චිකන් කොත්තු ගෙදරදී හදමු

වෙනදා වගේ රාත්‍රී රස්තියාදු ගහන්න ගෙදර අය රටේ අලුත් තත්වයත් එක්ක දැන් ඒ තරම් කැමති නැහැ. ඉතින් ඒ වගේ ගමන් වලදී නිතරම ඔබට හමු වුණු කොත්තු ගෙදරදීම හදා ගන්න විදියයි මේ..

අවශ්‍ය දේවල්:

  • කටු ඉවත් කර කැබලි වලට කපාගත් කුකුල් මස් 250g
  • කුකුල් මස් හොදි කප් 1
  • ගෝදම්බ රොටි හෝ පාන් පෙති කිහිපයක්
  • සිහින්ව කපා ගත් කැරට්, ලොකු ළූණු, තක්කාලි, ළූණු කොළ
  • බිත්තර දෙකක්
  • චිලි සෝස් සහ තක්කාලි සෝස් සහ සෝයා සෝස් අවශ්‍ය ප්‍රමාණයට.
  • තක්කාලි සෝස් කප් 1/4
  • බටර් ටිකක්
  • චිකන් බැදගැනීමට තෙල්
  • ලුණු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු සහ කෑලි මිරිස්

සාදාගන්නේ මෙහෙමයි:

  • මුලින්ම චිකන් හොඳින් බැදගන්න.
  • එයට ලුණු ටිකක්, ගම්මිරිස් කුඩු සහ මිරිස් කුඩු දමා ඉන්පසු සෝයා සෝස් මිශ්‍ර කර ඉන්පසු නැවත ගැඹුරු තෙලේ බැදගන්න.
  • ඉන්පසු චිකන් කුඩා කැබලි වලට කඩා ගන්න.
  • ලොකු සාස්පානක් ලිප තබා බටර් ටිකක් එයට එක් කරන්න. එයට බිත්තර ද එක් කරන්න. බිත්තර ස්ක්‍රැම්බල් වූ පසු බඳුනින් ඉවත් කරගන්න.
  • බටර් බාජනයට ළූණු, කැරට් එක් කරන්න, ඉන්පසු ලුණු , ගම්මිරිස් සහ කෑලි මිරිස් ද එකතු කරගන්න.
  • කුකුල් මස්,හොදි, සෝයා සෝස් චිලි සෝස් සහ තක්කාලි සෝස් එකතු කරන්න.
  • මිශ්‍රණය විනාඩි දෙකක් පමණ හොඳින් කලවම් කරන්න. ඉන්පසු තක්කාලි එක්කර ගන්න.
  • ඉන්පසු කුඩාවට කපා ගත් පාන් කැබලි හෝ ගෝදම්බ රොටී එයට එකතු කරන්න.
  • විනාඩි තුනක් පමණ කලවම් කර ගන්න. බිත්තර එකතු කර ළූණු කොළ උඩින් ඉස ගන්න.

කඩේ රසටම චිකන් කොත්තුවක් ඔබට මේ විදියට හදා ගන්න පුලුවන් . ඉතින් වැඩිය රෑ ගමන් බිමන් ගිහින් කොත්තු කන එක මඟ ඇරුණට තවත් දුක් වෙන්න කාරණාවක් නැහැ.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles