නේද… දැන් මදැයි ඔය තරහ මරහ. මොන වරද කළා වුණත් අහක දාන්න පුළුවන්ද ඔයාගෙයි මගෙයි එකම දරුව වෙච්චිකොට… කෙල්ල කොහොම ඔය නඩුහබ එක්ක ඔට්ටු වෙනව ඇද්ද කියල හිතෙද්දි මගෙ පපුව වාවන්නෑ”
“මගෙ බල්ලවත් යන්නෑ අර මූසිල දක්ෂිණයගෙ ගෙදරට”
ජිතේන්ද්‍ර ගුගුළේ ය. ඔහු දක්ෂිණ ට මූසිල යන අන්වර්ථ නාමය පටබැඳ තිබෙන්නේ, ඔහු අන්තරාව ගෙදරින් වහන් කොට ගෙන ගියාට පස්සේයි. ඒ සිය දියණිය පැහැර ගත්තාටත් වඩා, සිය මිත්‍ර තරුපති ට කළ ද්‍රෝහිකම කරනකොටගෙන ය. ගුරු මුශ්ටි නො තියා සිය පරපුරේ උරුමයක් වූ සියල් ශිල්ප දුන් ගුරු දේවයාට දක්ෂිණ පිටුපෑවේ ය. නර්තන කලායතනයක් ආරම්භ කොට, අලුත් පන්නයේ සුකුරුත්තන් පෙන්වා තරුපති ගේ ගෝලයන් පවා ඔහු වෙත ගෙන්වාගත්තේ ය. මාධ්‍ය සගයන් මිතුරු කරගෙන සිය ජනප්‍රියත්වය වෙනුවෙන් නොයෙකුත් අවස්ථා ලබාගත්තේ ය. තමන් විසින් තමන්ව ම අනිසි ලෙස ජනප්‍රිය කරවාගැනීමට නොයෙකුත් උපක්‍රම යෙදුවේ ය. ඔහු ගේ ජනප්‍රියවාදී උපක්‍රම වල ගොදුරක් වූ අලුත් පරපුර, මී වදයෙහි රොද බඳනා මී මැසි කැළ සේ දක්ෂිණ සෙවූහ. තරුපති ගේ ස්වභාවික දීප්තියට වඩා දක්ෂිණ ගේ සරුවපිත්තල දීප්තියෙන් ඇස් නිලංකාර කරගෙන ඔහු වෙත ගියහ.
තරුමුතු කලායතනයෙහි උඩරට නැටුම් හදාරන්නට සිසුන් අඩු වෙමින් ගියේ ය. අවසන තරුපති එහි උගන්වන්නට නුවර සිට කොළඹ එන එක නතරකොට දැමුවේ ය. තරුමුතු කලායතනය තරුමුතු සංගීත ආශ්‍රමය ලෙස වෙනස් විය. සිය මිතුරාට දක්වන ගෞරවයක් වශයෙන් ජිතේන්ද්‍ර තරුමුතු නම දිගට ම රැකගත්තේ ය. ගුරුවරයාට ද්‍රෝහි වී සිය දියණිය ද හොරකම් කළ දක්ෂිණ කෙරේ සමාවක්, කිසි දාක ජිතේන්ද්‍ර ගේ හද තුළ උපන්නේ නැත.
“ඔයා ධාරාට කියන්න මගෙ තරහක් නෑ කියල දැං. ගෙදර ඇවිත් නතරවෙන්න කියන්න. ඊට පස්සෙ නඩුවෙ කටයුතුත් මං බලාගන්නං. හැබැයි ඔය මූසිල නරියගෙ ගෙදර හතරමායිමට මං යන්නෑ. ඔයා යන්නෙත් නෑ”
මෙතුවක් ඕ තොමෝ දියණියගේ ගෙදරට අඩියක් නො තැබුවේත් සැමියා ඊට අකමැති බව දන්නා හෙයිනි. අන්තරා දකින්නට උවමනා වුණු වෙලාවක ඈ මගට ගෙන්වාගෙන, කෝපි හලක හෝ අවන්හලක හමුවූවා ය. කෝපි එකක් තොල ගාමින් හෝ ඉඳහිට දිවා භෝජනයෙන් සප්පායම් වෙමින් ආ ගිය කතා කතාබස් කළහ. පියා ගේ තරහක් නැති බව අම්මා විසින් විවිධ අවස්ථා වල පවසන ලද ද අන්තරා එදා මහ ගෙදරින් පිටත් වූවාට පස්සේ අද තව වන තුරා එහි පියනැගුවේ නැත. එහෙම කරන්නට තරම් ආත්ම ශක්තියක් ඇය ට නැති බැවිනි. කිශෝරි ඇයව ගෙදරට කැඳවූයේ ද නැත. එහෙම කරන්නට තරම් අන්තරා ගේ හිත හැදී නැති බව දත් බැවිනි.
දියණිය සමග දුරකතනයෙන් කතා බහ කොට, ඇය හමුවීමට කිශෝරි වෙලාවක් යොදාගත්තා ය. ඉඳහිට අම්මා හමු වෙන එක අන්තරා ට වැදගත් ම සිදුවීමකි. ඉන්දියානු ආර ට සාරිය හැඳ, පා සළඹ පැළඳ, දෑත්හි මරතෝණ්ඩි රටා ඇඳ, වරලස මල් ගවසා මග බැස යන ඇය දෙස සිය දහස් ගණනක් දෑස් තවමත් යොමු වේ. මේ වයසටත් සිහිනිඟසුඟ සහිතව දෙවඟනක් වාගේ හැඩට ලස්සනට ඉන්නා අම්මා එක්ක කිචි බිචි ගා සිනහ වෙවී තේ එකක් බොන එක අන්තරාට දෙව්ලොව හෝරාවක් තරම් මිහිරකි.
කිශෝරි අවන්හලට පැමිණෙන විට අන්තරා එහි පැමිණ සිටියා ය. ඩෙනිම් කලිසමකට ලා රෝස පැහැති ශර්ට් බ්වුසයක් උඩින් දමා, තනි කරලට ලිහිල්ව කොණ්ඩය ගොතා දුඹුරු පැහැති බූල් බෑන්ඩ් එකක් එහි අගට යොදා සිටි අන්තරා ව අම්මා දුටුවේ ඇගේ තුරුලේ සිටි පුංචි කෙල්ල සේ ම ය. කිශෝරි ගේ පාදය අතින් අල්වා නමැදි ඕ අම්මා වැලඳ ටික වෙලාවක් ඒ උණුහුමට වී සිටියා ය.
“මගෙ අම්ම කෙල්ල”
වයස හැට ගණන් වල අග භාගයට එළඹෙමින් සිටිය ද තවමත් ළාබාල යුවතියක සේ පෙනෙන කිශෝරි ට ඒ විහිළුව කරනා එක අන්තරා ට සතුටකි.
“ඔයත් ඉන්නෙ ඔය චූටි කෙල්ල වගේ ලස්සනට. ඇත්තටම දැන්නං අර ඒලෙවල්ස් කරන වගේ. කොණ්ඩ දෙකක් ගෙතුවනං ඒ වයසෙම තමයි”
“අයියො අම්ම ඔය විහිළු කරන්නෙ ජීවිතේ ප්‍රශ්න කෝටි ගාණකට ෆේස් කරල අන්තිමට ඩිවෝස් වෙන්න නඩුත් කියන ගෑනියෙක්ටනෙ”
කිශෝරි අන්තරා ගේ සියුමැලි සුදු දෑත් පිරිමැද්දා ය. ඇගේ වියපත් දෑස් ඉවුරට කඳුළක් උනා ආ තරමි.
“මට ඔයා ගැන හරි දුකයි පුතේ”
“අපි දුක් නොවී ඉමු අම්ම. මං ලොකූ පවක් කරන්න ඇති. සංසාරෙ කොහොම වුණත් මේ ආත්මෙදිම අම්මටයි අප්පච්චිටයි දීපු ගින්දරට මට විපාක විඳින්න වුණේ මෙහෙම වෙන්නැති. ඒත් එදා ඉඳන් මගෙ අතින කිසිම වරදක් වෙලා නෑ අම්ම. දැනුවත්වනං මං කිසිම පවක් කරල නෑ. දැං මං පව් කරන්න හරිම බයයි. තවත් ආත්මෙක මේ වගේ දුකක් විඳගන්න මට බෑ කියල මං දන්නව. ඒක නිසා මේ ආත්මෙ අම්මටයි අප්පච්චිටයි කරපු වරදට දඬුවම් විපාක මේ ආත්මෙදිම ගෙවල ඉවර කරන්න ඕනෙ. ඒක නිසා මේ විඳින්න වෙන හැම දුකක්ම මං කැමැත්තෙන් විඳිනව අම්ම. මේ ගෙවෙන්නෙ කරපු පව්නෙ කියල හිතල විඳිනව”
“මගෙ අසරණී”
කිශෝරි කඳුළක් පිස්සා ය.
“අපි තුන්දෙනාම දුක් වින්ද දැන් ඇති. ඔයා ගිය දා ඉඳං මොන සැප තිබුණත් අප්පච්චියි මායි සතුටෙන් හිටියෙත් නෑනෙ. අප්පච්චි කිව්ව එයා දක්ෂිණගෙ ගෙදරට අඩිය තියන්නෑ කියල ඔයාව ආපහු ගෙදර එක්කං යන්න. ඒත් ඔයාට එන්න කිව්ව. අප්පච්චිගෙ තරහක් නෑ පුතේ. ඔයා ඇවිත් ගෙදර නතරවෙන්න. ඔයාට තනියම ඔය නඩුහබ වල පැටලෙන්න බෑ. අප්පච්චි ඒව බලාගනී”
අන්තරා එකවර පිළිතුරක් දෙන්නට ගියේ නැත.
“අප්පච්චිගෙ හිතේ හොඳටම තිබුණෙ තරුපති අංකල්ගෙ පුතා එක්ක ඔයාව එකතුකරන්න. කොහෙද ඉතිං… ඒව හරියට කතාබහ කරල සිද්ධ වෙන්න කලින් අර දක්ෂිණ අපේ වස්තුව හොරකං කළානෙ”
“දැං ඉතිං ඕව කතාකරල වැඩක් නෑනෙ අම්ම”
“එහෙම වුණානං අද ඕගොල්ලො එක්ක අපිත් සතුටෙන් ඉන්නව. තරුපතිගෙ පුතාත් ඩිවෝස් වුණයි කියල අප්පච්චිට කියල තිබුණ”
“හරිනෙ ඉතිං… එහෙනං දැං අපිට ආයෙ බඳින්න බැරියෑ”
අන්තරා හාස්‍යයට ගෙන එසේ කියා සිනහ වූයේ ඒ වෙලාවේ අම්මා සිටි ශෝකී මානසිකත්වය වෙනස් කරන්නටයි.
“විහිළු කරන්නෙපා ළමයො. ජීවිතේ කියන්නෙ විහිළුවක් නෙවෙයි. එක අතකට වෙන්න තිබුණ විදිහට තමයි දේවල් සිද්ධ වෙන්න ඇත්තෙ. ඕගොල්ලොන්ටවත් අපිටවත් එහෙම ජීවිතයක් උරුම වෙලා නොතියෙන්න ඇති”
තවත් බෝ වෙලාවක් කතා කරමින් සිටි අම්මලා දූලා දෙපසට විසිර ගියේ ඉක්මනට ගෙදර එන පොරොන්දුව අන්තරා වෙතින් අරගෙනයි. නූපුර සමගින් ද කතා කොට තීරණයක් ගන්නට අන්තරා සිතාගත්තා ය. මහ ගෙදර ගියොත් මේ ගෙදර නියත වශයෙන් ම ඇගේ අතින් ගිලිහෙන බව අන්තරා දනී. නූපුර වෙනුවෙන් ය කියා මේ බිම මත වන එක ම අයිතිය මේ ගෙදරයි එය තවමත් වන්නේ දක්ෂිණ ගේ නමට ය. අන්තරා මහ ගෙදරට ගිය වහා ම මේ ගෙදර සම්පතී ගේ බූදලයක් වන බව ඇය දනී. මේ තරම් දුක් විඳගෙන අන්තරා බහිරවයෙකු සේ ගෙදරට අරක්ගෙන සිටියේ එබැවිනි.
ප්‍රථම වැටුපෙන් අන්තරාට ද යුගාත්ම ට ද සංග්‍රහයක් කරන්නට හිතා සිටිනා බව පාරින්දි කීවා ය. අන්තරා ඒ ආරාධනාව පිළිගත්තේ සතුටෙනි.
“එයා මගෙ බෝයි ෆ්‍රෙන්ඩ්”
යනුවෙන් පාරින්දි එදා දක්ෂිණ ඉදිරියෙහි කළ ප්‍රකාශය අන්තරා ට මතක තිබේ. ඔවුන් පෙම්වතුන් ද කියා ඈ දන්නේ නැත. එවැන්නක් මීට පෙර පාරින්දි ඇයට කියා ද නැත. ඇතැම් විට දක්ෂිණ තුළ යුගාත්ම ගැන සැකයක් ඇති නොවෙන සෙයින් ඇය එසේ කීවා වන්නට ද පිළිවන. යුගාත්ම හෝ පාරින්දි ඒ ගැන ඉන් පසු එක් වතාවක් හෝ අන්තරා සමගින් සඳහනක් හෝ කළේ නැත. ඔවුන් පවසන තුරු ඒ ගැන නො විමසන්නට අන්තරා සිතා සිටියා ය.
පාරින්දි ගේ හිත තුළ චකිතයක් නො තිබුණා ම නොවේ. ඇය යුගාත්ම ගැන එවන් කතාවක් කී එක ගැන ඔහු සිය අප්‍රසාදය පළ කළ බැව් සැබවි. ඊට පස්සේ යළිත් ඔහු වෙනසක් නැතිව හැසිරෙන වග ඇයට පැහැදිලි ය. නමුත් අන්තරා හා යුගාත්ම වෙනුවෙන් අවන්හලක දී සංග්‍රහයක් කළ දා පාරින්දි හැසිරුණේ යුගාත්ම සමගින් නෝක්කාඩුවක් ඇත්තා සේ ය. එය ආදරණීය නෝක්කාඩුවක් ලෙස හඟවන්නට ද ඇය උත්සාහ කළා ය.