සුසුවඳ සූත්‍ර – 23

0
3819

පාරින්දි තමන්ගේ හිතවත්කම් ගැන වැරදි අදහසක සිටින බව යුගාත්ම ට අවස්ථා කිහිපයකදී ම දැනී තිබේ. ඔහු ඒවා නො දැනුණු ගාණට හිටියේ හිතවත්කම් වල පළුද්දක් ඇති කරගත නො හැකි හෙයිනි. අනිත් අතට එදා පුස්තකාලය ළඟ කෝපි හලේදී දුටුවාට පසු යළි කිසිදාක හමු නොවන්නට තිබූ අන්තරා සමගින් මෙවන් ඇසුරක් ඇති කරගන්නට හැකි වූයේ පාරින්දි නිසා ය යන ගෞරවය, යුගාත්මගේ හිතේ ඈ වෙනුවෙන් විය. නමුත් අන්තරා ගේ නිවසේ දී දක්ෂිණ ඉදිරියේ සිය පෙම්වතා ලෙස ඔහු හඳන්වාදීම ගැන යුගාත්ම ට කිසිදු ප්‍රසාදයක් දැනුණේ නැත. පාරින්දි ගේ හේතු දැක්වීම තුළ වන අදහස කෙසේ වී ද, වෙනත් යටි අදහසක් ඇය වෙත නැති ය කියා නො සිතන්නට ඔහු ට බැරි ය. එබැවින් පාරින්දි ඇසුරු කිරීමේ දී ප්‍රවේසමෙන් එය කරන්නට යුගාත්ම හිතේ ධාරණය කරගත්තේ ය.

ප්‍රථම වැටුපෙන් මිතුරන් දෙදෙනාට සංග්‍රහයක් කරන දවසේ පාරින්දි හැසිරුණේ යුගාත්ම සමගින් නෝක්කාඩුවෙන් වාගේ ය. ඇය කෙළින් ඔහු දෙස බලා කතා කළේ නැත. ඇනුම්පද කීවා ය. හුරතල් අමනාපයන් පෑවා ය.

“මොකද දෙන්න තරහ වෙලාද…”

කියා අන්තරා විමසුවේ ඒ වෙනස ඇයට දැනුණ බැවිනි. යුගාත්ම ඉවත බලාගත්තේ ය. අන්තරා ඔවුන් ගැන වැරදි අවබෝධයකට යනවාට ඔහු කැමති වූයේ නැත. එබැවින් ඔහු තැත් කළේ පාරින්දි ගැන විශේෂයක් නො දක්වා ඉන්නට ය. නමුත් අන්තරා හිතෙන් වහ වහා ගණනය කිරීම් කළා ය. එදා දක්ෂිණ ඉදිරියේ පාරින්දි ගේ ප්‍රකාශය ඇයට සිහි විය.

“ඔය කාලෙට ඔහොම තමයි”

කියා ඈ කීවේ පාරින්දි දෙස බලා ය. ඇගේ ප්‍රතිචාරය ධනාත්මක එකකි. ලැජ්ජාශීලී කෝල බැල්මකි.

“මොන කාලෙටද…”

යුගාත්ම ගේ නළලෙහි රැල්ලක් නැගිණි.

“අපිට ආයෙත් ට්‍රීට් එකක් ලැබෙයි නේ එහෙනං…”

“පිස්… සු…”

යුගාත්ම තරමක නො සන්සුන් බවකින් වට පිට බැලුවේ ය. පාරින්දි ඔහු දෙස බැලුවේ චකිතයෙනි. නමුත් ඇය ඒ මොහොතට කැමති වූවා ය. ඒ අදහස් අන්තරාගේ ය. ඇය කිසිත් ම කීවේ නැත. එබැවින් ඇයට දොස් පවරන්නට යුගාත්ම ට නො හැකි ය.

රාත්‍රියේ අඳුරේ විදුලි බුබුළු දැල්විණි. නිවිණි. පාරින්දි ගේ සේ ම යුගාත්ම ගේ ද සිත් තුළ විදුලි ස්පන්දන ඇති විය. පාරින්දි තුළ යුගාත්ම කෙරේ විශේෂත්වයක් හටගෙන ඇති වග ඒ රැයෙහි අන්තරා තහවුරු කරගත්තා ය.

“අර ළමයට පිස්සුද…”

යුගාත්ම එසේ අන්තරා විමසූයේ, පාරින්දි ව ගේ ළඟින් බස්වා අන්තරා ව ඇගේ ගෙදර වෙත කැටිව යන අතරේ ය.

“මං මෙතනිං ටැක්සි එකක් දාගන්නං”

කියා පාරින්දි ගේ නිවස ළඟ දී අන්තරා තරයේ කීව ද යුගාත්ම ඊට ඉඩ දුන්නේ නැත. පාරින්දි හිත රිදවාගනු ඇත්දැයි ඈ පැමිණියේ කල්පනා කරමිනි. එබැවින් යුගාත්ම ගේ ප්‍රශ්නය ඇයට එකවර පැහැදිලි වූයේ නැත.

“ම්…”

“මං කියන්නෙ අර පාරින්දිට පිස්සුද… මං දන්නෑ එයා මං ගැන මොනා හිතනවද කියල”

“ඔයා තාම දන්නැද්ද… එයා ඔයාට කැමතියි වගේ”

“ඒක තමයි මං කිව්වෙ ඒ ළමයට පිස්සුද කොහෙද කියල. මගෙ දුවෙක් වගේ එයා”

අන්තරා මොහොතකට ගොළු වූවා ය. මානව සම්බන්ධතා වල ඇතැම් සංකීර්ණතා, නො ගිනිය හැකි තරම් සංවේදී ය. කෙනෙකු ගේ හදවත තුළ තවත් කෙනෙකු ගැන දැල්වෙන්නා වූ ප්‍රේමය ද එසේ ය. එවන් තැනකට අත තැබිය යුත්තේ පරිස්සමට ය.

“පාරි ඩීප්‍රෙශන් වලට බේත් බොන ළමයෙක්නෙ. ඒක නිසා… චුට්ටක් පරිස්සමෙන් යුගාත්ම. එයාගෙ හිත රිදෙන දෙයක් කියන්නෙපා. සමහර වෙලාවට… කාලෙ සමහර දේවල් වෙනස් කරනව. අපි හිතන විදිහ අපිට දැනෙන විදිහ වගේ දේවල් වුණත්‍. ඒ ගැන පුදුම වෙන්න ඕන නෑ. කාලෙං කාලෙට අපි ආස පාට… අපි කන්න කැමති කෑම වුණත් වෙනස් වෙනවනෙ. හෙමිහිට කාලෙත් එක්ක ඉස්සරහට යනකොට වෙන දේවල් වෙයි. ඒව දැන්ම පාලනය කරන්න මහන්සි වෙනකොට හිතට වදයක් වෙන්න පුළුවන්‍”

යුගාත්ම අන්තරා වෙතට අඩ බැල්මක් හෙළුවේ ය.

“ඔයා හිතන්නෙ කාලෙත් එක්ක මං එයාට කැමති වෙයි කියලද…”

යන ප්‍රශ්නය ඔහු වදනින් විමසුවේ නැත. නමුත් ඔහු ගේ අඩ සිනහව තුළ එය කැළතී තිබිණ. අන්තරා ඒ සිනහව තේරුම් ගැනීමේ උත්සාහයක් දැරුවේ නැත.

“මං ඔයාට දෙයක් කියන්න හිටියෙ”

යුගාත්ම ගේ ඒ වචන කිහිපය පපුව මැද හැපී දෙදරීමක් ඇති කළේ ඇයි කියා අන්තරා දන්නේ නැත. ඔහු බොහෝ සන්සුන් ලෙස කළ ප්‍රකාශය තුළ ඇය බෙහෙවින් කැළඹී ගියා ය. හෘද ස්ඵන්දන වේගය පවා තීව්‍ර වනයුර ඇයට දැනිණ.

“කියන්න යුගාත්ම”

හිතට දිරි ගෙන ඈ එසේ කියාගත්තා ය.

“කලින් සැරේකුත් මං කිව්ව වගේ… බිඳිච්ච භාජනයක් වුණත් අපි පිරියම් කරන්න ගන්න දේ මත ඉස්සරටත් වැඩි වටිනාකමක් ලැබෙන්න පුළුවන්. ඔයත් අන්තරා… එහෙම වටින කෙනෙක්. ඔයා නොහිතන තරං… ඔයා නොදන්න තරං වටින කෙනෙක්”

යටිපතුල් වල තද සීතලක් ඇති වනු අන්තරා ට දැනිණ. දත් දෙපෙළ ‘ටකස්’ ගා එකට හැපුණේ ය. පාසල් සමයේ දී ඕ මුව මුව ඇගයෙන දැරියක වූවා ය. නැටුම් ගැයුම් වැයුම් යන කලාංග තුනෙහි ම අසීමිත දක්ෂතා දැක්වූ ඕ, මව් යටතේ ඉන්දියානු නර්තනය හදාරා, භාරත නාට්‍යයම් කලඑළි ප්‍රසංගය පවත්වන විට දොළොස් වන වියෙහි පසුවූවා ය. නමුත් දක්ෂිණ සමග පැමිණීමෙන් පසු ඇගේ සකලවිධ කලා හැකියාවන් ඈ තුළ ම සැඟවිණ. බොහෝ අය ඇය කාගේ කවුරුන්දැයි දැන සිටියේ නැත. එය එක්තරා ආකාරයක රහසිගත ජීවිතයක් සේ ය. ඉබිකටුව තුළට වැදුණ ඉබ්බියක සේ ඇය තමන් තුළ ම සැඟවී සිටියා ය. මේ කිසිවෙකු ඇයට වටිනාකමක් දී කතා කරනුයේ මතක කාලයකට පසුයි. මෙහෙම මොහොතක අභ්‍යන්තර සුළි කුණාටුවකින් සුරැකිය හැකි ආකාරයක් ගැන ඇය සිතා තිබුණේවත් නැත.

“අනේ… මගෙ මොන වටිනකමක්ද යුගාන්ත”

අන්තරා එසේ විමසාගත්තේ උගුර යටිනි.

“මං පර්ෆියුම් විකුණන කෙනෙක් මිසක් හදන කෙනෙක් නෙවෙයි. මං ඒ ගැන කිසිම දෙයක් දන්නෙත් නෑ. හැබැයි සුවඳ ගැන හොඳ ඉවක් මට තියනව. ඔයා යූස් කරන පර්ෆියුම් වල සුවඳ හරිම යුනික් අන්තරා. ලෝකෙ හොඳම පර්ෆියුම් එක්ක වුණත් හැප්පෙන්න ඒවට පුළුවන්. ඒව ඔයාගෙම ප්‍රඩක්ට්ස්නං… මං දන්නෑ ඇයි ඔයා මෙහෙම ඉන්නෙ කියල. මේ රටට විතරක් නෙවෙයි මේ ලෝකෙටම සුවඳ අරං යන්න පුළුවං යුනික් පර්ෆියුම් ප්‍රඩියුස් කරන්න ඔයාට පුළුවං කියල මට හිතෙනව. වැඩිය නෙවෙයි එකම එකක්… සදහටම මිනිස්සු ආදරේ කරන එකම එක වෙනස් බ්‍රෑන්ඩ් එකක් ලෝකෙට දෙන්න. මං හිතනව ඔයාට ඒක පුළුවං කියල. අන්තරා… ඩිවෝස් එකෙන්  පස්සෙ ඔයාට අලුත් ලේඩි කෙනෙක් විදිහට ඉපදෙන්න මේක ටර්නිං පොයින්ට් එකක් කියල මං හිතනව. සුවඳ සූත්‍රයක් පර්ෆියුම් හදන කම්පනි එකකට විකුණනව කියන්නෙ… ඔයා තාම දන්නෑ ඔයාගෙ වැලියු එක”

අන්තරා මන්දස්මිතයකින් බිම බැලුවා ය.

“අනේ යුගාත්ම ඒව එක්ස්පෙරිමන්ට්ස් විතරයි. අනික මං ඒව ට්‍රයි කරන්නෙ මට විතරක් යූස් කරන්න. පර්ෆියුම් ඩීලර් කෙනෙක් විදිහට ඔයා  දන්නවනෙ අනේ මේ ලෝකෙ තියන පර්ෆියුම් බ්‍රෑන්ඩ්ස් ගැන. මං කවුද…”

“දවසක ඔයාට එතනට යන්න පුළුවං කියලයි මං කියන්නෙ. මෙහෙම ඉඳං මට කරන්න පුළුවන් දෙයක් මං කරන්නං. ඔයාට ලොකු ගමනක් තියනව අන්තරා”

“අප්පච්චි මට ගෙදර එන්න කියල පණිවිඩ එවල තියනව. පුතාට මේ දවස්වල එග්සෑම්. ඒනිසා මට තාම එයා එක්ක මේ ගැන කතාකරන්න වුණෙ නෑ. කාලයක් තිස්සෙ අදටත් අප්පච්චි මගෙ අකවුන්ට් එකට සල්ලි දානව යුගාත්ම. එයා මාව බලාගනී. කොහොමත් මට බිස්නස් මයින්ඩ් එකක් නෑ. ඒක නිසා ඉස්සරහටත් මගෙ සතුට වෙනුවෙං විතරක් මං ඕව කරයි”

“ඒ වුණාට මං ඔයාට ආයිත් කියනව. ආසම දෙයක් මිනිස්සු වෙනුවෙන් කරන එක කොච්චර වටිනවද… ඔයා තව සිය දහස් වතාවක් මේ ගැන හිතන්න”

අන්තරා ගේ දෙඅදර අතරෙහි ලා හසරැල්ලකි. ඇය වෙජිටබල්  ග්ලිසරින් වලට විවිධ අනුපාත වලින් විවිධ සගන්ධ තෙල් වර්ග මුසු කරමින් සිටියා ය. කඳුකර සුවඳැති විලවුනක් නිර්මාණය කිරීමේ අදහස ඇගේ හිතෙහි පිළිසිඳියේ කඳුකරයට යන ගමනකදී ය. මිනිසුන් ගේ සිතිවිලි පුදුම ය. සුවඳ විලවුන් අතරේ පීට්සා සුවඳ, අලුත් වාහන ඇතුළත සුවඳ, මත්ද්‍රව්‍ය වර්ග වල සුවඳ, පරණ පොත් සුවඳ වැනි අරුම පුදුම සුවඳ වර්ග පවා වන බව ඈ කියවා තිබේ. සුවඳ විලවුන් ගැන කරුණු කාරණා සොයනු වස්, ඒ ගැන ලියැවුණු බොහෝ ලිපි පරිශීලනය කරන්නට එක කලකදී අන්තරා යොමු වූවා ය. ඇගේ ආශාව වඩාත් තියුණු දීප්තියකින් දැල්වෙනා උනන්දුවක් බවට පත් වූයේ ද ඒ තොරතුරු ඔස්සේ ලද දැනුම නිසා ය. ලොව පැරණි ම ඇතැම් විලවුන් වර්ග වලට අදටත් නො වෙනස්ව පවත්නා ඉල්ලුම ගැන ද ඇය දනී. මතුයම් දවසක ඇගේ විශේෂිත සුවඳ විලවුනක් ඒ ආකාරයෙන් ලෝකය පුරා ප්‍රචලිත වුණොත්! ඇයට ඒ විහිළුවක් වාගේ දැනුණාට යුගාත්ම පවසනවා වාගේ එසේ විය නො හැකි ද? එහෙම සුවඳක් ඇය ළඟ රහසක් සේ තබා නොගෙන ලෝකයේ සුවඳ ලෝලීන් කිහිප දෙනෙකු අතරට හෝ ගෙන යා හැකි නම්‍ ඒ කෙතරම් අගනේ ද? ලෝකයට කිසිවක් නොකර, කිසිත් ඉතිරි නොකොට හිස් අතින් මිය යන මිනිසෙකු නොවී, සුවඳ පොදක් හෝ ඉතිරි කොට යා හැකි නම්!

කනාමැදිරි තිතක් වාගේ අන්තරා ගේ ගැහැනු හදවත තුළ ආලෝක පුංජ නැංවූ ආශාවක්, මහ ගින්නක් වාගේ හදිසියේ ම හදවත තුළින් පැන නැංගේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here