නුවර ගිය පසු ජිතේන්ද්‍රලා ට ගෙදරට ආරාධනා කොට දවසක් දෙකක් ඔවුන් සමගින් ගත කිරීමේ දොළක් තරුපති තුළ ඇති විය. එහෙම දවස් ඔවුන් ගේ අතීතයේ ද නො තිබුණා නොවේ. දළදා වඳින්නට ආවොත් දවසක් තරුපති නිවසේ ගත කර යන්නට ජිතේන්ද්‍ර අමතක කළේ නැත. නමුත් ඒ දිනවල ඔවුන්ගේ හදවත් වල තුවාලයක් විය. ඔවුන් හමු වන හැම අවස්ථාවක ම ඒ තුවාලය පෑරුණේ නැතිවායි කිව නො හැක. එබැවින් ඊටත් පෙර අතීතයේ පැවති සතුට හා සැහැල්ලුව වෙනුවට ඔවුන් හමු වූයේ හදවත් වල බරක් දරාගෙනයි. එබැවින් නිදහසේ සිනහ වී කතා කළ නො හැකි විය. පවුල් දෙකේ දරුවන් දෙදෙනා අතැර කතා කිරීම පහසු නොවූ බැවිනි.
නමුත් මෙවර තරුපති ලා කොළඹ පැමිණීමෙන් පසු ඒ තත්වය සහමුලින් වෙනස් විය. තුවාලය පැවති මැද කොටස කපා ඉවත් කොට, ජීවිතයේ පූර්ව භාගය හා වර්තමානය එකට යා කරනට ඔවුන්ට හැකි විය. යළිත් එකතු වී කතා බහ කරත්දී මගහැර යන්නට කොටසක් වූයේ නැත. ඔවුන්ට සහමුලින් ම ඔවුන් වෙනුවෙන් විවෘත විය හැකි විය.
එය හදවත් වලට පහසුවකි. අලුත් වූ මිතුදම් හිත් නිදහස් හා සැහැල්ලු කොට තිබිණ. ඉස්සර කාලයක වාගේ ම දෙමිතුරන් ට හඬ නගා සිනහ විය හැකි වූයේ ය.
“ඉතිං ගෙදර යනකල් ඉන්න ඕන නෑ. අප්පච්චි ජිතේ අංකල්ලට ඉන්වයිට් කරන්න. අපි කොහෙ හරි හොඳ තැනකට ගිහිං ඩිනර් එකක් දෙමු ඒගොල්ලන්ට. පස්සෙ නිදහසේ නුවර එන්න කියන්න පුළුවන්නෙ එතකොට”
තරුපති ගේ තොල් කොනක් සිනහවකට ඇද විය. පියා ගේ බැල්ම තුළ වන සරදම වැටහුණත් නැතා සේ යුගාත්ම ඉවත බැලුවේ ය. දැන් ඉතින් අසීරුවෙන් හෝ ඒ සමච්චල් දරාගත යුතුව තිබේ.
ඒ අනුව තරුපති ලා නුවර යන්නට පෙර දා රාත්‍රියෙහි, ජිතේන්ද්‍රලා වෙනුවෙන් භෝජන සංග්‍රහය පැවැත්විණි. දෙමාපියන් ඉදිරියේ යුගාත්ම හා අන්තරා අතරේ හිතවත්කම ද ප්‍රදර්ශනය වීම ද විශේෂයක් විය. වැඩිහිටියන් සිතන්නට ඇත්තේ ඒ හිතවත්කම ඔවුන්ගේ හඳුන්වාදීම තුළින් අලුතෙන් ඇති වූ එකක් සේ ය. ඔවුන් එසේ සිතුවත් එය පහසුවක් සේ දෙදෙනාට ම දැනිණ.
“පුතාගෙ බිස්නස් එකයි අපේ සුදු නෝනා ඔය කරන්න ආසයි කියන එකයි දෙකම එකක් වෙච්චි එකනෙ පුදුමෙ. ඒකටත් පුතාගෙං උදව්වක් පදව්වක් ගන්න පුළුවන්නෙ දැන්. මට ඉතිං ඕව ගැන එච්චර දැනුමක් නෑනෙ”
ජිතේන්ද්‍ර ට එයත් සැනසිල්ලක් විය.
“කිසි දේකට බය වෙන්න එපා ජිතේ. අපේ යුගාත්ම කොළඹනෙ ඉන්නෙ. මොකෝ පිට කියලයැ. අපේ අපේ ළමයිනෙ. මේක පවුලෙ වැඩක් කියල හිතල නංගිට උදව් කරන්න ඕනෙ පුතා. ජිතේ උඹ හිතන්නෙපා ගෙදර කොල්ලෙක් නෑනෙ කියල. ධාරාගෙ වැඩේ කෙළවරක් වෙනකල් කරට අරං අපේ කොල්ල කරල දෙයි. මේගොල්ලො පොඩි කාලෙ නැටුං සංගීතෙ උගන්නන්න අපිට ඕන වුණාට බං… දෙපැත්තක හිටියත් දෙන්නම සුවඳ ගැනනෙ උනන්දු වෙලා තියෙන්නෙ”
මිතුරන් දෙදෙන ප්‍රීති ප්‍රමෝදයෙන් සිනහ වූහ. සැබවින් ඔවුන්ට මේ සමරන්නට තරම් සතුටකි. ඇතැම් දේවල් ඉෂ්ට සිද්ධ කරගන්නට අපට කෙතරම් උවමනාව තිබිණි ද අපට අවැසි වෙලාවට ඒවා සිදු නොවේ. නමුත් සමහර දේවල් හරි පුදුම ලෙස සොබා දහම රිසි පරිදි සිදු වේ.
“පුතත් ඉතිං අපේ ගෙවල් පිට ගෙවල් කියල හිතන්න ඕන නෑ. ඕන වෙලාවක ඕන හැටියක ඇවිත් ඉඳල යන්න පුළුවන්. ගෙදර උයන්න පිහන්න කෙනෙකුත් නැති එකේ… කෑම බීම ටික කොහොමත් අපේ ගෙදරින් ලෑස්ති කරල දෙන්න පුළුවන්. නැද්ද කිශෝරි…”
“අනේ ඔව්. ඒ වගේද මේ අලුත් වුණ හිතවත්කං. මටනං ඒ ගැන හරී සතුටුයි. අපේම කියල හිතට දැනෙන කවුරුම හරි ඉන්න එක මොන තරං හයියක්ද…”
ඒ රාත්‍රී භෝජන සංග්‍රහය ඉනික්බිති උදාවීමට නියමිත දවස් තීරණය කරනා තීරකය වූයේ ය. පවුල් දෙක ඒ රෑ දෙපසට විසිර ගියේ අලුතෙන් උපන් හිතවත්කම් වල බර දරාගෙනයි.
“අප්පච්චිල පුතාල මොනා කරන්න යනවද කියල මන්දන්නෑ. මගෙනං එච්චර මනාපයක් නෑ ඔය අලුත් හිතවත්කං ගැන”
පළඟු මැණිකේ එදා ගෙදර ඇවිත් කීවා ය. නමුත් එය බරපතල විරෝධයක් නොවේ. අන්තරා දකින්නට පෙර තරුපති ගේ අදහස ගැන හිතේ වූ අප්‍රසාදය, කොළඹ ගමනත් සමග තුනී වී ඇති බව ඕ තොමෝ පිළිගත්තා ය. නමුත් අතීතය මත ගාන්ධාරා විසින් ඇති කොට තිබුණා වූ කැළල මුලුමනින් සේදී ගොස් තිබුණේ නැත. අප්පච්චි හෝ පුතණුවන් අම්මා ගේ අදහසට හ්ම් මිටකින් හෝ ප්‍රතිචාර නො දක්වන්නට තරම් ප්‍රවේසම් වූහ.
“ඔය සෙන්ට් එක හැදුවට පස්සෙ ඉතුරු වැඩකටයුතු කෙරෙන්න ඕන කොහොමද කියල යුගාත්ම එක්ක කතා කරල හොයල බලන්න සුදු නෝනා. මගෙ අදහසනං… ඒක සුදු නෝනා හොයාගන්න අලුත්ම සුවඳක්නං ඒකෙ අයිතිය වෙන කාටවත් දෙන්න එපා”
උදේ අන්තරා ගෙදරින් පිටත් වීමට සූදානම් වෙත්දී ජිතේන්ද්‍ර කීවේ රෑ තිස්සේ කල්පනා කරමින් කිශෝරි සමගින් ද කතා කොට තීරණය කළ කාරණයකි.
“ඒක කම්පනි එකකට විකුණන්න පුළුවං අප්පච්චි. මං ළඟ තියාගෙන ඉතිං… පර්ෆියුම් එක හදල මට යූස් කරන්න තමයිනෙ වෙන්නෙ”
“එහෙම නෙවෙයි. මගෙ ළඟ ඔය ඉතුරු කරගත්ත සල්ලි ටිකක් ඇතිනෙ. ඕව දැං ඉතිං වැඩකට ගන්නව මිසක් අපි මැරුණහම අරං යන්නයැ. සුදු නෝනා බලන්න ඒ සෙන්ට් එක මාකට් එකට දාන්න පුළුවන් විදිහට පොඩියට පටන් ගන්න..අවශ්‍යම දේවල් ටික කරගන්න ඔය සල්ලි පාවිච්චි කරන්න බැරියෑ. අර ළමය එක්කත් කතා කරල බලමුකො”
අන්තරා සිහිනයෙනුදු එවැන්නක් බලාපොරොත්තු වූයේ නැත. ඇය ඈ ගැන ඒ තරම් ලොකුවට හිතුවේ ම නැත. මේ මොහොත ඇදහිය නො හැකි වූයේ එබැවිනි.
අනේ අප්පච්චි අපි කොහොමද එච්චර දෙයක් කරන්නෙ… අපිට ඒ ගැන එක්ස්පීරියන්ස් නෑනෙ”
“සුදු නෝනා… මේ ලෝකෙ කොයි මනුස්සයත් මුලින්ම දෙයක් පටන් ගන්නෙ එක්ස්පීරියන්ස් නැතුව තමයි. හැබැයි එක්ස්පීරියන්ස් තියන මිනිස්සු ඉන්නවනෙ. ඉන්වෙස්ට් කරන්න සල්ලි තියනවනං අපිට ඒ මිනිස්සුන්ගෙ සර්විස් එක ගන්න පුළුවං. අපි යුගාත්ම පුතා එක්කත් කතා කරල බලමුකො. සුදු නෝනා තමුන්ගෙ හැකියාව විශ්වාස කරල අපි ඒ හැකියාවට අපිම වටිනාකමක් දෙන්න ඕනෙ. ඊට පස්සෙ තමයි ලෝකෙ මිනිස්සු අපිව විශ්වාස කරන්න පටන්ගන්නෙ”
අන්තරා ගෙයින් පිටතට පිය නැගුවේ පිරී විශ්‍රැත වූ හදවතක් දරාගෙනයි. සමහර දේවල් සිදු වන්නේ අනපේක්ෂිත ලෙස ය. තවමත් ඇයට ඈ ගැන ඒ තරම් ලොකුවට සිතිය නො හැකි ය. ඇය නිර්මාණය කළ සුවඳක්, ඇගේ ම නිෂ්පාදන ආයතනයකින් ලොවක් වෙතට බෙදා හරිනා සිහිනයක්වත් ඈ දැක තිබුණේ නැත. මේ තරම් පුදුම හිතෙන්නේ ඒක ය.
“පුළුවන්නං ෆ්‍රී වෙලාවක එනවද?” කියා ඈ යුගාත්ම ට පණිවිඩයක් තැබුවා ය. ඕරා ඔෆ් ඇරෝමා කොල්ලුපිටිය ශාකාවේ සිට ඔහු ඒ මොහොතේ ම පැමිණියේ පාරින්දිට හෝ කියන්නේ නැතිව ය. ඔහු දුටුවන අන්තරා “පාරි ආවෙ නැද්ද” කියා ඇසුවා ය. යුගාත්ම ඊට වැදගත්කමක් දෙන්නට වෙහෙසුණේ නැත.
“වැඩනෙ එයා. දැන් මොකද්ද වෙලා තියෙන්නෙ…”
“නිකං ඉතිං…”
යුගාත්ම නළල රැලි ගන්වා දෑස් සිහින් කොට ඇදෙස බැලූ බැල්මෙහි වූයේ කියන්නට කතාවක් ඇයට තිබෙන බව දන්නා බවට කතාවකි.
“අප්පච්චි කියනව පර්ෆියුම් එක අපිම මාකට් එකට දාමුලු. එයා ළඟ සල්ලි ටිකක් තියනවලු. ඒක කෙරෙන විදිහක් ගැන ඔයා එක්ක කතා කරල බලන්නලු”
යුගාත්ම ගේ මුහුණෙහි පිළිසිඳියේ ආඩම්බරකාර සිනහවකි. කෙනෙකුගේ ජයග්‍රහණය වෙනුවෙන් එහෙම ආඩම්බරයකින් සිනහ වෙන්නට පුළුවන් තමන්ගේ කියන හැඟීම තිබෙනා කෙනෙකුට පමණි. ඔහු අසුනෙන් නැගිට ඇය වෙතට ම පැමිණියේ ය. ඇගේ දෙඋරහිස් වලින් තද කොට අල්වා ගත්තේ ය.
“ඔයාට ඒක කරන්න පුළුවන්. අපි ඒක කරමු. හිතන්න එහෙම දෙයක්… ඔයා ෆෝමියුලාස් ගැන එක්ස්පෙරිමන්ට්ස් කරනව. අලුත් සුවඳ සූත්‍ර හදනව. පුංචි ෆැක්ට්‍රි එකක ඒ පර්ෆියුම් හැදිල රට වටේ යනව. ඉක්මනින් ලෝකෙ වටේ යන්නත් බැරි වෙන එකක් නෑ. ලෝකෙංම හැංගිල තමන්ට විතරක් පර්ෆියුම් හදාගත්ත කෙල්ලෙක් දවසක ලෝකෙම සුවඳ කරනව. එයාගෙ සුවඳ ගැන මිනිස්සු කතා කරනව. මේක අමුතු ලෝකයක් අන්තරා. මනුස්සයෙක්ට එක දොරක් වැහෙනකොට තව දොරවල් ගාණක් ඇරෙනව. හැබැයි අපි තෝරගන්න ඕන කොයි දොරද කියන එක ගැන අපිට සෙන්ස් එකක් තියෙන්න ඕනෙ. ඔයා හරි දොර ඇරගත්ත”
“ඇත්තටම ඒක මං ඇරගත්තමත් නෙවෙයි. ඔයා නිසයි මං මේ ගැන වැඩියෙන් උනන්දු වුණේ…”
“ඔයා හරි සුවඳ ගෑනු ළමයෙක් අන්තරා. ඒ දොර ඇරිල තියෙන්නෙ නිකංම නෙවෙයි. ඔයාට ලොකු ගමනක් යන්න තියෙනව”
“අපි ගිහිං බලමු”
අන්තරා සිනහවක් නගාගෙන මුළුතැන්ගේ දෙසට ගියා ය.
“පර්ෆියුම් ෆැක්ට්‍රි එකක් අයිති ලස්සන ලේඩි කෙනෙක්… ඒක ඉමැජින් කරන එකත් ලස්සනයි”
අන්තරා අම්මා හැදූ කිරිබත් හා ලුණු මිරිස් මේසය මත තබා කෝපි පිළියෙළ කළා ය. කෝපි සුවඳින් ද හදවත් වල උණුහුමින් ද මුළුතැන්ගෙය පිරී තිබිණ.
“එහෙම ලොකු හීනයක් මට මේ දැනුත් නෑ. මං ආසයි සුවඳ සූත්‍ර හදන්න. මගෙම පුංචි ලෝකෙක සීමිත ජීවිතයක් ගෙවන්න. හැන්දෑවට ඔයාල දෙන්න එක්ක කඩල ගොට්ටක් කකා පාරෙ ඇවිදං යන එකෙන් වුණත් මං ලොකු සතුටක් විඳිනව. පුතා කෑවෙ මොනාද කළේ මොනාද කොහෙද ඇවිද්දෙ කියල කියෝ කියෝ ඉන්න වෙලාව තමයි දවසෙ මං ආසම පැය. මට ඒ චූටි චූටි දේවල් නැති කරගන්න ඕන නෑ යුගාත්ම. ඒව නැතිවෙලා ගියාට පස්සෙ ජීවිතේ කොච්චර හිස්ද කියල අත්විඳපු ගෑනියෙක් මං. දක්ෂිණ සල්ලි මත්තෙම නැහෙනකොට… ජීවිතේ කියන්නෙ ඕකටද කියල මං තනියම විඳෙව්ව. ඒක නිසා බිස්නස් එකක් එක්ක බිසී වෙන්න මට බැරි වෙයි. ඒත් මෙහෙම දේකට මං ආසයි. ගෑනියෙක් ඉකොනොමිකලි ඉන්ඩිපෙන්ඩන්ට් වෙනව කියන්නෙම එයාගෙ ආත්මෙට නිදහස ලැබෙනව කියන එක. පුතා දවසක ලංකාවට එන්නෙත් බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රි එකක් එක්කනෙ. එයාට කරං යන්න දෙයක් හැදිල තියෙන එකත් සතුටක්නෙ. ඔයාගෙ ඕරා ඔෆ් ඇරෝමා දැක්ක මුල්ම දවසෙ මට දැනුණෙ දිව්‍ය ලෝකෙ තැනකට ගියා වගේ. දවසක ඔයාගෙ දිව්‍යලෝකෙ කොනක මගෙ හීනෙං චුට්ටකුත් තියෙයිනෙ කියල හිතෙද්දිත් ආසයි. තව අවුරුදු ගාණකට පස්සෙත් මේ විදිහට නිවී සැනසිල්ලෙ මොනාහරි කකා කෝපි එකක් බොන්න වෙලාව තියන තරමට නිදහසේ ඉන්න අපිට පුළුවන්නං… “
“මට ඔයාව තේරෙනව”
යුගාත්ම හෙමිහිට මිමිණුවේ ය.
“ඒත් ඔයා ගොඩක් වටින ගෑනියෙක්. ඒ වටිනාකමත් එක්ක ඔයා එහෙම නිදහසේ ඉන්න. කොල්ල මේක ලස්සනට බලාගනී”
“ඔයත් ඉන්නවනෙ ඕන වෙලාවක උදව් උපදෙස් එක්ක…”
“ඔයා කැමතිනං අනිවාර්යෙන්ම”
“කවදහරි වයසට ගිය කාලෙකත් අපි මෙහෙම කතා කර කර තේ එකක් බොමු යුගාත්ම. මේ දවස් එතකොට අතීතෙට එකතු වෙලා තියෙයිනෙ. අපි තේ එකක් බිබී මේ දවස් මතක් කරමු. හරියට අපේ අප්පච්චිල වගේ”
“ඔයා කැමති ඕනම විදිහකට… ඕනම දෙයක් සිද්ධ වෙයි…”
යුගාත්ම නික්ම යත්දී ඇයට පාළුවක් දැනිණ. නමුත් සමු ගැනීම කියන්නේ නැවුම් වීමට අවස්ථාවකි. නැවත හමු වීමක බලාපොරොත්තු ලියලවන සාධකයකි.
“හවසටත් එනෝ තේ බොන්න”
රියට නැගී ඔහු කීවේ ය.
“මං මෆින් හදල තියන්නං”
අන්තරා ගේ දෑස් මත තාරකාමය දීප්තියක් විය.
“එහෙනං මං ලන්ච් එවන්නං. ඔයා උයන්න වෙලාව නාස්තිකරන්න එපා”
ඇය සතුටින් හිස සැළුවා ය. ඔහු නික්ම ගියාට පස්සේ දැනුණ කාංසියේත් අමුතු මිහිරක් තිබිණ. පෙර කවදාටත් වැඩිය රසට මෆින් හදනා ආශාවක් හිත කොනක තියාගෙන අන්තරා පරීක්ෂණ කාමරයට වැදුණා ය.