මේ කියන ගම තිබ්බේ ලංකාවෙ කඳුකර පළාතක. මේ පළාතෙ තේ වතු වල කොළ පාටට මූදු රැල්ල වගේ තේ ගස් හෙළවුනා. තැම්බිච්ච කොස් වල සුවඳ තේ වත්ත මැද්දෙන් හමාගෙන ආවා. පිච්චෙන දර වල සුවඳ ගෑවිච්ච කඳු බෑවුමක තිබ්බ ගම්මානෙක පොඩි ගෑණු ළමේක් හිටියා.
එයාගේ නම අමල් බිසෝ. අමල් බිසෝට වයස අවුරුදු දහතුනයි. අමල් බිසෝගේ අම්මා මැරුණෙ එයා පුංචි කාලෙමයි. අමල් බිසෝ හිටියෙ එයාගෙ තාත්තා ලඟ. තාත්තා ළඟ කිව්වට තාත්තායි, කුඩම්මයි, කුඩම්මගෙ දුවයිත් එක්ක. අම්මා නැතිවෙච්ච ගෑණු ළමේකට, කුඩම්මා ළඟ ජීවත්වෙන්න උනාම, ඒ කුඩම්මටත් දුවෙක් ඉද්දි ගෑණු ළමයට විඳින්න වෙන කරදර කොච්චර තියෙනවද කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.
අමල් බිසෝටත් ඒ කරදර එහෙමම තිබ්බා. එයා උදේම නැගිට්ටා. ගෙදර උයන පිහන අස් පස් කරා. රෑට ඔක්කොම වැඩ ඉවර කරලා කුස්සියෙ දොර ළඟ පැදුරක් දාන් නිදාගත්තා. පිඟන් හෝදලා, එළුවො ඉන්න තැන අස් කරලා, නංගිට ඊට පස්සෙන්දා ඉස්කෝලෙ යන්න ඕන දේවල් ලෑස්ති කරලා සමහර දවසට අමල් බිසෝ නින්දට ගියේ බඩගින්නේ.
මොකෝ කුඩම්මා උදේට උයන්න ළං කරලා දෙන එලවලු මාලු ටික ගෙදර හැමෝගෙම බඩ කට පුරවන්න මදි.
අමල් බිසෝට එයාව හම්බුනේ පල්ලෙහා ළිඳ ගාවදි.
“අයියා කියලා කතාකරන්න” කියලා කිව්ව හන්දම අමල් බිසෝ රංජිත්ට කතා කරේ අයියා කියලා. අහිංසක තාලෙට. රංජිත් හරි හොඳයි. එයා කරුණාවන්ත තාලෙට හිනා උනා. ඕන නැති විහිලු කලේ නෑ. මුකුත් අමල් බිසෝගෙන් ඉල්ලුවෙත් නෑ. රංජිත් අමල් බිසෝට කිව්වෙ එක දෙයයි.
“ඔයාව දැක්කම මට අපේ ලෙඩ වෙලා මැරිච්ච පොඩි නංගිව මතක් වුනා. නංගිට තිබ්බා වගේම හරිම දුක හිතෙන ඇස් දෙකක් තමයි ඔයාට තියෙන්නෙ”
ඒ තමයි අමල් බිසෝගේ ඇස් දෙක කවුරුහරි දැක්ක පලවෙනි වතාව. එච්චර උවමනාවෙන් කවුරුවත් තමන්ගෙ ඇස් දෙක දිහා බලලා, තමන්ගෙ හිත අස්සෙ තිබිච්ච ඇස් දෙකෙන් පෙනිච්ච දුක දැක්කෙ නෑ නේද කියන එක අමල් බිසෝ ආයෙ ආයෙ මතක් කරා. දවසින් දවස, වචනෙන් වචනෙ රංජිත් හීන් සීරුවේ අමල් බිසෝගේ හිත අස්සට, අමල් බිසෝගේ ලෝකෙ අස්සට රිංග ගත්තා. අමල් බිසෝව බලන්න එන හැම වෙලාවකම රංජිත් මොන මොනවා හරි අරන් ආව. හන්දියෙ බේකරියෙන් අරගත්ත උණු බනිස් ගෙඩියක්, සමණල්ලු ඉන්න පොත්, එහෙමත් නැත්තම් කැලැවෙන එන ගමන් කඩාගත්ත පලතුරක්, මල් ටිකක් හරි අරගෙන ආවා.
“අපේ ගෙවල් කඳුකරෙන් හරි ඈත මූදුකරේ නේ. දවසක එක්කරගෙන යන්නම්. මං මෙහෙ ආවේ පැක්ටේරියේ වැඩට” කියලා ඒ එන හැම වෙලාවම රංජිත් අමල් බිසෝ කවදාවත් දැක්කෙ නැති මූදු කරේ ගැන ලස්සන කතන්දර කිව්වා.
ඔය විදියට දවස් ගාණක් අමල් බිසෝව බලන්න ආව රංජිත් දවසක් මෙහෙම කිව්වා.
“ඔයා ඒ ගෙදරට වෙලා වැඩ කර කර දුක් විඳින්න ඕන කෙල්ලෙක් නෙවෙයි නංගා. මට ඇත්තටම පුලුවන් ඔයාට ඔයිට වඩා හොඳ ජීවිතයක් දෙන්න. අපි යන් අපේ ගමට. අපේ අම්මල කොහොමත් ඔයාට කැමතිවෙනව ඔයා අපේ මැරිච්ච නංගි වගේම හන්දා”
ඒ ගැන ගොඩක් හිතලා තමයි අමල් බිසෝ තීරණයක් ගත්තේ. එදා රෑ අමල් බිසෝට කුඩම්මා හරියට බැන්නා.
“කාලකණ්ණි කෙල්ල. අම්මාව මරාගත්තා විදියට පුලුවන් නම් අපිවත් මරං කාපං. යකෝ අතට පයට ඔක්කොම ඕන කරන ජාති ගෙනත් දෙනවත් එකේ සල්ලි හොරකං කරන්න ලැජ්ජ නැද්ද? හෙට උදේ මේ ඉස්කෝලෙ යන දරුවට බොන්න කිරි අරගන්න තිබ්බ සල්ලිනෙ. ලැජ්ජ නැතිකමනෙ” කියල වචන වගේම කුඩම්මගෙ අත පය ඇවිත් තමන්ගෙ ඇඟේ වදිද්දි, පුරුදු විදියටම තාත්තා අහක බලාගෙන ඉද්දි අමල් බිසෝ වෙනදා වගෙ කෑගහ ගහ ඇඬුවෙ නෑ. සද්ද නැතුව හිටියා.
අමල් බිසෝ හිතුවා “රංජිත් අයියා ඉන්නවනෙ මට” කියලා. එදා රෑ තමයි අමල් බිසෝ තීරණයක් ගත්තෙ. හැමෝම නිදියන්න ගියාට පස්සෙ තිබ්බ රෙදි කෑලි දෙක තුනක් බෑග් එකක දාගත්ත අමල් බිසෝ ගෙදර වැට ආසාවෙන් පැන්නා. ගම කෙළවර නුග ගහ යට රංජිත් අයියා බලාගෙන හිටියා. අමල් බිසෝ දුවගෙන ගිහිල්ලා රංජිත් අයියගේ අතේ එල්ලුණා.
අමල් බිසෝ දැනන් හිටියා මෙතනින් හැම කරදරයක්ම ඉවරයි කියලා.
එයාට දැනුනෙ නිදහස් වෙච්ච හැඟීමක්.
බේරිලා යන විත්තිය, තමන්ට තටු ඇවිල්ලා බව අමල් බිසෝට දැනුනා.
ඇත්තටම කඳුකරේ ඉඳලා මූදුකරේ පැත්තට ගිය අමල් බිසෝට තටු හම්බුනා. හැබැයි එයා ආසාවෙන් අරගත්ත තටු නෙවෙයි. අනික ඒ තටුවලින් එයාට ගොඩක් දුර පියාඹන්න හම්බුණෙත් නෑ. එයාට තිබ්බෙ එක එක කාමරවලට පියාඹන්න. එක එක දවසට එක එක මිනිස්සුන්ව හම්බුවෙන්න. කඳුකරේදි හම්බුවෙච්ච රංජිත් මූදුකරේදි උන්නෙ වෙනස්ම මනුස්සයෙක් වෙලා. තමන්ව එක කූඩුවකින් නිදහස් කරගත්ත රංජිත් අයියා තමන්ව තව කුඩුවක හිර කරා කියලා දැනගත්ත පළවෙනු දවසෙ අමල් බිසෝ හරියට ඇඬුවා.
“මට මේ අත්තටු එපා” කියලා අඬලා, කෑගහලා බේරිලා යන්න හැදුවා. එකපාරක් එහෙම බේරිලා ගියා. ඒත් ආපහු වතාවක් එයාලා ඇවිල්ලා අමල් බිසෝව එක්කරගෙන ගියා. මෙදා පාර තටු දුන්නට ඒ තටු වලට දම්වැලක් දාලා ගැටගහලත් තිබ්බා.
අමල් බිසෝව තව කුඩූවක හිරකරා.
“ආදරේ කියන දේත් නිකන් හම්බුවෙන්නෙ නෑ. දෙන එකාටත් යමක් හම්බුවෙන්න ඕන” කියලා මෙච්චර වෙලා තමන්ට එහා පැත්තෙන් ඇඳේ හාන්සිවෙලා උන්න රංජිත් අයියා ඇඳෙන් නැගිටලා ගියා.
අමල් බිසෝට අවුරුදු දහ අට ලැබුවෙ මහ අන්ධකාර රෑක. එයාට තෑගි, කේක් මුකුත් හම්බුනේ නෑ අඩුම ගානෙ කවුරුත් ඒ එයාගෙ උපන්දිනේ කියලවත් දැනගෙන උන්නෙ නෑ. ඒත් අමල් බිසෝට කාලෙකට පස්සෙ සදහටම බේරිලා යන්න පුලුවන් විදියෙ ආයුධයක් හම්බුනා.
ඒ වීදුරු කෑල්ල තමන්ට මෙතනින් සදහටම ගැලවෙන්න උදව් කරන බව දැනගෙනම අමල් බිසෝ ඇස් දෙක පියාගත්තා.
අන්තිමේ තමන්ව දොර ඇරලා ගෙට අරගත්ත රාක්ෂයගෙන් තමන් බේරිච්ච විත්තිය විතරක් අමල් බිසෝට මතක තිබ්බා.
ආදරේ රිද්දන්නෙ නැති බව, ආදරේට මිලක් නැති බව, ගෑණු ළමයි උනත් බේරිලා යන්න කාගෙවත් අතේ එල්ලෙන්න ඕන නැති බව අමල් බිසෝ දැනන් උන්නෙ නෑ. ඒ ගමන අවසානෙ අමල් බිසෝට ඇත්තටම නිදහස් උනා වගේ දැනෙන්න ඇති. සමහර විට ඒ ගමන අවසානෙ එයා කඳුකර ගමේ උන්න, පන්සල යන්න මල් කඩන්න ගිය වෙලාට මුලිච්චි වෙච්ච සමණලයෙක් වගේ නිදහස් වෙන්න ඇති.
කූඩුවෙන් පිටවෙලා යද්දි ගැලවිලා බිම වැටිච්ච තටු ලඟ අමල් බිසෝ කොලේක ලිව්ව කවියක් හුළඟට පාවෙලා ගියා.
“දොර නාරින් අමල් බිසෝ
හැම තැනකම රාස්සයෝ
මලක මෙලෙක නුදුටු ඈයෝ
මල් බිම දා පාගා ගියෝ”
ReplyForwardAdd reaction |