උදෑසන වන විටත් ධනුක නුරාන්ව කැටුව තමා හමුවන්නට නොපැමිණීම ගැන වත්සලා යම් තිගැස්මක් තනා ගත්තාය. අම්මාට පෙනෙන්නට ව්‍යාජ වේදනාව සහ ජීවිත කලකිරීමත් අනුකම්පාවත් පෙන්වාගෙන සිටින අතරේ ඕ නුරාන්ගේ පසින් සිදුවන්නේ කුමක්දැයි සොයාගනු වස් වන සැලැස්මක් සිතුවාය. එහෙත් පමණ ඉක්මවා කලබලයට පත් වීම තුළ ධනුකලාගේ සිතෙහි යම් සැකයක් ඇති වුවහොත් එය තමාට අවාසියට බලපාන බව ඕ සිතුවාය.
තමා මේ සියල්ල මෙතරම් සූක්ෂම ලෙස සැලසුම් කර ගත් බව පවා ඇයට විශ්වාස නැත. එහෙත් සියල්ල තමාට අවැසි වූ ලෙසින්ම සිදු වූ බව කල්පනා කරද්දී වත්සලාගේ මුවඟට කපටි සිනහවක් කඩා වැටුනේය.
ජීවිතය එතරම් පහසුවෙන් සැලසුම් ඉටු කර දුන්නේ නුරාන්ගේ උරුමය තම ප්‍රේමයෙන් නැවතිය යුතු නිසා වගද ඕ සිතුවාය.
” මගේ නුරාන් සර් .. ඉක්මනට මාව බලන්න එන්න .. මාව බඳාගෙන මගෙන් සමාව ඉල්ලන්න ….අපි ඉක්මනට බඳිමු … ඔයාගේ ගෙදර ඔයාගේ කාමරේ ඔයාගෙම වෙමු… මම කොච්චර හීන දැක්කද මගේ සර්.. කොහෙවත් ඉඳලා ආපු වඳ හැතිරියෙකුට ඒ හැම හීනයක්ම උදුරගන්න දීලා මම නිකම්ම බලාගෙන ඉන්නේ නෑ මගේ සර්.. මේ වත්සලා එඡ්කරට දුර්වල ගෑණියෙක් නෙවෙයි ….”
වත්සලා ජංගම දුරකතනයේ වූ සේයාරුවන් දෙස පෙම් සිනහවන් පාමින් යලි යලි එලෙස සපත කර ගත්තාය.
මේ සිදුවීම දන්නේ පවුල් දෙකේ සාමාජිකයන් පමණකි. එ නිසා කාර්‍යාලය තුළ සාමාන්‍ය තත්වය සකසා තිබිය යුතු බව ඕ කල්පනා කලේ ඉන් පසුවය. පෙර දින අසනීප වග පවසා බැහැර පැමිණීමේ වාසිය අත තබා ගනිමින් ඕ අද දිනය සඳහාද නිවාඩු දැනුම් දුන්නාය.
” ඒකත් හරි .. දැන් අර සත්සරණිගේ පනස්දාහත් මෙහෙමම ට්‍රාන්සර් කරලා දාන්න ඕනි…”
ඕ නෑදෑ සොයුරියට මුදල් යැව්වාය. එහෙත් විනාඩියක් ගෙවෙන්නට පලමුව ඇමතුමක් ලැබුණි.
” පනහක් මදි බං අක්කේ…”
” පිස්සුද බං උඹට .. මගේ ළඟ ඔච්චරයි තියෙන්නේ …”
වත්සලා උන්නේ නෑදෑ සොයුරියට එතරම් මුදලක් ලබා දෙන්නට ගිවිස ගැනීම ගැනද යම් පසුතැවිල්ලකිනි. තමාම මිල නියම කලා මිසෙක, ඇය ඉල්ලු මුදලක් නොවූ නිසා ඉන් අඩු මුදලකට වුවද ඒ සේවය ලබා ගන්නට හැකියාව තිබූ බව වත්සලා කල්පනා කලාය.
” මේ ලේසි පහසු සෙල්ලමක්ද බං අක්කේ කරෙ.. අර සීසීටීවී කැමරාවල මගේ මුන අඳුනගෙන මාව ගෙන්නලා පොලිසියෙන් ප්‍රශ්න කරොත් එහෙම අපේ අම්මලා මාව මරයි ..”
” උඹට දෝදුද සත්සරණි .. මේක පොලිසි යන ප්‍රශ්නයක් නෙවෙයි .. ඇරත්, උඹට මම කිව්වානේ මේන් ගේට් එකේ සීසීටීවී එක ඇරුනම අනෙක් කොහෙන්වත් උඹව පේන්නේ නෑ …”
” ඔය කතා කියන්නේ උඹනේ බං …ඕවා කොයි කොයි විදියට සිද්ද වේවිද දන්නේ නෑනේ…”
නෑදෑ සොයුරියගේ පමණ ඉක්මවන ඍ ණාත්මක සිතුවිලි වත්සලා ගේ සිත තුල ඇති කලේ කෝපයකි. ඕ එය සඟවාගන්නට උත්සාහ කල්ද එය මදකින් පමණක් සාර්තක වූවේය.
‘” මගේ අතේ මෙවෙලේ තියෙන්නේ ඔච්චරයි .. ආයේ පස්සේ බලමු …”
” හරි එහෙනම් හෙට මට තව දෙකක්වත් ඕනි…. “
” උඹට අනේ මොන යකෙක් වැහිලද බං ..? මේ ෆොටෝ කෑලි දෙක තුනකුයි වීඩියෝ කෑල්ලකුයි අරගෙන හතර මහා නිධානයක් මට පාදලා දීලා වගේ කියවන්නේ ?…”
වත්සලා ජංගම දුරකතනය තුළින් ඇගේ කෝපය දැනෙන්නට හැරියාය. එහෙත් නෑදෑ සොයුරිය උන්නේද තෘෂ්ණාව ඉක්මවා යමිනි.
” ෆොටෝ කෑල්ලද, දෙකද, සීයද වැඩක් නෑනේ.. දැන් අර කෝටිපතියා උඹේ මල්ලේනේ…”
” තවම ඒ මුකුත් සිද්ද වුනේ නෑනේ..”
” හරි. සිද්ද වුනා නැතා උබ මගේ ගාන දෙන්න පොරොන්දු වුනානේ..”
” ඔව් බං ඔව් … ඒකනේ උඹට මම දුන්නේ…”
දෙදෙනා දිගින් දිගටම වචන හුවමාරුවේම උන්නෝය. අවසානයේ වත්සලා ඇමතුම විසන්ධි කලාය. අම්මා කාමරය තුලට පිවිසෙන විට ව්‍යාජ බැල්මක් පා අසනීපව මෙන් වැතිර උන්නාය.
” මයේ අම්මට මම ඉන්නවා පුතේ.. හිතේ කලබලේට තීරන අරගෙන අම්මාට ගින්දර දෙන්නේපා දෙයියෝ ……….. අපිට ඔය මොකා නැතත් ඔලුව උස්සගන්න ඇහැකි..”
ධනුකලා කුමක් කීවා වුවද, නුරාන් වත්සලාගේ ජීවිතය තුල කිනම් ඉඩක් සකසා ගනීවිදැයි සිතා ගත නොහැකිව මෙන් සෝමා නැන්ද කීවාය. මවක ලෙස දරාගන්නටම නොහැකි තරමේ වේදනාවක් ඇගේ පපුව තුල කකෑරෙන්නේය. ඉතා පරෙස්සමින් රැක ගත් රෝස මල පෙති හැලෙන්නට පෙරම මිලිනව යෑම දරා ගත නොහේය.
සිතෙහි වූයේ සුදු සලු මතින් ඕ කුල ගෙයට යවන්නටය. එහෙත් ඇගේ හැඟුමේ පරිද්දෙන් නුරාන් ඉස්සර වී ඇත. සෝමා නැන්දා පපුව පිරිමැදගත්තාය. වෙනදාට ඇයට මරණය දැනෙන්නේ සුවයක් ලෙසිනි. එහෙත් දැන් මරණය අවැසි නොවන වග ඇයට දැනෙන්නේය.
” මට මොකක් හරි වුනොත් මේ කෙල්ල පිස්සුව වැටෙයි … මම ඉන්න ඕනි කෙල්ල ඔලුව උස්සගන්නකල් … වෙලාවකට හිතෙනවා පොලෝසියට ගිහින් මේ ඔක්කොම මවාරන්න .. ඒත් ඒකෙන් දැලි ගෑවෙන්නෙත් මගේ කෙල්ලගේ මූණේ වෙච්චි කොට මං කොහොමද ඉස්සර වෙන්නේ..
මන්දිනු මහත්තයා මෙහෙම සල්ලාලයෙක් බව දන්නවා නම් මගෙ කෙල්ලව යවන්නේ නෑ ඔතනට කෝටියක් දෙනවා කිව්වත් .. මේ යක්ශයා උන්නේ සාන්තුවරයා වගේ ඉඳගෙන මගෙ කෙල්ලටම වින කරානේ දෙයියනේ.. අනේ දූලාගේ අප්පච්චී ඉන්න තැනක ඉඳන් කෙල්ලට හයිය දෙන්න මේ දරාගන්න … මම මෙච්චර කල් කෙල්ලව හීරීමක් නොවී පරෙස්සම් කරා… අන්තිමේදී මේ නොහික්මුණු මිනිහෙක් මගෙ කෙල්ලව තලලා තලලා දැම්මානේ මගේ දෙය්‍යෝ ……..”
සෝමාට ඉකි බිඳුම් නවතා ගන්නට හැකි වූයේ නැත. ගෙවුණු රැය පුරාම එකඳු තත්පරයක්වත් ඇහැ පියවුනේ නැත. පිරිමි නම් විශ්වාස කල නොහැකි උන් යැයි ඇය යලි යලි සිතුවේ නුරාන් ගම තුළ ආඩ්‍ය කර උන් ප්‍රතිරූපය පිළිබඳව කල්පනා කරමිනි.
වත්සලා යහනේ වැතිරුනාය. රැය පුරා නින්දක් නොවීය. කලේම වීඩියෝ පටය නරඹමින් සිත පිනවා ගැනීමය. ගත පිනවා ගැනීමය. එනිසාම වෙහෙසය. පැය කිහිපයක නින්දකට පසුව ඇහැරෙන විට සියල්ල සාමකාමීව නිමා කරගන්නට අවැසි වන යම් පියවරක් තැනෙනු ඇතැයි ඕ සිතුවාය.
එහෙත් දිට්ඨ දම්මවේදනීය කර්මය ලෙසින් වන යමක් ක්‍රියාත්මක වෙන බව ඕ සිහිනයෙන්වත් සිතුවේ නැත. තමා සියල්ල නිවැරදියැයි සිතා සිටින මොහොතක පවා අභ්‍යන්තරයෙන් නැඟෙන ඉතා කුඩා බුබුලක් පුපුරා ඇති වන කම්පනයෙන් නිශ්චල ජල තලයක් පවා කැළඹීමට කල් විය හැකි බව ඕ දැන උන්නේ නැත.
ReplyForwardAdd reaction |