” අම්ම දැන් මට කියන්නේ මොකක් කරන්න කියලද ? “
ජයමිණි වසන්ත ගේ පණිවිඩය ධීර වෙත ගෙන ආවේ රෑ කෑමෙන් පසුවය. කෝපයෙන් හුන් වසන්ත රෑ කෑමට වාඩි නොවූ අතර ජයමිණි සකස් කර දුන් තේ එක පමණක් බී නිදන්නට ගියේය. ධීර සමඟ නිවි සැනසිල්ලේ කතා කිරීමට ජයමිණි වෙලාවක් සොයා ගත්තේ ඉන් පසුවය.
” තාත්තා කොහොම හරි මේ ටික කියන බව අපි දැනගෙන හිටියනේ. දැන් ඔයාට තියෙන්නේ මේක නොගැළපෙන කටයුත්තක් කියල කෙලින්ම මිෂෙල්ට තේරුම් කරලා දෙන එක. ඒ ළමයව උනත් එහාට මෙහාට යවන එකේ තේරුමක් නෑනේ පුතා. ඒකෙන් වෙන්නේ මිෂෙල් තවත් බලාපොරොත්තු තියා ගන්න එක. මිෂෙල්ට මේක කැමති විදිහකට තේරුම් ගන්න ඇරලා ඔයා එයාව හම්බ වෙලා මේක තේරුම් කරලා දෙන්න. “
ජයමිණි කියා ගෙන ගියාය. සියල්ල එකලාසයක් කිරීමට මෙයට වඩා හොඳ ක්‍රමයක් ඇයට ඒ මොහොතේ සිතුනේ නැත.
” එතකොට තාදී ? ”
” තාදී කොහොමත් ඉන්නවනේ පුතා. ඉස්සෙල්ලම අපි මේ ප්‍රශ්නේ මිෂෙල්ට තේරුම් කරලා දෙන්න බලමු ”
” අම්මා මට කියන්නේ මිෂෙල්ට තාදී ගැන කියන්න කියලද ? ”
ජයමිණි මොහොතකට නිරුත්තර වූයේ ඒ ප්රශ්නය හමුවේ ය. හවස සිදු වූ කුඩා සිදුවීම පවා ඉතා විශාල එකක් කර ගෙන ප්‍රශ්නයක් සෑදූ මිෂෙල් ට එයට වඩා දෙයක් කිරීමට වුවත් හැකියාව ඇති නිසා මේ ගෙවෙන්නේ වඩාත් පරිස්සම් විය යුතු මොහොතක් යැයි ජයමිණි සිතුවා ය.
” එපා. ඒකෙන් වෙන්නේ මේ ප්‍රශ්නෙ වැඩි වෙන එක පුතා. ඔයා හෙට මිෂෙල් ව හම්බ වෙන්න. හම්බ වෙලා ඔය දෙන්නා අතර තියෙන නොගැලපීම් ගැන එයාට කියන්න. තේරුම් ගන්න නොගන්න එක එයාගේ වැඩක් නේ. ”
ජයමිණි මෙන්ම ධීර ද නින්දට ගියේ හිතේ බරිනි. මුණ ගැසීමට අවශ්‍ය බව පවසා ධීර මිෂෙල් ට කෙටි පණිවිඩයක් යැවූ අතර මිෂෙල්ව මුණ ගැසීමට යන බව ධීර තාදී ට ද දන්වා යැව්වේය.
මිෂෙල් බලා උන්නේ උදෑසන එළඹෙන තුරුය. තමා කළ ක්‍රියාවෙන් හොඳක් සිදු වූ බවත් , ධීර ව තමා වෙත නම්මා ගැනීමට හැකියාව ලැබූ බවත් සිතා මිෂෙල් උන්නේ ජයග්‍රාහී හැඟීමකිනි.
ධීර උදේ නැගිට සූදානම් වූයේ ඕනෑවට එපාවට ය. මිෂෙල් නිවසට එන බව දන්වා තිබූ නිසා ධීර පහලට ආවේ ජයමිණි සොයා ගෙනය. මිදුලේ වාහනයක් නතර කරන හඬ ඇසී ධීර වැරන්ඩාවට ආවේ එය මිෂෙල් ගේ වාහනයේ හඬ නොවන නිසා ය.
” ආධිත්‍ය ? උඹ කවද්ද ලංකාවට ආවේ ? “
මිදුලේ නතර කළ වාහනයෙන් බැස්සේ ධීර ගේ පැරණි මිතුරෙකි. කැනඩාවේ රැකියාවක් කළ ඔහුව ධීර මේ දකින්නේ වසර ගණනාවකට පසුවය.
” දැන් දවස් කීපයක් වෙනවා බං. මගේ අතින් උඹේ නම්බර් එක නැති වෙලා. උඹට මං එෆ් බී එකෙනුත් මැසේජ් එකක් දැම්මා. උඹ ඒක බලල තිබ්බෙ නැති නිසා තමයි උඹ ගෙදර ඇති කියලා හිතලා මම මේ ආවේ ”
ආදිත්‍ය ධීර ගේ අතට පාර්සලයක් දෙමින් කීවේ ය.
” ඉතින්.. ”
ධීර මිතුරා සමඟ වාඩි වූයේ කතා කරන්නට බොහෝ දේවල් ඇති බැවිනි.
මිෂෙල් පැමිණියේ තවත් විනාඩි දහයකට පමණ පසුවය. ඇගේ මුහුණේ වූයේ ධීර ව හිමි කරගන්නට ලැබුනාක් වැනි සන්තෝසයකි. එහෙත් ධීර ඒ ගැන තැකීමක් කලේ නැත.
” ඔයාගේ වෙහිකල් එකේ යමු නේද ධීර ? ”
ධීර පිළිතුරු දීම වෙනුවට කලේ මද සිනහවක් පෑම පමණි.
” ආන්ටි ගේ ඇතුලේද ? ”
ධීර නිහඬ නිසා මිෂෙල් එසේ ඇසුවේ ආදිත්‍ය දෙසද බලමිනි
” අම්මා කිචන් එකේ මං හිතන්නේ ”
” මං ආන්ටිව බලලා එන්නම් ”
එසේ කියා මිෂෙල් ගේ ඇතුලට ඇතුළු වූ අතර ආදිත්‍ය ඇය යන දෙස බලා සිටියේ පුදුමයෙනි.
” උඹ කොහොමද මේකිව දන්නේ ? “
ආදිත්‍ය ඇසුවේ නොසන්සිදුනු පුදුමයෙනි.
” ඇයි ? ”
” මට කියපන්කො දන්නේ කොහොමද කියලා ? ”
” මෙයාව මට ප්‍රපෝස් කරලා තියෙන්නේ බං. මෙයාගේ තාත්තා අපේ තාත්තගෙ හොඳම යාලුවෙක් ”
” ඉතින් උඹ කැමති වුණාද ? ”
” ඇයි උඹ එහෙම අහන්නේ ? උඹ මිෂෙල් ව දන්නවද ? “
ආදිත්‍ය මොහොතක් නිහඬව සිටියේ ය. මිෂෙල්ව හඳුනා ගත් ආකාරය සහ ඇය පිළිබඳව දන්නා දේවල් ධීර ට කියම්දෝ නොකියම්දෝ කියා ආදිත්‍ය දෙතුන් වරක් සිතුවේ ය.
” ඇයි උඹ සද්ද නැත්තේ ? ”
” මෙයා කැනඩා නේ හිටියේ ? ”
” ඔව්. උඹ දන්නවද ? ”
” උඹ මගෙන් අහන්න ඕනේ මෙයාව දන්නවද කියලා නෙමෙයි. මෙයා ගැන නොදන්නේ මොනවද කියලා ”
” ඒ කිව්වේ ? ”
” මම මේ නිකමට අහන්නේ. අංකල් උඹට මෙයාව ප්‍රපෝස් කරේ මෙයා ගැන හොඳට හොයලා බලලද ? ”
” ඒක නම් මම දන්නේ නෑ බං. proposal එක ගෙනල්ල තිබුණේ මෙයාගේ තාත්තා , මෙයා ලංකාවට ආවට පස්සේ. ”
” මෙයා එහේ මගේ යාළුවෙක් එක්ක යාළු වෙලා හිටියේ සෑහෙන කාලයක්. මට මෙයාව කීප සැරයක්ම හම්බ වෙලා තියෙනවා.මං හිතන්නෙ ගෑනිට මාව මතක නැද්ද කොහෙද. නැත්තම් මාව අඳුර ගත්තේ නෑ ”
ධීර මෙවැන්නක් බලාපොරොත්තු වූයේ ය. තමාගේ ආදරය පතා පැමිණි තරුණයන්ව තමා ප්‍රතික්ෂේප කළා යැයි මිෂෙල් පෙර දිනයකදී කීවත් ධීර එය විශ්වාස කළේ නැත. මිෂෙල් ගේ විධිය අනුව එය විය හැක්කක් නොවේ.
” මෙයයි යශානුයි එහේ livingtogether හිටියේ ”
ආදිත්‍ය කීවේ තවත් කතාවකි. මිෂෙල් මේ කිසිවක් තමා සමග කීවේ නැත. ඇය සමඟ සම්බන්ධ වීමට ඇගේ අතීතය අවශ්‍ය නැති නමුත් යුතුකමක් ලෙස හෝ තමාට මේ විස්තර කීමට තිබුණා නේදැයි ධීර සිතුවේ ය.
” උඹට හිතාගන්න පුළුවන්ද දෙන්න ඇයි බ්‍රේකප් උනේ කියලා ? ”
ධීර කල්පනා කලේය. එහෙත් නිසි හේතුවක් සිතා ගැනීමට නොහැකි වූයේ ය.
” මෙයාට එහෙ ක්ලබ් එකක හම්බ වෙච්ච එකෙක් එක්ක එෆෙයාර් එකක් තිබිලා ඒකට යශාන් ගේ අතටම මාට්ටු උනා. යශාන් දෙන්නව ෆලෝ කරන් ගිහින්. ඒ කොල්ලගේ අපාට්මන්ට් එකේ ඉඳලා තමා දෙන්නව අල්ල ගත්තේ ”
ආදිත්‍ය කියා ගෙන ගියේය. ධීර ගොළු වී සිටියේ මේ කිසිවක් සිතා ගැනීමට නොහැකිවය. මිෂෙල් තමා පසුපස ලුහුබැඳ එන්නේ කිසිවක් සිදු නොවූ ආකාරයටය. ඇය තමා ආදරය කරන අයෙක් සමග එකට ජීවත් වූවාට කම් නැත. එයට සමාව දීමට හිත හදා ගත හැක. එහෙත් ඔහුටද වංචා කිරීම ඇදහිය හැක්කක් නොවේ.
” උඹ වගේ එකෙක්ට මේ වගේ චීට් කරන කෙල්ලෙක් කොහෙත්ම ගැලපෙන්නේ නැහැ ධීර. මං හිතන්නේ නෑ මෙයා ඒ සිද්ධියෙන් පස්සෙවත් හැදිලා ඇති කියලා. මොකද ඊට පස්සෙත් මං කීප සැරයක්ම මෙයාව club එකේදි දැකලා තියෙනවා එක එක අයත් එක්ක ”
ඇතිවී ඇති ප්‍රශ්නයෙන් තමාට ගැලවීමට ඇති හොඳම අවස්ථාව මෙය ය. තාදී ගේ ප්රශ්නය තම පියා හමුවට ගෙන ඒමට පෙර මිෂෙල් සමග කතා බස් කර මෙය අවසන් කළ යුතුය. ධීර තවමත් උන්නේ ආදිත්‍ය කිවූ දේවල් අදහා ගත නොහැකිවය.
” මට හිතා ගන්න බෑ මචං. Livingtogether හිටපු එක කමක් නෑ කියමු. ඒත් එහෙම ඉඳලත් ඒ මිනිහට චීට් කරනවා කියන්නේ ? ”
” යශාන් ඒ ප්‍රශ්නෙන් සෑහෙන දුක් වින්දා මචං. කොටින්ම ඌට කර කර හිටපු ජොබ් එකත් නැති වුණා. මොන දේ උනත් උඹ කල්පනා කරලා තීරණයක් අර ගනින්. එක පාරක් කරපු දෙයක් තව පාරක් කරන එක ඒකිට මහ දෙයක් නෙමෙයිනේ ”
දෙදෙනා අතර විනාඩි කිහිපයක නිහඬතාවයක් පැවතුණි. ධීර උන්නේ දෙගිඩියාවෙනි. මේ සියල්ල තාදී ට පවසා හිත නිදහස් කර ගැනීමේ උවමනාවක් ධීර ට දැනුනි.
” අපි යමුද ධීර ? ”
මිෂෙල් වැරන්ඩාවට පැමිණියේ ධීර සිතිවිල්ලේ ගිලී සිටිය දීය.
ReplyForwardAdd reaction |