ආදරේ අහඹුවක් – එකොළොස්වන කොටස

0
2721

“වෙන්දේසිය අහවරයි නෙව. කවි මඩුවෙ කාණ්ඩෙ ආපහු ගොහිල්ල” කියල එව්ජිනා මං දිහාව බලාගෙන නොසෑහෙන්න අනුකංපාවෙන් හේ කිව්වෙ ගෙයි වෙච්ච, කතාවෙච්ච කාරණා කාරණා එයැයිතුත් දැනං උන්නු හන්දා.

කුස්සියට වෙලා රෑ කෑමට එලෝලු සුද්ද කොර කොර උන්නු මගෙ අත එවෙලෙ වෙව්ලුව හැටි, ලිස්සුව හැටි මට තාම මතකයි. 

ඉන්පස්සෙ දවස් කීයක් නං ගෙවුණද. අම්මල තකහනියෙ කතා කොරපු කිසිම කාරණාවක් මූණෙ එක පැත්‍තක් උපන් ලපේකින් අන්දකාර වෙච්ච, අනිත් පැත්‍ත හිත් වේදනාවෙන් අන්දකාර වෙච්ච මට මනාප වෙච්ච නැති හන්දා අම්මල තේරුං අරන් තිබ්බ මට කාරණාවක් කතා කොරනවට වඩා දැනටම හොඳ පවුලකට පෑහිල තිබිච්ච නංගිගෙ කටයුත්ත අහවර කොරල දාන එක හොඳ විත්තිය

උයන පිහන කාරණා අහවර කොරල, කාමරේට වෙලා මැහුමක ගෙතුමකට එබෙන එහෙමත් නැත්‍තං කල්පනාවට එබෙන මං ජීවත් උනේ තාමත් හඳපානෙ අරලිය ලන්දෙ ගෙවිච්ච අතීතෙ

මෙහෙට අව්ව පායන, වහින, හඳ පායන හැම වෙලාකම එයැයි මට කිව්ව කරිජ්ජ සුවඳ තියෙන මූදුකරේටත් ඒ විදිහටම අව්ව, වැස්ස, හඳ පායනවද කියල මං කල්පනා කොරා

මගෙ හිත වගේම එයැයිගෙ හිතත් අපි ගැන කල්පනා වලින් පිරිල තියෙනවද කියල මං කල්පනා කොරා

ගෙවිච්ච කාලෙ ගැන මගෙ හිතේ වගේම එයැයිගෙ හිතෙත් විස්සෝපයක් තියෙනවද කියල මං කල්පනා කොරා

ඊටත් එහා තාමත් එයැයි මං ගැන අමනාපෙන්ද කියල මං කල්පනා කොරා

නංගිගෙ මංගල්ලෙ ගැන දොඩන්න ආරච්චිලහින් ආ වෙලාවෙ උනත් මං කැවිලි පෙවිලි හරිගස්සල තේ මේසෙ සූජානං කොරා මිසක්ක දොඩන්න තියා මූණ පෙන්නන්නවත් නොගියෙ ” අපෙ පුතාට ඉතින් අපි හෙව්වෙත් අපිට හරියන, අපෙ පැලැන්තියෙම දැරිවියක්” කියල එහෙ නැන්දා ආ වෙලේ හිට කීප වංගියක් කිව්ව හන්දා

බාගදා එහෙව් මනුස්සය ඉස්සරට මූණ පොවන්න ගියානං “කරාවෙ එකෙක් එක්කල පෑහෙන්න ගිය ගෑණියෙක් ඉන්න පවුලක් එක්කල අපිට බෑහෙන්න බැහෙයි” කියල නංගිල බයෙන් උන්නු කතාව අලුත් වේය කියල හිතලමයි මං කාමරේ අස්සටම වෙලා උන්නෙ

අම්ම උනත් ඒ කාරණාව තේරුං ගත්ත හන්ද වෙන්නැති මට එළියට පහළියට එන්නය කියල නොකිව්වෙ

දවසින් දවස ගෙවිල ගොහිල්ල නංගිගෙ මංගල්ලෙටත් කාරණා කාරණා ලෑස්ති උනා. නංගිගෙ හිතේ, අම්මලගෙ හිතේ හේම ගෙදර වටපිටාව උනත් මංගල්ලෙ ලස්සනෙන් වැහුණට මගෙ හිතටවත් ඇහැටවත් ඒ කාරණා පෙනුනෙ කොරේ නෑ. කොටින්ම “අර අඩු කුලේ එකා එක්ක ලාලනී ගියානං මෙව්ව මෙහෙම කොරන්න වෙන්නෙ නෑ නෙව” කියල අම්ම තාත්තා එක්කල කියනව ඇහුණත් මට ඒ ගැන වගක් උනේ නෑ

“ලාලනීට අඩු කුලේ එකා එක්කල ගියා නං හැබෑටම මීට වඩා අපූරු ජීවිතයක් ලැබෙන්න තිබ්බ” කියල හිත කියන හැම වෙලාකම ඉකි ගහ ගහ අඬන්න මට උවමනාව උනත් ඒ හැම වේදනාවක්ම, විස්සෝපයක්ම මං විසාල හුස්මක ඔතල කොරල හුලඟට බාර දුන්න, එයැයි ඉන්න අහකට ඇහැකි නං ගොහිල්ල දෙන්නය කියල

බාගදා මං එහෙම හිතුවට එයැයිට මං ගැන ඒතරං ආලයක් ලීලයක් නොතිබ්බ හන්ද වෙන්නැති එහෙම දෙයක් ගැන එයැයි ඇහුවෙවත් නැත්තෙ

අනිත් අතට එයැයිට තියෙන රූප ලස්සනද, හැකියාවද, වත්කං එක්කල මං වගේ ගෑණියෙක් කර ගහගන්න එක මෝඩකමක් විත්තිය හිතුණද කියල කවුද දන්නෙ?

හඳ පායන හැම වෙලාකම, ඒ හඳ දිහාව බලන හැම වෙලාකම මට එයැයිගෙ හඳක් හේ ලස්සන මූණ මතක් වෙනවා. අපි දොඩපුව මතක් වෙනවා. එයැයිගෙ හිනාව, කතාව මේ හැමදේම මට මතක් වෙනවා

“මේ හඳ දිහා බලන්නකො, අද හොඳට පායල තිබ්බට, සමහර දවසකට පායන්නෙම නෑ, සමහර දවසකට පායන්නෙ බාගයක් වගේ”

“ඉතින්?”

“කොයි විදිහට පෑයුවත් හඳ ලස්සන නෑ කියල කවුරුවත් කවදාවත් කියල තියෙනවද?”

ඒ තරං ආදරේ පිරිච්ච, මී පැණි රහ කතන්දර කියන්න කෙනෙක්, විසේසෙන් මේ මට එහෙම කතා කොරන්න කෙනෙක් මේ ලෝකෙ නැති විත්තියත්, ඒ උන්නත් අරවින්දගෙ හෙවණැල්ලෙන් වෑහිච්ච ඇහැටයි හිතටයි එහෙම මනුස්සයෙක් හොයන්න උවමනාවක්වත් නැති විත්තිය මං දන්නවා

“සමහරවිට මේක වෙන්නැති අපේ ලැබීම. සමහර මිනිස්සු ඉන්නව. ටික කාලෙකට හම්බෙනව. සන්තෝසෙන් ඉන්නව. ඊට පස්සෙ දරාගන්න බැරි හිත් වේදනාවක් හිතේ තියාගෙන වෙන්වෙනවා.අපිත් එහෙම වෙන්නැති” කියල අපි අන්තිමට මුලිච්චි වෙච්ච දවසෙ එයැයි කිව්ව කතාව හැබෑවක් විත්තිය හිතේ තියාගෙනම ජීවිතේ ඉතුරු ඩිංගිත්ත ගෙවල දාන්න මං හිත හදාගත්තෙ ඒ හන්දා

ඉස්සර නං මට එහෙමවත් හිතන්න, පතන්න කෙනෙක් උන්නෙ නැති එකේ අඩුම තරමෙ දැන් මට සතියක් හරි ආදරේ කොරඖ, මං ලස්සනෙයි කිව්ව මනුස්සයෙක් ඉන්නව, මේ ආත්මෙ ලබාගන්න බැරි උනත් ඊළඟ ආත්මෙක හරි ලැබේවා කියල පතන්න

කාමරේ ලී පොලු හිටවපු ජනේලේ අද්දර වාඩිගෙන, අන්දකාර ආකාහෙ රන් තැටියක් හේ පායාපු හඳ දිහාව බලාන මං කල්පනා කොරේ ඒක

“අපෙ ගෙදර ගියාම ඔයාට පුලුවන් හඳ පායන දවසට මා එක්කල මූදු වැල්ලෙ ඇවිදින්න යන්න”

“බය නැද්ද ඉතින් රෑට එහෙම යන්න?”

“මොකටද බය වෙන්නෙ? මං ඉන්නවනෙ ළඟ. රෑට තමයි ලලී මූද ලස්සනම. හඳ එලිය මූදු වතුර උඩට වැටිල තියෙන්නෙ හරියට පාරක් වගේ. ඒ පාර දිගේ හඳ තියෙන දිහාවට එන්න කියන්න වගේ තමයි මූදු රැල්ල හෙමීට නටන්නෙ. මං ආසයි ඔයාට ඒ ලස්සන පෙන්නන්න. අපෙ ගෙදර උඩට වෙන්න තියෙනව කෑල්ලක්, වහලක් නැතුව අහසට ඇරිච්ච. අපිට පුලුවන් වහින්නෙ නැති දවසට ඒ කෑල්ලෙ නිදාගන්න, මට පුලුවන් එතකොට හඳ එළිය වැටිල දිලිසෙන ඔයාගෙ ලස්සන බලන්න”

හිතෙන් කී වංගියක් නං මං එයැයි කිව්ව ඒ හඳ එලිය ගැන, මූද ගැන, එයැයිගෙ ගේ ගැන හීන මැව්වද? හඳ එලිය වැටිච්ච මූදු වැල්ල දිගේ එයැයිට තුරුල් වෙලා ඇවිදන් යන මාව හිතෙන් මොනතරං නං මවාගත්තද?

අනේ අරවින්ද!!!

හැඬිලි, දෙඩිලි, හැප්පිලි පිරිච්ච හිත නිස්සද්ද උනේ ජනේලෙට එහා පේන කොස් ගහ පාමුලෙන් ඇහිච්ච චිරි චිරිස් සද්දෙ හන්දා

කාගෙ හෙවණැල්ලක්ද ඒ?

-උදතාරී-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here