ධනුක නුරාන් සොයා පිටව ගියේ මධ්‍යම රැය පසු වීය. එහෙත් ඔහුට නුරාන් ගැන කිසිඳු ඉගියක් ලැබුනේ නැත. ඔහුගේ ජංගම දුරකතනය ක්‍රියා විරහිතව තිබුණි. පැය දෙකකට පමණ පසු ධනුක නිවෙසට පැමිණියේ හිස් අතිනි.
” කලබල නොවී ඉමුකෝ ධනුක .. මල්ලි උදේට ඒවි ..”
පැහැසරා ඔහු අස්වසන්නට උත්සාහ කලේය. එහෙත් ධනුක ට සන්සුන් වන්නට හිතක් වූයේ නැත. තමා කලබල වූවා වැඩිදැයි ඔහුට නොසිතෙනවා වුවද, නුරාන් පිළිබඳව යම් බියක් හිතට දැනෙන්නට ගෙන තිබුණි.
” ,මම වැරදි දෙයක් කිව්වාද සරා ?..”
පැය දෙකක පමණ නිහැඬියාවකට පසු ධනුක එලෙසින් විමසද්දී උදෑසන පහට ආසන්නව තිබුණි. පැහැසරා ඔහුගේ හිස පිරිමැද්දාය.
” නෑ ධනුක … “
” මම කල දේවල් වැරදිද ?..”
” නෑ ධනුක ..”
” අපිට මෙවෙලේ වත්සලාව කුණු මාලු කෑල්ලක් ගානට අතාරින්න පුලුවන්ද සරා ?..”
” බෑ ධනුක…”
” වත්සලා තියා, අපේ එකා නිසා එහෙම දෙයක් වුන මොන කෙල්ල වුනත් අපිට නිකම්ම අතාරින්න පුලුවන්ද ?…”
” එහෙම බෑ ධනුක …”
” අපි කොහොමද ඔලුව කෙලින් කරන් ඉන්නේ සරා .. මේ යකා අපිවත් විනාශ කලා …. හැමදේම ඉවරයි සරා . , මිනිස්සු අතරේ ඔය වීඩියෝ එක පත්තු වුනොත්, ඒ අතටර මූ ගමේ නෑ කියලා මිනිස්සු දැනගත්තොත් .. මේ අපි අමාරුවෙන් හදාගත්ත හැමදේම කුඩු පට්ටම් වෙලා යාවි සරා …”
” නෑ ධනුක ..
පැහැසරා එයටද පිළිතුරු දුන්නාය. ධනුක මද වේලාවක් උන් ඉරියව්වේම සිට ඉන් පසුව පැහැසරා දෙස හැරී බැලුවේය.
” මේ දේවල් මල්ලි හදාගත්තේ ධනුක .. එයා හින්දා හැදුනේ.. ඉතින් එයා හින්දා කුඩු පට්ටම් වෙනවා නම් වෙද්දෙන් …”
ධනුක ඉතා ගැඹූරු සුසුමක් හෙලුවේය.
” අර ගෑණිටත් ලැජ්ජාවක් නෑ .. තමන්ට ජීවිතේ වැරදිලා තියෙද්දීත් තව කෙල්ලෙක්ගේ ජීවිතේ ගිණි තියන චිතකේට ගිණි තියන්න ලෑස්ති වෙනවා…”
ධනුක ඔහුගෙ කෝපය නොබියවම පෙන්වූයේය.
” ඒඩී මිස්ට කෑ නොගහ ඉන්න ධනුක … එයාත් මෙතන වික්ටිම් කෙනෙක්නේ .. මල්ලි එකපාරටම වෙනස් වෙන එක එයාට දරාගන්නත් බෑනේ.. එයා හෙමින් තේරුම් ගනීවි.. එයා පොඩි කෙල්ලෙක් නෙවෙයිනේ.. වෙන්න ඕනි දේ තීරණය කරලා එයා අයින් වේවි ….. එතකල් එයාගේ හිත කලබල නොකර ඉන්න දෙන්න ..”
ධනුක ඉස්තෝප්පුවට එබුණේය. අම්මා සහ තාත්තා උන්නේ අහස දෙස බලාගෙනය. ධනුක ඔවුන් අසලින් හිඳගත්තේය.
අම්මා හඬන්නට ගත්තාය.
” මල්ලිගේ අංකේ තවම වැඩ නැද්ද ?..”
තාත්තා විමසුවේ දෙදෙනාගෙන්ම පොදුවේය.
” ඕෆ් වෙලා වෙන්න ඇති තාත්තේ .. දැන් එලිය වැටුනානේ .. එයා ඒවි …”
පැහැසරා ධනුක වෙනුවට පිළිතුරු දුන්නාය. එහෙත් එකිනෙකාට ගලපා බෙදාගන්නට නොහැකි යම් හැඟීම් අහුරක් ඔවුන් පීඩාවට පත් කරමින් තිබුණි. එකිනෙකා එම හැඟීම් තමා තුලම සඟවාගන්නට උත්සාහ කරමින් උන්නෝය.
” අර ළමයා ..”
” එයා නිදි තාත්තේ.. එහෙම ඉන්න දෙමු …”
පැහැසරාම එයටද පිළිතුරු දුන්නාය. ධනුක මිදුල වෙත ඇවිද ගියේය. නුරාන් කැබ් රිය හරවාගෙන ගිය සලකුණු පෙනෙන්නේය. ධනුකට ඒ සලකුණු ත් නොසන්සුන්කමක් එක් කලේය. එහෙත් වත්සලාගේ ජීවිතය නිකම්ම අතැර දැමිය හැකි නොවේය.
නුරාන් එවන් ක්‍රියාවක යෙදේදැයි නිස්කලංකව කල්පනා කරන්නට ධනුකට ඉඩක් ලැබෙන්නේ දැන් ය. ඔහු අඩ අඳුරේම මිදුලේ වූ කොන්ක්‍රීට් බංකුවේ හිඳගත්තේය.
” මේ යකාට මෙච්චර අසහනයක් තිබුනා නම්, ඇයි ඒකට ඒ කෙල්ලම තෝරගත්ත්තේ අප්පා…”
ඔහු එලෙසින් සිතන්නටද උත්සාහ කලේය. නුරාන්ගේ ජීවිතයට වත්සලා එක්වීම පිළිබඳව කොහොමටත් තමා උන්නේ කැමැත්තෙන් බව ධනුක කල්පනා කලේ ඉන් පසුවය. එනිසාම මෙය මේ ආකාරයෙන් සිදුව හෝ එය ඉටු වන්නට යෑම පිළිබඳව යම් ධනාත්මක සුවයක් තමාට දැනෙනවාදැයි ඔහු ඉනික්බිති සිතුවේය. ඉසිනිගේ ආගමනය වෙනුවෙන් හිත හදා ගන්නට තීරනය කෙරූ බව සැබෑය. ඒ නුරාන් උමතුවෙන් මෙන් ඇය පිළිබඳව පෙන්වූ ආසක්ත බාවය ප්‍රේමය ලෙස තමා වටහා ගත් නිසාවෙන් බව ධනුක සිතුවේය. එහෙත් නුරාන්ට ඉසිනි කෙරෙහි තිබූ ප්‍රේමය ඇය අයිති කර ගැනීමේ ආශාවක් මිසෙක, තමා සිතූ ආධ්‍යාත්මික යමක් නොවන බව දැන් ධනුකට සිතෙන්නේය. එලෙස නොවන්නට ඉසිනි ඔහු වෙනුවෙන් සිටියදී පවා නුරාන් ඔහුගේ සීමාවන් පාලනය කර ගත නොහැකිව එලෙසින් පුපුරා යන්නේ නැත.
” කොච්චර කොහොම නෑ කියලා පෙන්නන්න හැදුවත්, උගේ හිතේ වත්සලා ගැන මොකක්ම හරි තිබිලා තියෙනව.. එහෙම නොවෙන්න ඒ කෙල්ලව අරහෙම පෙරලගෙන මොන නාඩගමක් කරන්නද ඌ .. ඇරත් අහම්බෙන් හරි එකෙක් ජනේලෙන් ඕක වීඩියෝ කරනකල් මූට සිහියක් තිබුනේ නෑ කියන්නේ ඒක ලේසි පහසු ගින්නක් නෙවෙයි නේ.. එහෙම ගින්නක් කන්ට්‍රෝල් වෙන්න නම් එලෙසින්ම දේවල් වෙන්න ඕනි ….”
ධනුක තනිව කියවාගත්තේය. ඔහුගේ කල්පනාව බිඳී ගියේ පැහැසරා ගේ උස් හඬිනි.
” අනේ ඔහොම කලබල වෙලා ප්‍රශ්න විසඳන්න බැහැනේ ඒඩී මිස් … “
” මාව මෙහෙම අල්ලලා නවත්තගන්න මම ඔයාලාගේ කවුරුත් නෙවෙයිනේ පැහැසරා මිස් ..කරුණාකරලා මට යන්න දෙන්න .. නුරාන් ගේ ෆෝන් එක තවම වැඩ නෑ …කොහොමද ඕගොල්ලෝ මෙහෙම බලාගෙන ඉන්නේ ??…”
ඉසිනි උන්නේ හඬමිනි. ධනුක ඇය ඉදිරියට ඇවිද ගියේය. ඉසිනි අඩියක්වත් ආපස්සට ගත්තේ නැත.
” ඌ බබෙක් නෙවෙයි .. මීට වඩා ජරා, කුජීත දවස් ඌ තනියෙන් කාගෙන අල්ලගෙන හිටියා .. ඒ මෙහෙමවත් පරිණතකමක් ඌට නොතිබුන කාලේ.. ඒ නිසා ඒඩී මිස් ඌ ගැන කරදර වෙන්නෙපා… මෙවෙලේ ඒඩී මිස්ට කරන්න පුලුවන් හොඳම දේ, නුරාන්ට පාඩුවේ ඉන්න දිලා ඌ අර කියපු තාලේට එංගලන්තේට යන එක …”
ඉසිනි කඳුලු අතරින් සරදම් සිනහවක් පෑවාය.
” යන්නේ නෑ … මං යන්නේ නෑ …”
ඇය දැඩි හඬකින් කීවාය. ඉන් ධනුක බිඳක් සැලුනේය.
” යන්නේ නැත්නම් යවන විදියත් මම දන්නවා…”
” නුරාන් මං හින්දා දුක් විඳින්න ඇති .. බිඳෙන්න ඇති.. ඒ දවස් වල ඔයාලා එයාව බලාගන්නත් ඇති .. අද ඔයා එයාව බිඳලා දැම්මානේ ධනුක මහත්තයා.. අද මම එයාව බලාගන්න ඕනි .. ම්ම ඒක කරනවා..”
ධනුක එක් වරක් උස් හඬින් සිනාසුනේය.
” ඇත්තද ?… එච්චරට විශ්වාසද ?..”
” ඔව් … තත්පර ගානකට හිත ගැස්සුණා.. ඒත් මම දන්නවා, නුරාන් ඇතුලේ ඇවිලුණ ගින්න එයා මගේ ඉස්සරහත් කන්ට්‍රෝල් කරගෙන නිවාගත්තා.. එහෙව් එයා වෙන ගෑණියෙක් ඉස්සරහ කීයටවත්ම ඇවිලෙන්නේ නෑ ….. ඔයයි පවු පුරවගත්තේ ධනුක මහත්තයා.. මම ඔප්පු කරන්නම්..”
ඇගේ තිර හඬට ධනුක යළි සැලුණි.
ReplyForwardAdd reaction |