සුසුවඳ සූත්‍ර – 48

0
3958

අන්තරා පුස්තකාලයට ගියේ ටික දිනකට පස්සේ ය. පොත් ටික මාරු කරගෙන ඕ හෙමි හෙමිහිට කොෆී ශොප් එක දෙසට ඇවිද ආවා ය. එදා පාරින්දිවත් යුගාත්මවත් මුල් වරට හමු වූ ඒ දෛවෝපගත දිනය ඇගේ සිතේ සිත්තම් වෙමින් තිබිණ. එදා ඇය ඇවිද ආවේ වැහි බර දරාගෙන ඉන්නට බැරි මන්දාරම් අහසක් යටිනි. ඉසිහින් වැහි පොදයක් දෙකක් වැටෙන්නට පටන්ගෙන ද තිබිණ. නමුත් අද වැහි සලකුණක් නො මැත.

එදාත් අදත් අතරේ කෙතරම් දේවල් සිදු විණි ද? ඒ සිදු වූ සියල්ල කිසියම් සැලැස්මක් ඇතිව සිදු වී ඇත්තා සේ, මුල සිට කල්පනා කර බලත්දී අන්තරා ට සිතේ. ඇය නීත්‍යානුකූල විවාහයෙන් ඉවත් වීමට කටයුතු කිරීම හැරෙන්නට, අන් සියල්ල ඒ හමුවීම කේන්ද්‍ර කොට සිදු වූවා කියා සිතිය හැක.

අන්තරා තේ කෝප්පයක් ඇනවුම් කොට ඇයට පුරුදු අසුනට වූවා ය. පාරින්දි එනවා කී වෙලාව වන තුරු තවත් ටිකක් කල්මැරිය යුතු වේ. පාරින්දිව හමු වෙන්නට වෙලාවක් දාගත්තේ යුගාත්ම නික්ම ගියාටත් පස්සේ ය.

“හෙලෝ මයි ප්‍රිටි ලේඩී…”

අන්තරා ට පිටුපසින් රහසින් වාගේ ඇය වෙතට ලංව, පාරින්දි ඈ වැළඳගත්තා ය. අන්තරා දෑතතින් ම ඇගේ දෑත් අල්වාගත්තා ය.

“කලිං ඇවිත්”

“මං දන්නවනෙ ඔයා කලින් එනව කියල. ඒක නිසා කොල්ලුපිටියෙං ටැක්සි එකක් දාගත්ත. කෝ යුගාත්ම…”

“මගෙං අහන්නෙ… ඔය දෙන්නනෙ එක තැන වැඩ කරන්නෙ”

“අද උදේ බ්‍රාන්ච් එකට ඇවිත් දවල් ගියා. ඊට පස්සෙ ආවෙ නෑ. මං උදේ කිව්ව හවස සෙට්වෙමු කියල. මං දැන් එන්න ලෑස්ති වෙලා කෝල් කරද්දි ආන්සර් කළේ නෑ. මං හිතුව ඔයා කියන්නැති කියල අපි සෙට් වෙනව කියල”

“මට කියන්න හම්බුන්නෑ”

අන්තරා ගේ හිතේ දෙගිඩියාවක් තිබිණ. යුගාත්ම දිවා ආහාර වෙලාවේ ගෙදර පැමිණි බවක් කියාගන්නට ඇය පසුබෑවා ය. කියනවා නම් ඒ මුළු සිදුවීමත් සමග ම සියල්ල පැවසිය යුතුව තිබේ.  

“කෝල් එකක් අරං කියන්න ඉතිං”

“ඔයා කියන්න”

පාරින්දි ඇදෙස බැලුවේ අමුතු තාලයකට යි. ඒ අතරේ ම ඇය යුගාත්ම ට ඇමතුමක් ගත්තා ය.

“මේ අපි දෙන්න ලයිබ්‍රරි එක ළඟ කොෆී ශොප් එකේ. එනවද ඔයත්…”

“මට එන්න වෙන්නෙ නෑ පාරින්දි”

ඒ ඔහු ගේ ක්ෂණික පිළිතුරයි. යුගාත්ම මේ අවස්ථාව මගහැරියේ හිතාමතාම ය. දවාලේ ඔහු අන්තරා ට සිය හදවතේ ඇති සියල්ල විවෘත කළේ ය. ඇයට ඒ ගැන නිවී සැනසිල්ලේ හිතන්නට ඉඩ දිය යුතු වේ. ඔහු ඇගේ හදවතට අලුත් වේශයකින් ඇතුළු වෙත්දී, පරණ මිතුරාට ටිකක් ඈතින් ඉන්නට ඉඩ හරිනා එක හොඳ ය. නැතහොත් ඇයට මේ දෙදෙනා වෙන් කොට හැඳිනගැනීමේ ගැටළුවක් මතු විය හැකි යයි ඔහු ට සිතිණ. පාරින්දි හවසට අන්තරා හමු වෙන බව දැන දැන ඔහු මගහැරියේ එබැවිනි.

“දෙන්නගෙ මොකක් හරි අවුලක්ද…”

දුරකතනය පසෙකින් තැබි පාරින්දි, විමසුම් නෙතකින් අන්තරා ගේ මුහුණට එබුණා ය. අන්තරා මුතුපොටක් සේ සිනහ වූවා ය.

“මොන අවුලක්ද…”

“තරහ වෙලාද… අරය ගත් කටටම එන්න වෙන්නෑ කිව්වෙ…”

“යුගාත්මට ඉතිං වැඩක් වැටිල ඇති”

නමුත් පාරින්දි ගේ ඇස් වල වූ සැකයේ සේයා මුළුමනින් පහ වූවා නොවේ. යළිත් ඇය ඒ ගැන කතාවට ගොඩ වූයේ තේ උගුරක් දෙකක් පාණය කිරීමෙන් අනතුරුවයි.

“ඔයා දන්නවනෙ මං යුගාත්ම ගැන කැමැත්තකින් හිටිය කියල”

අන්තරා ගේ දෙපා වෙව්ලා ගියේ ය. පුංචි කෙල්ලගේ පෙම් හිතට මිත්‍රද්‍රෝහී වෙන්නට ඇයට කිසි දා ඕන වුණේ නැත. මේ   මොහොතේත් ඕන නැත. මිත්‍රත්වයක් ඉදිරියේ වෙන කිසිවක් ම පාවා දීම ඇගේ ප්‍රතිපත්තියක් ද නොවේ. ඇය හිතවත්කම් සලකන්නේ දෙවියන්ගෙන් ලැබෙනා තිළිණයක් සේ ය.

“ඒත් දැන් එහෙම නෑ”

හදවතට දැනුණේ ගින්දරක් ද නැත්නම් සිසිලසක් ද කියා වෙන් කොට හැඳිනගන්නට අන්තරා අපොහොසත් වූවා ය. ඇතැම් විට ඒ දෙක ම එකවර දැනුණා විය හැක. ඒ ඇයි කියා අසන්නට උවමනා වී ද ඒ වචන දෙක හෝ පිට කරගන්නට ඇය පොහොසත් වූයේ නැත. පාරින්දි සිනහ වෙන දෑසකින් තේ      කෝප්පය දෙපසින් අන්තරා දෙස බලාගෙන තේ උගුරක් බීවා ය.

“එයා ඔයාට ලව්”

එවර නම් කන්දක් සේ අන්තරා නාය ගියා ය.

“පා… රි…”

“මට හිතිල තියෙනව ඕන දෙයක් කරල එයාගෙ වෙනව කියල. තමන්ගෙ අරමුණ වෙනුවෙන් දේවදත්ත බුදුහාමුදුරුවන්ගෙ ඇඟටත් ගල් පෙරළුවනෙ. මිනිස්සු එහෙම වෙන වෙලාවල් තියනව. මොන සටනක් කරල හරි යුගාත්මව දිනාගන්න මාත් හිතල තියනව. ඒත් මොකටද නේ…”

ඇගේ දෙතොල් මත්තෙහි වන්නේ අවඥාසහගත සිනහවකි. අන්තරා ට වැටහෙන්නේ නැත. පාරින්දි සිනහවෙන්නේ කාට ද?

“දේවල් අයිති කරගන්න ෆයිට් කරන එක මාර වෙහෙසක් අප්ප. සැරේකුත් මං ලෙඩෙක් වුණේ එහෙම ෆයිට් කරන්න ගිහින්. ඒත් අත්ඇරල දාන එක ඊට වැඩිය කොච්චර ලේසිද… ඊටත් වැඩිය අත්ඇරල දැම්මට පස්සෙ හිතට මාර සැහැල්ලුවක් දැනෙන්නෙ”

“පාරි”

අන්තරා හෙමිහිට පාරින්දි ගේ අතක් මත අතක් තැබුවා ය. ඇය අන්තරා වෙත නැඹුරු වී ඇගේ දෙකොපුල් මිරිකුවා ය.

“ඉතිං ඇයි මේ ඔයා බය වෙලා වගේ… ඔයාට බය වෙන්නවත් හිතන්නවත් කිසිම දෙයක් නෑ. ඕන්නං මට මේව නොකිය ඉන්න තිබුණ. ආයෙ හිතුව ඔයාට කියන්නෝනෙ කියල. මං දන්නෑ ඇයි කියල. මං ඔයාට මාර ආදරෙයි අන්තරා. ඒක මොන බැඳීමක්ද කියල මං දන්නෑ. වෙන මොනා නැති වෙලා ගියත් කමක්නෑ සහෝදරියක් වගේ හැමදාම මට ඔයාව ඉතුරුවෙන්න ඕන කියල විතරක් අන්තිමට මගෙ හිත තීරණේකට ආව”

“අනේ දෙයියනේ පාරි. ඔයා වගේ පොඩි කෙල්ලෙක්ට මේව හිතට බර වැඩියි…”

“අපිව අල්ලගන්න කැමති නැති කෙනෙක්ව අපි කොච්චර අල්ලගන්න දැඟළුවත් වැඩක් නෑ. ඒක මහන්සියක් විතරයි. ඔන්න අනිත් පැත්තෙ කෙනා මට කැමතියිනං ලෝකෙ පෙරලල හරි එයාව අයිති කරගන්න මහන්සි වුණාට කමක් නෑ. ඇත්තටම මට දැන් සැහැල්ලුවක් දැනෙනව. හිත පාලනය කරගන්න අමාරු වෙලාවක වුණත් මං ඔයා ගැන හිතනව. මට ඔයාව නැති කරගන්න ඕනද කියල මං මගෙන්ම අහනව. එතනදි හුලං ගිය බැලුමක් වගේ මං පොළවට සමතලා වෙනව. මං මේ ඇත්තමයි කියන්නෙ. අනිත් හැම මගුලක්ම අත්ඇරිල හරි මේ යාළුකම් ඉතුරු වුණාම ඇති අප්ප”

පාරින්දි මුළුමනින් හිත හදාගෙන නැති බැව් ඇගේ දෑස් අන්තරා ට කියයි. නමුත් ඇය අවබෝධය ලබාගෙන ඇත්නම් හෙමිහිට වුව හිත හැදෙනු ඇත.

“යුගාත්ම ගැන මට වැඩිය අයිතියක් තියෙන්නෙ ඔයාට”

“මො… නාද ඔයා කියන්නෙ…”

“මුලින්මත් ඔය දෙන්නයි මැරි කරන්න ඉඳල තියෙන්නෙ. ඔය දෙන්නගෙම පේරන්ට්ස්ලගෙ ආශීර්වාදෙත් තියනව ඔයාල එක්ක. ඔය දෙන්නම ඩිවෝස් වෙලා නිසා… අලුතෙන් හිත් හදාගෙන අලුත් ජීවිතයක් පටං ගන්නත් ලේසියි. කොහොමත් ඔය දෙන්න මාර මැචින්. අනික යුගාත්ම පළවෙනි දවසෙ පළවෙනි තත්පරේ ඉඳලම ඔයාට පිස්සු වැටිලයි හිටියෙ. අපි දෙන්නව තරාදියෙ දෙපැත්තට දැම්මහ රූං ගාල මාව අහස පැත්තට ඉස්සෙනව”

අන්තරාට සිනහ නැඟිණ. නමුත් පාරින්දි, සිය කුඩා මිතුරිය ගැන අවංක සංවේගයක් ඇගේ පපුවෙහි පණගැහෙමින් තිබිණ.

“මං මේ හැමදේම ඔයාට කියන්නෙ අපි දෙන්නවම නිදහස් කරන්න. මට යුගාත්මව ඕන්නෑ. ඕනෙම නෑ. ඊට වැඩිය මට අපේ යාළුකම ඕනෙ. අපි තුන්දෙනාට තව අවුරුදු විසිපහකිනුත් මේ වගේ එකට හිනා වෙවී කතා කරකර ඉන්න පුළුවන් වෙන්නයි ඕනෙ. හතර නෙවෙයි එතකොට මාත් මොකෙක් හරි මිනිහෙක්ව බැඳං ඉඳියිනෙ. ඔයා කිසීම හිතේ සැකයක් තියාගන්න එපා අන්තරා. ඔයා යුගාත්ම ගැන නොහිතා ඉන්නෙ මං නිසානං… අනේ මං වැඳල කියන්නං එහෙම එපා. මං දන්නව ඔයා ලොකූ හිතක් තියන ගෑනියෙක්. මේ  වෙලාවෙ විතරක් මට චාන්ස් එක දෙන්න. මං යුගාත්ම ගැන කැමැත්තෙන් හිටිය කියන එකත් අපි මෙතනින් අමතක කරමු. නැත්තං ඕගොල්ලො බැන්ද කාලෙක වුණත් මට යුගාත්ම දිහා බලන්න දෙන එකකුත් නෑ”

පාරින්දි හඬ නගා සිනහ වූවා ය. නමුත් අන්තරා ට නම් එහෙම කිරීමේ හෝ හයියක් වූයේ නැත. ඇයට දැනුණේ සිටගත නො හැකි තරමට ඇගේ දෙපා පණ නැති වී ගොස් ඇති ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here