අන්තරා ගිය ත්‍රිරෝද රිය ගේ ඉදිරියෙහි නතර වන විටත් යුගාත්ම ගේ මෝටර් රථය ගේට්ටුව ඉදිරියේ නතර වී තිබිණ.
“නවය වෙද්දි ගෙදරට එන්න”
කියා ඔහු වට්සැප් පණිවිඩයක් එවා තිබුණේ ය. මේ මොහොත වනතුරුත් ඒ පණිවිඩය ඇගේ හිත තිගස්සන්නට සමත් විණි. අන්තරා වහ වහා පිවිසුම් දොරටුව හා ගෙදොර විවර කළේත් ඒ තිගැස්‍මෙන් ම ය. ඇගේ මුහුණේ එක සිනහ පොදක් හෝ නොවන බව ඇයට ම දැනිණ. සිනහ වෙන්නේ කොහොම ද? ඒ වෙලාවේ මහ ගෙදර ආලින්දය මැද දී යුගාත්ම ව දකිත්දී ඇගේ දෙපා වෙව්ලා ගියේ ය. උගුර කට වියළී ගියේ ය. හුස්ම පවා වැටුණේ පුරුදු රිද්මයට නොවේ. නමුත් ඇය මඳහසක් නගා ගැනීමේ උත්සාහයක් ගත්තා ය. ඒ උත්සාහය උපන් ගෙයි ම ගබ්සා කරන්නට සිදු වූයේ යුගාත්ම ඉවත බලාගත් රළු බව හින්දා ය.
ඔහු එහෙම කළේ හිතාමතාමයි. සැබවින් අන්තරා වූ කලී භාණුක ජිතේන්ද්‍ර මුතුමුදලි ගේ දියණිය යයි, කාලයකට පෙර ඔහු ගේ පතිණිය වෙනවාට පියා ආශාවෙන් සිටි සකල කලාශූරී යුවතිය යයි ඔහුට නිකමට හෝ සිතී තිබුණේ නැත. එහෙම හිතන්නට හේතුවක් පෑදී තිබුණේ ද නැත. සැබෑ ජීවිතය තුළ ද නාට්‍යානුසාරී සිදුවීම් වන්නේ යයි අසා තිබුණාට සිය ජීවිතය මත්තෙහි එවැනි සිදුවීම් වූ බවට මතක මාත්‍රයක් හෝ ඔහු ට නැත. ඊටත් වැඩිය මීට විනාඩි ගණනකට පෙර ඔහු මේ තරුණිය හෙළා දකිමින් කතා කළේ ය. එකී ධාරා, ගාන්ධාරා, අන්තරා ස්වරාවී ගාන්ධාර මත සමපාත කරන්නට මේ තරම් ඉක්මනට හැකි වන්නේ ද? කාලයකට පස්සේ ඔහු ට හමු වූ හොඳ ම මිතුරිය, හෙමි හෙමිහිට හිතිවිලි අතරේ මධුර මන්තරයක්ව ගැයෙමින් සිටි ලලිතමය ගැහැනිය ඇය ම බව අදහාගන්නේ කෙසේ ද? ඊටත් වැඩිය ඔහු ඇගේ මිතුරිය බව මව් පිය යුගළ දෙක ඉදිරියෙහි පවසාගැනීමේ දිරියක් ඔහු ට වූයේ ම නැත. ඒ ගැන තව බොහෝ කාරණා සිතිය යුතුව තිබේ. එබැවින් ඈ නො දන්නා සෙයින් ඉවත බලාගන්නා එක, ඇය දන්නේ කොහොම ද කියා විස්තර කරනවාට වැඩිය පහසු වනු ඇත.
යුගාත්ම ඒ ඉවත බලාගත් තාලයට, ඔහු ඇගේ මිතුරායි ආඩම්බරයෙන් පවසන්නට ඇයට තිබූ අවස්ථාව ගිලිහී ගියේ ය. එබැවින් ඉනික්බිති ඇයට හැසිරෙන්නට සිදු වූයේ ද යුගාත්ම කාශ්මීර අමුණුගම කෙනෙකු මීට පෙර කිසි දාක හමු වී නැති ගානටයි.
“මොකද්ද ආ ඒ වුණේ…”
යුගාත්ම කලබලයෙන් විමසුවේ ය. අන්තරා ඔහු දෙසත් ඔහු ඈ දෙසත් බලාගෙන තත්පර දෙක තුනක් ගෙවිණ. දෙදෙනාට ම සිනහ ගියේ එකට ම ය. හිර වී තිබී වක්කඩ කැඩුණා සේ එකවර ගිලිහී ගිය සිනහවන් ගෙතුළ හඬ නැගුවේ ය.
“ඊයෙ රෑ කෝල් එකක් දෙන්න හිතුණත් මං නොදීම කල්පනා කළේ මේක ඇත්තක්මද කියල. හැබැයි ඔයාට තිබුණ ඔයා ජිතේ අංකල්ගෙ දුව කියල මට කියන්න”
එසේ කියත්දී යුගාත්ම ගේ සිනහව මුළුමනින් සිඳී ගොස් තිබිණ. අන්තරා ද නළලෙහි රැලි නගාගත්තා ය.
“ඒක මාරවැඩක්නෙ. එහෙනං ඔයාට තිබුණනෙ ඔයා තරුපති අංකල්ගෙ පුතා කියල මට කියන්න”
“හරි ඒක පැත්තකින් තියමුකො. මං ඕගොල්ලොන්ට කිව්වනෙ අප්පච්චි මට මනමාලියෙක් හොයල කියල. හැබැයි ඔයා නිකමටවත් කිව්වෙ නෑනෙ ඔයාව බලන්න මනමාලයෙක් එනවයි කියල”
අන්තරා ගේ කේන්තිය දොගොඩතලා යන්නට ගත්තේ ය. ඇය අසුනෙන් නැගිට වේගයෙන් ආලින්දයේ රවුමක් ඇවිද ගියා ය.
“ඔයා මනමාළියො බලන්න ගියාට මං මනමාළයො බලන්න හිටියෙ නෑ හරිද… තරුපති අංකල්ල ඩිනර් වලට එනව කියල මං දන්නෙත් ඊයෙ ගෙදර ගියාම. අම්ම කෑම ගොඩක් හදනව දැකල ඇයි කියල ඇහුවාම. අනිත් එක ඒත් අම්මවත් අප්පච්චිවත් මට කිව්වෙ නෑ මනමාළයෙක් එන කතාවක්. ඒගොල්ලොන්ට පිස්සුත් නෑ මනමාළයො ගෙන්නන්න. ඕගොල්ලො එනකොටත් මං නිදාගෙන හිටියෙ. අම්ම මාව නැගිට්ටෝල කිව්වෙ තරුපති අංකල්ට ගිහිං වඳින්න කියල. ඒත් එයාගෙ පුතෙක් ඇවිත් කියලවත් අම්ම ඒ වෙලාවෙ කිව්වෙ නෑ. ඔයාගෙ අප්පච්චිගෙ හිතේ එහෙම දෙයක් තිබුණට අපේ අප්පච්චිල දන්නෙවත් නැතුව ඇති එහෙම අදහසක් ගැන. නිකං බොරුවට මට චෝදනා කරන්න එපා. මට ඕනැති මනමාලයෙක් නෑ. දන්නවනං ඔයා එනෝ කියල මං අම්මලගෙ ගෙදර නොයා මෙහෙ ඉන්නව”
අන්තරා යළි අසුන මත හිඳගත්තේත් තුනී නොවූ කේන්තියෙන් ම ය. ඇගේ කම්මුල් රතු වී තිබිණ. ඇස් තෙතමනයෙන් දිළිසුණේ ය. මේ ඇය කෝප ගෙන සිටින මොහොතක් යුගාත්ම දකිනවා ම ය. නමුත් ඒ කෝපය ද ඉතාම සාධාරණ ලෙස කලමනාකරණය කරගන්නා හැටි ඇය දනී. යුගාත්ම දෑත් පපුවෙහි බැඳගෙන සන්සුන් දෑසකින් ඇදෙස බලා සිටියේ ය. ඔහු ට ඕනෑ වූයේ ඇගේ මේ කෝපය අවුස්සා රහසිගත සතුටක් විඳින්නට මිස වෙනකක් නොවේ!
“හෑපෝ… එතකොට ඔයා ඒ පැනල ගිය කෙල්ලද…”
අන්තරා යුගාත්ම විනිවිද බැලවා ය. ඔහු කට ඇද කළ හා ඉවත බැලූ ආකාරයෙහි වූයේ අවඥාවක් ද? ඔහු වෙතට රවාගෙන උන් ඕ කුෂන් එකක් ගෙන දමා ගැසුවා ය.
“ඔව්. මේ ඒ පැනල ගිය කෙල්ල තමයි. දක්ෂිණ විතානගේ… ඔයාගෙ අප්පච්චිගෙ හොඳම ගෝලය එක්ක පැනල ගිය කෙල්ල. ඔයාට තව මොනාහරි ඒ ගැන දැනගන්න ඕනෙද…”
යුගාත්ම ගේ සිනහව පුපුරා ගියේ ය. ඒ සිනහව දෙස ඇය බලා සිටියේ රැවුම් දෑසකිනි.
“කලින් දන්නවනං යාළුවෙක් කරගන්නෑ”
“ඉතිං දැං දන්නවනෙ. ඒ යාළුවව අමතක කරල දාන්න. එහෙම යාළුවෙක් හම්බුණෙත් නෑ හිටියෙත් නෑ කියල අමතක කරල දාන්න. එච්චරයිනෙ. ඒක මහලොකු දෙයක් නෙවේනෙ”
“හැබැයි එක දෙයක්නං හොඳටම පැහැදිලියි”
“මොකද්ද…”
“අර දක්ෂිණ කියන අහිංසකය කොච්චර අමාරුවෙන් කන් දෙකක් තියාගෙන ඉන්න ඇද්ද කියල. ඌ යාන්තං බේරුණා”
අන්තරා ට ක්ෂණික සිනහවක් නැඟිණ. ඇගේ වත රතු වී තිබිණ. ඒ උදයේ ම දහදිය බින්දු පෙළක් උඩු තොල මත වූයේ ය. ඒ මොහොතේ යුගාත්ම ට ඈ පෙනුණේ පිනි බිඳු තැවරුණු රත් නෙළුම් මලක් සේ ය.
ඇත්ත තරහා ද බොරු තරහා ද අමතක කළ අන්තරා මුළුතැන්ගෙට ගොස් වතුර කේතලය පේනුගත කළා ය.
“ඇත්තටම දැන් අපි අප්පච්චිලට මොනාද කියන්නෙ… අපි යාළුවො කියල කියනවද…”
දෑත් පපුව මත බැඳගත් යුගාත්ම පැන්ට්‍රි මේසයට හේත්තු වූයේ ය.
“අම්මෝ බෑ බෑ”
අන්තරා ගේ දෑස් ලොකු වී ය.
“මං ඒක ඊයෙ ඒ වෙලාවෙම කියනනයි හැදුවෙ හරි සතුටෙන්. එහෙනං එයාලත් ස’ප්‍රයිස් වෙනවනෙ. මෙයා මහ ලොකුවට පණ්ඩිතය වගේ අහක බලාගත්තෙ… හරියට මාව කවදාවත් දැකල නෑ වගේ”
“නැතුව ඉතිං මගෙ යාළුවෙක් කියන්න පුළුවන්ද රෙද්දක් ඇඳගෙන…”
“ඈ… ඒ මොකද…”
අන්තරා යුගාත්ම ඉදිරියෙහි මුහුණට මුහුණ සිටගත්තේ ඔහු ට අභියෝග කරමිනි.
“කොහොමද කියන්නෙ… ඊට විනාඩි ගාණකට කලිං මං අප්පච්චිට කියල ආවෙ… ඔය සැරයක් පැනල ගිය එකීව මං බඳින්නෑ නෑමයි කියල”
අන්තරා පහත් වී බඩ අල්වාගෙන සිනහ වෙන්නට පටන් ගත්තා ය.
“එයානං හිනාවෙයි. මන්නෙ මේ ප්‍රශ්නෙට මූණදෙන්න ඕනෙ”
“ඉතිං හරි. දැං ඒ කතාවෙ වෙනස් කරන්න දෙයක් නෑනෙ. හැබැයි ඔන්න අපි කලිං දැනං හිටිය කියල දැන්නං ගෙවල් දෙකේම කිසි කෙනෙකුට කියන්න ඔට්ටු නෑ. එහෙම කියල මං කොහොමද අප්පච්චිගෙයි අම්මගෙයි විතරක් නෙවෙයි තරුපති අංකල්ගෙ වුණත් මූණ බලන්නෙ. ඔන්න ඒක එවෙලෙම කිව්වනං චුට්ටක්වත් කමන්නෑ. දැන් කියනකොට එයාල අහයි ඇයි එවෙලෙ කිව්වෙ නැත්තෙ කියල. දැං ඔයා මාව දන්නව කිව්වත් මන්නං කියන්නෙ ඔයාව දැකලවත් නෑ කියලයි”
කුඩා මේසය දෙපස හිඳ මුහුණට මුහුණ බලාගෙන තේ කෝප්ප දෙක බොන ගමන් ද ඔවුන් කළේ යළි යළි ඒ කාරණාව ගැන දෙපසට බෙදී වාද කළ එකයි. රණ්ඩු කළ එකයි. ඔහු නික්ම ගිය පසු මේ සිදුවීම සිහිපත් කොට තනිව සිනහ වෙමින් වී ද අන්තරා සිය පරීක්ෂණ කටයුතු කරගෙන ගියා ය. සුවඳ සූත්‍රය දැන් සැලකිය යුතු තරම් සාර්ථක මට්ටමේ පවතී. සාර්ථකත්වය තහවුරු කරගන්නට යම්කිසි කාලයක් මිශ්‍රණය පදම් වන්නට ද තැබිය යුතු වේ.
පෙර දා සිදු වූ අහඹු සිදුවීම ගැන අන්තරා වෙතින් දැනගැනීමෙන් පස්සේ පාරින්දි තුළ ද කිසියම් කැළඹීමක් ඇති විය. එය නො ඉවසිලිමත් බවක් සේ ය. ඔවුන් දෙදෙනා ඇරඹුමේ දී ම දෙමාපිය ආශීර්වාදය ඇතිව එක්වන්නට නියමිතව සිටි අයයි. නමුත් අන්තරා ගේ ප්‍රේමය යුගාත්ම නොවුණෙන් ඔවුන්ට ඔවුන් මගහැරිණි. දැන් නැවත ද ඔවුන් හමු වී තිබේ. ඒ වෙන වෙන අයට හිමි වී තිබූ ඔවුන් ගේ ජීවිත මුළුමනින් නිදහස් කරගැනීමෙන් අනතුරුව ය. යුගාත්ම ගේ හිත ප්‍රථම දර්ශනයෙන් ම අන්තරා වෙත බැඳුණු වග පාරින්දි දනී. දෙපස මා පියන්ගේ ආශීර්වාදය පවා තිබියදී දැන් අන්තරා යුගාත්ම ව පිළිගන්නේ කෙසේ ද?
“අපි දැං හොඳ යාළුවො. මං දන්නෙ එච්චරයි පාරි”
අන්තරා කීවේ සිය හදවතට එකඟව ඇත්ත ය.
“අනික මේ ඩිවෝස් වෙච්චි ගෑනියෙක් හැටියට පැවැත්ම වෙනුවෙන් තුත්තිරි කරලක් වගේ තව පිරිමියෙක්ගෙ ඇඟේ එල්ලෙන අදහසක්වත් මට නෑ. මං හිතන්නෙ මට ඊට වැඩිය වැඩ තියනව. යුගාත්ම කියන්නෙ ඒ ගමනෙදි හයියක් වෙන යාළුවෙක්. මං දන්නෙ එච්චරයි”
පාරින්දි ඉදිරියෙහි තබා තමන් ඉදිරියෙහිවත් හදවත විවර කොටගෙන කපා කොට විශ්ලේෂණය කරන්නට අන්තරා උත්සාහ නොකළා ය. මතුපිටින් සන්සුන් සේ පෙනෙනා ගැඹුරු ජල කඳ වල ගැඹුරෙහි කුණාටඅ පවා තිබිය හැක. මතුපිට ශාන්තිය පමණක් හෝ මේ වෙලාවේ ඇයට අත්‍යාවශ්‍ය ය. ගැඹුරට එබී බලා කැළඹුම් මවාගන්නට ඈ බිය වූවා ය.
සන්ධ්‍යාවේ මිතුරෝ තිදෙන හමු වූහ.
“හරි ඉතිං යුගාත්ම කිව්වනං එයාව බඳින්නෑ කියල අවුලක් නෑනෙ. දිගටම ඒ මතේම ඉන්න පුළුවන්නෙ”
පාරින්දි ඇඟට පතට නො දැනී සරල ලෙස කියා දැමුවා ය. යුගාත්ම, සිය නො රිස්සුම පිටතට පෙන්විය නො හැකි ව දුක් වින්දේ ය.
“ඔව්. මාත් කියන්නෙ ඒකයි”
“හරි දැන් ඔයාගෙ අප්පච්චි ඇහුවොත් ඔයාගෙන්…”
“අයියෝ මං කියන්නං මන්නං රටේ එක පිරිමියෙක්වත් නැති වුණත් ඒ මනුස්සයවනං බඳින්නෑ කියල”
පාරින්දි ‘හිචිස්’ ගා සිනහ වූවා ය.
“ඈ…”
“කොහොමහරි ඔයාගෙ ප්‍රශ්නෙ විසඳෙනවනෙ…”
අන්තරා ගේ ඇස් මත වූයේ දඟකාර සිනහවකි. යුගාත්ම ඒ දෑස් දෑලෙහි කිමිදෙන උත්සාහයක් දැරුවේ ය. ඇගේ සිනහව අභියෝගයක් ද? හිතේ වන කිසිවක් නොසඟවා ඇයට කියාගත නො හැකි වීම මේ මොහොතේ ඔහු ට අවාසියක් ද? නමුත් ගාන්ධාරා නොව අන්තරා අහිමි කරගන්නට ඔහු ට ඕනෑ නැත!