මාෂ්මෙලෝ කියන්නෙ අපි වැඩිදෙනෙක් පොඩි කාලෙ ඉදන්ම හරි කැමැත්තෙන් රස බලන කෙටි කෑමක්නෙ.
සාමාන්‍යයෙන් මාෂ්මෙලෝස් කියන්නෙ ඕනෑම වෙලාවක කන්න පුළුවන් කෑමක්. ඉතිං ගෙදරදීම මාෂ්මෙලෝස් හදාහගෙන තියාගත්ත නම් හිතුන ඕන වෙලාවක රස බලන්නත් අපිට කිසීම බාධාවක් නෑ.
අන්න ඒ නිසා හරිම ලේසියෙන් ගෙදරදීම මාෂ්මෙලෝස් හදාගන්න විදිහ ඔබත් එක්ක බෙදාගන්නයි smart lady අපි අද ලෑස්ති වෙන්නෙ.
එහෙනම් මුලින්ම අවශ්‍ය කළමණා සූදානම් කරගමු.
අවශ්‍ය ද්‍රව්‍ය
කුඩු කරගත් සීනි කෝප්ප ½ ක්
බඬ ඉරිඟු පිටි / කෝන් පිටි කෝප්ප ¼ ක්
ජෙලටීන් මේස හැඳි 02 ක්
උණු වතුර කෝප්ප ½ ක්
සීනි කෝප්ප 01 ක්
වතුර කෝප්ප ½ ක්
වැනිලා රසකාරක මේස හැඳි 01 ක්
තෙල් කඩදාසි අතුරා සකසාගත් අඟල් හයක බේකින් තැටියක්
සාදාගන්නා ආකාරය
මුලින්ම කුඩු කරගත් සීනි සහ කෝන් පිටි එකම භාජනයට දමා කලවම් කර පෙනේරයක් ආධාරයෙන් දෙවරක් තුන්වරක් පමණ හලාගන්න.
දැන් මේ හලාගත් පිටි මිශ්‍රණයෙන් කොටසක් කලින් සූදානම් කරගත් බේකින් තැටියේ අඩියේ සමානව විසිරී යන සේ පෙනේරය ආධාරයෙන්ම ප්‍රවේශමෙන් ඉසගෙන බේකින් තැටිය පසෙකින් තබාගන්න.
මීළඟට තරමක් කුඩා භාජනයක් ගෙන එයට ජෙලටීන් සහ උණුවතුර එකතු කර ජෙලටීන් හොඳින් දියවෙන සේ කලවම් කරගෙන පසෙකින් තබාගන්න.
දැන් තවත් භාජනයක් ලිපතබා එයට සීනි සහ වතුර කෝප්ප ½ ක් එකතු කර සීනි ටික හොඳින් දියවී බුබුළු නටන තුරු රත්කර ගන්න.
සීනි මිශ්‍රණයේ උකු බව නිවැරදි මට්‍ටමේ තිබේදැයි පරීක්ෂා කරන්න soft ball පරීක්ෂාව කරන්න ඔබට පුළුවන්.
කුඩා භාජනයට වතුර දමා අපේ බුබුළු නටන සීනි මිශ්‍රණයෙන් බින්දුවක් දෙකක් ඒ වතුර භාජනයට දැමූ විට ඒ සීනි මිශ්‍රණයේ බින්දුව වතුරේදී ඇඟිලි දෙකෙන් ඇල්ලිය හැකි කුඩා මෘදු විනිවිද පෙනෙන බෝලයක් ලෙස සැකසේ නම් ඒ අවස්ථාවේ සීනි මිශ්‍රණයේ උකු බව ප්‍රමාණවත් බව වටහා ගන්න පුළුවන්.
අන්න ඒ වෙලාවෙදි අපි කලින් හදාගත්ත ජෙලටීන් මිශ්‍රණය නැවත ටිකක් කලවම් කර මේ සීනි මිශ්‍රණයටම එකතු කරගෙන ජෙලටීන් ටික සම්පූර්ණයෙන්ම දියවෙන තෙක් හොඳින් කලවම් කරගන්න ඕන.
ඊට පස්සෙ මේ සීනි මිශ්‍රණය ලිපෙන් ඉවත්කර වෙනම භාජනයකට දමා බීටරයක් ආධාරයෙන් සුදු පැහැති දියරයක් වෙන සේ හොඳින් බීට් කරගන්න ඕන.
දැන් වැනිලා එකතු කර ඉතාම උකු සහ බීටරය එසවූ විට පළල් නොකැඩෙන සුළු රැලි වැටෙන මිශ්‍රණයක් ලැබෙන තෙක් නැවත හොඳින් බීට් කරගන්න ඕන.
මේ අවස්ථාවෙදි ඔබට අවශ්‍ය නම් ඔබ කැමති පාටකින් ආහාර වර්ණක බින්දුවක් සම්පූර්ණ මිශ්‍රණයටම හෝ මිශ්‍රණයෙන් කොටසකට එකතු කරගන්නත් පුළුවන්.
දැන් මේ සාදාගත් මිශ්‍රණය අපි පිටි ඉසගෙන සකසා ගත් බේකින් තැටියට දමා එක සමාන මට්ටමට අතුරා දෙවරක් තුන් වරක් පමණ භාජනයෙන් ඔසවා පැතලි මතුපිටකට තට්ටු කරගන්න ඕන.
ඊළඟට, ඉතිරි කරගත් පිටි මිශ්‍රණයෙන් කොටසක් වත්කරගත් මිශ්‍රණය උඩින් ඉසගෙන බේකින් තැටිය පැය 6 ත් 8 ත් අතර ප්‍රමාණයක් ශීතකරණයේ තබාගන්න.
පැය 8 කට පසු සවිවූ මාෂ්මෙලෝ මිශ්‍රණය බේකින් තැටියෙන් ඉවතට ගෙන තෙල් කඩදාසි ඉවත් කර පිහියේ සහ කැපෙන දාර වල පිටි මිශ්‍රණය ගාගනිමින් ඔබට කැමති ප්‍රමාණයේ කෑලි වලට කපාගන්න.
පිටි මිශ්‍රණයෙන් නැවත කපාගත් කෑලි වලට කලවම් කරන්නත් ඔබට පුළුවන්.
ඔන්න දැන් මාෂ්මෙලෝ හදල ඉවරයි.
එහෙනම් මේ විදිහට මාෂ්මෙලෝ හදල අපි එක්කත් රස බෙදාගන්න අමතක කරන්න එපා.
සටහන – දුලානි නවෝද්‍යා
ReplyForwardAdd reaction |