සුසුවඳ සූත්‍ර – 47

0
4158

උදේ සිට ම අන්තරා ගේ අස් කරමින් ගෘහ භාණ්ඩ අසුරා ඇති ආකාරය වෙනස් කළා ය. අමුතුවෙන් පිරිසිඳු කරන්නට කියා දුහුවිල්ලකුදු කිශෝරි විසින් ඉතිරිකොට නො තිබිණි ද, බොහෝ ගෘහ භාණ්ඩ පැවතියේ අන්තරා දක්ෂිණ සමග නික්මෙන්නටත් පෙර සිට පැවති තැන් වල ඒ ආකාරයෙන් ම ය. උදේ වරුව ම ඕ ඒවා වෙනස් කිරීම වෙනුවෙන් වැය කළා ය. මහ ගස් වැවුණු සෙවනැති බිමක නිවස ඉදි වී තිබුණාට, කිශෝරි මල් වැවීම ආදිය කෙරේ විශේෂ උනන්දුවක් දැක්වූ කෙනෙකු නොවේ. එබැවින් අන්තරා ගේ ගෙදර වාගේ ගෘහාශ්‍රිත පැළෑටි සිටවූ බඳුන් වූයේ නැත. මිදුලේ ඇවිද ඕ පෝතෝස් වැල් හා ලකී බැම්බෝ අතු කපාගෙන විත්, වීදුරු බඳුන් වලට තිරුවානා ගල් කැට ද වතුර ද එක් කොට ඒ අතු සිටවූවා ය. ඒවා ගෙතුළ තැන් තැන් වල ස්ථානගත කළා ය. පරණ ගෙදරට අලුත් ජීවී පෙනුමක් එක්වෙමින් තිබිණ.

“ගෙදරක් එළිය වෙන්න කෙල්ලෙක් ඉන්නෝනෙ කියන්නෙ ඕකනෙ”

ජිතේන්ද්‍ර පිටතට යන්නට කමිස අත් නවමින්, කිශෝරි ට ඇසෙන සේ කීවේ ය.

“අපිත් ඒ කාලෙ කෙල්ලො තමයි”

ඇය ඇනුම්පදයක් කීවා ය.

“වැඩ එහාට මෙහාට කරගෙන හෙට අනිද්දට නුවර යන්න විවේකයක් හදාගන්න”

 කිශෝරි එහෙම කියත්දී නම් අන්තරා අලුතෙන් ම ගැස්සී ගියා ය. ඒ ගැස්ම, ගින්දරක දැවටී පෙර දා රාත්‍රියෙහි පටන් හදවත තුළ අඩව් අල්ලයි. නින්ද ඇස් වලින් ඈතට පළා ගොස් තිබිණි. ඇය උදයෙන් ම ගෙදර වැඩ කරන්නට පටන් ගත්තේ හිත ඇයව කොටු කරගන්නවාට බියෙනි.

නමුත් ආගන්තුක චමත්කාරයක් දෑසින් වෑස්සේ. ඇය ගෙදර හැඩ වැඩ කළේ අලුත් උනන්දුවකිනි.

“අපි සෙට් වෙන්නැද්ද අප්ප… ඒ ගමන මෙයා අම්මයි තාත්තයි එක්ක හුරතල් වෙවී එහෙට වෙලා ඉන්නවද කොහෙද”

පාරින්දි දුරකතන ඇමතුමක් දී නෝක්කාඩු කීවා ය.

“රෙස්ට් කළා ඉතිං. හවසට හම්බවෙමුකො”

අන්තරා පොරොන්දු වූවා ය. මිතුරු සමාගමයක අවශ්‍යතාව ඇයට ද දැනෙමින් තිබේ. නමුත් තවදුරටත් යුගාත්ම දෙස මිතුරෙකු ගේ සැහැල්ලුවෙන් බලත හැකි ද?

“ලන්ච් ටයිම් එකේ මං ඔයාගෙ ගෙදරට එනවා. ඇවිත් නැත්තං ජිතේ අංකල්ලගෙ ගෙදරට එනවා. පාරින්දිව ඒ වෙලාවට ගෙන්නගන්න එපා. කෑම ගේන්න ඕනෙනං කියන්න”

යුගාත්ම දුරකතනයෙහි පණිවිඩයක් තබා තිබුණේ ය. අන්තරා ගේ මුවගට සිනහවක් නැගිණි. නමුත් හදවතේ බර සැහැල්ලු වී තිබුණා නොවේ. ඔහු හැසිරෙන්නේ අවුරුදු දහ අටක හිතුවක්කාර කොල්ලෙකු වාගේ ය. නමුත් ඇයට එහෙම සැහැල්ලුවකට පත් විය හැකි ද?

දින කිහිපයකින් දොර ජනේල විවර නොකළ නිසා ගෙතුළ වාතයෙහි බර ගතියක් විය. අන්තරා වහ වහා සියලු ජනේල විවර කොට අලුත් සුළඟක් ඇතුළට එනු පිණිස ඉඩ හදා දුන්නා ය. දුහුවිලි පිසදමා අතුපතු ගා ගත් විට පුදුම සැනසිල්ලක් දැනිණ. තමන්ගේ ගෙදර වාගේ සුවයක් ලෝකයේ වෙන කොතැනකදීවත් නො දැනෙනවා විය යුතු ය.

ඈ දිවා ආහාර පිසුවේ කල්පනා කරමිනි. ප්‍රශ්නයෙන් හැංගෙන්නේ නැතිව ඊට මුහුණ දිය යුතු බව ඇය දනී. ඔවුන් කුඩා දරුවන් නොවේ. නමුත් තුරුණු වියේදී සිතිය යුතු ඇතැම් කාරණා හා ගත යුතු තීරණ, මැදි වියෙහි දී ගන්නා එක පහසු නැත. දැන් සිටින්නේ දක්ෂිණ සමග පෙමින් වෙළුණු වයසේ සිටි අන්තරා නොවේ. ජීවිතය විසින් විවිධ වෙනස්කම් වලට භාජනය කරන ලද වෙනස් ම අන්තරා කෙනෙකි.

වෙනදා වාගේ ආහාර පිසීම ගැන ප්‍රමුඛ අවධානයක් දෙන්නට ඇය සමත් වූයේ නැත. යුගාත්ම නැත්නම් ඇය කිසි සේත් කෑම නො පිසිනු ඇත. ඔහු එන හින්දා රයිස් කුකරයට හාල් ටිකක් තබා කරවල බැදුමක් මා පරිප්පු ව්‍යාංජනයක් පිළියෙළ කළා ය. ගෙදර එළවලු හෝ මස් මාළු නො තිබිණි. එන විට රැගෙන එන්නට ද අමතක වූයේ ය. සිතිවිලි වලින් පිරී හිත නිරවුල් නැතිව පැවති බැවිනි.

යුගාත්ම පැමිණි ගමන් අන්තරා මේසයට කෑම බෙදුවා ය. ඇගේ දෑස් ඔහු ගෙන් වසන් වෙමින්, බොරු වැඩ මවා ගනිමින් කාර්යබහුල ව පැවතිණ.

“මට ඔයත් එක්ක කතා කරන්න ඕනෙ අන්තරා. එහෙ ගෙදරදි කතාකරන්න බැරි නිසයි මෙහෙදි හම්බවෙමු කිව්වෙ”

යුගාත්ම සුදුසු ම තැන බලා මාතෘකාවට ගොඩ වූයේ මුළුතැන්ගෙයි කුඩා මේසයෙහි අසුන් ගෙන බත් පතෙහි අත තබනා ගමන් ය.

“ඔයත් කන්න ඉතිං”

තවමත් ඇය මේසයට හිඳ නො ගත්තෙන් ඔහු ම ඇරයුම් කළේ ය. අන්තරා විසිර ඇති සිතිවිලි එක්කාසු කරගෙන පුටුවක් ඇද යන්තමින් හිඳගත්තා ය. කිසී ගානක් නැතිව කරවල බැදුමත් පරිප්පුත් සමග සුදු හාලේ බත් කන යුගාත්ම දෙස බලා සිටි අන්තරා ගේ පපුව ඇය නම නො දන්නා හැඟීමකින් පිරී ගියේ ය. ඔහුට බිත්තරයක්වත් බැද දිය යුතු යයි ක්ෂණික සිතිවිල්ලක් ඇතුළාන්තයෙන් නැගී ආවෙන් ඕ යළිත් නැගිටගත්තා ය. ශීතකරණයෙහි බිත්තර දෙකක් ඉතිරි ව තිබිණ. වහ වහා ඇය ඒ කඩා දමා ඔම්ලට් එකක් පිළියෙළ කොට ඔහු ගේ පිඟානෙන් දැමුවා ය. යුගාත්ම වමතින් ඇගේ මැණික්කටු සන්ධියෙන් අල්වා යළිත් අසුනෙහි වාඩි කරවූයේ ය.

“ඔයා ඔයාගෙංම හැංගෙන්න එපා අන්තරා…”

ඔහු ගේ හඬෙහි දැඩි බවක් නොවූවත් ඒ ස්වරය ස්ථාවර ය. නැගිට ගොස් පිඟානක් ගෙන ඔහු ඊට ඇය වෙනුවෙන් බත් ද ව්‍යාංජන ද බෙදුවේ ය.

“ඔයාට මං ගැන කිසී හැඟීමක් නැත්තං මේ ඔම්ලට් එක දාල දෙන්න ඕන වෙන්නෑ අන්තරා. අපි අනිත් හැමදේටම කලින් මෙහෙම ළඟින් ඉඳගෙන ඕපන්ලි කතාකරමු”

  අන්තරා ගේ දෑස් පියන්පත් බත් පත දෙසට හැරවී තිබිණ. යුගාත්ම ළඟදී මේ දැනෙන්නේ, යුවතියක කාලේ අප්පච්චි ළඟ දැනුණ බියමුසු ගෞරවය කියා නම් ඇයට ඉඳුරා විශ්වාස ය. යුගාත්ම ඔම්ලට් එකෙන් භාගයක් කඩා එය අන්තරා ගේ පිඟාන කොනෙන් තැබුවා ය.

“ඔයා කන්…”

ඔහු ගේ බැල්ම, ඇයට ඒ වාක්‍ය සම්පූර්ණ කරන්නට බැරි කරවී ය.   

“අපි දැන් පොඩි ළමයි නෙවෙයි අන්තරා. හැබැයි මට හිතෙන්නෙ මේ තමයි ජීවිත කාලෙදි අපිට ලැබෙන හොඳම වයස. තව ඉස්සරහට අපි මැදි වයස පහු කරගෙන ඉස්සරහට යන අය වෙනව. හැබැයි දැන් අපි ශක්තිමත්. තාම හොඳට එනර්ජි තියනව. අපිට දුවල පැනල වැඩ කරන්න පුළුවන්. එක අතකින් ළමයින්ගෙ බරෙන් වුණත් ගොඩක් දුරට නිදහස්. ඒ කියන්නෙ අපේ දරුවො තාම බන්දල දීල නැතත් එයාල ලොකුයි. යමක් කමක් තේරෙන වයසෙ ඉන්නෙ. මගෙ කෙල්ලො දෙන්නත් තව අවුරුදු දෙක තුනකින් හයර් ස්ටඩීස් කරයි. එතකොට ඒගොල්ලො වැඩිහිටියො. අපි දෙන්න අලුතෙන් ජීවිතයක් පටන් ගත්තත් ඒ අවුරුදු විසි ගණන් වලින් නෙවෙයි අන්තරා. අපිට ආයෙ වෙන ළමයි ඕන වෙන්නෑ. මට පුතෙක් ලැබෙනව. කෙල්ලො දෙන්න කොහොමත් ඔයාට ආදරෙයි. උන් දෙන්න කවින්ද්‍යා ළඟ හිටියට ආයෙ එයාට උන්ගෙ බ්‍රේන් වොශ් කරන්න පුළුවන් වෙන්නෑ. අපිට ලස්සන ජීවිතයක් ගෙවන්න පුළුවන්. ඉස්සරහට එන්නෙ ළමයි බඳින වයස. දන්නෙම නැතුව අපි ආච්චිල සීයල වෙයි. ඊට කලින් තව පොඩ්ඩයි තරුණ ජීවිතේ කියල ඉතුරු වෙලා තියෙන්නෙ. අපිට නොලැබුණු ආදරේ තමයි ඒ ටික කාලෙදි විඳින්නයි වවන්නයි ඕනෙ. ඔයාගෙ අම්මයි අප්පච්චියි දිහා බලන්න. අපේ දෙන්නත් එහෙමයි. මේ වයසෙදිත් එකට ඉන්න හැටි දැක්කහම ආසයි අප්ප. මටත් ඕනෙ එහෙම වයසට යන්න. හැරමිටිය ගහගෙන හරි එකට බෙහෙත් ටික ගන්න යන්න නෝනා කෙනෙක් මහත්තයෙක් තමුන්ට ඉන්න එකම මොනතරං පොහොසත්කමක්ද කියල හිතන්නකො. ජීවිතේ කියන්නෙ මොකද්ද කසාදෙ කියන්නෙ මොකද්ද කියල තේරුං අරගෙනයි අපි මේ අලුතෙන් පටංගන්නෙ. අත්දැකීම් හොඳට ම ලැබිල… තුවාල වුණත් හරියටම සනීප වෙන්නත් කලිනුයි අපි අලුතෙන් පටංගන්න හදන්නෙ. එතකොට අපි දන්නව වැරදිච්ච තැන්. අපිට තේරෙනව හදාගන්න ඕන තැන්. අපිට ඕනෙ නිසා මැරෙනකම්ම ආදරේ එක්ක එකට ඉන්න… ඕන කැපකිරීමක් කරන්න පුළුවන්නෙ දෙයියනේ. මං නිසා ඔයාගෙ පුතාටවත් ඔයා නිසා මගෙ දුවලටවත් වෙනස්කමක් වෙන්න දෙයක් නෑ. එයාල ලොකු ළමයි. එයාලත් ආසවෙයි අපි සතුටෙන් ආදරෙන් ඉන්නවට.  ඇත්තටම අපි වගේම ඒ ළමයිනුත් අනාත වෙච්ච අය. ආදරේ පිරිච්ච පවුලක් නැතිවෙලා ගිය අය. ඉතිං අපි ඔන්කොටම සතුටෙන් ඉන්න බැරිකමක් නෑ නේද…”

අන්තරා තවමත් වදනක් හෝ දොඩා තිබුණේ නැත. නමුත් ඇයට දැනුණේ හිතේ පෙළගැසී තිබූ ප්‍රශ්න බොහොමයකට පිළිතුරු ලැබුණා සේ ය. එනමුත් හදවතේ හිර වූ යමක් තවමත් නිදහස නො ලබා එහි පවතී.    

“නූපුර ඔයාගෙ හිතට වද දෙනව කියල මං දන්නව”

දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙකු සේ, විසප්පු ගෙඩිය ඇති තැන යුගාත්ම හැඳිනගත්තේ ය.

“මං පුතාට කතා කරන්නං. ඔය කිසි දෙයක් මූණදෙන්න බැරි ප්‍රශ්නවත් විසඳගන්න බැරි ගැටළුවත් නෙවෙයි අන්තරා. මං දන්නව ඔයා හරිම ආඩම්බර ගෑනියෙක්. ඒ ආඩම්බරේ නිසා ඔයාව බැබළෙනව. මං ඔයාගෙ ආඩම්බරේට අලුත් හේතුවක් මිසක්… ඒ ආඩම්බරේ පළුදු කරන හේතුවක් වෙන එකක් නෑ කවදාවත්. මට ඒ ගැන පොරොන්දු වෙන්න පුළුවන්”

“අනේ එහෙම දෙයක් නෑ”

ඇය අසීරුවෙන් වාගේ උගුර යටින් කියාගත්තා ය. ප්‍රථම වතාවට යුගාත්ම ගේ මුහුණේ හිරු සදිසි සිනහවක් පෑයුවේ ය. ඔහු ට නිදහසක් දැනිණ. හිතේ තිබුණ හැම දේ ම කියාගන්නට ලැබුණ නිසා සැහැල්ලුවක් දැනිණ. නුවර යන්නට පෙර මේ සියල්ල අන්තරා ගේ හිතට කාවද්දා තබන්නට ඔහු තීරණය කොට සිටියේ ය.   

 “ඔයා තව ඕනතරං හිතන්න. මට තේරෙනව. ගිනි පෙනෙල්ලෙන් බැට කාපු මිනිස්සු කණාමැදිරි එළියටත් බයයි”

පිටත්ව යාමට සූදානම් වී ඔහු මෘදු පිරිමි සරකින් පැහැදිලිව කීවේ ය. අන්තරා බියපත් මුවැත්තක සේ නෙතු නගා බැලුවා ය. යුගාත්ම පිරිමිකාර සිනහවක් එක්ක ඇයට සමීප වූයේ ය.

“හැබැයි කොච්චර හිතුවත් අන්තිමට මට කැමති වෙන්නයි ඕනෙ”

ඒ ආදරය දෝරෙ ගලනා තර්ජනයකි. යටිපතුල් සීතල වෙනවා ද රිදෙනවා ද හිරිවැටෙනවා ද කියා අන්තරා ට වෙන් කොට හැඳිනගත හැකි වූයේ නැත. ඔහු ඉතාමත් හෙමිහිට ඇය වටා දෑත් යවා ඈ සිය පපුවට ලං කොටගත්තේ ය. තුරුලු කොටගත්තේ ය. තද කරගත්තේ ය.   

“මං හිතන්නෙ ඔයාට දැනෙනව… මේක කොහොම ආදරයක්ද කියල…”

 ඒ සංස්පර්ශය කෙරේ ලෝබකමක් අන්තරා ගේ ගැහැනු හද මඬලේ බුබුළු නැගුවේ ය. ඈ සිය නළල ඔහු ගේ පපුවෙහි තබා දෑස් පියවාගත්තා ය.

“පැනල යන්න හදන්නෙපා. අපි මේකට මූණදෙමු. සොබාදහම මිනිස්සුන්ට රිද්දල තුවාල කරන්නෙ නිකංම නෙවෙයි. පාඩං කියල දෙන්න. අපි ආයි සැරයක් අපිව නැතිකරගන්නැතුව ඉමු”

යුගාත්ම අන්තරා ගේ හිස් මුදුන මත සිය නිකට තද කරගත්තේ ය. ඇය නිසොල්මනේ හිටියා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here