තාදී – 25

0
1114

වසන්ත ගජනායක නිවසට පැමිණියේ රාත්‍රියේදී ය.ඒ රූපසිංහ සහ වසන්ත ගේ නීතිඥයා වන තේනුවර සමඟිනි. රූපසිංහ මේ මොහොතෙහි වසන්ත පසු පසින්ම සිටියේ ලකුණු දාගැනීමෙහි බලාපොරොත්තුවෙනි. මිෂෙල් ද රාත්‍රිය වනතුරුම ගජනායක නිවසේ රැඳී සිටියේ ධීර නිසාය. සවස් වරුවෙහිම කාමරයේ දොර වසාගත් ධීර නින්දට වැටුණු අතර ඔහු සිටියේ අධික පීඩනයකිනි.

වසන්‍ත නිවසට එන බව තේනුවර දැනුම් දුන් පසු ධීර කාමරයෙහි දොර ඇරගෙන තරප්පුව බැස්සේ ය. ජයමිණි උන්නේ මග බලාගෙන ය.එහෙත් ඒ හිත හොඳින් නොවේ. වසන්ත පවත්වාගෙන ගොස් ඇති නීති විරෝධී ව්‍යාපාරය පිළිබඳව ඔහු සමග කතා කළ යුත්තේ පසුවට ය. 

වසන්ත නිවසට පැමිණි පසුව පුෂ්පා කෑම සූදානම් කළ අතර දවස පුරාම හරිහැටි ආහාරයක් නොගෙන සිටි නිසා වසන්ත ආ සැනින් කෑම මේසයට වාඩි වූයේය. තේනුවර ධීර සමඟ මිදුලට බැස්සේ ඒ අතරතුර ය.

” තාත්තාට මේ බිස්නස් එකට උදව් කරපු හිටපු මන්ත්‍රී කෙනෙක් තමයි එයාට එළියට එන්න උදව් කලේත්. එහෙම නැත්නම් මේ වගේ කේස් එකකට දවසක් ඇතුළත නම් එළියට එනවා බොරු පුතා ” 

” මට තාම හිතා ගන්න බෑ තාත්තා මේ වගේ වැඩක් කළාා කිව්වම ” 

ධීර කීවේ කලකිරීමෙනි. සියලු නීති දමා තමාවත් අහිංසක අම්මා වත් හිර කර ඇති තාත්තා මෙවන් ක්‍රියාවක් කර තිබීම පිළිබඳව ධීර සිටියේ ඇත්තටම කෝපයෙනි.

” මටත් හිතා ගන්න බෑ පුතා. මං තාත්තව අඳුරගෙන දැන් අවුරුදු පහළොවකට එහා. මේවා කවද කොහොම සිද්ධ උනාද කියන්න මම දන්නේ නෑ. ඒත් ඉතින් එයා හදා ගෙන ආපු නමට කැළලක් තමයි මේක. ” 

” මං දන්නෙ නෑ අංකල් අපි හොටෙල් එකේ මිනිස්සුන්ට කොහොම මුහුණ දෙන්නද කියලා ” 

” ඒ මිනිස්සු ඉතින් මොකුත් කියන්නේ නැහැ. මොකද ඉතින් ඒ මිනිස්සුන්ගේ පවුල් වුණත් කාලා ඇඳලා ඉන්නේ වසන්ත නිසා නේ ” 

තේනුවර කියන්නේ ඇත්තය. සල්ලි වලට ඕනෑම දෙයක් යටය. එහෙත් මෙතන ඇත්තේ ආත්ම ගරුත්වය පිළිබඳව ගැටලුවකි.

” කොස්තාට මොකද වෙන්නේ අංකල් ? ” 

” ඒකනං හරියටම කියන්න බෑ පුතා. හැබැයි ඉතින් මිනිහා හිතාගෙන ඉන්නවා තාත්තා කොහොම හරි මිනිහව බේර ගනියි කියලා. ඒ නිසා වසන්තට ඒකෙන් ගැලවෙන්න බෑ. ඔය මන්ත්‍රීට කියලා හරි මිනිහාව එලියට ගන්න වෙනවා ” 

” එහෙනම් අපි යන්නම් පුතා. හුඟක් රෑ වුනානේ. දුවත් උදේ ඉඳලම මෙහෙ නෙ ” 

රූපසිංහ මිෂෙල් සමඟ එළියට බැස්සේ ඒ මොහොතේය. ජයමිණි සහ වසන්ත ද ඔවුන් පිටුපසින් මිදුලට ආ අතර මිෂෙල් සියල්ලන්ටම පෙනෙන්නට ඇවිත් ධීර ගේ අතේ එල්ලුනාය 

” අපි යන්නම් ධීර ” 

ධීර යන්තමින් සිනාසුනා පමණි. 

” තැන්ක් යූ දුව. ඔයා අද දවසම මෙහෙ ” 

ජයමිණි කීවා ය.ඒ යුතුකමටය.

” ඕක මොකද්ද ආන්ටි. කරදරයක් උන වෙලාවේ උදව්වට ඉන්නේ නැතුව වැඩක් තියෙනවද ? ” 

වසන්‍ත රූපසිංහට ස්තුති කරමින් ඔහුව වැළඳ ගත් අතර රූපසිංහ සහ මිෂෙල් ඔවුන් දෙදෙනාගේ වාහන දෙකට නැගී පිටත් වූ පසුව තේනුවර ද පිටත්ව ගියේ ය.අනතුරුව ජයමිණි සුසුමක් හෙලමින් ගෙතුළට ගිය අතර වසන්ත ඒ පසු පසින් ගෙට ඇතුල් වූයේ ය.

බොහෝ වේලාවක් යනතුරු වසන්ත සහ ජයමිණි අතර කතාබහක් වූයේ නැත. ඒ ඇරත් කතා බහ කොහෙන් පටන් ගන්නට දැයි දෙදෙනාටම අදහසක් වුයේ නැත. ජයමිණි උන්නේ ශෝකය මුසු කලකිරීමකින් වූ අතර සුපුරුදු පරිදි නිහඬියාවෙන් එය ඉවසන්නට ඇය තීරණය කර තිබුණා ය.

” ජයමිණි ” 

ජයමිණි නිදන්නට සූදානම්ව හිස පීරන අතරේ නාන කාමරයේ සිට පැමිණි වසන්ත ජයමිණි ඇමතුවේ කවරදාකවත් නොවූ තරමේ සිහින් හඬකිනි. එහි තැවරී ඇත්තේ පසුතැවීමක් ද නැතහොත් දුකක් ද යන්න ජයමිණි සිතන්නට ගියේ නැත.

” මට සමාවෙන්න. මං දන්නව මං කලේ වැරද්දක් කියලා ” 

ජයමිණි කිසිවක් කීවේ නැත. නිහඬව හිස පීරුවා පමණි 

” ජයමිණි ” 

වසන්ත නැවතත් කතා කළේය. 

” ඔයා හැමදාම කලේ ඔයා හරි කියලා හිතන දේ නේ වසන්ත. ඒ නිසා මේක ගැනත් අපි කතා නොකර ඉමු ” 

ජයමිණි කීවේ පුරුදු සන්සුන් හඬිනි. වසන්ත ට ඉවසිය නොහැකි වූයේ ඒ සංසුන් බවය. ඔහු බලාපොරොත්තු වූයේ ජයමිණි තමා සමඟ වාදයක් ඇති කර ගැනීම හෝ රණ්ඩු වීමක්ය. එහෙත් විවාහ ජීවිතයේ හැම දවසකම මෙන් මෙදිනද ජයමිණි කරන්නේ ඉවසීමය 

” මං ඔයාට වත් පුතාට වත් වැරැද්දක් කරන්න හිතුවේ නැහැ. මට ඒ බිස්නස් එක සෙට් උනේ අහම්බෙන්. මන්ත්‍රී තුමාට බෑ කියන්න බැරි කමට තමයි මං ඒක බාර ගත්තේ. hotel එකේ බඩු කොහොමත් එහා මෙහා ගෙනියන නිසා ඒක කරන්න ලේසි උනා ” 

ජයමිණි නිහඬව අසා උන්නාය. දැන් කුමක් කීවත් ඇති පලක් නැත. සියල්ල සිදුවී හමාරය. මෙයින් වසන්තට සහ වසර ගණනාවක් තිස්සේ කරගෙන ආ ව්‍යාපාරයට සිදු වූ කැළල මැකිය නොහැක.

” ඔයා හරි වැරැද්ද නොතේරෙන මනුස්සයෙක් නෙමෙයිනෙ වසන්ත. ඇයි ඔයාට බෑ කියන්න බැරි වුණේ ? සල්ලි තණ්හාව නිසාද ? ” 

” ඔයා දන්නවා මං සල්ලි වලට කෑදර මිනිහෙක් නෙමෙයි කියලා. ඒත් ඉතින් බිස්නස් කාරයෙක් උනාම සල්ලි වලට කැමැත්තක් නැත්තෙම නෑ නේ ” 

” එතකොට ඔයා මෙච්චර කාලයක් මේ හැමදේම ගොඩනැගුවේ ඒ ජරා බිස්නස් එකෙන් හම්බ කරපු සල්ලි වලින්ද ? ” 

ජයමිණි අසන්නේ බලාපොරොත්තු නොවූ ප්‍රශ්නයකි. තමා වැඩිපුර ආදායමක් ලැබුවේ හෝටලයෙන් ය. මේ සියලු දේ ගොඩනැගුවේ ඒ ආදායමෙනි. මේ මොහොතේ එය කීවත් ජයමිණි එය පිළිගන්නා බවක් විශ්වාස නැත.

” මං ඒ බිස්නස් එක පටන් අරගෙන වැඩි කාලයක් නෑ. ඒත් ඔයා දන්නවා මේ හැමදේම ගොඩනැගුවේ මං දුක් මහන්සියෙන් කියලා. ” 

ජයමිණි එතනින් එහා කිසිවක් කීවේ නැත. ඇය කණ්ණාඩි මේසය මත තිබූ පොත රැගෙන බැල්කනිය වෙත ආවේ සුසුමක් මුදා හරිමිනි. වසන්තද එතනින් එහා කිසිවක් කීමට උත්සාහ කළේ නැත. 

ධීර උන්නේ තම පියා ගැන උපන් කලකිරීමෙනි. රාත්‍රී ආහාරයද නොගෙන ධීර කාමරයට වී කල්පනා කළේ අද දවස පුරා සිදුවූ අනපේක්ෂිත සිදුවීම් පිළිබඳවය. තාදී ගෙන් ඇමතුමක් ආවේ ඔය අතරය. ධීර ගේ හිතට මේ මොහොතේ  යන්තමින් හෝ අස්වැසිල්ලක් වූයේ ඇය පමණි.

” තාදී ” 

” ගෙදර අවුලක් නෑ නේද ? ” 

” නැ.තාත්තා නම් ගෙදර ආවා ” 

” තාත්තා නම් ආවා කිව්වේ?” 

” අනේ මන්ද තාදී. මට තේරෙන්නේ නෑ. නොපෙන්නුවට අම්මා ඉන්නෙත් ගොඩක් දුකෙන් කියලා මං දන්නවා. ” 

” ඔයාට පුළුවන් ධීර අම්ම ගේ හිත හදන්න. තාත්තා නිසා කොහොමත් අම්මට සැනසීමක් නොතිබුණු එකේ ඔයාවත් ඒ සැනසීම අම්මට දෙන්න ” 

තාදී කියා ගෙන ගියා ය. ඇය කියන්නේ ඇත්තය. අම්මාට මේ වහල යට ඇති එකම සැනසීම තමා බව ධීර දනී.

” මිෂෙල් ලා ගියා ද ? ” 

” ගියා ගියා. මං බලාගෙන හිටියේ එයා යන්නේ කොයි වෙලේද කියලා. දවසම මගේ පස්සෙන්මයි ” 

” ඒ තරං ආදරේ ඇති නේද ? ” 

තාදී සිනාසුනාය. මිෂෙල් පිළිබඳව අඹ මල් රේණුවක තරංවත් හිතේ කහටක් තාදි තුළ නොමැති බව ධීර දැන උන්නේ ය. එහෙත් කවදා හෝ මිෂෙල් තාදී ගැන දැන ගත් දිනක මේ තත්ත්වය සම්පූර්ණ වෙනස් වන බව ධීර දැනටමත් තේරුම් අරගෙන උන්නේය.

ධීර තාදී සමඟ දුරකථන ඇමතුමේ ඉන්නා අතර මිෂෙල් ගෙන් දුරකථන ඇමතුමක් පැමිණෙන බව දුරකථන තිරයේ සටහන් වූයේය.

” අම්මෝ මිෂෙල් නම් මැරෙන්නෙ නෑ. මේ කෝල් කරනවා ” 

ධීර කීවේ අපැහැදීමෙනි. 

” ඔයා ඒ කෝල් එක අරගන්න. මොනවා වුනත් අද දවසේ ඔයාට එයා උදව් කළානේ ධීර.  මං තියන්නද එහෙනම් ? ” 

” මං ඔයාට ගන්නම් තාදී ” 

ධීර ඇමතුම අවසන් කළේ අකමැත්තෙනි. මිෂෙල් එක දිගටම දුරකථන ඇමතුම් දුන් අතර ධීර ඒ ඇමතුම් එකක් දෙකක් මගහැරෙන්නට දී බලා සිට ඊළඟ ඇමතුමට පිළිතුරු දුන්නේය.

” කාත් එක්කද මේ මහ රෑ කෝල් එකක හිටියේ ධීර ? ” 

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here