සුසුවඳ සූත්‍ර – 44

0
4983

මේ විදිහේ මොහොතක් සිය ජීවිත වෙත උදාවනු ඇතැයි යුගාත්ම කාශ්මීර අමුණුගම සේ ම දක්ෂිණ විතානගේ ද නො සිතන්නට ඇත. දක්ෂිණ විවාහ වූයේ යුගාත්ම විවාහ වීමට සිටි යුවතිය- අන්තරා සමගයි. නමුත් ඒ විවාහය බිඳ වැටී දැන් දක්ෂිණ ඇගේ ලෝකයෙහි පිටස්තරයෙකු වී තිබේ. ඉතාමත් අහඹු ලෙස යුගාත්ම අන්තරා ගේ සමීපතම මිතුරෙකු ලෙස යළිත් ඇයට හමු වී හිඳී. වතාවක් මගහැරී ගිය ඈ නමින් මේ වන විට ඔහු ගේ පිරිමි හදෙහි විශේෂ හැඟීමක් ලියලා ඇති බව අවිවාදයෙන් පිළිගන්නට යුගාත්ම සූදානම් ය. නමුත් මෙහෙම දෛවෝපගත හමුවීමක් සැලසුම් කරන්නට සොබා දහමට ඕනෑ වූයේ ඇයි?

“යුගාත්ම… මට ඔයත් එක්ක ටිකක් කතාකරන්න ඕනවුණා. සමාවෙන්නෝනෙ මෙහෙම නොකියම ආවට. මේ කතාකරන්න වෙලාව නෙවෙයිනං… මං වෙන දවසක එන්නං”

“නෝ ඉට්ස් ඕකේ. උඩ මගෙ ඔෆිස් රූම් එක තියනව. දක්ෂිණ ට ඕනෙනං අපිට එළියට යන්න වුණත් පුළුවන්”

“ඒකෙ ප්‍රශ්නයක් නෑ. යුගාත්මට පහසු තැනක”

යුගාත්ම අතින් සන් කරමින් පියගැටපෙළ නැගෙන්නට පටන් ගත්තේ ය. ඔහු අනුව පිටුපසින් පිය නගන දක්ෂිණ ය. දෙදෙනා ගේ සපත්තු අඩි ලී තරප්පු මත ගැටෙනා හඬ දෙදෙනා ගේ ම හදවත් මැද දෝංකාර දෙන්නට විය. ඒ හඬ ඔවුන් තුළ ආත්මීය දෙගිඩියාවක් වර්ධනය කරවන්නට ද වූයේ ය.

“ඉඳගන්න දක්ෂිණ”

සිය අමුත්තාට අසුන් පනවමින් ද යුගාත්ම සිය අසුනට බර වූයේ ය.

“අපිට තේ දෙකක් ගේන්න”

කියා සේවකයාට දැනුම්දීමක් ද කළේ ය.

“ඉතිං දක්ෂිණ… මගෙන් මොකද්ද කෙරෙන්න ඕනෙ”

කියමින් යුගාත්ම සිය විධායක අසුන මේසය වෙතට ඇදගත්දී නම් දක්ෂිණ ගේ පිරිමි පපුව හරහා සුළං කුණාටුවක් හමා ගියේ ය. ඔහු නගාගත් සිනහව වුව කෘතිම එකකි.

“ටික කාලෙක ඉඳං යුගාත්මයි මගෙ හිටපු වයිෆ් අන්තරායි අතරෙ තියන හිතවත්කම ගැන මං ටිකක් දන්නව”

“ඔව්”

යුගාත්ම දක්ෂිණ දෙස බැලුවේ ඍජු තියුණු බැල්මකිනි. දක්ෂිණ ගේ ඕනෑ ම අභියෝගයකට මුහුණ දෙන්නට ඔහු ගේ වන සූදානම ඒ බැල්මේ තිබිණ.

“අන්තරා කියන්නෙ දාහකින් නෙවෙයි කෝටියකින්වත් හොයාගන්න බැරි ගෑනියෙක්”

එවර යුගාත්ම ගේ දෙතොලතරට ආවේ අඩ සිනහවකි.

“දැන් යුගාත්මට ඕන්නං අහන්න පුළුවං ඇයි එච්චර වටින ගෑනියෙක්ව මං නැති කරගත්තෙ කියල. ඒව උත්තර නැති ප්‍රශ්න යුගාත්ම. අපි ජීවිතේ ඒ ඒ මොහොතවල් වල වැඩ කරන්නෙ හැසිරෙන්නෙ ඒ වෙලාවට හිතෙන විදිහට. අඩි දෙක තුනක්වත් ඉස්සරහ බලන්නෙ නැතුව. අපි හුඟක් දේවල් වරද්දගන්නෙ ඒ නිසයි. සමහර විට මං හිතන්න නැතුව ඇති මොනා කරත් අන්තරා මාව අත්අරී කියල. එයාට එහෙම හයියක් තියෙනවයි කියල. අවලං පිරිමි හිත් නිසා මොන වැරදි කළත්… ඇත්තටම මට ඕනවුණෙ නෑ අන්තරාව මගෙ ජීවිතෙන් ඈත් කරන්න. හැබැයි ඒක එහෙම වුණා”

දක්ෂිණ සුසුමක් හෙළමින් අසුනේ පසුපසට වූයේ ය. ඒ තොරතුරු වල නොදන්නා යමක් නොවුණෙන් යුගාත්ම මඳකිනිදු ඉරියව් වෙනස් කළේ නැත.

“මං දන්නෑ ඔය දෙන්නා අතරෙ තියෙන්නෙ මොනවගේ සම්බන්ධයක්ද කියල. යාළුකමක්ද… නැත්තං ඊට එහා ගිය දෙයක්ද කියල”

“අන්තරා මාව බඳින්න කැමති වෙනවනං මං මේ දැං වුණත් ඒකට ලෑස්තියි දක්ෂිණ”

යුගාත්ම ගේ මුවින් එහෙව් ප්‍රකාශයක් නිකුත් වූයේ දක්ෂිණ වෙතින් චෝදනාවක් නැගෙන්නට පෙරයි. එහෙම කියාගත්තාට පස්සේ ඔහුට සැහැල්ලුවක් දැනිණ.

“හැබැයි අන්තරා මට එහෙම ඉඟියක්වත් දීල නෑ. අනිත් එක… ඔයා එදා එයාව උස්සගෙන පැන්නෙ නැත්තං කොහොමටත් අන්තරා මගෙ වයිෆ්. දැන් ඉතින් ඔය මොනවත් කතාකරල වැඩක් නෑ දක්ෂිණ. අන්තිමට එයා ඔයාටත් නෑ මටත් නෑ”

ඒ අන්තිම ටික කියත්දී යුගාත්ම ගේ මුහුණට පැමිණි සිනහවේ වූයේ ශෝකී හැඩයකි. දක්ෂිණ ගේ උගුරේ ගිනියම් ලෝහ ගුලියක් වාගේ දෙයක් හිර වී තිබිණ.

“එයා ආඩම්බර ගෑනියෙක්. දැන් කොහොමත් මට එයා නැති වෙලා ඉවරයිනෙ. හැබැයි මගෙ කොල්ලගෙ අම්ම විදිහට… මං    කැමතියි එයාව යුගාත්ම වගේ කෙනෙක්ගෙ අතට ලැබෙනවට. මට කරන්න බැරි වුණ දේ කරල දෙන්න යුගාත්ම. මැරෙනකල්ම එයාට සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් ආදරේකින් බලාගන්න. ඔයා එයාගෙ යාළුව වුණත්… දවසක එයාගෙ හස්බන් වුණත්‍…”

දක්ෂිණ අසුනෙන් නැගී සිටියේ ය. ඔහු ගේ දෑස් හි කඳුළු පටලයක් බැඳීගෙන ආවේ ය. ඔහු අනුව වහා අසුනෙන් නැගී සිටි යුගාත්ම, දක්ෂිණ ගේ උරහිසකට තට්ටුවක් දැමුවේ ය.

“අනිවාර්යෙන්ම… ඒ ගැන වොරි වෙන්නෙපා”

“ඔය දෙන්න මැරි කළොත් වෙඩින් එකට ඇවිත් විශ් කරන ලිස්ට් එකේ මාත් ඉන්නව කියල අමතක කරන්නෙපා”

“ශුවර්… දක්ෂිණ මෙහෙම ඇවිත් කතාකරපු එක ගැන මං සතුටුයි”

පිරිමින්ටත් කඳුළු තිබෙන බැව් සැබවි. නමුත් ඒ කඳුළු ගැහැනු ඇස් වාගේ වාගේ දිය කොට හරින්නට ඔවුන්ගේ පිරිමිකම් ඉඩ දෙන්නේ නැත. නො එසේව මේ ඔවුන් දෙදෙනාට ම කඳුළක් දෙකක් හෙළන්නට තරම් හිත් සංවේදී වූ නිමේශයකි.

අන්තරා යහනට වැටී සිටියා ය. යුගාත්ම ගේ හැසිරීමේත් වචන වලත් දැනුණා වූ වෙනස ඈ සිත තිගස්සවා තිබේ. ඇගේ ගැහැනු හදවත එහෙම රසයක්  විඳින්නේ කාලාන්තරේකට පස්සේ ය. සැබවින් මතක ඇති කාලයකට පස්සේ ය. යොවුන් දැරියක ලෙස දක්ෂිණ නිසා විඳි ප්‍රේමයේ ගැස්ම දැන් ඇයට මතක නැති තරමි. දුර ඈත අතීතය කාලයේ වැලිතලා අතරේ සැඟවී ගොසිනි. වඩාත් ප්‍රබල ලෙස දැනෙනුයේ ඊට වඩා ළඟ අතීතයේ දී විඳ දරාගන්නට සිදු වූ කටුක වේදනාවන්හි බරයි.

සුවඳ සූත්‍රයක් තරම් සව්මිය ලෙස දැනෙනා වූ මේ මෘදු හැඟීම විනාශකොට දමන්නට අන්තරා ලෝභ වූවා ය. හිත මත හීත මීදුමක් සේ එය ඔහේ පාවී තිබුණාට කිසිවෙකුට අවැඩක් වන්නේ නැත. යුගාත්ම තවමත් කොල්ලුපිටියට ගියේ නැත්ද කියා සිහි වූයේ ඔහුගෙන් ඇමතුමක් නො පැමිණි බැවිනි. හදිසි ගින්නක් උදර කුහරයේ ඇති වත්දී අන්තරා වහා ඔහු ගේ දුරකතනය අංකනය කළා ය.

“කෝල් එකක් දෙන්න ෆෝන් එක අතට ගත්ත විතරයි”

ඔහු ගේ සිනහව ඇයට මවාගත හැකි විය.

“දැන්ද ශොප් එකට ගියේ..”

“නෑ. ටිකක් වෙලා”

“ගිය ගමං කෝල් එකක් දෙන්න කියල මං කිව්වනෙ අනේ”

“චුට්ටක් පරක්කු වුණා. ගෙස්ට් කෙනෙක් එක්ක කතා කරන්න වුණා”

ඒ අමුත්තා කව්ද කියා අන්තරාට කිව යුතු ද නැත්ද කියා මේ  වෙත්දීත් යුගාත්ම සිතමින් සිටියේ ය.

“මං බය වුණත් එක්ක. මෙච්චර වෙලා ගිහින් නැත්තෙ ඇයි කියල”

ඒ නෝක්කාඩුවේ හුරතලයක් ද නො තිබුණා නොවේ.

“ඇයි…”

“ඇයි කියන්නෙ අනේ… මගදි මුකුත් කරදරයක්ද කියල හිතෙනවනෙ”

“එහෙම කරදරයක් වෙලානං…”

මේ ස්වර තානය ඔහු ඇයව ගේ ළඟින් බස්වත්දී කතා කළ රිද්මයේ ම ය. අන්තරා ඒ වෙනස නො තේරුණා සේ හැසිරුණා ය.

“මොනා කියනෝද මන්ද. මන් තියනව”

“අන්තරා”

යුගාත්ම ගේ හඬ තානය මුළුමනින් වෙනස් වූයේ ය. දුරකතන සම්බන්ධය බිඳ දමන්නට ගිය අන්තරා සැනෙකින් ගොළු වී උන් හිටි තැන නතර වූවා ය. එවර ඔහු කියන්නට යන්නේ කුමක් ද? හේතුවක් නැතිව ම ඇගේ හද ගැස්ම වැඩි වූයේ ය. අන්තරා ඉක්මන් හුස්ම ගත්තා ය.

“දක්ෂිණ ආව”

ඉක්මන් ප්‍රතිචාර දක්වන්නට ඈ පොහොසත් වූයේ නැත. එහෙම දෙයක් ගැන ඇය සිහිනෙනුදු නො සිතා තිබුණෙන්, කිව යුතු යමක් ගැන චායාවක්වත් හිතේ නැගුණේ ද නැත. ඕ මුව ද මඳක් අයාගෙන බලා සිටියා ය.  දක්ෂිණ එහි  යන්නට හේතුව සුවඳ විලවුන් මිල දී ගැනීම නොවන බව ඉර හඳ සේ විශ්වාස ය. මේ තරම් ඇගේ හද ගැහෙන්නේ එබැවිනි. පතිදම් බිඳි පතිණියක වාගේ වරදකාර හැඟීමක් ඇගේ හුස්ම හිර කරමින් තිබිණ.

“එයාට කරන්න බැරි වුණ දේ කරන්න මට විවරණ දීල ගියා. ඔයාව පරිස්සමට බලාගන්න කියල ඉල්ලීමක් කරල ගියා”

අන්තරා ගේ සුරත පපුව මත රැඳිණි. කෙටි කාලාන්තර ඇතිව හුස්ම වැටෙන හැටි ද පපුව ඉහළ පහළ යන හැටි ද ඇය අත්විඳිමින් සිටියා ය. දක්ෂිණ ට නොව මින් මතු යුගාත්මට වුව මූණ දෙන්නේ කෙසේදැයි ඒ අසීරු මොහොතේදීත් ඇයට සිතෙමින් තිබිණ.

.

.

.

💜️සතුටු මන්තර හා ආකාස මෝස්තර, මගේ නවකතා ද්විත්වය මුද්‍රණ ද්වාරයෙන් ඔබ වෙත පැමිණීමට සියලු කටයුතු සූදානම්. පිටපතක මිල 1400/ බැගින් වන අතර 25% ක විශේෂ වට්ටමක් යටතේ, ජූනි 15 දක්වා පෙර ඇනවුම් ලබාගැනෙනවා. වට්ටම සමග පිටපතක මිල වන්නේ රු. 1050 ක් පමණයි. සියලු විස්තර 0788376053 ඔස්සේ වට්සැප් කිරීමෙන් ලබාගත හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here