දෙපයින් ඇවිදගෙන නිවසෙන් පිටතට ගිය නුරාන් ධනුකගේ වාරුවෙන් නිවස තුලට ඇතුළු වීම, නුරාන්ගේ මවට කිසි ලෙසකින්වත් දරාගත හැකි වූයේ නැත. ඕ නිවසේ පසෙක බිත්තියට වාරු වී ඉකි බිඳිමින් උන්නාය.
නුරාන් ගේ පියා සුපුරුදු උපේක්ෂාවෙන්ම බලා උන්නේය. ජීවිතයේ අනේක විද දුක් වේදනාවන්ට පසු දරුවන් දෙදෙනාගේ , සහ පැහැසරාගේත් ශක්තිය තමන් දෙදෙනාගේ ජීවිත මෙතරම් සුව අතකට පෙරළා දුන් බව ඔහු දන්නේය. එතෙක් දුර තම දරු දෙදෙනාව රැගෙන එන්නට තමා කෙතරම් දුක් වේදනා වින්දා දැයි ඔහු දන්නේය.
නුරාන් ගේ මව හා විවාහ වන්නට ගත් තීරණයෙන් පසු නෑදෑයන් සියල්ලන්ගෙන්ම වෙන් වී හුදෙකලා ජීවිතයක , පැල්පතක් ලෙසින් වූ නිවසක ජීවිතය ආරම්භ කරන්නට සිදුවීම කිසි ලෙසකින්වත් පහසු වූයේ නැත. දරුවන් එකා දෙදෙනා වෙද්දී ,ඔවුන්ගේ අවශ්‍යතා වැඩි වෙද්දී, නුරාන්ගේ පියාට දිනය තුළ වෙහෙසෙන්නට වූ සීමාව දෙගුණ තෙගුණ විය. එහෙත් ඔහු දරුවන් දෙදෙනාගේම අනාගත සුරක්ෂිත වන තෙක් දිගින් දිගටම වෙහෙසුනේය. මේ දැන් වෙහෙස නිවන කාලයයි.
ඒ කාලයට අලුත් ඉරක් වැටුනේ නුරාන් ගේ ජීවිතය බලා උන් අනෙක් අර්ධය නොසිතූ ලෙස ඔහුගේ ජීවිතයට යළිත් පැමිණීමෙන් පසුවය. දෙදෙනා එක්ව සාමයේ මිටියාවතකට බැස, ජීවිතය අරඹන්නට පටන් ගත්තා පමණි. නුරාන් ගේ ජීවිතයට මෙවන් විපතක් කඩා පහත් වී ඇත. ජීවිතයේ මේ අනියත භාවය උපේක්ෂාවෙන් දරා ගන්නට නුරාන් ගේ පියා පුහුණු කරමින් උන්නේය. එනිසා ඔහුගේ නෙතින් කඳුළක් වැටුනේ නැත. ඒ වෙනුවට සියලු බාධා හමුවේ .නොසැලීම සිටිමින් යළි හිස ඔසවන තම පුතුන් දෙදෙනා වෙනුවෙන් ඔහු දාරක ස්නේහයෙන් ඉපිළුණේය.
ධනුකගේ වාරුවෙන් නිවසට ඇතුළු වූ නුරාන් දෙස නුරාධ්‍යා බලා උන්නේ ගල්ගැසීගෙන මෙන්ය. බාප්පා සමග තරහ නැතැයිද බාප්පාට තනිව ඇවිද එන්නට යයිද පවසමින් ඕ හඬා වැටෙන්නට වූයේ එවෙලෙහි අවට සිට සියල්ලන්ගේම නෙත් තෙත් කරවමිනි.
” නෑ නෑ බාප්පට ආදරේටනේ පුතේ මේ තාත්තා බාප්පව එක්කන් එන්නේ.. “
පැහැසරා කීවාය.
” බොරු බොරු…… අපේ ඉස්කෝලෙ ටීචර්ස්ලත් කතා වුනා බාප්පගේ කකුල කපලා කියලා…. ඌවා වෙලාලූ… බාප්පට ආයේ කවදාවත් ඇවිදින්න බෑකියලා ලු… . ම්ං අපේ ටීචර් එක්කත් රණ්ඩු කරලා ආවෙ….. බාප්පාට ඌවා නා කියලා… බාප්පා රෙස්ට් කරලා එනවා කියලා…කකුලක් නැතුව එතකොට කොහොමද බාප්ප බයික් පදින්නේ ? එතකොට බාප්ප කොහොමද මාව තියාගෙන බෝට්ටු පදින්නේ ? …..”
නුරාධ්‍යා බිම හිඳ ගනිමින් දෑතින්ම පොළොවට ගසමින් හඬා වැටුණාය . ධනුක නුරාන් ව් අසුනකට බර කළේය. ඉසිනි විත් නුරාධ්‍යා අසලින් හිඳ ගත්තාය.
“හරි චූටි පැටියෝ… බාප්පට චුට්ටක් තුවාල වෙලානෙ තියෙන්නේ…. අපි ඉක්මනට බාප්පා සනීප කර ගමු. බාප්ප සනීප වෙනකන් බාප්පවයි, දෝණිවයි තියාගෙන පුංචි බයික් පදින්නම්…..හරිද පුංචි බාප්පවයි දෝණිවයි බෝට්ටු පදින්නත් එක්කගෙන යන්නම්…..”
නුරාධ්‍යා හැඬුම මොහොතකට නවතා ඉසිනි දෙස බැලුවාය. ඇයට ඉසිනි පැවසූ කතාව විශ්වාස බවක් පෙනුනේ නැත. එහෙත් ඉසිනි විශ්වාසය පිරිමුහුණෙන්ම නුරාධ්‍යා දෙස බලා උන්නාය.
” ඇත්තටම?”
” ඔව් ඇත්තමයි ….”
” එතකොට ඔයා ඒ කවදාවත් බාප්පව දාලා යන්නේ නෑ..?”
සියල්ලන්ම ගොළුකරමින් කුඩා දියණිය එලෙසින් විමසුවේ ඉසිනිටද කිසිවක් සිතාගන්නට නොහැකි වදියනිය . ආයෙමත් ලෙසින් නුරාධ්‍යා විමසන්නේ ඇයිදැයි වැටහුණේ නැත
” ඒ කියන්නේ පුතේ?”
‘මගේ යාලුවා කිව්වා , ඉස්සර පුංචි බාප්පත් එක්ක යාළු වෙලා ඉඳලා
…පස්සේ පුංචි බාප්පාව දාලා ගියා කියලා ඒගොල්ලන්ගේ අම්මා කිව්වලු…දැන් බාප්පගෙ කකුල නැති වෙච්ච නිසා පුංචි අය බාප්පව දාලා යාවි කියලා එයා මට හිනා වුණා..එතකොට බාප්පට අය කවදාවත් මාව ගන්න ඉස්කෝලෙක ළඟට එන්න වෙන්නෙත් නෑ කිව්වා….”
ඉසිනි වේගවත් හුස්ම කිහිපයක්ම ගත්තාය. හෙළුවාය. අභ්‍යන්තරයෙන් දැනෙන්නේ ගින්නකි. ගින්නකි. ලෝකය සැනසීම තමන්ට ඉතා පහසුවෙන් ලබා නොදෙන බව පෙනෙන්නේය. තවමත් යන්තම් අකුරු කියවමින් සිටින කෙල්ලගේ හිතට පවා මෙවන් දේ ඇතුලත් කරන්නට තරම් ලෝකය දරුණුය.
” පුංචි ආයෙ යන්නෑ පුතේ …..”
ධනුක නුරාධ්‍යාව වඩා ගත්තේ ඉසිනි එවෙලෙහි අසරණ වූ බව වැටහුණු නිසාය. ඉසිනි උන් පියවර එලෙසින්ම හිඳගෙන උන්නාය. නුරාන් කුඩා දියණියව තම උකුලට ගෙන ඇය සැනසුවාය.
” දෝනිට ඕනේ කොහොමද කියන්න බාප්පා එහෙම කරනවා. හැමදාම දෝණිව ගන්නත් එන්නම්…. හරිද … බාප්පාගේ කකුල තුවාලෙ හොඳ වෙච්ච ගමන්ම… එතකල් සීයා දෝණිව ගන්න එනවානේ..”
“හා එහෙනම්…”
ධනුක නුරාධ්‍යාව ගෙන පැහැසරා අතට දුන්නේය අම්මා මුලුතැන්ගෙය ගිය වෙත ඇවිද ගියේ කඳුලු තවදුරටත් ඉස්සර වෙන්නට නොදෙමින්‍ය. නුරාන්ට පානය කිරීම සඳහා යමක් සකසන්නටය. ධනුක සහ පියා ඉදිරිපස දොරෙන් මිදුල දෙසට ඇවිද ගියෝය. ඉසිනි තවමත් උන්නේ බිම හිඳගෙනමය. නුරාන් ඕ දෙස බලා උන්නේය.
” පොඩි එකා දැනගෙන කියපු දෙයක් නෙමේ .. තාරා…. මෙන්න මෙතනට එන්න..”
නුරාන් මද වේලාවකට පසු කීවේය.
” දරුවා ඒක කිව්වේ නොතේරී උනාට , දරුවට ඔය කතාව කියපු මිනිස්සු ඕක කියන්න ඇත් නොතේරී නෙවෙයිනේ නුරාන්””
” දෝනි කිව්වනේ තාරා…. එයාට ඒක කියලා තියෙන්නේ එයාගේ යාළුවෙක්…… ඒ ගෙදර අම්මලා තාත්තලා ඕක කතාවේදී ඒ දරුවා අහගෙන ඉන්න ඇති……
” ඒකම තමයි මමත් කියන්නේ. මිනිස්සු තව කොච්චරක් කොහොම කතන්දර කියයිද නුරාන් ?”
” ඉතින් තාරා ඔයාට කොච්චරක් පැහැදිලි කරන්නද ? මිනිස්සු කියන කතා අපට කොහොමටවත් වළක්වන්න බැහැ. මිනිස්සු ඕටත් වඩා තව තව කතන්දර කියයි. ….සමහර විට වත්සලා එක පාරටම අසනීප වුණොතින්, මං වත්සලාට බලාපොරොත්තු දීල , ඊට පස්සේ වත්සලාව අත ඇරලා , ඔයාට ළං වුණා කියලා කතාවක් වුනත් පැතිරෙන්න පුළුවන්… ඒත් ඒ කතාවේ ඇත්ත අපි දන්නකල් අපි එහෙම කතා වලට සැලෙන්න අවශ්‍ය නැහැ…
අනිත් එක දෝණිගේ පන්තියේ පොඩි උන්ට දෝණි ගැන තියෙනවා පොඩි ජෙලස් එකක්….ක්ලාස් ටීචරත් ඔක කියලා තිබ්බා… ඒකට හේතුව මං දෝණි, අරගෙන එහෙ මෙහේ යනවා ..බෝට්ටු පදින්න යනවා ….බයික් පදිනවා… ඒ කතන්දර කෙල්ල ගිහිල්ලා යාළුවො එක්ක කිව්වහම පොඩි උන්ට ඉරිසියා හිතෙනවනේ…. ඒක හින්දා ඒකට අගේන්ස් එකට පොඩි උන් ඔය ඔහොම කතා කියන්නේ. ඔයා ඒවා අදාල කරගන්න එපා…”
ඉසිනි දෑත් දෙකෙන් බිමට බර වී නැගිට නුරාන් ර අසලින් හිඳගත්තාය. නුරාන් ගේ හිසකේ පිටිපසට වන්නට පිරිමැද මදක් ඇය ඔහු වෙතට නැවී නළලත් කොපුළකුත් ඉම්බාය.
“සනීපයිතාරා ….සත්තයි සනීපයි”
නුරාන් පැවසුවේ ඇය වෙතට නැඹුරුවී උරහිසෙන් හිස තබා ගනිමිනි. ඉසිනි ඔහු වටා එක් අතක් යවා නුරාන් ගේ ඉරියව්ව සුවපහසු කළාය.
” ඔයා කවදාවත් පසුතැවෙන්නේ නැහැ නේද තාරා?”
එසේනේ මදක් හැරී නුරාන් දෙස බලන්නට උත්සාහ කළත්, නුරාන් ඇයට ඉඩ නොදීම උන් ඉරියව්වේ උන්නේය.
” මට තේරෙන්නේ නෑ මොකද්ද අහන්නේ කියලා…”
” මාත් එක්ක ජීවිතය අල්ලගෙන යන්න තීරණය කරන එක ගැන ඔයා කවදාවත්ම පසුතැවෙන එකක් නෑ නේද තාරා ?”
” නුරාන් … ජීවිතේ අපට සිද්ධ වෙලා තියෙන දේවල්වල හැටියට කොහොමද අනාවැකි කියන්නේ?
ඒත් මට විශ්වාසයි මං මේ ගන්නේ , මට මේ වෙලාවේ ගන්න ඕනෙම තීරණය …. මැරෙනකල්ම ඔයාගේ අස්සට වෙලා මෙහෙම ඉන්න එක ඇරෙන්න ඇත්තටම මට දැනෙන බලාපොරොත්තුවක් නැහැ.
කොටින්ම ජොබ් එකේ ඉස්සරහට යන්න රට වෙනුවෙන් දේවල් කරන්න මට තිබ්බ උණත් දැන් නෑ කියලා හිතෙනවා …. ඒම හිතෙනවා සත්තයි නුරාන්….. ඔයා කැමතිනම් මං ජොබ් එක අත ඇරලා ඔයා ළඟට වෙලා ඉන්නද… මං එදත් ඇහුවේ…
ඇත්තටම අපිට සල්ලි වලින් ලොකු අවුලක් වෙන්නේ නැති වෙයි නේද…?”
” තාරා….!”
“හරි එහෙනම් තව අවුරුදු දෙක තුනක් ජොබ් එක කරන්නම්… ඇඟට දැනෙන මේ පැත්තෙ මිනිස්සුන්ට දැනෙන වටිනාකමක් තියෙන දෙයක් කරලා ….මං අයින් වෙන්නම්…. අපි ඔයාගේ බිස්නස් එක ලස්සනට ලොකු කරගමූ…”
” හරි එහෙමයි කියමු ….ඊටත් ටික කාලයක් ගිහිල්ලා මං ඔයාව අතහැරලා දානවා….. එහෙම අතහැරලා දැම්මයින් පස්සේ ඔයා කොහොමද ජීවත් වෙන්නේ?”
නුරාන් විමසුවේය. ඉසිනි දෑස් වසා ගත්තාය. අරුණෝද තමා පෝරුවේදී පොරොන්දු දී ඔහුගේ ජීවිතයට කැන්දාගෙන ගිය ආයුරු සිහි විය. ඉන් පසුව…….,
ReplyForwardAdd reaction |