සුසුවඳ සූත්‍ර – 31

0
5820

අන්තරා ස්වරාවී ගාන්ධාරා දැඩි කැපවීමකින් සිය පරීක්ෂණ කටයුතු වල නියැළුණා ය. දවසකට වතාවක් හෝ  දුරකතනය ඔස්සේ ඇදී එන නූපුර ගේ හඬ ඇගේ වෙහෙස නිවනා සතුටු මන්තරයක් වේ.

“හෙමිහිට කලබල නැතුව වැඩිය වෙහෙස වෙන්නැතුව කරන දෙයක් කරන්න අම්ම. ඕනවට වඩා මහන්සි වෙලා අසනීප වෙන්නෙපා. ඔය විදිහට ඔයා වෙලාවට කෑම කනවද දන්නෙත් නෑ”

ඉඳහිට ඔහු අම්මා ට අවවාද දෙයි. ඇය කොයි වැඩේට නැඹුරු වෙත්දීත් කෑම ගැන අමතක කර දමන බව නූපුර දන්නේ පොඩි කාලේ සිට ය.

“එහෙම නෑ පුතා. මං කනව. නානව. යාළුවො දෙන්නත් එක්ක ඇවිදිනව. සතුටින් ඉන්නව. ඔයා නැති අඩුව ඇරෙන්න වෙන මට කිසිම අඩුවක් නෑ”

ඈ කතා කරන්නේ සැබවින් පවතින ආකාරයටත් වැඩිය දේවල් සිදුවෙනවාට ඈ කැමති ආකාරය ගැනයි. නූපුර ගේ පියාව ඇය හදවතේ තියාගෙන නැත. අනුන්ගේ පුරුෂයෙකු වශයෙන්, ගෙදර සිටියදීත් ඇය දක්ෂිණ කෙරේ බැඳීම් ලිහමින් සිටියා ය. නමුත් මේ මොහොතේත් රිදුමක් ශේෂව නැතැයි කිව නොහැක. ඒ වූ කලී ඈ ගැන ම සංවේගයකි. නැති නහස්ති වී ගිය සිය යොවුන් විය ගැන සන්තාපයකි. කැඩී බිඳී ඉහිරී ගිය සිය කුරුලු කූඩුව ගැන සංවේදී සංවේදනාවකි. සිදු වූ දේ වලට හිත හයිය කරගෙන මුහුණ දෙන හැටි ඈ දනී. නමුත් සිදු වූ නො සිදු විය යුතුව තිබූ දේවල් ගැන හදවත සංකාවෙනි.

“තාත්ත කතා කළා. සල්ලිත් දාල තිබුණ අකවුන්ට් එකට. එයත් පසුතැවෙනව. ඒත් දැං ඉතිං කරන්න දෙයක් නෑනෙ. අම්ම හෙමිහිට ඕව අමතක කරල දාන්න”

අන්තරා ගේ පපුව පැළෙන්නට එයි. අම්මා කෙනෙකුට වන ලොකු ම රිදුම සිය දරුවන්ට තමන්ගේ ය කියා පවුලක් නැති වීම ය. නූපුර කියන්නේ ලස්සන පවුලක කරුලු පැටියෙකු වී හිඳ කැදලි ඉහිරී හුදෙකලා වූ දරුවෙකි.

ඕනෑ ම දේකට ප්‍රතිපක්ෂ වූ දෙයක් තිබේ. විවාහයට දික්කසාදය වේ. එකට සිටිය නො හැකි නම් වෙන් වීමට අවස්ථාවක් නීතියෙන් ම ලබා දී ඇත. ජීවිතය ඉදිරියට ගලනය විය යුතු ය. එක තැනෙක රැඳී තිබුණොත් වතුර වුව පල් වේ. ඉදිරියට ගමන් කරත්දී ඊට පෙර සිදු වූ දෑ මුළුමනින් අමතක වී යන්නේ නැත. අප ඉදිරියට යන්නේ ද පරණ හදවත දරාගෙනයි. එහි පරණ මතක වල සුන්බුන් ඉතිරි ව තිබේ. එබැවින් හැව හරින්නා සේ අතීතය අතැර අලුත් තත්වයකින් පෙරට අඩිය තැබිය නො හැක. මතකය ඉතිරි වී තිබේ. ඇතැම් විට ඒවා ටික ටික තුනී වී යන්නේ කාලයත් සමගයි. කෙසේ හෝ අප ඉදිරියට ගමන් කළ යුතුව තිබේ!

පාරින්දි වඩාත් සංකීර්ණ යුගයක් ගෙවමින් සිටියා ය. ඇගේ සිතිවිලි විටෙක ඇයට ම තේරුම් ගත නො හැකි විණි. අන්තරා වූ කලී ඇයට ඉතා හොඳ මිතුරියකි. ඒ මිතුරියට ඇය ආදරය කළා ය. ඇයට ද පෙරළා හොඳ මිතුරියක විය යුතු බව විශ්වාස කළා ය. නමුත් යුගාත්ම ඇගේ සිතිවිලි උමතු කරවයි. ඈ ඔහු දිනිය යුතුයි කියා හිතේ එක කොටසක් ආවේගයෙන් නැගී සිටියි. එතකොට අන්තරා කෙරේ ඇගේ හදින් නැගෙන්නේ ද්වේශයක හැඩරුවයි. ඒ වෙලාවට අන්තරා විනාශ කළ හැකි ඕනෑ ම දෙයක් ඇයට කළ හැක. යුගාත්ම අයිති තමන්ට බව අන්තරා ඉදිරියේ කෑ ගසා කියන්නට තරම් ශක්තියක් දැනෙන්නට ගනී. යුගාත්ම මුලින් ම වශී වූයේ ඇගේ සුවඳ සූත්‍ර වලටයි. ඒ සියල්ල විනාශ කරන්නට හෝ සොරකම් කරන්නට ඇයට සිතේ. අන්තරා වෙහෙස වී නිමවන සුවඳ සූත්‍රය සියතට ගතහොත් යුගාත්ම ද ඈ වෙත නැඹුරු කරගන්නා එක මහ දෙයක් නොවේ. එතකොට සුවඳ සූත්‍රයේ හිමිකරු ඇයයි. අන්තරා යනු නිකංම නිකං අන්තරා කෙනෙකි. පාරින්දි ගේ ඇතුළු හිත හඬනගා වියරුවෙන් හිනැහේ. නමුත් යුගාත්ම ඇගේ කරගත හැකි වනු ඇත්ද? අන්තරා ගේ දිවි තොර කරන්නට, ඇගේ ඔය සුකොමල ලස්සන අවලස්සන කරන්නට හැකි නම් ඔහු ඇය හැර එනු ඇත.

පාරින්දි මොහොතකින් ඒ වියරුවෙන් මිදේ. තමන් උමතුවෙන්දැයි එතකොට ඇය ම සිතයි. ඈ මොන තරම් පව්කාර සිතිවිලි දරනා ස්ත්‍රියක් දැයි සිතයි. එහෙම වෙලාවක ඕ වහාම අන්තරා ට දුරකතන ඇමතුමක් හෝ ගන්නී ය.

“ඔයා හොඳින් නේද… හවසට හම්බවෙමුද… මොනාද කන්න ගේන්න ඕනෙ…”

පාරින්දි ට ඕනෑ සිය කිළිටි වූ හදවත අපුල්ලා සෝදාගන්නට ය. හොඳ ළමයෙකු වන්නට ය. අන්තරා ගේ හොඳ ම යෙහෙළිය වන්නට ය. එතකොට ඈ එහෙම කරයි. එහෙම හැසිරෙයි. අන්තරා ගේ ආදරය නොමඳව විඳියි. නමුත් ආයේ කොයියම් මොහොතක හෝ ඈ අන්තරා ගේ ලොකු ම සැතිරිය වෙයි. මේ මානසික දෝලනය පාරින්දි ට පහසු වූවා නොවේ. ඇය තනිව හැඬුවා ය. හිත සන්සුන් කරගන්නට භාවනා කළා ය. පව් සමාකරගන්නට අන්තරා ට වැඩි වැඩියෙන් ආදරය පෑවා ය. යළිත් මුල් මානසික අගාධයට වැටුණා ය.

ඒ දවස් ටික ඔවුන් තිදෙනා ගේ ම ජීවිත මත වෙනස් වර්ණ ගැල්වූයේ ය. ඒ මිතුරු සමාගමය ඔවුන් තිදෙනා ම අපේක්ෂා කළ එකකි. ඇතැම් හැන්දෑවක ඔවුහු නාගරික ජනාකීර්ණ වීදියක වීදි ආහාර වල රස විඳිමින් ද සිනහ වෙමින් ද කතා කරමින් ද ඇවිද ගියහ. ඇතැම් දහවලක අන්තරා ගේ ගෙදර ඇවිත් තෙළිඟු හෝ කොරියානු හෝ තුර්කි චිත්‍රපට නැරඹූහ. එසේ කළේ අන්තරා ගේ කැමැත්ත වැඩිපුර විහිදුණේ ඒ අංශ කෙරේ බැවිනි. අන්තර්ජාලයේ ඉමක් නැතිව සැරිසරත්දී හමු වන හිතට දැනෙනා ගීතයක ලින්කුව මිතුරන් වෙත යැවූහ. එහි වන සුවිශේෂතාවයක් ගැන හෝ චිත්‍රපට නළුවෙකු ගේ කඩවසම් බවක් ගැන උනන්දුවෙන් අදහස් බෙදාගත්හ. එතකොට යුගාත්ම ඊර්ෂ්‍යා කළේ ය. විශේෂ කෑමක් හැදුවොත් අන්තරා ට ඔවුන් දෙදෙනා අමතක වූයේ නැත.

ඒ ඇසුරට අන්තරා ආශා කළා ය. ආදරය කළා ය. ඇතැම් විට ලෝභ ද වූවා ය. ඔවුන් ගේ මිතුරුදම මිත්‍රත්වය ඉක්ම යන්නා සේ දැනුණු අවස්ථා තිබිණ. හදවත උණුහුම් කරනා හිතවත්කම් දැනෙනා අවස්ථා තිබිණ. කිසිවෙකු ගැන මෙතෙක් දැනී නැති විදිහේ ස්නේහී හැඟීමක් දැනුණු අවස්ථා තිබිණ. එතකොට පපුව පුරා හුස්මක් ගෙන ඈ ඒ සියල්ල හදවතෙහි ම දරා ගත්තා ය.

“මට බයයි අපේ යාළුකං වලට ඇස්වහ වදීද කියල”

වතාවක් ඇයට එහෙම කියවිණ.

“වැදුණොත් ඉතිං අපි තුන්දෙනාගෙන් කෙනෙක්ගෙ ඇස්වහ තමයි”

යුගාත්ම සමච්චලයට සේ කී ඒ වචන පාරින්දි ගේ පපුවේ වැදිණ.

“මටද ඒ කිව්වෙ…”

ඇය කේන්තියෙන් කඩාපැන්නා ය. යුගාත්ම නිසංසලේ සිනහවක් පෑවේ ය.

“ඇයි ඔයාට එහෙම හිතෙනවද…”

“පව් අනේ යුගාත්ම. ඒ ළමයව විහිළුවට ගන්නැතුව ඉන්න”

කියමින් අන්තරා යෙහෙළිය සැනසුවා ය.

එක කම්මැළි වැහිබර හැන්දෑවක තරුපති ට සිය මිතුරා සමගින් කතා කිරීමේ සිතිවිල්ලක් පහළ විය. මාසෙකට දෙකකට වරක් දෙදෙනා කොහොමත් කතා කරති. තරුපති ට අතපසු වුණොත් ජිතේන්ද්‍ර ඇමතුමක් ගනී. නුවර ආවොත් ජිතේන්ද්‍රලා පූජාපිටියේ දවසක් නතර වී එති. කොළඹ ආවොත් යළි යන්නට පෙර තරුපති ද ජිතේන්ද්‍ර හමු වෙයි.

“වැස්ස ඉවරයක් නෑ ජිතේ මෙහෙට. කොළඹත් වැස්සද…”

මිතුරා සමග දොඩමළුවකට මේ කම්මැළි සන්ධ්‍යාවේ ඉඩක් ලැබීමේ තුටින් ජිතේන්ද්‍ර හඬ නගා සිනහ වූයේ ය.

“ඒවයින්නං කිසි අඩුපාඩුවක් නෑ. හෙට අනිද්ද වෙනකොට කැලණි ගඟ උතුරයි. නිම්න වල මිනිස්සුන්ට ගංවතුර ආධාර දෙන්න ලෑස්ති කරං ඉන්න වෙනව”

දෙමිතුරෝ වැස්ස ගැන ද ජිතේ ගේ සංගීත සංධ්වනිය ගැන ද බොහෝ දේ කතා කළහ. කිශෝරි සේ ම පළිඟු මැණිකේ ද සන්ධ්‍යා තේ එක ගෙන විත් ස්වාමි පුරුෂයන් පේනා මානයේ වාඩි වී කෙටි සිනහ හා ඉඟි බිඟි වලින් ඔවුන් හා සම්බන්ධ වෙමින් සිටියහ.

“අපේ ධාරාත් ගෙදර ආව තරුපති”

සැහැල්ලු සිනා කතා දාමයකට පස්සේ ජිතේන්ද්‍ර එසේ පැවසූයේ බර හුස්මක් සමගයි. ඇසගින් මැණිකේ දෙස බැලූ තරුපති, ප්‍රතිචාර දක්වන්නට තත්පර කිහිපයක් ගත්තේ ය.

“එහෙමද…”

“හ්ම්. කෙල්ල දික්කසාද නඩු දාල නිසා අපේ කිශෝරිගෙ වදේ ගෙදර එන්න කියමු කියල. මං කිව්ව එහෙනං එන්න කියන්න කියල”

“ඒක හොඳයි”

“දැං මෙහෙ. කොහේ කොතන වරද්දං ආවත් අපිට දරුවන්ට පිටුපාන්න බෑනෙ තරුපති”

“නැත්තං. මොනා කියනවද… අපේ දරුවො දෙන්නගෙම ජීවිතේ අවුල් වුණානෙ දෙයියනේ”

“වෙන්න තිබුණ දේවල් තමයි ඉතිං”

“හ්ම්. මං එන්නංකො ජිතේ ඒ පැත්තෙ වෙලාවක. ධාරා දුවව දැක්කෙත් නෑ බර කාලෙකිං”

“එමු එමු. මාත් තරුපතිගෙ කොල්ලව දැක්කෙ නෑනෙ ඔච්චර කොළඹ ඉන්නව කියනව”

“අපේ යාළුකං අපෙං ඉවරයි ජිතේ. ළමයි ළමයි තියා ළමයි අපිවවත් අඳුරන්නැති එකක්නෙ තියෙන්නෙ”

“එව්ව මොකට කතා කරනවද… එහෙනං තරුපති… මාත් තියන්නං. පොඩ්ඩක් අකුණු ගහනවත් වගෙයි. එහෙනං වෙලාවක හම්බවෙමුකො. තරුපති එනවනං මට කලිං කියන්නෝනෙ හොඳද…”

“අපි ඉක්මන්ට හම්බවෙමුකො ජිතේ”

ඒ කතාබහ පියවරුන් දෙදෙනාගේ ම හදවත් උණුහුම් කළේ ය. තරුපති රිසීවරය තැබූ පසු ද තනිව සිනහවෙනු දුටු පළිඟු මැණිකේ නො සතුටෙන් ඉවත බලාගත්තා ය. නමුත් තරුපති ගෙදර එන දවසක් ගැන ජිතේන්ද්‍ර හා කිශෝරි ප්‍රහර්ෂයෙන් කතා කළහ. බිරිඳ අසලක වන නිසාවෙන් කිව නො හැකි වූ දෙයක් කියන්නට පසු දින ද තරුපති ජිතේන්ද්‍ර ට කතා කළේ ය.

“දුව ගෙදර ඉඳීනෙ… මං නිකමට වගේ අපේ පුතත් එක්කම එන්නං”

“අන්න වැඩේ. මං සුදු නෝනව ගෙදර තියාගන්නංකො එදාට”

“අපේ වදෙං පොරෙං මුණගස්සනව වගේ නැතුව දෙන්නට අඳුරගන්න ඇරියහම හරිනෙ”

“තරුපතිල ඉක්මනට එනකල් එහෙනං අපි බලං ඉන්නව”

ඔවුන් දෙදෙනා ම රිසීවර තැබූයේ හඬනගා සිනහ වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here